කාන්තා ශ‍්‍රමික සංක‍්‍රමණ අර්බුදය

මැදපෙරදිග ගෘහ සේවය තුළින් ලැබෙන විනිමය රටේ සංවර්ධනය සඳහා ආයෝජනය කරන බව පැවසුවද කෙසේ ආයෝජනය කළ හැකිද යන්න පිළිබඳව පැහැදිලි සැලැස්මක් ඉදිරිපත්ව නොමැත. ආගන්තුක රටවලදී රටේ ශ‍්‍රමිකයන්ව ආරක්ෂා කිරීම සේම වඩා පුළුල් දැක්මකින් යුතු ආවරණ රාමුවක් තුළ ශ‍්‍රමිකයන්ගේ පවුල් වල යැපෙන්නන් ආරක්ෂා කිරීමේ කිරීමද වැදගත් වෙයි.

නිදහස, සම සාධාරණත්වය, ආරක්ෂාව හා මානව අභිමානය යන තත්ත්වයන් යටතේ ස්ත‍්‍රී පුරුෂයන් සඳහා ඵලදායී සේවා අවස්ථා අභිවර්ධනය තුළින් දිළිඳුන් හා අගහිඟවලින් තොර වඩා හොඳ ජීවන තත්ත්වයක් සියලූම ශ‍්‍රී ලාංකිකයන් විසින් බුක්තිවිඳින සාමයෙන් හා සෞභාග්‍යයෙන් යුතු අනාගතයක් බිහිකිරීම සිය පරමාර්ථය බවශ‍්‍රමික සංක‍්‍රමණ පිළිබඳ ජාතික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙහි සඳහන් වේ. ඒ අනුව ස්ත‍්‍රීන් හා පුරුෂයන් අතර නීතිය ඉදිරියේ ඇති මූලික සමානාත්මතාව සේම ජාතිය ගොඩනැගීමට ශ‍්‍රී ලාංකික වනිතාවගේ දායකත්වයේ ඇති වැදගත්කම පෙන්වා දෙයි. ශ‍්‍රී ලාංකික සමාජ හා ආර්ථික සන්දර්භයෙහි උද්ගතව ඇති සුවිශේෂ කතිකාවන් අතර මැදපෙරදිග රාජ්‍යයන් සඳහා කාන්තා ශ‍්‍රමික සංක‍්‍රමණය තුළින් උද්ගතව ඇති අර්බුදය ප‍්‍රමුඛ වේ. ගෝලීය ප‍්‍රවණතා, සංක‍්‍රමණිකයන් හා බැඳි අන්තරායකර තත්ත්වයන් ඉහළ යෑම, ආරක්ෂණ හා සුබසාධන ගැටලූ, සංක‍්‍රමණය කාන්තාකරණය වීම යනාදී හේතු මත ශ‍්‍රී ලංකාව ශ‍්‍රමික සංක‍්‍රමණ සම්බන්ධව පෙරට වඩා යොමුවන පසුබිමක් දැකගත හැකිය.

විශේෂයෙන් කාන්තා ශ‍්‍රමිකයන් අධික ප‍්‍රමාණයකින් සංක‍්‍රමණය වීම හේතුවෙන් ආරක්ෂාව අඩු වැටුප්වලට හිමිකම් කීමත් ඒ තුළින් රටට මුදල් ගලා ඒම අඩු වීමත් බොහෝ විට සිදුවන්නකි. එබැවින් ශ‍්‍රී ලංකාවට ගල්ෆ් කලාපයේ රටවල් මත යැපීමට ද සිදුව ඇත. විදේශ සේවා නියුක්ති ක්ෂේත‍්‍රය තුළ ශ‍්‍රී ලංකාව මුහුණ දෙන අර්බුද අතර මැදපෙරදිග රාජ්‍යයන් සඳහා සිදුවන ගෘහසේවක කාන්තාකරණය බොහෝ පිරිසකගේ අවධානයට ලක්වන මාතෘකාවක් වන්නා සේම ඒ සඳහා නොයෙක් විවේචන ද සෑම වකවානුවකම ඉදිරිපත් විය. 2019 සැප්තැම්බර් 29 වන දින නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය මගින් කළ මාධ්‍ය ප‍්‍රකාශනයකදී කාන්තාවන් මැදපෙරදිග සේවය තුළදී මුහුණපාන ලිංගික හිංසන, ශාරීරික පීඩා, වැටුප් නොලැබීම් සේම වැඩිපුර වැඩ ගැනීම් ආදී ගැටලූ පිළිබඳව පෙන්වා දුනි. මැදපෙරදිග විදේශ විනිමය 54% කට ආසන්න වන බව වැඩිදුරටත් ප‍්‍රකාශ කළ අතර ඒ තුළින් පෙනී යන්නේ මෙරට ආර්ථිකයේ ප‍්‍රධාන හස්තයක් බවට අද වන විට මැද පෙරදිග ගෘහ සේවයට යන වනිතාව පත්ව ඇති බවය.

