කාන්තාවන්ට දැන් නොසෑහෙන්න අයිතීන් තියෙනවා – ආචාර්ය විශාඛා සූරියබණ්ඩාර

(වැඩබිම හා වේලයිතලම් වෙබ් අඩවි විසින් සංවිධානය කරනු  ලැබූ මාසික සංවාදශීලි සම්මන්ත්‍රණයට එක්වෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාරිනි, ආචාර්ය විශාඛා සූරියබණ්ඩාර විසින් ජූනි මස 13 වන දින කොළඹ, ජානකී හෝටලයේ ශ්‍රවණාගාරයේ දී පළ කළ අදහස් ඇසුරින් සැකසුණු ලිපියකි)

ලෝකයේ දේශපාලනික වශයෙන් බෙදෙන බොහෝ දේවල් තියෙනවා. කුලය, භාෂාව, ජාතිය ආගම එහිදී ප්‍රධානයි. ගැහැනියක් හා පිරිමියෙක් වීම කියන කාරණයත් ඒ විදිහටම බලපානවා. ගැහැනු හෝ පිරිමිවීම ජීව විද්‍යාත්මක කාරණයක් වෙන්න පුළුවන්. ගැහැනියකගේ කුසේ කළලලයක් ඉපදීමත්, ක්‍රොමසෝන වල ක්‍රියාකාරිත්වය මත ගැහැනිය හෝ පිරිමියා වීම තීරණය වෙන්න පුළුවන්. ඒ්ත් එතැනින් එහා තමයි කාරණය තියෙන්නෙ. ගැහැනියක් වුණොත් එයාට වෙනමත්, පිරිමියෙක් වුණොත් එයාට වෙනමත් සමාජයේ බලය බලපවත්වන්නේ කොහොමද කියන කාරණය. සමාජයේ බලය කියන කාරණයේදී ගැහැනිය ගොඩක් වෙලාවට පිරිමියාට වඩා පිටුපසින් සිටින බවට සංකල්පීය වශයෙන් ගොඩනැඟිලා තියෙන්නේ. ඒ නිසා කාන්තාවන්ගෙ අත්දැකීම් ගතහොත් පුංචි කාලෙක ගහකට නඟින්න දුන්නද? බස් එසේ ෆුට් බෝඩ් එකේ ගියොත් කොහොමද? ‘කොල්ලෙක් වගේනෙ’ කියලා කියනවා. ගෙදර සිටින වැඩිමහල් තාත්තගෙ සිට කුඩා පිරිමි දරුවා දක්වාම අපව පාලනය වෙනවා. ඒක නැහැයි කියන්න බෑ. හදවතට කතා කළොත් ඒක එහෙම තමයි. තාත්තා නැත්නම් අම්ම කියන්නෙ ‘අයියගෙන් අහල බලන්න’ කියාල. ‘කෝකටත් මල්ලිත් එක්ක යන්න’ කියලා කියනවා. එහෙම නේද? පෙරදිග සමාජයට වඩා බටහිර සමාජය තුළ මේ කියන කාරණය බලවත්ව බලපෑවා. ඒ බලපෑවේ වෙන කොතැනකවත් නොව, විශේෂයෙන් වැඩකරන කාන්තාවන් අතරයි. ඔවුන්ට ආවේණික වැඩ පවරා තිබුණත් පිරිමින්ට සලකන ආකාරයේ එකම ස්වරූපයෙන් ඔවුන්ට සැලකුවෙ නෑ. මේ දේවල් නිසා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය කියන සංකල්පය අපරදිගින්(විශේෂයෙන් අමෙරිකාවෙන්) එන්නෙ.

