කම්කරු නීති සංශෝධන රහස් පිටවෙයි!

කාලානුරූපව කම්කරු නීති වෙනස්විය යුතු බවට දිගින් දිගටම කියා සිටි වත්මන් ආණ්ඩුව විසින් කම්කරු අයිතිවාසිකම් වලට දැඩි සේ තර්ජන එල්ලවන අයුරින් නව පනත් කෙටුම්පතක් දැනටමත් සකස් කර ඇති බවත්, එය පිළිකුලෙන් යුතුව හෙලාදකින බවත් රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අයි.සී ගමගේ මහතා පවසයි.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ අපව දැනුවත් කරන ලෙසත්, ඊට අදාළව සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසත් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීම් කර ඇති නමුත්, මෙතෙක් ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත්, ඉතාමත් නින්දිත ආකාරයෙන් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා මේ අවස්ථාවේදී රටේ කම්කරු ජනයාගේ ආරක්ෂකයා ලෙස ඔවුන්ගේ පාර්ශවය ගැනීම වෙනුවට ආණ්වේ වුවමනාවන් ඉටුකරමින සිටින ආකාරයක් දැකිය හැකි බවත් ගමගේ මහතා අවධාරණය කළේය.

පසුගියදා ඉදිරිපත් කරන ලද අයවැයේදීද මුදල් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා යම් පමණකට ඉඟි කළ දෙයක් වූයේ ඉදිරියේදී අනිවාර්යයෙන්ම කම්කරු නීති සංශෝධනය විය යුතු බවයි. පවත්නා නීතිවල පවත්නා සංකීර්ණතාව නිසා හාම්පුතුන්ට මෙන්ම කම්කරුවන්ටද අවාසිදායක දේ බොහෝ සිදුවන බව ඔහුගේ අදහස විය. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ශ්‍රමය තවදුරටත් ශ්‍රම වෙළෙඳපළට ලබාගැනීමට පවත්නා නීතිමය කරුණු බාධාවක්ව පවතින බව ඔහු සඳහන් කළේය. සැබවින්ම පවත්නා කම්කරු නීති ‘සංකීර්ණ‘ වී ඇත්ද? එය පිළිගත හැකි කරුණක්ද?

‘‘වත්මන් රජය බලයට පත්වු දා සිටම කම්කරු නීති සංකීර්ණ වී තිබෙන බවත්, ඒවා වඩාත් ලිහිල්- සරල, සෑම සේවකයෙකුටම එක හා සමාන ලෙනස ප්‍රතිලාභ ලැබිය හැකි පරිදි ඒවා සංශෝධනය විය යුතු බව දිගින් දිගටම කියා සිටියා. එහෙත් මෙහි සංකීර්ණභාවය හෝ එකිනෙක ක්ෂේත්‍රයන්හි එකිනෙකාට වෙන වෙනම නීති ක්‍රියත්මක කිරීම ගැන ආණ්ඩුවටවත්, කම්කරු කොමසාරිස් ජනරාල්වරයාටවත්, ඉහළ නිලධාරීන්ටවත් වඩා මේ ගැන හොඳින්ම දන්නේ කම්කරු නිලධාරීන් හැටියට අපි. මේ නීතිය සමග අපි අවුරුදු ගාණක් කටයුතු කරමින් ඉන්නවා. පඩිපාලක සභා ක්‍රියාත්මකවී අවුරුදු 50-60ක කාලයක් ගතවෙලා. මෙම නීති මතකයේ තබා ගෙන ක්‍රියා කරනු ලැබුවේ කම්කරු නිලධාරීන්. මෙම නීති සංකීර්ණ වෙනවානම් ඒවා ක්‍රියාත්මක කිරීමේදී ගැටළු මතුවෙනවානම් පළමුවෙන්ම ඒවා සංශෝධනය කළ යුතු බවට ඉල්ලීම ඉදිරිපත් විය යුත්තේ කම්කරු නිලධාරීන්ගෙන්මයි. එහෙත් එවැන්නක් ඉදිරිපත් වූයේ නෑ. රටේ සේවා ස්ථාන, ආර්ථික ක්‍රියාවලිය තුළ ශ්‍රමයේ විචල්‍ය තාවය සංකීර්ණ වෙනවා. ඒත් අපි අත්‍යවශ්‍ය නීතිමය විධිවිධාන මතකයේ තබාගෙන වගේම එසේ මතකයේ තබාගත නොහැකි කොටස් ලිඛිත මුද්‍රිත කොටස් ලෙස පවත්වාගනිමින් රාජකාරිය කරමින් ඉන්නවා. අපට නැති ගැටළුවක් පාලකයින්ට මතුවෙන්නේ ඇයි“ ගමගේ මහතා ප්‍රශ්න කරයි.