වත්මන් ශ‍්‍රී ලංකා අර්ථ ක‍්‍රමය තුළ විදේශ විනිමය රට තුළට ගලා ඒමේ ප‍්‍රධාන මාධ්‍යයක් වශයෙන් මැදපෙරදිග කාන්තා ගෘහසේවය පෙන්වා දිය හැකි අතර එය විධිමත්ව හා විනිවිදභාවයෙන් පවත්වාගෙන යෑම පිණිස වරින්වර පත්වන රජයන් විවිධ නීති රෙගුලාසි රාමු ඉදිරිපත් කරයි. 1995 දී සියලූ සංක‍්‍රමනික ශ‍්‍රමිකයන් හා පවුල්වල අයිතිවාසිකම් ආරක්ෂාව සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය ශ‍්‍රී ලංකාව විසින් පිළිගන්නා ලද්දේ එහි එක් පියවරක් වශයෙනි. 2007 සිට ශ‍්‍රී ලංකා රජය විසින් කුසලතා සහිත ශ‍්‍රමිකයන් සංක‍්‍රමණය වීම පිළිබඳව විශේෂිත අවධානයක් යොමුකර අඩු කුසලතා ඇති ගෘහසේවිකාවන් පිටවී යෑම අඩු කරන ලදී. නොයෙක් වාරණ වරින්වර පිහිටුවමින් කාන්තා ශ‍්‍රමික සංක‍්‍රමණය විධිමත් ක‍්‍රියාපටිපාටියක් තුළ ස්ථානගත කිරීමටත් ඒ තුළින් ඊට එරෙහිව පැන නගින චෝදනා අවම කර ගැනීමටත් උත්සාහ ගන්නා ලදී. දස අවුරුදු සැලැස්ම සේම ක්ෂණික ශ‍්‍රමය පිළිබඳ ජාතික ක‍්‍රියාකාරී සැලැස්ම වැනි වැඩසටහන් හරහා ආර්ථිකයට ශ‍්‍රමික සංක‍්‍රමණයෙන් ඇති වැදගත්කම පෙන්වා දී ඇත.

මැදපෙරදිග ශ‍්‍රම සංක‍්‍රමණය පිළිබඳ කතිකාව ගැටලූකාරී ස්වරූපයෙන් ප‍්‍රවිෂ්ට වත්ම ඒ ඒ රජයන් සිය නීතිමය රාමු තුළට වාරණ අන්තර්ගත කළ බව පෙනේ. 2013 දී විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය විසින් චක‍්‍රලේඛනයක් නිකුත් කෙරීය. එනම්, ලියාපදිංචි විදේශ රැකියා නියෝජිතායතන සහ ප‍්‍රාදේශීය ලේකම්වරු සඳහාය. විශේෂයෙන් 2014 ජනවාරි සිට පවුල් පසුබිම් වාර්තාව අනිවාර්ය කිරීම මේ වාරණ රෙගුලාසි පද්ධතියේ එක් ප‍්‍රතිඵලයකි. වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරු ගෘහ සේවය පිණිස නොයැවීමටත් එම වයසට වැඩි වයසක් දරන දරුවන් සිටියද ඔවුන්ව රැකබලා ගැනීමට සෑහීමට පත්විය හැකි වැඩපිළිවෙළක් නොමැති නම් එම මව්වරුන්ව ද ගෘහ සේවයට නොයැවීමටත් මේ වාර්තා තුළින් නිර්දේශිතය.

