කාන්තා ශ්‍රමයේ වටිනාකම නැති කර ,යාන්ත්‍රික රොඩ්ඩක් බවට පත් කරපු සමාජයක් අපිට තියෙන්නේ..

කථිකාචාරිනී සජිතා ලක්මාලි ,කොළඹ විශ්වවිද්‍යාලය

සොලිඩරිටි ආයතනයේ ‘වැඩබිම’ මගින්  “ලාංකේය වෘත්තීය සමිති ව්‍යාපාරය – අභියෝග සහ ප්‍රවණතා” යන මැයෙන් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් ඊයේ (21) දින කොල්ලුපිටිය රේණුකා සිටි හෝටලයේදී පැවැත්විණි. එහි ආරාධිත දේශනය සඳහා පැමිණි කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනී සජිතා ලක්මාලි විසින් සිදු කරන ලද “නූතන කම්කරු ස්ත්‍රියගේ ශ්‍රම දායකත්වය සහ එහි නැවුම් පීඩාව” යන දේශනය මෙසේ සටහනක් තබන්නෙමු.

නූතන කම්කරු ස්ත්‍රියගේ ශ්‍රම දායකත්වය සහ එහි නැවුම් පීඩාව යන මාතෘකාව සාකච්ඡාවට පෙර ඒ සඳහා ප්‍රවේශයක් ලෙස කාන්තාව සමාජයීය වශයෙන් ශ්‍රමයට දායක වන අකාරය පැහැදිලි කරගත යුතුයි. ඉතිහාසය දෙස බලද්දි විශේෂයෙන් කාර්මික විප්ලවය වනතුරුම යම් කිසි ආකාරයකට කාන්තාවට පැවරී තිබුණේ පවුල මූලික කරගත් ගෘහස්ථ වගකීම්  ටිකක්. නමුත් මෙය කාර්මික විප්ලවයෙන් පස්සෙ නව යන්ත්‍ර සූත්‍ර අළුතෙන් බිහිවීම සහ ධනෙශ්වරය පුළුල් අර්ථයකින් ව්‍යාප්ත වීම හේතු කරගෙන සිදු වුණු සමාජ පරිවර්තනය සමග වෙනස් කම් රැසක් දක්නට ලැබිණි.ඒ සමගම කාන්තාවටද වැඩබිමට යන්නට සිදු වූ අතර හාම්පුතුන් විසින් සිදුකරන ලද ශ්‍රම සූරා කෑමේ නිශ්පාදන රටාවට මෙහිදී කාන්තාවද ගොදුරක් බවට පත්වනු දැකිය හැකි විය.

වී.අයි.ලෙනින් වරෙක ප්‍රකාශ කරන ආකාරයට සමාජය තුළ කාන්තාව ද්විත්ව සූරා කෑමකට ලක් වේ. එය ද්විත්ව පීඩාවක් ලෙසින්ද හැඳින්විය හැකිය.1. නිවස තුළදීම වටිනාකමක් රහිතව වගකීම් සහ යුතුකම් ලෙස සලකා ශ්‍රමය සූරා කෑම2. වැඩබිම තුළ සිදුවන ශ්‍රම සූරා කෑම.

ශ්‍රමය සම්බන්ධ තවත් වැදගත් කාරණයක් කථිකාචාර්යවරිය විසින් මතු කරයි. එනම් ‘ශ්‍රම සූක්ෂමතාවය’ යි. වැඩ කරන පැය ගණන සම්බන්ධ මෙම කාරණය අකාර 2ක් යටතේ සිදු කරන බව පවසයි. එනම් වැඩකිරීමට ඇති පැය ගණන වැඩි කිරීම සහ ශ්‍රමයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමයි. හාම්පුතුන්ගේ ලාබ අරමුණු කරගත් මෙම ද්විත්ව ශ්‍රම සූක්ෂමතාවය තුළ කාන්තාවද දැඩි ලෙස සූරා කෑමට ලක් විය.