එහි ප්‍රධාන අදියර තුනක් තියෙනවා. ප්‍රථම, දෙවන, තුන්වන හා හතර වන අවධිය ලෙසයි. ඒ හැම දෙයක් ගැනම විස්තරාත්මකව කතා කරන්න කාලයක් නෑ.  දැන් අප ඉන්නේ හතරවෙනි අවධිය තුළයි. බොහෝ රටවල උප්පැන්න සහතිකයේ දාන දෙවල් වෙන්නේ  ලිංගිකත්වය, ආගම, කුලය, ස්ත්‍රීද,  පිරිමිද කියන කාරණා. අද හතර වෙනි අවධිය වෙද්දී ඒ කිසිදෙයක් සැලකිය යුතු නැති බවට රැඩිකල් තැනකට ඇවිත් තියෙනාව. ගැඹුරට විහිදුණු ලොකු සමාජ අසාධාරණයක් කාන්තාවන්ට සිදුවුණත් ඒක බැලූ බැල්මට පෙනෙන්නෙ නෑ. ඒත් ලංකාව සම්බන්ධයෙන් ටිකක් වෙනස්. මාතෘ මූලික සමාජ තිබිලා තියෙනවා. අම්මාට ගෙදර බුදුන් ලෙස සලකා තියෙනවා. මේ සියල්ලම සලකා බැලුවම යම් ස්ථාවරත්වයක් ලංකාවෙදි කාන්තාවන්ට තියෙනවා. ඒත් පොදුවේ කාන්තාවන්ට ස්ත්‍රී පුරුෂ සමාජභාවයන්ට අදාළ කරුණු සැලකිල්ලට ගත්තම කාන්තාවන්ට බොහෝ වෙලාවට බොහෝ පීඩනයන්ට ලක්වෙන්නට වෙලා තියෙනවා. ඒ පීඩාවට  බොහෝවිට උල්පන්දම් දෙන්නෙත් කාන්තාවන්ම වෙන්න පුළුවන්. ඒකට හේතුව තමා පුරුෂයින් විසින් මූලාරම්භයේදීම කාන්තාව සම්බන්ධයෙන් දාපු දේවල් එක් පැත්තකින් සමාජගත වෙලා, අනිත්පැත්තෙන්  සංස්කෘතිකගත වෙලා තියෙනවා. ‘සංස්කෘතික’යි කියන්නෙ මොකක්ද? හොබ්ස්, ලොක්,රූසෝ ගැන අහල ඇතිනෙ. ඒ ගොල්ල තමා සමාජ සම්මුතිවාදය කියලා දෙයක් ගැන කතා තළේ. මගේ විෂය දේශපාලන විද්‍යාව නෙ. ඒ නිසා මට ඒකත් එක්ක තමා යන්න වෙන්නෙ. ඒ අය කියනවා හොබ්ස් කියන්නෙ මිනිසා හරිම ප්‍රකෘති තත්ත්වයේ හිටපු කෙනෙක් නෙවෙයි. එයා හරිම ප්‍රචණ්ඩකාරියි. පසු කාලීනව හොඳ මනුස්සයෙක් බවට පත්වෙනවා. ඒකට අවශ්‍ය කරන්නේ මොකක්ද? සංස්කෘතිය. හොඳ මනුස්සයෙක් වෙන්න ‘සංස්කෘතිය’ කියන කොටුවට දැම්ම ගමන් එහෙම වෙනවා. මට මෙතෙන්ට ඇවිත් නාන ඇඳුමක් ඇඳගෙන මේ වැඩේ කරන්න පුළුවන්ද? බෑනෙ. සංස්කෘතික කරලා තියෙනවා. ඒ වගේම තමා ස්ත්‍රී-පුරුෂ සමාජභාවයත් සංස්කෘතිකරණය වෙලා තියෙන්නෙ. අනිත් පැත්තෙන් දේශපාලනික වෙලා තියෙනවා. ඒ දේශපාලනික වීම භයානකයි. ඒකට හේතුව බලයත් එක්ක තමා ගනුදෙනු වෙන්නෙ. තීරණ ගැනීමේදී ගෙදර ඉන්න ස්වාමි පුරුෂයාගෙ අවසරය ඕන වෙලා තියෙනවා.

