කාන්තාවගේ ශක්තිය ගැන ඔබ දන්නවාද ?

2018 පෙබරවාරි 10 වන දින පැවති පළාත් පාලන මැතිවරණය දේශපාලනයේ නියැලෙන කාන්තාවන්ට සුවිශේෂී මැතිවරණයක් විය .

මක්නිසාද වෙතොත් 52% කාන්තාවන් වෙසෙන රටක 2% කට අඩු ප්‍රමාණයක් ඒ වන විට පළාත් පාලන ආයතන නියෝජනය වි තිබීමයි. සමානතාවය, සමතැන නොමැති වුවත් නිසි තැන සහ තීන්දු තීරණ ගන්නා ආයතන වලට කාන්තාවන් සිටි. මේ වැදගත් කම සහ ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් කාන්තාවන් වෙසෙන රටක් වන බැවින් කලෙක සිට විවිධ කාන්තා සංවිධාන විශාල අරගල කරමින් දිනාගත් 25% කාන්තා කොටාවෙන්, මේ වන විට 1919 පමණ මහජන නියෝජිතවරියන් පත්වී ඇත. මෙය තරඟ කරමින් 535 ලෙසද, සමානුපාතික ක්‍රමය හරහා 1384 ලෙසද තේරී විය. මෙලෙසට 23% ප්‍රතිශතයක් කාන්තාවන් පළාත් පාලන ආයතන නියෝජනය වීම සතුටට කරුණකි. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමාට, අගමැතිතුමා ප්‍රමුඛ රජයට සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා, ඇතුළු මේ වෙනුවෙන් සටන් කළ සැම සංවිධාන සහ සැම පුද්ගලයකුටම අපගේ විශේෂ ගෞරවය ස්තුතිය පුද කර සිටින්නෙමු.
එහෙත් සමහර අයට මෙය තවමත් නොදිරූ කටයුත්තකි. පත්වූ මන්ත්‍රීවරියන්ට අපහාස කරමින් අශෝබන ක්‍රියා කරයි. මෙවැනි පුද්ගලයන්ට පසුගිය මැතිවරණ ක්‍රමය ගැන කිසිදු අවබෝධයක් ද නොමැත. පසුගිය මැතිවරණ ක්‍රමය තුළ කාන්තා නියෝජනය අන්තර්ග්‍රහණය වි ඇති බව සමහරු තවමත් නොදනිති. එය යම් පක්ෂයක් ලබා ගත් මුළු චන්ද ප්‍රමාණයේ තීරක අගයෙන්, මන්ත්‍රී ආසන වෙනුවෙන් බව ද ඔවුන් නොදනි.

එම නිසා ඔවුන් මෙයට පින් මන්ත්‍රී යයි අනුවර්තන නාමයක් පාඨ බඳි. ඇත්තෙන්ම කාන්තාවන් පින්වන්ත පිරිසකි. උත්තරීතර මවු පදවියෙන් පිදුම් ලබන ඇය සැබෑම වාසනාවන්තියකි. පිරිමින්ට දැරිය නොහැකි ඒ දරාගැනීමට හිමිකම් කියන්නේ, වෙර යොදන්නේ වෙන කිසිවකු නොව කාන්තාවයි. ඉතින් ඇයට නොහැකි සියල්ල දරා බින් තබූරු වැල මෙන් (පයට පෑගුණොත් කැඩෙන නමුත් තදින් අඹරා ගත්තොත් ඕනෑම ශක්තිමත් වැඩකට යොදා ගත හැකියාව ඇති), දිරිය ගනිමින් රටට, ගමට සේවයක් කිරීමට සැබැවින්ම විශේෂ හැකියාවක් ඇයට ඇත. පිළිවෙල, හැකියාව, අරපිරිමැස්ම, ස්ථානෝචිත ප්‍රඥාව, සමාජ සේවයට කැපවුණු දෑත් සහ දැනුමින් පිරිපුන් කාන්තාවන් පිරිසක් සිටීම අපිට මහත් ගෞරවයකි.

ලෝකයේ ප්‍රථම ජනාධිපතිනිය, ලෝකයේ ප්‍රථම අගමැතිනිය, ලොව විපක්ෂ විපක්ෂ නායකවරිය බිහි කළ රට ලෙසට ලක් මෑණියන්ට අභිමානයක් ගෙනදුන්නේ මේ දෙරණේ අභීත කාන්තාවන් වීම සුවිශේෂී දේශපාලන සිහිවටනයකි. එසේ තිබියදීත් කාන්තාවන් හෑල්ලුවට ලක්කලහොත් ඒ පිරිමින්ට අර්ථ කථන සැපයීමෙන් පලක් නොමැත. ඇත්තෙන්ම සරලව ම කිව යුත්තේ කාන්තාවන් ශක්තිමත් පිරිසක් බවත්, ඕනෑම අභියෝගයට මුහුණ දීමට හැකි නොසැලෙන ශක්තියක් ඇයට ඇති බවත්, ඇය කිසිවකුටත් නොදෙවෙනි නොවන අතර දුර්වල නොවන වග ද, සැමදෙනාම දැන ගත යුතුයි.

ශිරොමි ඉන්දිකා කුරේ, මොරටුව මහා නගර සභා මන්ත්‍රීනි .

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435