එසේම ගෝලීය ලෙස ගත් විට ලිංගිකමය සහ අනෙකුත් කාර්යයන් අනුව කාන්තාව යම් කිසි ආකාරයක දුර්වල පිරිසක් බවට අදහසක් ඇත. උදාහරණයක් ලෙස ජර්මනියේ පිරිමියාට සහ ගැහැනියට ගෙවන වැටුප අතර 30%ක පමන පරතරයක් දැකිය හැකියි. මේ වනාහී කාන්තාව සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් සකස් කරන ලද මතවාදයකි.යම් කිසි ආකාරයකට සෝවියට් සමාජ ක්‍රමය තුළ මෙම වැටුප සහ ශ්‍රමය අතර පැවති ඓතිහාසික පරතරය තුළනයකට ලක් කළද ඇමෙරිකාව වැනි රටවල් වල මෙය තවදුරටත් සූක්ෂම ලෙස පවත්වාගෙන යයි.

රොබටේන් නම් චිතකයා පුද්ගලයකුට දවසට ඇති පැය 24 කොටස් 3කට බෙදනවා. එනම් පැය අටක් වැඩකිරීමටත්, පැය අටක් නිදාගැනීමටත්, පැය අටක් විවේක සුවයෙන් ගත කිරීමටත් වශයෙන්. නමුත් මේ මොහොතේ ශ්‍රමිකයා මෙම දෛනික ජීවිතයේ අතිරික්ත කාලයට සිදු කරන දෙය පිළිබඳ අප නැව සිතා බැලිය යුතුයි.සමාජවාදී සහ ධනෙශ්වර ආර්ථිකයක් පවතින රටවල මෙය දෙයාකාරයකට සිදුවන අකාරය දැකිය හැකිය.එනම් සමාජවාදී රටවල පුද්ගලයාගේ ආර්ථික සාධකය සහ සමාජයීය ජීවිතයේ කාරණා වැඩබිම තුළදීම සිදු කළ හැකිය.(උදා:  වැඩබිම තුළදීම උඅපන්දින සාදයක් පැවැත්වීම ) නමුත් ධනේෂ්වර ක්‍රමය වැඩබිම තුළ කාලය සහ ශ්‍රම දායකත්වය නිශ්පාදන කාර්යය වෙනුවෙන්ම සීමා කර ඇතිඅතර මෙම තත්ත්වයන්ට කාන්තාව මුහුණ දෙන ආකාරය නැවත නැවතත් සිතා බැලිය යුතු වේ.

ඇය තව දුරටත් මෙසේ පවසයි.

“ලෙනින් එක අවස්ථාවක විස්තර කරනව මිනිස්සුන්ගෙ සවිඥාණිකත්වය තියෙන්නෙ පඩි පත ළඟට එනකන් විතරයි කියල”

වැටුපෙන් එහාට අපි හිතන්නෙ කොහොමද? මේ සමාජ ක්‍රමය තුළ පුද්ගලයාට ඇති සමාජ, සංස්කෘතික ජීවිතය අනෙකුත් සම්බන්ධතා එක්ක පවත්වාගෙන යාමට සහ ගෞරවාන්විත ලෙස රැකියාවක නිරත වීමට දැනුවත්බාවයක් අවශ්‍යයයි.එම දැනුවත්බාවය වෘත්තීය සමිති තුළින් ලබා දීම සහ ගැනීම යන කාරණා දෙක සිදුවිය යුතු ය.එසේම පඩිපතින් එහාට පවතින තත්ත්වයන් පිළිබඳ මිනිසුන්ව දැනුවත් කළ යුතුයි.

මොකද්ද මේ නැවුම් පීඩාව කියන්නෙ?