වයස අවුරුදු 55 ට අඩු කාන්තාවන් ගෘහ සේවිකාවන් වශයෙන් විගමනය කිරීම සාමාන්‍ය නීති රෙගුලාසි වේ. නමුත් ඒ ඒ රාජ්‍යයන්හි පවත්නා නීතිය අනුව ඉල්ලූම් කරන වයස සපුරන ස්ත‍්‍රීන්ව පමණක් මෙරටින් යැවීමට සිදුවේ. සවුදි අරාබියට වයස 25 ට වැඩි කාන්තාවන් ද අන්‍ය මැදපෙරදිග රාජ්‍ය සඳහා අවුරුදු 23 ට වැඩි කාන්තාවන් ද සෙසු රාජ්‍ය සඳහා මේ සීමාව වයස අවුරුදු විසි එකක් ලෙස ද සඳහන් වේ. එමෙන්ම යම් කාන්තාවක් ගෘහ සේවයට විදේශගත වේ නම් ග‍්‍රාම නිලධාරී, මහජන සෞඛ්‍ය නිලධාරි, දරුවන්ගේ භාරකරුගේ අවසරය අනිවාර්ය වේ. එහිදී අවසාන තීරණය ගනු ලබනුයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සංක‍්‍රමණ හා සම්බන්ධ සංවර්ධන නිලධාරියා විසිනි. මෙලෙස නොයෙක් සීමා කිරීම් තුළින් නීතිමය රාමුවට බැහැරින් යෑම නිසා සිදුවන ගැටලූ අවම කිරීමට උත්සාහ කර ඇත.

මෙම සෑම වාරණයක්හිම ප‍්‍රතිඵලයක් වශයෙන් 2013 ට සාපේක්ෂව 2014 දී 6.4 % කින් විදේශ රැුකියාවන් සඳහා කාන්තාවන් යාම පහළ බැස ඇත. 2015 වන විට විදේශගත වීමට පෙර ඇති පුහුණුවීම්වලට කාන්තා සහභාගිවීම 34% කින් අඩුව ඇති බවට ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා මාධ්‍යයට වාර්තා කරනු ලැබීය. 2015 වන විට 73,226 2016 දී 65,023 2017 වන විට 37,002 ද යනාදී වශයෙන් කාන්තා ශ‍්‍රමික සංක‍්‍රමණය පහළ බැස ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුනි.

පවුල් පසුබිම් වාර්තාව තුළින් සිදු වූ කාන්තා ශ‍්‍රමික සංක‍්‍රමණ අවමතාව හේතුවෙන් විදේශ විනිමය ගලා ඒම අඩු වූ බව පෙනෙයි. පවුල් පසුබිම් වාර්තාව ඉවත් කර ඒ වෙනුවට විදේශගත ශ‍්‍රමිකයන්ගේ පවුල්වල දරුවන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර දිවයින පුවත්පතට 2018 සැප්තැම්බර් මස නවවන දින කළ ප‍්‍රකාශයෙන් තුළින් පෙනී යන්නේ ද කාන්තා ශ‍්‍රමික සංක‍්‍රමණ නැවතත් දිරිගැන්වීමට ගන්නා උත්සාහයකි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්තා අනුව 2019 වන විට කාන්තාවන් විදේශගතවීම 33% කින් අඩු වූ බව ගම්‍ය වේ. පවුල් පසුබිම් වාර්තාව, ඒජන්සි බලපත‍්‍ර ලබාදීම සීමාකිරීම, වයස් සීමාවන්, ලියාපදිංචි වූ ශ‍්‍රමිකයන් පමණක් යැවීම යනාදී හේතුකාරණා පදනම්ව මෙවන් තත්ත්වයක් උද්ගතව ඇත.

1986 සිට 1997 කාලය තුළදී කාන්තා ශ‍්‍රමය සංක‍්‍රමණය පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශය තොරතුරු තාක්ෂණ අංශයේ දැක්වෙන වාර්තා අනුව එය කලින් කලට ඉහළ පහළ ගිය බව පෙනේ. 1986 දී 33.2% ප‍්‍රතිශතයක් ද 1997 දී 75.1% ක අගයක් ද ගෙන ඇත. අනතුරුව 1998 දී 60.29% ක් ද 2007 වන විට 52.77% ක ප‍්‍රතිශතයක් ද ඉසිලීය. ඒ අනුව මෑත කාලය වන විට කාන්තා ශ‍්‍රමික සංක‍්‍රමණ පහළ බැස ඇති බව විශ්ලේෂණ තුළින් පෙනී යයි. මිනිස් බල මට්ටම් හා ලිගු අනුව ඇස්තමේන්තු විදේශගත ශ‍්‍රී ලාංකික කොන්ත‍්‍රාත් සංඛ්‍යා වාර්තාව අනුව 2007 දී විදේශගත ශ‍්‍රමික කාන්තාවන් සංඛ්‍යාව 1,020,155 වන අතර ගෘහ සේවිකාවන් ලෙස 810,500 ක් පිටත්ව ගොස් ඇත. 2017 ට සාපේක්ෂව 2018 දී කාන්තා විදේශ ගතවීම අඩු වුවද ගෘහ සේවිකා සඳහා මැදපෙරදිග යන සංඛ්‍යාව 2017 ට සාපේක්ෂව 2018 දී 13% කින් ඉහළ ගොස් ඇති බව සංඛ්‍යාමය දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනාවරණය වේ. එනම්, 2017 දී 55,884 ක් ද 2018 දී 64,695 ක් ද බව වාර්තා වේ. ප‍්‍රතිශතයක් ලෙස ගත් කල්හි 2017 දී 82% ක් ද 2018 දී 95% ක් ද ගෘහ සේවිකා වශයෙන් සංක‍්‍රමණය වී ඇත.

