කලාපයේ විලාපය කොහොකුට කියමු!

ඇය නමින් අයේෂා. ගම සඳලංකාව. වයස 27 යි. තවම අවිවාහකයි. අපිව හොයාගෙන කොළඹට ආවෙ දුක් ගැනවිල්ලක් කියාගෙන උදව්වක් ගන්න. වැඩ රාශියක් තිබුණත් ඇගේ මුහුණේ දුක්ඛිත තත්වය දැක්කහම ඇයට සවන් දිය යුතුයි සිතුණා. ඇය පටන් ගත්තා. අපි ඇගේ කථාව මෙසේ අසමු.

මම වැඩ කරන්නෙ කටුනායක වෙළඳ කලාපෙ, කොහොකු ලංකා (KOHOKU LANKA) සමාගමේ. දැනට අවුරුදු 5 ක් විතර වෙනව වැඩට ඇවිල්ල. මම එනකොට ආවෙ FDK Lanka කියන කොම්පැණියට. 2014 අවුරුද්දෙදි ඒ කොම්පැණිය දැන් තියෙන කොහොකු සමාගමට වික්කා සේවකයොත් එක්ක. එතකොට සේවකයො 645 ක් විතර වැඩ කරමින් සිටියා. මේක විකුණල තිබුණත් FDK සමාගම අපිට ඒ බවක් අඟවලා තිබුණෙ නැහැ. ටික දවසක් යනකොට අපිට වටින් ගොඩින් ආරංචි වුණා ෆැක්ටරිය විකුණල කියල . මොකද අළුත් කොම්පැණියටත්  ඕනවෙලා තිබුණ නම වෙනස් කරන්න. අපේ හිටපු සේවකයො කලබල වෙලා හොයන්න පටන් ගත්තහම කතාව එලි වුණා. අපේ කට්ටිය ඇහුව අපිට මොකද වෙන්නෙ, අපිට වන්දි දෙනවද කියල.

එතකොට තමයි ඒ ගොල්ලන් පොරොන්දු වුණේ අපිට වන්දි ගෙවන්න. ඒ අනුව අපේ හිටපු අයට වන්දි ලැබුණා. මම අවුරුදු 5 ක් හිටියෙ නැති නිසා මට ටර්එමසඑහ ලැබුණෙ නැහැ. අපේ කොම්පැණියෙ සේවක සභාවක් තිබුණත් ඒක ක‍්‍රියාත්මකවෙන්නේ නැහැ.ඒක නිසා අපේ ප‍්‍රශ්න කියන්න කෙනෙක් නැහැ.  අපේ කොම්පැණියෙ හදන්නෙ මුහුද යටින් අදින ටෙලිෆෝන් කේබල්වලට සවි කරන කෑල්ලක්් සහ ටීවී වලට හයි කරන කෑල්ලක්. අපිට උදේ 6 ඉඳල හවස 6 වෙනකම් වැඩ කරන්න වෙලා තියෙනව. පැය 8 ක් වැඩ. ඉතිරි පැය 4 අනිවාර්යෙන්ම  ඕටී කරන්න  ඕන. මුළු දවසම හිටගෙන තමයි වැඩ කරන්නෙ. ඉස්සර නම් අපි ඉඳගෙන වැඩ කළා. නමුත් අපි ටාගට් කවර් කරන්නෙ නෑ කියල අපිට කිව්ව හිටගෙන වැඩ කරන්න කියල. අපි ඉඳගෙන වැඩ කරන කොට අපිට නින්ද යනවළු. එතකොට අපේ නිෂ්පාදනේ අඩු වෙනවළු. ඉතින් දැන් ඔක්කොම හිටගෙන තමයි වැඩ කරන්නෙ. ඒ විතරක් නෙමෙයි. ඒ උපකරණ හදන්න තියෙන ආයුධ, කෑලි් ඔක්කොම අත ලඟම වගෙ තියෙන්නෙ. ඒ නිසා අපිට අතක් පයක් දිගාරින්නවත්  ඕන වෙන්නෙ නෑ. හරියට රොබෝවරු වගෙ තමයි වැඩ කරන්නෙ. ටිකක් අත පය එහාට මෙහාට කරන්න පුළුවන් නම් ටිකක් සහනයක් ලැබෙනවනෙ. ඒකටවත් ඉඩක් නැහැ.

අපි මහත්වරුන්ට කිව්ව හිටගෙන වැඩ කරන කොට අපිට අමාරුයි. ඉඳගෙන වැඩ කරන්න දෙන්න කියල. ඒත් ඉඩ දෙන්නෙ නැහැ. දැන් අපේ සේවකයො හුඟ දෙනෙකුට කොන්දෙ අමාරුව, නහර ගැට ගැසීම, ඔළුවෙ කැක්කුම වගෙ ලෙඩ රෝග ගොඩක් තියෙනව. එක ගෑණු ලමයෙකුට ලොකුවට කොන්දෙ අමාරුව හැදිල ඉස්පිරිතාලෙ හිටිය. දොස්තරවරු කිවිවෙ කොඳු ඇට පේලියෙ ඇට දෙකක් ඈත් වෙලා කියල. එයාට වැඩ කරන්න එපා කියල දොස්තරවරු අවවාද කළා. ඒත් මාස තුන හතරක් ගෙදර ඉන්න කොට ජීවත් වෙන්න විධියක් නැති හින්ද එයා ආපහු වැඩට ආවට හිටගෙන වැඩ කරන්න බැහැ, පුටුවක ඉඳගෙන වැඩ කරන්න දෙන්න කියල මෙඩිකල් එකකුත් අරගෙන ආපහු වැඩට ආව. ඒත් කොච්චර කල් එහෙම වැඩ කරන්න  ඕනැද කියල දාල නැති නිසා ආපහු ගිහින් වෙන මෙඩිකල් එකක් ගේන්න කිව්ව. අන්තිමේදි වෙන මෙඩිකල් එකක් දීල තමයි ආපහු වැඩට ආවෙ. ඒක නිසා එයාට දැන් පුටුවක් දීල තියෙනව. ඒ වගෙ කිහිප දෙනෙක්ම මෙඩිකල් අරගෙන ඇවිල්ල පුටුවල වාඩිවෙලා වැඩ කරනව.