අපට මෙයNovel Fresher යනුවෙන් හඳුන්වන්නත් පුළුවන්. මෙය  සූරාකෑමේ අලුත් විදිහක් ලෙස හඳුන්වන්නත් පුළුවන්.මෙය පීඩාවක්ද කියල තේරෙන්නෙ නෑ”  මෙහිදී අප අවබෝධ කරගත යුතු ප්‍රධානම කාරණය වන්නේ සූරා කෑම අලුත් වී ඇති බවත් එම සූරා කෑම අපට සූරා කෑමක් ලෙස හඳුනා ගත නොහැකි ආකාරයට ස්මාර්ට් වී ඇති බවත්ය.

මේ සඳහා කථිකාචාර්යවරියවිසින් නිදසුන් කිහිපයක් හරහා මෙය පැහැදිළි කරයි. විවාහක අවිවාහක බව, රැකියාවකට බඳවා ගැනීමේදී කාන්තාව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වී ඇත. යම් කිසි ආකාරයකට විවාහක  බවසම්මුඛ පරීක්ෂණයේදී පැවසුවහොත් බොහෝ ආයතනවල එම රැකියාව සඳහා බඳවා ගැනීමට මැලි කමක් දක්වයි. විශ්වවිද්‍යාල තුළ පවා මෙම තත්ත්වය සුලභව දැකිය හැකි කාරණයකි.විශේෂයෙන්ම අචාර්ය උපාධි සඳහා ශිෂ්‍යත්ව පාඨමාලා අයදුම් කිරීමේ දී, කතිකාචාර්යවරියක ලෙස සේවයට බැඳීමේදී වැනි අවස්ථා වලදී විවාහක අයදුම්කාරියන්ගේ අයදුම්පත් පසුපසට යාම දැකිය හැකි කාරණයක්.

කාන්තාවන් වන අපට ජීවිතය තුළ  නිදහසේ භුක්ති විඳීමට ඇති කාරණා සියල්ලටම පාහේ කොන්දේසි සහ නියාමනයන් දාල තියෙනවා. මාක්ස් එක් අවස්තාවක කියනව, සමාජය තුළ කාන්තාවට ඇති නිදහස කොච්චරද කියන එකෙන් ඒ සමාජය මොනවගේ එකක්ද කියල හඳුනාගත හැකි බව”

ලංකාවෙ කාන්තාවට ඇති ඇති සියලු නියාමනයන් සහ කොන්දේසි තීරණය කරල තියෙන්නෙ පුරුෂ මූලික දෘෂ්ටිකෝණයකින්. මෙය වෘත්තීය සමිති තුළත් බහුලව දැකිය හැකි කාරණයක්. ඒවා තුළ ඇති කාන්තා නියෝජනය, මුල් පුටු වල තනතුරු කාන්තාවන්ගෙන් දුරස් කර තැබීම සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස පිළිබඳ ගැටළු තුළින් මෙය මොනවට පැහැදිළි වේ.