මං පුද්ගලික උදාහරණයක් කියන්නම්. මේ මෑතකදී ඡන්ද හිමි නාමලේඛනය පුරවන්න ග්‍රාම සේවක ආවම මං, ‘ ගෘහ මූලික” කියන තැන මගේ නම දැම්මා. මොකද වුණේ. ග්‍රාම සේවක ඒක බලලා ඇහුවේ ‘ගෘහ මූලිකයා නැද්ද? කියලයි. මං කීවා ‘ඇයි? මේ මං ඉන්නෙ” කියලා. නෑ එහෙම නෙවෙයි, ‘මේ ගෘහ මූලිකයා කීවම’ කියලා මනුස්සයා තටමනවා. එතනදි ඕන වෙන්නෙ මොකක්ද පිරිමියාගෙ නම. ඊට පස්සෙ මං කීවා, ‘එයත් ඉන්නව. මේ පාර මං එයාව දෙවෙනියට විතර දාලා බැලුවා’ කියලා. ඒත් හිත හොඳ නෑ. ඊට පස්සෙ මං කීවා, ‘අපි දෙන්න අතර ප්‍රශ්නයක් නෑ. මං දාන්නම්’ කියලා දැම්මා. මේ සැරේ ආවම කොළය දීලා කීවේ ‘මේ පාර කෝකටත් ඉස්සරලාම මහත්තයගෙ නම දාන්න’ කියලා. මං හොඳයි කීවා. පුංචි වෙනසක්වත් කරන්න බෑ. මං පොඩි ටෙස්ට් එකක් කළේ. පත්තරේක දැන්වීමක් බලන්නකො. මංගල දැන්වීම්. ඉල්ලන්නෙම ගුරුවරියො තමා බඳින්න. ඇයි ඒ? හාෆ් රේට් එක. හම්බත් කරනවා. ගෙදර වැඩත් කරනවා. ඒ දකෙම ඕන වෙනවා. මොන රස්සාව කළත්, මොන තරාතිරමක හිටියත් ගැහැනිය විසින් කළ යුතු වැඩ කොටස කළ යුතුමයි. ඒක මටත් අදාළයි. මොන රස්සාව කළත් ගෙදර වැඩ ටික කළේ නැත්නම් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නොවුණත් , ගෘහස්ථ ප්‍රශ්න ගොඩයි.

ස්ත්‍රීයට සමාජයේ අනන්‍යතාවක් ගොඩනැඟීමට අවශ්‍ය පසුබිම සකස් කර දී  ඇත්තේ ද්විතීයික ලිංගිකයෙක් විදිහටයි.  කාන්තා දින සම්මන්ත්‍රණවලට ගියාම මං අහන්නේ’ ඇයි මෙහෙම  එකක් තියන්නේ කියලා ඔයාලා අහන්නෙ නැත්තෙ ඇයි” කියලා. මොනවටද කාන්තා දින. ඉතිං පිරිමි දිනයකුත් තියන්න පුළුවන් නොවැ. යම් සමාජයක “දුර්වලයා” කියලා ඒ විදිහට සලකන තැනකට තමා වැඩි අවධානය යොමුවෙන්නෙ. මේ අවධානය කාන්තාවන්ට දීලා තියෙනවා. ඒ  හේතුව නිසාම ඒ අය  වෙනුවෙන් වෙනම නීති සකස් වෙලා තියෙනාවා. ඒ අය වෙනුවෙන් වෙනම සමාජ ප්‍රශ්න කතා කරනවා.  රැකියාවකට ගියත් කාන්තාවන් විදිහට ‘අපට කරන්න බැරි’ කියලා ප්‍රභේදයක් තියෙනවා. එහෙම නැද්ද? ඡන්දෙ දෙන කොට වුණත් බ්‍රිතාන්‍ය වැනි ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශි රටවල වුණත් එහෙමයි. නිදසුනක් විදිහට අපට සර්වජන ඡන්ද බලයත් ලැබුණට පස්සෙ තමා එහෙට දුන්නෙ. ඒක බරපතළ ප්‍රශ්නයක්. ඒක කොයිතරම් ගැඹුරට විහිදිලා තියෙනවද කියනවනම්, අප කොයිතරම් ගැඹුරට ගිහින්ද කියන එක අපටම තේරෙන්නෙ නෑ. මී හරකා සේ එකම දේ කරගහගෙන යනවා. අපි ප්‍රශ්න කරන්නෙ නෑ. නීතිය අප වෙනුවෙන් පෙනී සිටියට අපි අහන්නෙ නෑ. නීිතිඥවරියක් විදිහට මමත් මෙතැන නීතියේ අඩුපාඩුවක් දකිනවා. නීතියේ කොහේවත් මේ දේවල් සම්බන්ධව මේ දේවල් තියෙනවා කියලා නෑ.  