කම්කරු දෙපාර්තමේන්තුවේ විභාග අවුලක්

කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරීන්ට  සහකාර කම්කරු කොමසාරිස් තනතුර සඳහා පවත්වන සීමිත තරඟ විභාගයට මෙවර අයථා ලෙස පස් දෙනෙකු ඇතුළත් කර ගැනීමට කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින් ක්‍රියා කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

සහකාර කම්කරු කොමසාරිස් තනතුර සඳහා පරිපාලන සේවයෙන් 40%ක්ද,  දෙපාර්තමේන්තුවෙන් 60%ක්ද,  වන සේ සුදුසුකම් ලබන අතර කම්කරු නිලධාරීන් මෙම තනතුර අපේක්ෂා කරන්නේනම් ඊට අදාළ තරඟ විභාගයට පෙනී සිට සමත් විය යුතුය. එහෙත් ඒ සඳහා සුදුසුකම් ලබන්නේ කම්කරු නිලධාරීන්ගේ සේවයේ  1 වෙනි ශ්‍රේණියේ නිලධාරීන් පමණකි. නමුත් මෙවර කම්කරු කොමසාරිස් ජනරාල්ගේ හා අතිරේක කම්කරු කොමසාරිස් ජනරාල් ( දෙපාර්තමේන්තු ) යන දෙදෙනාගේ හිතවතුන් හා හිතවතියන්ට මෙම විභාගයට පෙනී සිට අදාළ තනතුරු ලබාදීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවට කම්කරු නිලධාරීන් පවසයි.

ඒ අනුව 1 වෙනි ශ්‍රේණිය නොලත් කම්කරු නිලධාරීන් පස් දෙනෙකුට මෙම තනතුර  සඳහා අයදුම් කරන ලෙස කම්කරු කොමාසාරිස් ජනරාල් කාර්යාලයෙන් ඉල්ලීම් කර තිබී ඇත.  එම ඉල්ලීම් වලින් එක් ඉල්ලීමක්  කම්කරු නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපති අයි.සී ගමගේ මහතාටද හිමිවී තිබුණි.

මේ පිළිබඳ ‘වැඩබිම’ කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ කියා සිටියේය.

” මේ ආරංචියේ ඇත්තක් තියෙනවා. මටත් තරඟ විභාගයට පෙනී සිටින ලෙස ආරාධනාවක් ලැබුණා. නමුත් මට ඒ සඳහා  නියමිත සුදුසුකම් නෑ. එනම් ඒ සඳහා  අවශ්‍ය 1 වන ශ්‍රේණියේ සුදුසුකම මවිසින් සම්පූර්ණ කර නෑ.  ඒ නිසා මං මෙම  තනතුරට වෙනුවෙන් තරඟ විභාගයට පෙනී සිටීම ප්‍රතික්ෂේප කළා. එතනින් එහාට මට මොකුත් කියන්න බෑ” කම්කරු නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත් මෙම තරඟ විභාගය සඳහා අනෙකුත් නිලධාරීන් 4 දෙනා පෙනී සිටින ලද  අතර ඔවුන්ද ඇතුළත්ව දළ වශයෙන් 74 දෙනෙකු පමණ මෙම විභාගයට පෙනී සිට තිබේ.  මෙම විභාගයේදී විෂය නිර්දේශයෙන් පිට ( බඳවා ගැනීමේ ගැසට් නිවේදනයට අදාළ නොවන)  අණ පනත් (දේවාලගම් පනත ආදී) පනත්වල විෂය කරුණුද ඇතුළත්ව තිබුණු බැව් විභාගයට පෙනී සිටි කම්කරු නිලධාරීන් පෙන්වාදී තිබේ.

මීට අමතරව  මේ දිනවල විදේශ සේවයේ කටයුතු කිරීම  සඳහා තානාපති කාර්යාලවලින්  අයදුම්පත් කැඳවමින් තිබේ. මේ සඳහා සහකාර කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපතිවරයාත් අයදුම්පත් යොමුකර ඇති බව ආරංචි මාර්ග පවසයි. කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට සහ අතිරේක කම්කරු කොමසාරිස් ජනරාල් (දෙපාර්තමේන්තු ) දරණ දෙදෙනාගේ හිතවතුන් බොහෝ  පිරිසක් මෙම සහකාර කම්කරු කොමසාරිස් තනතුරට උසස් කිරීමට නියමිතව තිබෙන නිසා ඔවුන් විසින් දෙපාර්තමේන්තු කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති  හරහා ලිඛිත ඉල්ලීමක් ලබාගෙන තිබේ. එම ඉල්ලීම නම් මෙම තරඟ විභාගයෙන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනයේ සඳහන්  තනතුරු 5ට වඩා සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනට ප්‍රථම සියලුම තනතුරු පුරප්පාඩු පුරවන ලෙසය.

තමන්ගේ නිලධාරීන්ට කම්කරු කොමසාරිස් ජනරාල්ගේ අභිමතය පරිදි පීඩාවට පත්කරමින්, රැකියා ස්ථානවලින් කඩිමුඩියේ මාරු කිරීම් ආදියට වචනයක් හෝ කතා නොකරමින් සිටින  ” කම්කරු කොමසාරිස්වරුන්ගේ සංගමයේ ” සභාපති,  සහකාර කොමසාරිස් වරුන් බඳවා ගැනීමේ තරඟ විභාගය ගැන පමණක් සංවේදී වෙමින් දෙපාර්තමේන්තු පරිපාලන හිතවාදීන්ට පත්වීම් ලබාදීමට දරණ උත්සාහයට පක්ෂව ලිඛිතව කෘතඥතාව පළකර ඇති බව කම්කරු නිලධාරීන්ගේ සංගමය පවසයි.

කම්කරු කොමසාරිස්වරුන්ගේ සංගමයේ මෙම ක්‍රියා පිළිවෙත පිළිකුලෙන් යුතුව හෙලාදකින බව කම්කරු නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම ක්‍රියාදාමයෙන් මේ වසරේ මෙන්ම ලබන වසරේ ‘සහකාර කම්කරු කොමසාරිස්වරුන් ලෙස”  සුදුසුකම් ලැබීමට නියමිත කම්කරු නිලධාරීන්ට දැඩි අසාධාරණයක් වන බව කියැවෙයි.

කොමසාරිස් ජනරාල්වරයා සහ  අතිරේක කම්කරු කොමසාරිස් ජනරාල් (දෙපාර්තමේන්තු) යන දෙදෙනා තමා මේ වන විට අත්තනෝමතිකව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් කම්කරු නිලධාරීන් විසින් පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව සඳහන්ය.

පී. ඩබ්. මුතුකුඩආරච්චි

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435