කාන්තා විදේශගත වීම් අධෛර්ය කිරීමටත් පුහුණු ශ‍්‍රමිකයන් ලෙස කාන්තාවන් විදේශගත කිරීම දිරිගැන්වීමටත් නොයෙක් නීති රෙගුලාසි සේම වැඩසටහන් ගෙන ආවද ප‍්‍රායෝගික තලය තුළ වනිතාව මුහුණ දෙන ගැටලූ අවම කිරීමට අපොහොසත්ව ඇත. දිනකට විදෙස් සේවා නියුක්ති කාර්යාංශයට ලැබෙන පැමිණිලි අධ්‍යනය කිරීම තුළින් ඒ පිළිබඳව වටහා ගත හැක. නිසි පුහුණුවක් ලබාදී කාන්තා ශ‍්‍රමය පිටත් කර හැරිය ද ඇයට හිමිවන ස්වාමි පවුල් පසුබිම තුළ මුහුණපාන ගැටලූ බොහොමයකි. කාන්තාවන් විදේශගත වීමට පෙළඹීමට බොහෝවිට හේතුවන්නේ ආර්ථික අපහසුතා මෙන්ම ඒජන්සි හරහා ලබාදෙන පාරිතෝෂික මුදලය. ඇතැම් වංචනික ඒජන්සි තැරැව්කරුවන් හරහා එම මුදලද අහිමිව විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා සිදුකරන පුහුණු වැඩසටහනට තම පෞද්ගලික මුදල් වැය කරන කාන්තාව මැදපෙරදිග ගෘහ සේවයට යන්නීය. භාෂා ගැටලූ, නුපුරුදු ආහාර රටාවන්, දේශගුණය, රෝගී තත්ත්වයන්, පමණ ඉක්මවා වැඩ කිරීමට සිදුවීම, ලිංගික හිංසන යනාදී අර්බුදවලට මුහුණපාන ඇය සන්නිවේදන ගැටලූ හේතුකොටගෙන තම ගැටලූව වගකිවයුතු බලධාරීන්ට හෝ සිය පවුලට දැන්වීමේ අපහසුතාවයෙන් පෙලෙයි.

සිය නිවැසියන්ව කෙසේ හෝ දැනුවත් කළ ද ඒ හරහා නැවත ලංකාවට ඒමට හෝ ගැටලූව නිරාකරණය කරගැනීමට හෝ පහසු නොවේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහාය පැතීමේදී එම ශ‍්‍රමිකයාගේ නිවැසියන්ට බොහෝ දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවේ. ආර්ථික අපහසුතාවයෙන් පෙළෙන එවන් පවුල්වලට මසකට කිහිප වතාවක් පැමිණිලි අංශය වෙත යෑමට සිදුවීම පහසු කටයුත්තක් නොවේ. දින, සති, මාස, අවුරුදු ගණන් ගත වුවද ඇයට සාධාරණයක් කිරීමට බලධාරීන් අසමත් වන අවස්ථා බොහොමයකි. කාන්තා ශ‍්‍රමික සංක‍්‍රමණ ආශ‍්‍රිතව ප‍්‍රායෝගිකව පැන නගින වාතාවරණය මෙබන්දකි. නීති රෙගුලාසි හුදු ලියවිල්ලක් බවට පත්වෙමින් ශ‍්‍රමික කාන්තාවගේ ආරක්ෂාව පහත බැස ඇත. ශ‍්‍රමික සංක‍්‍රමණිකයන් කළමනාකරණය කිරීම පිළිබඳව නිසි ප‍්‍රතිපත්තිමය රාමුවක වැඩ කිරීමට පැහැදිලි අදහසක් බලධාරීන් තුළ නැති බව පෙනෙයි. මන්ද යත් එවන් සංක‍්‍රමණිකයන් හඳුනාගැනීමේ ක‍්‍රමවේදයක් නොමැති වීමයි.