පළවෙනි කොටම 1967 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ‘සමානයන් අතර අසමානව සැලකීමට’ ගැහැනියට වෙනස් කොට සැලකීමක් සිදුවිය යුතු  නෑ කියන එක තමා අපි පිළිගත්තෙ, ලංකාවෙදි ඒක 1981දී පිළිගත්තා. ලංකාවෙ ජනගහණයෙන්  52% ක් කාන්තාවන් ඉන්නවා. රැකියා කරන බොහෝ පිරිසක් ඉන්නවා. විශ්වවිද්‍යාලයේ වුණත් එහෙමයි. ඒත් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී අපට කළ හැකි යමක් නෑ.  ලෝකයේ පළවෙනි අගමැතිනිය බිහිවුණා. ලෝකයේ පළමුවැනි විධායක ජනාධිපතිනිය බිහිවුණා. ඒත් ඒ වෙනුවෙන් කරපු දෙයක් නැත. කරන්න බෑ. මේ තියෙන තත්ත්වය යටතේ ස්ත්‍රීපුරුෂ සමාජභාවය කියන කාරණය තුළ අපව එකතැනකට කොටුකරලා තියෙනවා. ඒක පිරිමින්ගේ පුද්ගලික වරදක්වත්, අපගේ පුද්ගලික වරදක්වත් නෙවෙයි. අනාධිමත් කාලයක සිට මේ මතාවාදය සමාජගතවීමේ වරදක්.

කාන්තාවන්ට සාපේක්ෂව පිරිමිත් හිංසනයට පත්වෙනවා. මං මේ ලංකාවේ හිංසනයට පත්වූ පිරිමින් සම්බන්ධ සංගමයේ ලේකම්. හැබැයි මං අන්තිමට ගිහින් කතා කරන්නේ නැවතත් කාන්තාවක් ගැනම තමයි. හිංසනය කාටත් පොදුයි. ඒත් කාන්තාවන්ට තියෙන හිංසනය විශේෂ කොට දැක්වීමට කටයුතු කර තිබෙනවා. ඒක ඇයි කියලා අහන්න ඕන. කාන්තාවන්ට සමාජයේම අඩු සැලකිල්ලක් තියෙනවා. ඒකයි.  අද වෙන කොට නීතිය කියන එක සැලකුවොත් මතක තියා ගත යුතු යමක් තියෙනවා. එක්සත් ජාතීන්ගේ නීතියෙන් පසු ආචාර්ය කුමාරි ජයවර්ධන කීවේ එකම වෘත්තියක ස්ත්‍රී-පුරුෂ සියල්ලටම සමාන වැටුපක් ලැබිය යුතුයි කියන එක. අමෙරිකාවෙත් ඒක සිද්ධවුණා. අමෙරිකාවේ පළවෙනි රැල්ලේ කාන්තා දේශපාලනයේදී ඒක තමා තේමාව වුණේ. තමන්ට ඡන්ද අයිතිය දෙන්න කීවා. ඒක ලැබුණම ඔක්කොම හරි කියලා හිතුවා. ඒත් ලැබුණේ නෑ. දෙවෙනි අදියරේදී ප්‍රතිසංස්කරණ ඉල්ලුවා. තුන්වෙනි අදියරේදී රැඩිකල් වෙනවා. අද වෙද්දී පිරිමි කසාද බැඳගන්න ඕනත් නෑ. ගබ්සා අයිතිය, සමලිංගික විවාහ පවා ඉල්ලනේනෙ පුරවැසියෙකු ලෙස ජීවත්වීමේ සියලු ම අයිතිවාසිකම් හිමිවිය යුතු නිසා. මේ අපරදිග. ලංකාවේත් මේ තත්ත්වයත් ටික ටික ඇවිත් තියෙනවා. එහෙම ආව වුණත් ලංකාවෙ කාන්තාවන්ගෙ තත්ත්වය තවමත් යහපත් නෑ. හැබැයි අයහපත් වෙන්නේ පිරිමින් නිසාම නෙවෙයි. සියයට 25 කාන්තා නියෝජන වැඩසටහන කාන්තාවන් විසින්ම අර්බුදයට යැව්වා. හේතුව මොකක්ද කාන්තාවන් අතරත් එකඟවීමක් නෑ. ඊර්ශ්‍යාව කුහකකම එනවා. තමන්ට යමක් ලැබෙන්නෙ නැත්නම් ඒක කොතනත් එහෙමයි.

