සමිති දෙවෙනි වරටත් ජාතික කම්කරු උපදේශක සභාව (NLAC) වර්ජනය කරයි

කම්කරු අමාත්‍ය ගාමිණී ලොකුගේගේ ප්‍රධානත්වයෙන් හා වෘත්තීය සමිති නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව පැවති ජාතික කම්කරු උපදේශක සභාව (NLAC) ඊයේ (14)දෙවෙනි වරටත් වර්ජනය කිරීමට වෘත්තීය සමිති නියෝජිතයින් තීරණය කර තිබේ.

ඊයේ ප.ව 3.00 ට පමණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භවී ඇති අතර එහිදී පසුගිය වාරයේ වාර්තාව ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී එවර වෘත්තීය සමිති නායකයින් විසින් සමුළුව වර්ජනය කරන බව පවසා පිටව යාමට හේතුවුණු කාරණා සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාදැයි ප්‍රශ්න කර ඇත.

එසේම ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇත්දැයි වෘත්තීය සමිති නායකයින් විසින් දිගින් දිගටම විමසා තිබේ.

අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ තමන් ජනාධිපතිවරයාට දැනුම්දී ඇතත් ඒ පිළිබඳ ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි.සාකච්ඡාවට දිනයක් ලබාදෙන බව පමණක් පැවසූ බවයි.

මාසයක් ඉක්ම ගියද සාකච්ඡාවට දිනයක් හෝ ලබාගැනීමට හෝ අමාත්‍යවරයාට හැකියාවක් නොවීම යනු කම්කරු ඉල්ලීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයාද,ජනාධිපතිවරයාද උනන්දුවක් නොදැක්වීම නිසා බැවින් තව දුරටත් සැබෑ ප්‍රශ්න මගහැර උපදේශක සභාව රැස්වී සාකච්ඡා කිරීමෙන් ඵලක් නොවන බව වෘත්තීය සමිති නායකයින්ගේ අදහස විය.

ඒ අනුව ප්‍රථමයෙන්ම  බාලා තම්පෝ  නැගිට තම ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිදු සාධනීය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැතිනම් මින් ඉදිරියට සාකච්ඡා කිරීමෙන් ප්‍රයෝජනයක් නොවන බව අමාත්‍යවරයාටත්,සභාවටත් දන්වා ශාලාවෙන් පිටතට ගියේය.

ඉන්පසුව එස්.කේ සුබසිංහ, ටී.එම්.ආර් රෂ්ඩීන් යන වෘත්තීය සමිති නායකයින්ද වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ යෝජනා කරනු ලබන ඉල්ලීම් පිළිබඳ කිසිදු තැකීමක් නොකිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වා තම්පෝ අනුගමනය කරමින් සභාව වර්ජනය කරමින් රැස්වීම් ශාලාවෙන් පිටත්ව ගියහ.

ඉක්බිතිව සෙසු වෘත්තීය සමිති නායකයින් හා නියෝජිතයින්ද සභාව වර්ජනය කොට එළියට පැමිණ ඇති අතර ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට අනුබද්ධිත රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ඩබ්ලිව්.එච් පියදාස, ලංකා කම්කරු කොන්ග්‍රසය නියෝජනය කරන මාරිමුත්තු යන දෙදෙනා පමණක් ඉතිරිවූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් නිදහස් සේවක සංගමයේ ලෙස්ලි දේවේන්ද්‍ර ඇතුළු තවත් වෘත්තීය සමිති නායකයින් බොහෝ දෙනෙකු මෙම කම්කරු උපදේශක සභා රැස්වීමට අද දින නොපැමිණි බවත්, මෙවරද මෙම රැස්වීම වර්ජනය කිරීමක් සිදුවිය හැකි බවට කල් තියා තොරතුරු ලැබීම හේතුවෙන් අඩු සහභාගිත්වයක් දක්නට වුණු බවත් එකී ආරංචි මාර්ග ‘වැඩබිමට‘ට තහවුරු කරන ලදී.

කම්කරු ප්‍රඥ්ඥප්තිය ක්‍රියාවට නංවා ගැනීම හෙවත් විශේෂයෙන්ම කම්කරු ප්‍රඥ්ඥප්තිය තුළ තියෙන ILO 87/98 සම්මුති වල වගන්ති බලාත්මක කරවා ගැනීම, කොන්ත්‍රාත් මට්ටමින් මෑන් පවර් සමාගම් හරහා බඳවා ගනු ලබන සේවකයින් ස්ථීර කිරීම හා යළි අලුතින් බඳවා නොගැනීම, ජීවන අංකයේ අගය ගැසට් නොකිරීම,අර්ථ සාධක අරමුදල වැරදි අයුරින් භාවිතා කිරීම මෙන්ම වතු කම්කරු ජනතාවගේ වැටුපෙන් කපා ගන්නා ඊටීඑෆ්/ඊපීඑෆ් ඒ අයට නොදී සිටීමේ තත්ත්වයක් නිර්මාණය වෙමින් පැවැතීම වැනි කාරණාවන්ට අදාළව විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති නායකයින් විසින් ජාතික කම්කරු උපදේශක සභාව පසුගිය මාසයේ වර්ජනය කරන ලදී.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් මෙවරද කිසිදු තැකීමක් කර නොතිබීමට විරෝධය දක්වා වෘත්තීය සමිති නායකයින් ඊයේ(14) රැස්වීමද වර්ජනය කර ඇත.

Labour Department

 

සබැදී පුවත්

 

 

මුල් පිටුව

 

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435