කාන්තාවන්ට කරන ලොකුම ගෞරවය

කුවේට්‌ රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස්‌ සිටියදී විවිධ හිරිහැරවලට ලක්‌වූ කාන්තාවෝ 52 දෙනකු පසුගියදා (28 දා) යළි දිවයිනට පැමිණියහ. මෙම කාන්තාවෝ සියලු දෙනා උතුරු – නැගෙනහිර පළාතේ පදිංචිකරුවෝය. කුවේට්‌ රටේදී තම සේවාදායකගේ විවිධ හිංසාවලට ලක්‌ වූ බැවින් නිවසින් පලාවිත් තානාපති කාර්යාලයට පැමිණ ජීවිතය බේරා ගත් බව ඔවුන් මාධ්‍යයට පවසා තිබිණි. මෙම පිරිසට ගමට යැමට ප්‍රවාහන දීමනාවක්‌ ලබා දී ඔවුන්ට බස්‌ නැවතුම්පොළ දක්‌වා යැමට ප්‍රවාහන පහසුකම් සැපයීමට ද විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය පියවර ගෙන තිබිණි. එය යහපත් ක්‍රියාවකි. නමුත් මෙම යහපත් ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන බැවින් එහි විශේෂ අමුත්තක්‌ නැත.

මැදපෙරදිග ගොස්‌ හිස්‌ අතින් පැමිණීමත්, අතපය නැතුව පැමිණීමත්, මේ සියල්ල තිබියදී ප්‍රාණය නිරුද්ධව පැමිණීමත් අද ඉතා සාමාන්‍ය ක්‍රියාවලියක්‌ බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ වටිනාම සම්පත වන ශ්‍රම සම්පත තවත් රටකින් සූරාකෑම පමණක්‌ නොව එම ශ්‍රමිකයා ද මරාගෙන කන තැනට පත් වීමේ ඛේදවාචකය ආරම්භ වී තිබේ. පසුගියදා යළි මවුබිමට පැමිණි මෙම කාන්තාවන් ද මුහුණ දී ඇත්තේ මරාන්තික ඉරණමකටය. ඔවුන් හාම්පුතාගේ නිවසින් පලා නොගියේ නම් ඔවුන්ට අත්වන ඉරණම අමුතුවෙන් විස්‌තර කළ යුතු නැත. මෙම සිදුවීමේ වැදගත්ම ක්‍රියාවලිය ඇරඹිය යුත්තේ මෙතැන් සිටය. එනම් මෙම කාන්තාවන්ට හිරිහැර කළ සේවාදායකයන් කවුද? ඔවුන් කළ හිරිහැර මොනවාද? යන්න සම්බන්aධයෙන් පුළුල් විමර්ශනයක්‌ ඇරඹීමය. මෙම කාන්තාවන් විදෙස්‌ සේවයට යොමු කළ රැකියා ඒජන්සිය පිළිබඳව පරීක්‌ෂණයක්‌ පැවැත්විය යුතුය. මන්ද මෙම ශ්‍රමිකයන් යහපත් සේවාදායකයකු වෙත භාර කිරීමේ වගකීම පැවරී ඇත්තේ රැකියා ඒජන්සියටය. එම වගකීම ඉටු කිරීම සඳහා අදාළ ඒජන්සිය විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය සමඟ ගිවිසුම්ගතව බැඳී තිබේ. එම නිසා මෙම වගකීමෙන් කිසිවකුට පලා යා නොහැක. නමුත් විදේශ ශ්‍රමිකයකුට මෙවැනි ඉරණමක්‌ අත්වූ විට මෙම ක්‍රියාවලිය නිසි ලෙස සිදු වෙනවාද? මේවා නිසි ලෙස සිදු වෙනවා නම් මැදපෙරදිග විදෙස්‌ ශ්‍රමිකයන්ට එල්ල වන හිsරිහැර දිනෙන් දින ඉහළ යමින් තිබෙන්නේ කෙසේද?

