කම්කරු දෙපාර්තමේන්තුවේ ලීසා (LISA)අවහිරයි!

කම්කරු දෙපාර්තමේන්තුවේ නිල රාජකාරි ව්‍යුහයේ ප්‍රධාන මෘදුකාංග පද්ධතිය වන LISA මෘදුකාංග පද්ධතිය මේ වන විට ක්‍රියා විරහිත කර තිබීම නිසා ගැටළු රැසක් පැන නැඟී තිබේ. දෙපාර්තමේන්තුවේ බලධාරීන් විසින් ඊට අදාළ නියමිත ලියාපදිංචි ගාස්තු නොගෙවීම නිසා මෙම තත්ත්වය උදාවී ඇත. මෙම ලීසා ව්‍යාපෘතිය දූෂිත ගනුදෙනුවක් බව තමන් මූලාරම්භයේ සිටම අනාවරණය කළ බවත්,
අමෙරිකානු රජය විසින් 2013 වසරේදී ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 1.3ක ප්‍රදානයක් කළ බවත්, කම්කරු විෂය දිරි ගැන්වීමක් ලෙස ලැබුණු එකී ආධාර මුදලින් එක් කොටසක් ලෙස මෙම ලීසා මෘදුකාංග පද්ධතිය හඳුන්වා දුන් බවත් රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අයි.සී ගමගේ මහතා පවසයි.

“ අමෙරිකානු ආධාර ලෙස එවැනි විශාල මුදලක් ලබාදී තිබියදී සේවක අර්ථසාධක අරමුදලෙන් කෝටි 4ක මුදල් අරගෙන ටැබ් පරිගණක යන්ත්‍ර 400ක් මිලදී ගත්තා. ඒකත් දූෂිත ගනුදෙනුවක් බව අපි එදා කීවා. අප විසින් හෙළිදරව් කළත් වගකිව යුතු කිසිවෙකු ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත්තෙ නෑ. මේවන විට හෙළිදරව් වී ඇති ආකාරයට කම්කරු දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් මෙම ලීසා මෘදුකාංග පද්ධතිය වෙනුවෙන් වාර්ෂික ලියාපදිංචි ගාස්තුව ලෙස මුදල ගෙවා ඇත්තේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙ හිතවතෙකුගේ පුද්ගලික ක්‍රෙඩිට් කාඩ් එකක් මගින් බැව් තහවුරු වී තිබෙනවා.

එම පුද්ගලයා 2013 සිට රජය වෙනුවෙන් තමන්ගෙ පෞද්ගලික ක්‍රෙඩිට් කාඩ් එකෙන් මෙම වාර්ෂික බදු මුදල අදාළ ආයතනයට ගෙවා තිබෙනවා. නමුත් එය දිගින් දිගටම ඔහුට කළ නොහැකි නිසා එය නතර කර තිබෙනවා. ලීසා මෘදුකාංගය මේවන විට වෙන්දේසියට නියම වී තිබේ. ඒ නිසා කම්කරු කොමසාරිස්ට අවශ්‍ය නම වෙන්දේසියට ඉදිරිපත් වී ඉතාම වැඩි මුදලකට ලබාගැනීමට සිද්ධවෙනවා“ ගමගේ මහතා වැඩබිමට සඳහන් කළේය.

රාජ්‍ය දෙපාර්තමේන්තුවක ප්‍රධානම මෘදුකාංග පද්ධතියට බාහිර පුද්ගලයෙකුගේ පුද්ගලික ක්‍රෙඩිට් කාඩ් පතකින් ගෙවීමට සිදුවීම කෙතරම් ගනගාටුවට කරුණක්ද? 2013වසරේ සිට මේ දක්වා කම්කරු කොමසාරිස් ජනරාල්වරුන් සිව් දෙනෙකු රාජකාරි කර තිබේ. ඒ සියලුදෙනා මේ සම්බන්ධයෙන් ක්‍රියා කර අුැත්තේ කෙසේද යන්න ගැටළුවකි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකර දූෂිතයින්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා විගණකාධිපතිට, කම්කරු ඇමතිට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කම්කරු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

කෙසේ වෙතත් මෙම ගැටළුව නිසා ලීසා පද්ධතිය හරහා සිදුකරන මහජන සේවා සියල්ල දැන් සති 3ක කාලයක සිට අඩපණ වී ඇති තත්ත්වයක් තුළ කම්කරු නිලධාරීන්ට සිය රාජකාරි කටයුතු නිසි ලෙස ක්‍රියාත්මක කළ නොහැකි මට්ටමක් උදාවී තිබේ. මේ ප්‍රශ්නය නිරාකරණය කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ තවමත් තීරණයක් ගෙන නැති බවට සේවකයින් චෝදනා කරයි. කම්කරු පරීක්ෂණ ක්‍රමවේදයට අදාළ සියලුම දත්ත ගබඩාවෙන්නේ ලීසා මෘදුකාංග පද්ධතිය තුළය. කම්කරු පරීක්ෂණ, නඩු කටයුතු, පැමිණිලි, රාජකාරි දිනපොත්, කාර්මික ආරාවුල් විසඳීම ආදී දෙපාර්තමේන්තුවේ සියලුම රාජකාරි පිළිබඳ ක්‍රියාත්මක වන්නේ මෙම ලීසා මෘදුකාංග හරහාය. රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අයි.සී ගමගේ මහතා මෙසේද කියා සිටියේය.

“ දැනට මෙම මෘදුකාංග පද්ධතිය වෙන්දේසියට දාලා තියෙන නිසා අනෙක් තරඟකරුවන් සමග තරඟකර විශාල මුදලක් ලබාදී තමා මෙය නැවත ගන්න වෙන්නේ. දෙපාර්තමේන්තුවට තාමත් අදහසක් නෑ. ඔවුන් තම වැරදි ඉහළ පාලනාධිකාරියට, දේශපාලන අධිකාරියට සැඟවීමේ උත්සාහයක නිරතවී සිටින බවක් පෙනෙනවා. වෙන්දේසියට ඉදිරිපත්වී කරුණු දක්වන්නේ කවුද? එම මුදල් ගෙවන්නේ කවුද? මුදල් රජය විසින් ගෙවනවද? මේ ගැන අපි දැඩි අවධානයෙන් සිටිනවා. “

සටහන – පී.ඩබ් මුතුකුඩආරච්චි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435