ජාත්‍යන්තර මට්ටමින් බැලුවත්,  කාන්තා හිංසනය නවතන්න වස්ථාවෙන්ම බොහෝ නීති සම්පාදනය වෙලා තියෙනවා. ලංකාවෙත් තියෙනවා. වෙනම අමාත්‍යංශයක් පවා තියෙනවා. ගැහැනුන් සම්බන්ධයෙන් ප්‍රඥ්ඥප්තියක් පවා මේ වෙද්දි යෝජනා වෙලා තියෙනවා. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට 2005 අංක 34 පනතත් ඇති කර තියෙනවා. ඊට අමතරව මුළු රටටම බලපාන දණ්ඩ නීති සංග්‍රහයේ කාන්තාවන්ට හිංසනයට එරෙහිව නීති සම්පාදනය වී තියෙනවා. අනෙක් පැත්තෙන් සාමාන්‍ය අර්ථයෙන් ගතහොත් ලංකාවේ වැඩකරන කාන්තාවන් නොයෙකුත් අංශවල ඉදිරිපෙළ සිටිනවා. විනිසුරුවරියන් 64ක් , ශ්‍රී ලංකා කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ 35% ක්, කාර්මික ක්ෂේත්‍රයේ 25%ක්, සේවා අංශයේ  39%ක්. ප්‍රතිශතයක් ලෙස ගත්තම විශාල ප්‍රමාණයක්. විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් වෘත්තීය මට්ටම් දිහා බැලුවොත් රැකෙන්නට ආයතන නීති පද්ධතිය තුළ තියෙනවා.යම් හිංසනයක්, වුණොත් නෛතික ක්‍රියාමාර්ග ගැනීමෙ හැකියාව තියෙනවා. ඒත්  කාන්තාවක් වීම නිසාම නීති පැනවීම කියන කාරණයට මං එකඟ නෑ. ඒක නෙවෙයි විය යුත්තේ.  කාන්තාවන් වීම මත වෙනයම් අසාධාරණයක් වෙනව නම් ඒකටයි පිළියම් ඕන. නිදසුනක් නම් උසස්වීමක්, මාරුවීමක් ආදිය ලැබෙන්නට නියමිත දෙයක් කාන්තාවක් වීම නිසාම නොලැබේනම් ඒ ගැන නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ගෙදරක නම් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය. අපේ කාන්තාවන් රෑට සැමියන්ගෙන් ගුටි කෑවට උදේට එයාම ‘මගේ දෙවියා” වෙනවා. පොලීසියට ගියාට පැමිණිල්ලක් දාන්නෙ නෑ. අපේ ගමෙත් එහෙම ගෑනු මනස්සයෙක් ඉන්නවා. හැමදාම රෑට “ගහනවෝ මරනවෝ “කියලා කෑ ගහනවා. ආයෙත් උදේට අවුලක් නෑ. ගෙදර මනුස්සයට විරුද්ධව මොකුත් කරන්නෙ නෑ. කාන්තාවකගේ  කැමැත්තට එරෙහිව කරන දූෂණයකදී නීතියේ පිහිට පතන්න පුළුවන්. ඒත් නීතියේ හිඩැසක් තියෙවනා. නැවත උසාවියට ගිහින් කතා කරනකොටත් සමාජය බලන්නෙ වෙනස් කෝණයකින්. ඒක සංස්කෘතිකයි කියන්නෙ ඒකයි. දැන් මේ වෙද්දි කාන්තාවන් දිහා වැරදි විදිහට බැලුවත් නීතියෙන් දඬුවම් කරන්න පුළුවන්. කකුලවත් පෑගුණොත් ඉවරයි.