ජනමාධ්‍ය ක්ෂෙත්‍රය තුළ ද මෙය සුලභ කාරණයක්. එම ආයතන වල ඇති කාන්තා පීඩනය සම්බන්ධ පුරුෂ මූලික ප්‍රබල වාඛ්‍ය ඛණ්ඩයක් ඇත. එනම් “පිරිමි උනාම මහන්සි වෙන්න ඕන, ගෑණියෙක් උනාම හාන්සි වෙන්න ඕන” යනුවෙනි. ස්ත්‍රීය ලිංගික සූරා කෑමට භාජනය වීමට සිදුවන මෙවැනි ඛේදනීය තත්ත්වයන් මෙම සමාජය තුළ සාමාන්‍යකරණයට ලක් කර තිබීම ම ඇයට තවදුරටත් මනුෂ්‍යයෙක් ලෙස ජීවිතයක් ගත කිරීමට ඇති ඉඩප්‍රස්ථාව පිළිබඳ නැවත සිතා බැලිය යුතු බව අවධාරණය කරයි.වෙළඳ දැන්වීම්කරණය තුළ කාන්තාව යම් කිසි අකාරයට නිරූපණාත්මක හුවමාරු භාණ්ඩයක් බවට පත් කර ඇති අතර නිවසෙ සිට එම බොහොමයක් දැන්වීම් විසින් අරමුණු කරන කාන්තාවද එම ප්‍රචාරණයන්ට අනුව ගමන් කරයි. ඒ හරහා ඇයව නිරන්තරයෙන් පෙළඹවීම සහ මෙහෙයවීම සිදු කරයි. (උදා: පාර්ටියක ලස්සනට ඉන්න අඳින්න ඕනෑ ඇඳුම් තීරණය කරන්නෙ දැන්වීම්. ඒවා නොඇන්දොත් සමාජයෙන් කොන් වෙනව ) මෙය යම් කිසි ආකාරයක නැවුම් පීඩාවක් ලෙසද හැඳින්විය හැකි අතර මෙය දෘෂ්ටිවාදාත්මක කාරණයක් ලෙස හැඳින්විය හැකිය. මෙහිදී සිදු වෙන දෙය තමයි. අපි දන්නවා සූරා කනව කියලා. හැබැයි දන් නෑ වගේ ඉන්නවා.” මේ තත්ත්වයෙන් ස්ත්‍රිය ගැලවීමට නම් සමාජයේ ඇයට පැවති ස්ථානය ලබා දිය යුතුයි.

ඉතා නිර්ධය ලෙස ස්ත්‍රියගේ ශ්‍රමය සූරා කන කර්මාන්ත ශාලා රාශියක් ලංකාවේ විවිධ ප්‍රදේශ වල ඇත. ඉන් එකක් කෑගල්ලෙ ‘පොලිටෙක්ස්’ ආයතනය. මසකට රු.35000ක් අලුතෙන් එන සමාජිකයන්ට ලබා ගත හැකි බව පවසමින් විවිධ ප්‍රදේශවලින් පැමිණෙන තරුණියන් ගෙන් වහලුන්  මෙන් ශ්‍රමය සුරා කන ස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ. ටොයිලෙට් යන වාර ගණන පොතක සටහන් කර ඒ සඳහා වැය කර ඇති කාලය අතිකාල දීමනා වලින් කපාහැරීම,අසනීප නිවාඩු ලබා දීම නිසි ලෙස සිදු නොකිරීම යනාදී අකාරයේ ගැටළු රාශියකට මුහුණ දීමට මෙහි සේවය කරන ස්ත්‍රීන්ට සිදු වේ. සමාජ ක්‍රමය විසින් සිදුකරනු ලබන ආර්ථික අසමතුළිතබවේ ප්‍රථිපලයක් ලෙස කුමක් හෝ රැකියාවක් කිරීමට පෙළඹෙන මෙවන් ස්ත්‍රීන්ගේ ශ්‍රම සූරා කෑම දිනෙන්  දින ඉහළ යමින් පවතී. අසනීප තත්ත්වයන් විඳදරාගනිමින් සිය ජීවිකාව කරනුයේ සමාජය තුළ කෙසේ හෝ ජීවත් වීම සඳහාය. ප්‍රතිකාර ගැනීමට නිවාඩු නොලැබුණු කාන්තාවක් ස්වකීය අසනීප තත්ත්වය වෘත්තීය සමිතිය ඉදිරියේ කියා සිටිද්දී ම ඇය අවසන් හුස්ම හෙළන තත්ත්වයට මෙම වහල් සූරා කෑම  මෙවන් ආයතන විසින් ප්‍රවර්ධනය කරමින් සිටී. මෙම සංවේදී සිදුවීම ගවේෂණාත්මක වාර්තංගකරණය පිළිබඳ ප්‍රවීණයකු වන නන්දන වීරරත්නගේ සිද්ධි අධ්‍යයනයක වාර්තා කර ඇත.

