කම්කරු කොමසාරිස්‌ගේ චක්‍රලේඛයෙන් ඊ.පී.එෆ්. ගන්න අවුරුදු 5 ඉන්න වෙලා

(ජනපතිට පැමිණිල්ලක්‌)

කම්කරු කොමසාරිස්‌ විසින් මෑතකදී නිකුත් කළ නව චක්‍රලේඛයක්‌ නිසා 2 වැනි වරටත් රැකියාව කරන අයට අර්ථසාධක අරමුදල් ලබා ගැනීමට පස්‌ වසරක්‌ බලා සිටීමට සිදුවී ඇතැයි විදුලි ඉංජිනේරු දීපාල් තිලකරත්න මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර ඇත.

යම් සේවකයකු අර්ථසාධක අරමුදල් ලබාගත් පසු ආර්ථික අපහසුකම් නිසා තවත් ආයතනයක සේවය කර එය නිමවූ පසු අර්ථසාධක අරමුදල් ලබාගැනීමේදී එලෙස වසර පහක්‌ බලා සිටීමට සිදුවන බව ඒ මහතා කියා සිටී.

දීපාල් තිලකරත්න මහතා ජනාධිපතිවරයාට යෑවූ පැමිණිල්ලේ මෙලෙස දක්‌වා ඇත.

ඔබතුමා දන්නා පරිදි ඕනෑම පුද්ගලයකුගේ (ඔහු හෝ ඇය) වයස අවුරුදු 55 පිරුණු පසු තමාගේ පූර්ණ සේවා කාලය තුළ ඒ ඒ ආයතන මගින් ඔහු හෝ ඇය වෙනුවෙන් බැර කළ සේවා අර්ථසාධක හා භාරකාර අරමුදල් ආපසු ලබා ගැනීමට නීත්‍යානුකූලව අවසර ලැබී ඇත.

එහෙත් යම් හෙයකින් යම් පුද්ගලයකු (ඔහු හෝ ඇය) එම අර්ථසාධක මුදල් ගත් පසු, ඔවුන්ගේ ආර්ථික අපහසුකම් නිසා නැවත වරක්‌ සුළු කාලයකට හෝ යම් සමාගමක සේවය කර එය අවනස්‌ වූ පසු එම සමාගම විසින් බැර කරන ලද අරමුදල් ගැනීමට නොහැකි වන අතර ඒ සඳහා ඔහුට හෝ ඇයට තවත් වසර 5 ක්‌ බලා සිටීමට සිදුවී ඇත.

මේ තත්ත්වය උදාවී ඇත්තේ මෑතකදී කම්කරු කොමසාරිස්‌ විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛයක්‌ නිසා බව දැනගැනීමට ඇත. මෙය ඉතා අසාධාරණ තීන්දුවක්‌ වන අතර සමහරවිට ඔහුට හෝ ඇයට තම ජීවිත කාලය තුළම ඒ මුදල් භුක්‌තිවිඳීමට නොහැකිවනු ඇත. ජීවිතය එතරම් අස්‌ථිර බව අපි සැම දනිමු.

මේ පිළිබඳව සොයා බලා එම අසාධාරණ චක්‍රලේඛය අහෝසි කරන ලෙසද, වයස අවුරුදු 55 අවසන් වූ ඕනෑම කෙනකුට ඕනෑම අවස්‌ථාවක දෙතුන් වාරයක්‌ හෝ තම මුදල් ලබා ගැනීSමට අවකාශ ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිමු.

තවද, ඉහත අරමුදලේ සාමාජික/ සාමාජිකාවක්‌ වසර ගණනක්‌ සේවය කර ඉන් ඉවත් වූ පසු වසර 55 සීමාවක්‌ නැතිව ඔවුනට තම මුදල් ගැනීමට හැකි නම් එය ඔහුට හෝ ඇයට කරන ලොකු සේවයකි. සමහරවිට සාමාජික / සාමාජිකාවක්‌ මිය ගියවිට, එයට අදාළ ලිපිලේඛනවල ඇති අඩුපාඩු නිසා එම මුදල් ඔහු හෝ ඇයගේ උරුමකරුට ලබා ගැනීම සඳහා විශාල අපහසුතාවකට මුහුණ දීමට සිදුවේ. සමහරවිට එම මුදල් ගැනීමටද බැරිවේ. මන්දයත් එම කර්යයට අදාළ වූ සියලුම විස්‌තර දන්නේ එම සාමාජික හෝ සාමාජිකාව පමණකි. මෙම කරුණ ගැනද ඔබතුමාගේ අවධානය යොමු කර වෙනත් පරිපාලන හා රාජ්‍ය මුදල් කොන්දේසිවලට ගැටලුවක්‌ පැන නොනගීනම් ඕනෑම කෙනකුට තම සේවය අවසන් වූ විගස එම මුදල් නීත්‍යානුකූලව ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435