සමහරවිට නිකම් පෑගුණක් අවුලක් වෙන්න පුළුවන්. එතනදී පිරිමිත් හිංසාවට ලක්වෙනවා. මොකද මේක හොඳට දන්න කාන්තාවන් හොඳට පාවිච්චි කරනවා.

කාන්තාවන්ට අවශ්‍ය වෙන්නේ නිසි තැනද? සම තැනද?  නිසි තැන ලැබුණාම ඇති නේද? තමන්ගෙ තැන තියාගෙන ඉන්න තිබුණම ඇති.  ස්ත්‍රී පීඩාවට පත්වෙන තැනකදී ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ක්‍රියාත්මක වන ඕනෑම රාජ්‍යයක නීතිය ගැන දැනුවත් වෙන්න ඕන. නීතියක් දන්නෙ නෑ කියන්න පුළුවන්ද? එහෙම නම් අපි පුරවැසියො  නෙවෙයි.  අතේ තියෙන ස්මාර්ට් ෆොන් එකෙන් නීතිය දැනගන්න පුළුවන්. කාන්තාවන් වුනත් ඉක්මනට යන්න බලන්නේ ෆේස්බුක් එකට. පොඩි නිදහසක් එතැන තියෙනවා.  කාන්තාවක්වීම ලජ්ජාවට කාරණයක් වත්, පසුබැසීමට කාරණයක් වත් නෙවෙයි. කාන්තාවන් හෝ පිරිමින් හෝ වේවා තමන්ගේ පෞරුෂය දියුණු කරගත යුතුයි. සමාජ නීති රීති දැනගත යුතුයි.  ඔවුනොවුන්ගේ කාර්යභාර්ය  දැනගත යුතුයි.  කාන්තාවන්ට වැඩබිමකදී තමන්ගෙ බොස් කීවොත් කියන ඕනම දෙයක් කරන්න ඇය බැඳී නෑ.  ‘නෑ’ හෝ ‘ බෑ ” කීමේ අයිතිය තියෙනවා. ඒකට නීතියෙන් අවසරයක් දීලා තියෙනවා. පළමුවැන්න පුරවැසියෙකු විදිහට තමන්ගෙ අනන්‍යතාව රැකගත යුතුයි. ප්‍රධාන වශයෙන් කාන්තාවකට නීතිය ඉදිරියට යා හැකි අවස්ථා 3ක් තියෙනවා. දූෂණය, ශාරීරික හෝ මානෂික හිංසනය, හා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයයි. ඒත් තමන්ගේ අයිතිය නොදැන ඇය සමාජය තුළ පීඩාවට පත්වෙලා ජීවත්වෙනවා. නැත්නම් ඒකට ඉඩදීලා බලාගෙන ඉන්නවා. උසුළු විසුළු වුණත් ඕනවට වැඩිය බෑ. මේ ළඟකදි  උසාවියෙන් කේස් එකක් ආවා. ගැහැනු ළමයෙක් ගරාජයක් ළඟින් යනවා. ඒ යද්දි ගරාජයේ සේවය කරන තරුණයෙක් ඇය අඩිය තියන තාලයට ‘ලෙෆ්ට් රයිට්’  කියනවා. මේක මේ ළමයට පීඩනයක්. දවසක් ගෑනු ළමයා ඇදගෙක වැටෙනවා. මේ ගැන පැමිණිල්ලක් කරලා, අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළාම රිමාන්ඩ් කළා. ගැහැනු ළමයෙක් දිහා ඇහැක් වපරෙටවත් බලන්න බෑ. බැලුවොත් ඉවරයි. කාන්තාවන්ට දැන් ඒ තරම් අයිතීන් තියෙනවා. ඒත් වඳුරට දැලි පිහිය අහුවුණා වගේ කටයුතු කළ යුතු නෑ. තමන්ට පවත්නා අයිතිය නිසි ලෙස පාවිච්චි කරන එකතමා වඩා හොඳ.

සටහන : පී. ඩබ්. මුතුකුඩආරච්චි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435