කුවේට්‌, බහරේන්, ඕමාන්, කටාර්, සෞදි අරාබිය, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් ගෘහ සේවකයන්ට සලකන ආකාරය ඉතා අමානුෂිකය. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දැඩි විරෝධය පළ කර සිටින්නේ අද ඊයේ සිට නොවේ. මෙම විරෝධතා නිසාම 2014 වසරේදී මැදපෙරදිග කලාපයේ කම්කරු ඇමැතිවරු තම රටවල විදෙස්‌ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණියහ. එම එකඟතාවන් වූයේ ගෘහ සේවිකාවන්ගේ හා සේවකයන්ගේ දිනක සේවා කාලය පැය 8 කට සීමා කිරීම, වාර්ෂික නිවාඩු ලබාදීම, සතියකට එක්‌ දිනයක්‌ නිවාඩු ලබාදීම, සේවා යෝජකයා නොහොත් හාම්පුතාගේ නිවසින් බැහැරව ජීවත් වීමට ඇති අයිතිය යන අයිතීන් මැදපෙරදිග නව කම්කරු ගිවිසුම් මගින් දැනටමත් තහවුරු කර තිබේ. නමුත් අර්බුදය වන්නේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් මෙම කම්කරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් කොතෙක්‌ දුරට දැනුවත් ද යන්නය. ඔවුන් තමන්ට හිමි අයිතිවාසිකම් දැනුවත් නොවේ නම් එහි වගකීම සම්පූර්ණයෙන්ම පැවරෙන්නේ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයටය. මන්ද රටට විදේශ විනිමය උපයා දෙන තම ශ්‍රමිකයන් දැනුමෙන් සන්නද්ධ කිරීම ඔවුන්ගේ වගකීමක්‌ බැවිනි. එපමණක්‌ නොව ඔවුන්ට හිමි අයිතිවාසිකම් දිනා ගැනීමට සටන් කිරීම පැවරී ඇත්තේ ද කාර්යාංශයටය. නමුත් මැදපෙරදිග ශ්‍රමිකයන් මුහුණ දෙන හිංසා සම්බන්ධයෙන් වාර්තා වන සිදුවීම් දෙස බැලූ විට පැහැදිලිව පෙනී යන්නේ ශ්‍රමිකයන්ගේ අර්බුද විසඳීමට විදේශ සේවා කාර්යාංශයට යාන්ත්‍රණයක්‌ නොමැති බවයි.

රටේ විදෙස්‌ ශ්‍රමිකයන්ගෙන් තුනෙන් දෙකක්‌ කාන්තාවන් වන අතර ඉන් බහුතරයක්‌ සේවය කරනුයේ මැදපෙරදිගය. 2018 වසර වනවිට එම කාන්තාවන්ගේ ගණන 37002 කි. මෙම කාන්තාවන්ගෙන් බහුරතය සේවය කරනුයේ සොච්චම් වැටුපකටය. එවන් අවම වැටුපකට පවා කාන්තාවන් විදෙස්‌ගත වන්නේ ඇයි ද යන සමාජීය කාරණය සම්බන්ධයෙන් පුළුල්ව විමසා බැලිය යුතුය. අද රටේ තිබෙනුයේ නිෂ්පාදන ආර්ථිකයක්‌ නොව සේවා ආර්ථිකයකි. එවැනි ආර්ථිකයකදී කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය උපයා ගත හැක්‌කේ “සුපර් මාර්කට්” සඳහා පමණි. අද උසස්‌ පෙළ සමත් තරුණ, තරුණියන් ද “සුපර් මාර්කට්‌” වල සේවය කරන තැනට පත්වීමේ ආර්ථික ආශ්චර්ය එයයි. මෙම ක්‍රියාවලිය වෙනස්‌ කිරීමට නම් අප නිෂ්පාදන ආර්ථිකයක්‌ වෙත ගමන් කළ යුතුය. එසේ නොමැති නම් විදෙස්‌ ශ්‍රම සේවය සඳහා පුහුණු ශ්‍රමිකයන් බිහි කර ගත යුතුය. මේ දෙකම ක්‍රියාත්මක කිරීම ඉතා අසීරුය. මන්ද එවැනි ආර්ථික සංග්‍රාමයක්‌ කළ හැකි ශක්‌තිමත් ආණ්‌ඩු රටේ බිහි නොවන බැවිනි. එසේ ආණ්‌ඩු බිහිවන තෙක්‌ රටේ අසරණ දරුවන්ගේ මවුවරුන් මැදපෙරදිග වහල් සේවය වෙත යැම නවතා ගැනීමේ යාන්ත්‍රණයක්‌ සකස්‌ කර ගනිමු. රටේ කාන්තාවන්ට කරන විශාලම ගෞරවය එයයි.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435