කළමනාකරණ සේවා නිලධාරීන් රජයට අනතුරු අඟවයි

කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ගැටළු වලට මෙතෙක් විසදුම් නොලැබීම සම්බන්ධව සාකච්ඡාවක් ලබා ගැනීම හා ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබද කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර වෙත දැනුම් දී ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

වර්තමාන රජය බලයට පත්වී මේ වන විට වසර හතර හමාරකට වැඩි කාලයක් ගත වී ඇත. 2015 වසරේ සිට මේ දක්වා කළමනාකරණ සේවාවේ ගැටළු පිළිබඳ ඔබතුමා සමඟ හත් වතාවක් සාකච්ඡා කර ඇත. එමෙන්ම 2019 පෙබරවාරි 27 හා 2019 සැප්තැම්බර් 23 යන දිනවල දැවැන්ත වැඩවැරුම් දෙකක් ක්‍රියාත්මක කර ඇත. එහෙත් කිසි අයුරකින් ඔබ අප සේවාවේ ගැටළු විසදීමට කටයුතු කර නැති අතර බොරු පොරොන්දු වලට පමණක් ඔබගේ කථා සීමා වී ඇති බව කණගාටුවෙන් වුවද මතක් කර දිය යුතුව ඇත.

2019 සැප්තැම්බර් 23 වැඩ වර්ජනයෙන් පසු අප සේවාවේ වෘත්තීය සමිති කැදවා පැය 3 කට අධික කාලයක් රස්තියාදු කර ඔබ එදා පොරොන්දු වූයේ විධායක නිලධාරින්ට ගෙවීමට පොරොන්දු රු.15,000/= දීමනාව සම්බන්ධව අප සේවාවටද සාධාරණයක් ඉටු කරන බවයි. එහෙත් එම කියමනද ගඟට කැපූ ඉනිමෙන් නිශ්ඵල වචන මාලාවක් පමණක් බවට පත්වී ඇත.

රාජ්‍ය සේවයේ විධායක නිලධාරින්ට රු.50,000/= හෝ රු.15,000/= ක දීමනාවක් ගෙවීම සම්බන්ධව අප සේවාවේ වෘත්තීය සමිතිවල විරෝධතාවක් නොමැති අතර එම ගෙවීම් වලට අනුපාතිකව අනෙකුත් නිලධාරීන්ට ද එම දීමනාව හිමිවිය යුතු බව අපගේ යෝජනාවයි. කෙසේ නමුත් අප සේවාවේ ඉල්ලීම් පසෙකලා ඔබතුමා විධායක නිලධාරින්ට පමණක් දීමනා ලබා ගැනීමට පෙරමුණ ගැනීම සම්බන්ධව අපේ බලවත් නොසතුට ප්‍රකාශ කරමු.

එමෙන්ම කළමනාකරණ සේවා නිලධාරීන් රජයේ කාර්යාලවල ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී යන තනතුරු දැරීම අප සේවාවේ අයිතියකි. එහෙත් සංවර්ධන නිලධාරින් ඊට අවනත නොවීම කාර්යාල පද්ධතිය තුල විශාල ගැටළුවක් නිර්මානය කරන්නකි. එනිසා අප සේවාවේ වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටියේ අප සේවාවේ II පන්තියේ නිලධාරින් MN 4 වැටුප් පියවරේ තබන ලෙසයි. එහෙත් ඔබතුමා මේ සියළු කාරණාවලට නිහඩ පිළිවෙතක් දරණ අතර ප්‍රශ්නයෙන් මගහැර යෑමට කුමක් හෝ පැවසීම සිදු කරයි.

තවද ගුරු හා විදුහල්පති සේවය, තැපැල් සේවය සඳහා සහන සැලසීමට කටයුතු කර ඇති පසුබිමක අප සේවාව නොසලකා හැර කටයුතු කිරීම තුල අප සේවාවේ නිලධාරින් දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති නිසා අන්තර්කාලීන දීමනාවක් ලබා දීමට හෝ කටයුතු කරන ලෙස ඉල්ලන අතර ඉදිරි සෑම බදාදා දිනකම සිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට කෑම පැයේ උද්ඝෝෂණයක නියලීමට හා ඉදිරියේ දී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට සූදානම්ව සිටින හෙයින් මේ පිළිබද සාකච්ඡා කිරීමට අවස්ථාවක් කඩිනමින් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435