කසල නැති “තේ කහට” ඇසට සහ සිරසට

“උඩරට කඳුකර සිරියා පරදන

රූබර මුහුණ ඔබේ

රතැඟිලි දිගුකර මදහස නංවන

තේ දළු නෙළන ළඳේ…”

ධ්වනිවාදයෙන් මේ ගීතය ගැන මොකද කියන්නේ? මෙහෙම අහන්නේ මම නෙවෙයි අද වෙනවිට ජීවිතයට සමුදී ඇති මහැදුරු සුචරිත ගම්ලතුන් විසිනුයි. ඒ 1991.12. 02 දින ඩීන්ස් පාරේ මාධ්‍ය කේන්ද්‍රයේ දී ගම්ලතුන් විසින් පැවත්වූ “කලාව හා ජීවිතය” (එය කෘතියක් ලෙස සමාජගත වී තිබේ.) නමින් කොළඹ කවය සංවිධානය කළ දේශන මාලාවේ 4 වෙනි දේශනයේ දී බෙදාහැරිය නිබන්ධනයේ 7වැනි පිටුවේ ඔහු මෙසේ පවසා තිබෙනවා.

“මේ තේ දළු නෙළන ළඳුන් දැකලා තියෙනවද කවුරු හරි? ඔවුනගේ මුහුණු රූබරද? ඇඟිලි රතැඟිලිද? මදහස නංවනවද? ඊයෙ පෙරේදා මට හම්බ වුණා හැටන්වල බැංකුවක වැඩ කරන මිත්‍රයෙක්. එයා කිව්ව ලෙච්චමී කියලා වතු කම්කරු ස්ත්‍රියකට අර්ථ සාධක අරමුදල අනුමත වෙලා ආපුවම ඒක ගන්න ඒ ගෑණු කෙනා ආවලු. දෙමළෙන් ඇහව්වලු ඇඟිලි අත්සනද තියන්නෙ. අත්සන් කරන්න පුළුවන්ද කියලා. එයා කිව්වලු හොඳයි අත්සන් කරන්න පුළුවන් කියල. පෑන ඇඟිලිවලින් නෙවෙයි අත්ලෙන්ලු ඇල්ලුවේ. බැලුවම මොකද කියල, ඇඟිලි කැපිලා තේ දළු නෙළලා. ඒකයි තත්ත්වය. ඒවා ධ්වනිවාදයට අහුවෙන්නෙ නෑ නේ.?……”

මට මේ පැරණි නිබන්ධන ෆයිලය නැවත මතකයට ආවෙ 2020. 9. 27 දා කොළඹ හතේ ලයනල් වෙන්ඩ්ට් ආට් ගැලරියේ ධවල පැහැ බිත්ති මත මගේ ඇස හා හිස ඇලවූ “තේ කහට” ඡායාරූප ප්‍රදර්ශනයේ දී යි.

පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ “දෙවියන්ගේ මිනිසුන්” ආඛ්‍යාන කාව්‍යයත් ඉන්දීය සම්භවයක් ඇති දෙමළ වතුකම්රුවන් අතරින් බිහිවුණු කවියන්ගේ කවි ඔහු විසින් සිංහලට නැගූ “පිබිදෙන පැය” සහ “ඉන්දු සහ ලංකා” කාව්‍ය සංග්‍රහවල විෂුවල් මේ ඡායාරූප ගොමුවේ දී දිස්විය. නිදන කඳු රටක ඇස සෙලවෙන පිබිදෙන පැය ළංවෙන වචන නොමැති මේ කවි රූප කදිමය. එක් ඡායාරූපයක කැප්ෂනයේ භාෂා ත්‍රිත්වයෙන් ම මෙලෙස සටහන් වී තිබුණි. එනම් “මේ සරලකම නොවේ නැතිකමයි.” සේයා ගොමුවේ ම සමුදයාර්ථය එයම නොවේද?

අජිත් සෙනෙවිරත්නත්, ලහිරු කිතලගමත් ඇතුළු ගුරු මාර්ගෝපදේශකයන් වගාකළ නිර්මාණාත්මක ශ්‍රමයේ සරුසාර අස්වැන්නක සුවඳ ලයනල් වෙන්ඩ්ට් ආට් ගැලරියේ දී දසත පැතිරුණි. තේ කහටින් පින්තාරු වූ සේයාරූවලින් බොහොමයක ම ආධුනික බවක් නොතිබූ අතර විනිවිදින ඇස් තිබුණි. ස්ලෝගන්වල සටන් කරන අකුරු වෙනුවට සටන් කරන පාට තවරා තිබුණි. නේක හැඩතල තිබුණි. දෘශ්‍ය අරගලයකට ආට් එක කෙසේ විය යුතුද යන සේයාත්මක කියවීම අපූරුය. නිර්මාපකයිනි සංවිධායකයිනි ගම් දනව් පුරා මේ කලාත්මක දේශපාලනික සේයාරූ අලවන්න

සරත්චන්ද්‍ර වල්පොල

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435