අපි ආරක්‍ෂක කබායක් දාගෙන තමයි වැඩ කරන්නෙ. මොකද අපි වැඩ කරන කොට ලේසර්වලට, ඹඪ වලට (පාර ජම්බූල කිරණවලට) අහු වෙන නිසා. ඒ වුනාට ඒ කෝට් එකෙන් සම්පූර්ණයෙන් කවර් වෙන්නෙ නැහැ. ඒ නිසා ලෙඩ ගොඩක් තියෙනව. එහෙට  වැඩට ගන්න කොට මෙඩිකල් චෙකප් එකක් කරල තමයි ගන්නෙ. ලෙඩක් තියෙනව නම් ගන්නෙ නැහැ. ඇස් පෙනීම අඩු නම් ගන්නෙ නැහැ. ඒ වුනාට දැන් වැඩ කරන අයගෙන් භාගයක් විතර කණ්ණාඩි දාගෙන තමයි වැඩ කරන්නෙ. දරුණුම ප‍්‍රශ්ණෙ තමයි බැඳපු අයට ලමයි හම්බ නොවීමේ අවදානම. සමහරුන්ගෙ දරු කලල ටික දවසකින් ඇබෝෂන් වෙනව. මේවට මොනව හරි කරල දෙන්න කියන්න තමයි ආවෙ.

ලේබර් ඩිපාට්මන්ට් එකට කිව්වෙ නැද්ද? මම අතුරු ප‍්‍රශ්නයක් ඇහැව්ව.

ලේබර් ඩිපාට්මන්ට් එකෙන් ආවට ඉස්සෙල්ල කොම්පැණියට කියල එන්නෙ. ඒ ගොල්ලන් ඇවිල්ල මහත්වරුත් එක්ක කථා කරල යනව මිසක් අපිත් එක්ක කථා කරන්නෙ නැහැ. අයෙෂා උත්තර දුන්න.

මේ කතන්දරේ අහපු මට මේක ලංකාවද කියල හිතුණ. මේ කථාව අහගෙන හිටපු අපේ ඔෆීස් එකේ වැඩ කරන පුෂ්පගෙ ඇස්වලට කඳුළුත් ආව. කලාපෙ තියෙන අනිත් ෆැක්ටරිවලත් මේ වගෙ ප‍්‍රශ්න කොච්චර ඇත්ද? කලාපෙ බහුතරයක් ඉන්නෙ ගම්වල ඉන්න දුප්පත් පවුල්වල දරුවො. මේ ෆැක්ටරිවල වෙන දේවල් ඒ අයවත් දෙමව්පියොවත් හරියට දන්නේ නැහැ. කලාපෙ තියෙන දැඩි මර්ධනකාරී තත්වය නිසා මේ වගෙ තොරතුරු එලියට එන්නෙත් නැහැ. අයෙෂත් අපේ ඔෆීස් එකට ඇවිල්ල තියෙන්නෙ යාළුවන්ටත් හොරෙන්.  මේ ආයතනවල වෘත්තීය සමිති හදන්න දෙන්නෙ නැත්තෙ මේ වගෙ සාපරාධි වැඩ හෙලිවෙන නිසා. ඉතින් අපි අයේෂට කිව්වෙ අපි මේ ගැන ලෝකෙට කියන්නම් කියල. ආයෙත් දවසක එන බව කියමින් අයේෂ යන්න ගියා.

ඉතින් අපට මේ ගැන මොනව හරි කරන්න පුළුවන්. පලමුවෙන් අපි මේ ගැන ලොවට කියමු. මේ ජපන් සමාගම් ඩොලර් බිලියනවලින් ලාභ හොයන සමාගම්. ජපානෙ වගෙ රටවල මේ වගෙ වැඩ ගන්න බැරි නිසා ඒව තුන්වැනි ලෝකයෙ රටවල ඉන්න දුප්පත් තරුණ පරම්පරාවට ලව්ව කරව ගන්නව. ප‍්‍රධානම දේ තමයි ලංකාවේ මේ වගෙ සමාගම්වල මේ වගෙ අපරාධ කරවන්නෙ මේ සමාගම්වල ඉහල නිලතලවල වැජඹෙන ලාංකිකයොමයි. මේ සමාගමෙත් එහෙමමයි. මේ සමාගමෙත් ඉහල නිලතල දරණ කිහිප දෙනෙක්ම ලංකාවෙ කාන්තාවො.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435