ඇය වෘත්තීය සමිතිය ඉදිරියේ අවසානයේ අසන ප්‍රශ්නයක් ඇත. එනම්, සහෝදරයා අපි දැන් හෙට වැඩට ආපුවහම මොකද වෙන්නෙ ? ” යනුවෙනි. මේ වනාහී ලෝකය පුරා මෙවැනි පීඩිත කාන්තාවන්ගේ හෙට දවස පිළිබඳ ඇති අවිනිශ්චිතබාවයේ වේදනාත්මක ප්‍රශ්නයයි.අවසාන වශයෙන් කථිකාචාර්යවරියවිසින් ලංකාවේ කාන්තාව වෙනුවෙන් පිහිටුවා ඇති සංවිධාන වෙත කාරණා කිහිපයක් දක්වයි.

ලංකාවේ කාන්තාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන සංවිධාන බහුතරයක් සිද්ධ කරන්නෙ බොරු මවාපෑමක් විතරයි. කොළඹ 7 අය වෘත්තීය සමිති ගැන කතා කරලා මිනිස්සු ගැන කතා කරල එළියට ගිහාම ඉන් පරිබාහිරව සුවපහසු ජීවිත ගත කරනවා. පීඩාවට ලක්වෙන ගම් මට්ටමේ බිම් මට්ටමේ ඉන්න මිනිස්සු ගැන කවුද හොයල බලන්නෙ? කවුද මේවට සංවේදී වෙන්නෙ?”

කාන්තාවට ගරු කරනවා යනුවෙන් අදහස් කරන්නේ බස් එකේ ෂීට් එක දෙන එක හෝ පෝළිම්වල ඉදිරියට යාමට ඉඩ දීම  වැනි කාරනාවන්ගෙන් ඔබ්බට ගිය අදහසක්. මෙහිදී කාන්තාවටද මෙම අර්බුධය සම්බන්ධ අදහස ගිලිහී ගිය සමාජයක් නිර්මාණය වී ඇත. මේකට හේතුව මුලදී සඳහන් කළ නැවුම් පීඩාව යැයි සඳහන් කළ හැකිය. මෙහිදී නැවත නැවතත් මතක් කරගත යුතු කාරනයක් ඇත. එනම් කාන්තාවගේ ශ්‍රමයට තියෙන සමාජ වටිනාකම ගිලිහී ගොස් ඒ වෙනුවට සකස් කරන ලද යාන්ත්‍රික රොඩ්ඩක් බවට පත් කර ඇත. එය වෙනස් කිරීම සඳහා අරගල කළ යුතුය. ඒ සඳහා කවුරුන් හෝ පෙරමුණගත යුතුයි. මන්ද මුළුමහත් සමාජයක් එකවර එකතු වී සටන් ඇරඹූ ඉතිහාසයක් කිසිදා නොතිබුණු බැවිණි.

ඇය අවසන් වශයෙන්, කාන්තාවන් යනු  සටන් නොකරන පසුගාමී පිරිසක් බව ප්‍රකාශ කරන පිරිමින්ට ආරාධනයක් කරයි.“ලංකාවේ නීතියක් තියෙනව ගෑණු කෙනෙක්ට ළමයෙක් ලැබුනම පිරිමියට දවස් 3ක් නිවාඩු දෙනවා(Paternity leave ). හැබැයි බොහෝ රටවල මෙම කාලය මාස 3ක් හෝ 6ක්. පිරිමි කොයිවෙලාවෙවත් ඉල්ලල තියෙනවද මගෙ බිරිඳ වෙනුවෙන් එයාගෙ වැඩ ටික කරන්න නිවාඩු වැඩි කරන්න කියල? එහෙම ඉල්ලන් නෑ. මොකද හිතන් ඉන්නෙ ගෑණු තමයි ළමයි වදල හදාගෙන ඉන්න ඕන කියල”

දැන්වත් මහපොළවෙ තියෙන ඇත්ත ප්‍රශ්න වෙනුවෙන් සටන් කරමු.

වැඩබිම වෙනුවෙන් සටහන – කල්ප මධුරංග

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435