රටේ විදේශ විනිමයෙන් බහුතර කොටසක් නියෝජනය කර මැදපෙරදිග ගෘහසේවිකා සඳහා පිටත්ව යන කාන්තාවන් උදෙසා පෙරට වඩා වැඩි අවධානයක් රජය විසින් යොමුකර ඔවුන් මුහුණපාන කායික හා මානසික පීඩාවන් තවදුරටත් අවම කිරීමට උත්සාහ ගත යුතුය. ගුණාත්මක හා ඵලදායී ලෙස කාන්තා ශ‍්‍රමය විදේශ විනිමය මාධ්‍යක් වශයෙන් යොදා ගැනීම පිණිස පුහුණු ශ‍්‍රමිකයන් ප‍්‍රවර්ධනය, රැකියා අවස්ථා පුළුල් කිරීම, ගෝලීය ප‍්‍රමිතීන් හා සැසඳෙන ලෙස පුහුණු මට්ටම උසස් කිරීම, භාෂා ප‍්‍රවීණත්වය ඇතුළු කුසලතා වර්ධනය, මෙරටට එවන මුදල්වලට ප‍්‍රතිලාභ ලබාදීම, දිරිගැන්වීම් සිදු කිරීම, යොදවන ස්වාමි පවුල් පිළිබඳව සොයාබැලීම, ඇය සමඟ සන්නිවේදනය යම් කාලසීමාවකට වරක් සිදු කිරීම, ඒජන්සිවල ගුණාත්මක භාවය පිළිබඳ සොයා බැලීම, නැවත සිය නිවසට ළඟා වනතුරු කරුණු සොයා බැලීම යනාදී කරුණු ප‍්‍රමුඛ කොට සැලකිය යුතුය. විධිමත් නීති රාමුවක් යටතේ රැකියාවට පිටත්වන කාන්තාව මුහුණදෙන ගැටලූ අවම කිරීම තුළින් විදේශ සේවා නියුක්තිය ගැන විනිවිදභාවයක් ජනතාව අතර ඇති කළ හැක.

මැදපෙරදිග ගෘහ සේවය තුළින් ලැබෙන විනිමය රටේ සංවර්ධනය සඳහා ආයෝජනය කරන බව පැවසුවද කෙසේ ආයෝජනය කළ හැකිද යන්න පිළිබඳව පැහැදිලි සැලැස්මක් ඉදිරිපත්ව නොමැත. ආගන්තුක රටවලදී රටේ ශ‍්‍රමිකයන්ව ආරක්ෂා කිරීම සේම වඩා පුළුල් දැක්මකින් යුතු ආවරණ රාමුවක් තුළ ශ‍්‍රමිකයන්ගේ පවුල් වල යැපෙන්නන් ආරක්ෂා කිරීමේ කිරීමද වැදගත් වෙයි. මෙරට ආර්ථිකය සඳහා වැඩි කාන්තා දායකත්වයක් ලබා ගැනීම උදෙසා වූ වැඩසටහන් ක‍්‍රියාත්මක තුළින් සිය මව්බිමේ සිටම ආදායම් තත්ත්වය ඉහළ නංවාලීමේ අවකාශය උදා කිරීම වැදගත් වේ. කාන්තා ශ‍්‍රමය මෙලෙස සිය මව්බිමටම ආයෝජනය කිරීමේ හැකියාව තුළ ඇය මුහුණදෙන ගැටලූත් ඒ තුළින් පැන නගින සමාජ ආර්ථික ගැටලූත් අවම කර ගැනීමට අත්‍යවශ්‍යය. එමෙන්ම නිසි නීතිමය රාමුවක් තුළ සංදර්භගත වෙමින් මැදපෙරදිග ගෘහ සේවය යනාදී කාන්තා ශ‍්‍රමික සංක‍්‍රමණය ආරක්ෂණ වැඩපිළිවෙළක ස්ථානගත කිරීමේ වැදගත්කම වත්මනය වන විට ඉස්මතුව ඇත.

එච්. කේ. සමරනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලය (දිවයින)

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435