කාන්තා ශ්‍රමය තවදුරටත් ශ්‍රම වෙළෙඳපළට ලබා ගැනීමට දැනට පවත්නා නීතිවල බාධාවක් පවතින්නේද? ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? මේ සූදානම සැබවින්ම කුමකටද? ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ මහතා ඒ පිළිබඳ කියා සිටියේ මෙවැන්නකි.

“ කාන්තාවන්ගේ ශ්‍රමය වෙළෙඳ පළට ලබා ගැනීමට ඇතැම් කම්කරු නීති බාධාවක් බැවින් ඊට ගැලපෙන ලෙස සංශෝධනය කිරීමට යෝජනා කරනවා. ඒක විහිළුවක්. මොකද කාන්තා ශ්‍රමිකයින්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නය වැඩ කිරීමට කාලය යොදවා ගැනීම නෙවෙයි, සමාජ සුරක්ෂිතභාවය. දැනටත් කාන්තාවන් වැඩපළ තුළ, කාර්යාල තුළ, පොදු ප්‍රවාහනය තුළ ලිංගික අඬතෙට්ටම් වලට ගොදුරු වෙනවා. පීඩාවට පත්වෙනවා. මෙහෙව් තත්ත්වයක් තුළ ඇයට රාත්‍රී වැඩමුර සඳහා හාම්පුතාගේ අවශ්‍යතාව අනුව ඕනෑම මොහොතක යෙදවීමට හැකිවීම කෙතරම් අවුල් සහගත තත්ත්වයක්ද?“ සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.

කම්කරු නීති සංශෝධනය කිරීමට අදාළව රජය නිල වශයෙන් පනත් කෙටුම්පතක් ප්‍රකාශයට පත් කර නැත. එසේ වුවද, රාජ්‍ය නොවන සංවිධානයක් හරහා නිර්මාණය කරන ලද එවන් කෙටුම්පතක් රහසේ එළියට පැමිණ තිබේ. Employment Service and Contracting Rights Act නමින් එය හඳුන්වා ඇත. කාන්තා ශ්‍රමිකයන්ව රාත්‍රී සේවයේ යෙදවීම හාම්පුතාග් අභිමතය පරිදි සේවයේ යෙදවිය හැකි ලෙස එහි යෝජනා වී ඇත. රාත්‍රී 8.00 සිට පසු දින පෙ.ව 6.00 දක්වා රාත්‍රී කාලයේ ඕනෑම කාල හෝරාවක රාත්‍රී සේවයේ යෙදවිය හැකි පරිදි මෙන්ම සේවය අවසන් කළ වහාම බස් ගාස්තුව දී වැඩබිමෙන් පිටත් කළ හැකි පරිදි එමගින් ඉඩකඩ ලබාදී ඇති බව සඳහන්ය. මීට අමතරව මෙම නව පනත හරහා පැය 8ක සේවා කාලය පැය 12ක් දක්වා දිගු කර ඇති අතර පාරිතෝෂික දීමනාව අහෝසි කිරීමට යෝජනා කර තිබේ. එමෙන්ම 15%ක අවම අවශ්‍යතාව 50%ක දක්වා ඉහළ නංවා තිබේ. සේවකයෙකුගේ සේවය අවසන් කිරීමට අදාළ සම්පූර්ණ බලතල හාම්පුතාට ලබාදී තිබේ. සේවකයින්ගේ සති නිවාඩු, ප්‍රසිද්ධ නිවාඩු, දීමනා ආදී බොහෝ හිමිකම් හා වරප්‍රසාද හාම්පුතාගේ අභිමතයට යටත් කර තිබීම ඉතාම කනගාටුදායකය. මේ පිළිබඳව කම්කරු නිලධාරීන්ගේ සංගමය දැඩි තීන්දුවක් ගැනීමට තීරණය කර තිබේ.

“ගෝලීය ආර්ථික ක්‍රියාවලිය හමුවේ උපායමාර්ගික ඇමතිවරු හරහා රටේ කම්කරු ජනයාගේ ශ්‍රමය ආයෝජකයින්ට හාම්පුතුන්ට අවශ්‍ය ආකාරයට සූරාකන්නට මෙයින් ඉඩකඩ ලබාදී තියෙනවා. දැනටමත් මෙම නව පනත් කෙටුපත බලාත්මක කිරීමට හා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණනින් රජයේ නිලධාරීන්ට, දේශපාලනඥයින්ට, හාම්පුතුන්ට, මුදල් ඩොලර්වලින් හුවමාරුවෙමින් තියෙනවා. කෙටුපතේ මූලික කටයුතු අවසන්. එහෙත් එක් අතකින් කොමසාරිස් ජනරාල්වරයා, දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මර්දනය කරන අතරේ රටේ කම්කරු ජනයා මර්දනය කරන්නට නීති හැදෙන විට නිහඬව සිටිනවා. තව පැත්තකින් සේවක අර්ථසාධක අරමුදල් කොටස් වෙළෙඳපළේ ආයෝජනය කිරීමට ඉඩ ලබාදෙනවා. ඒ වගේම ලක්ෂ 40කට ආසන්න පුද්ගිලික/රාජජ්‍ය, අර්ධ රාජ්‍ය සේවක ප්‍රජාව නව පනත් හරහා ඔවුන්ගේ ශ්‍රමය පැරණි වහල් ක්‍රමය දක්වා ගෙන යමින් තිබෙනවා.“ කම්කරු නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වාදෙයි.

දීර්ඝ වශයෙන් පිටු 36ක් පුරා සකස් කර ඇති මෙම නව කෙටුම්පතෙන් කම්කරු අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම්, කම්කරුවා වෙනුවට හාම්පුතුන් හා ආයෝජකයින් දිරි ගැන්වීම් සිදුකර ඇති බව පෙනෙන්නට තිබේ.

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් සේවක අර්ථ සාධක අරමුදල, ‘ විශ්‍රාම වැටුපක්“ බවට පත් කිරීමට ක්‍රියා කිරීමේදී සිදුවූ හානියට වඩා වැඩි හානියක් මෙම නව පනත මගින් සිදුකිරීමට නියමිත බව වෘත්තීය සමිති ක්‍රියාධරයින්ගේ මතයයි. ඉදින් කළ හැක්කේ කුමක්ද?

“ රටේ ශ්‍රම බලකාය, වෘත්තිය සමිති, වෘත්තීය සමිති සමග අනුගත නොවුණු පිරිස්, සිවිල් ක්‍රියාකාරීන් සියල්ල එකට ගොනු කරමින් මෙම පනතට එරෙහිව සංවිධානය කිරීමටත්, ඊට නායකත්වය දීමටත් අපි සූදානම්. කම්කරු නිලධාරීන්ගේ සංගමය දැනටමත් ඊට ක්‍රියා කරමින් සිටිනවා. අපගේ නීතිඥයින් හරහා මේවන විට මෙම පනතේ සියලු කරුණු ගැඹුරින් අධ්‍යයනය කරමින් සිටිනවා. සමාලෝචනය කරමින් සිටිනවා.“ ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පී.ඩබ්ලිව් මුතුකුඩආරච්චි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435