කාර්මික ආරවුල් අවුල් නොකර නිරවුල් කරමු

වර්තමාන සමාජ ක‍්‍රමය තුළ කම්කරු ජනතාව ස්වකීය අයිතිවාසිකම් සහ විවිධ ඉල්ලීම් දිනා ගැනීමේ අපේක්‍ෂාවෙන් උද්ඝෝෂණ, වැඩවර්ජන දියත් කරති. නමුත් එවැනි ක‍්‍රියාමාර්ග රටක සංවර්ධනයට ඉමහත් බාධාවක් බව නොඅනුමානය. කාලය, ශ‍්‍රමය අපතේ හරිමින් මහ මඟ අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, වැඩවර්ජන අද වන විට අපගේ ඇසට සුලභ දසුනකි. කම්කරු ජනතාව මෙවැනි ක‍්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට සාධාරණ හේතු නැතුවාම නොවේ. ප‍්‍රථමයෙන් සිය ගැටළුව අදාළ බලධාරීන්ට ඉදිරිපත් කොට නිසි පිළිතුරක් නොලැබ අතෘප්තියට පත් වූ විට ජනතාව යොමු වන්නේ වැඩවර්ජනයටයි නැතහොත් උද්ඝෝෂණයටයි. එය වර්තමාන සමාජ ක‍්‍රමය අනුසාරයෙන් ජනතාව ලත් පන්නරයකි.

අප රට තුළ පවත්නා කාර්මික ආරවුල් සාමදානයෙන් නිරවුල් කරලීමට හැකි නම් එය කම්කරු ජනතාවගේ ජයග‍්‍රහණයක් මෙන්ම සමස්ත රටේ ද සංවර්ධනයට මනා රුකුලක් වනු ඇත. මන්ද කාර්මික ආරවුල් දිගින් දිගටම සංකීර්ණ වී ක‍්‍රියාත්මක වීම තුළ රටේ ආර්ථිකයට සෘජුවම බලපෑම් එල්ල වනවා පමණක් නොව ජීවිත හානි හා දේපළ හානි සිදුවීමට පවා ඉඩ අවකාශ සැලසෙන බව මෑතකාලීන සිදුවීම් හරහා අපට පැහැදිලි වේ.

වර්තමානයේ ලංකාව තුුළ උද්ගත වී ඇති කාර්මික ක්ෂේත‍්‍රය සම්බන්ධ මෙම තත්ත්වයට විසඳුම් කවරේද? ලංකා නීතිය තුළ ඒ සඳහා නෛතික ප‍්‍රතිපාදන තිබේද? යන්න සොයා බැලීම මෙහිදී වැදගත් වේ.

ලංකාවේ කාර්මික ආරවුල් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන්නේ 1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනතයි. මෙහි අරමුණ වන්නේ,  කාර්මික ආරවුල් වැළැක්වීම, පරීක්‍ෂා කිරීම සහ නිරවුල් කිරීම තුළ කාර්මික ක්ෂේත‍්‍රය සම්බන්ධ සාමකාමී තත්ත්වයක් ඇති කරලීමයි. පනතෙහි අන්තර්ගත ප‍්‍රතිපාදන රාජ්‍ය සේවකයන්ට අදාළ නොවන අතර එමඟින් ආවරණය වනුයේ රාජ්‍ය සංස්ථා, පෞද්ගලීකරණය කරන ලද ආයතන, පවරා ගත් ආයතන සහ පෞද්ගලික අංශයයි.

කාර්මික අවුලක් යනු කුමක්ද ?

ආරවුලක් නිරාකරණය කිරීමට පෙර කාර්මික ආරවුලක් යනු කුමක්ද යන්න හඳුනා ගැනීම වඩා යෝග්‍ය වන අතර අදාළ පනතෙහි කාර්මික ආරවුලක් යන්න මෙලෙස අර්ථ නිරූපණය කර ඇත. ‘‘සේවා යෝජකයා සහ කම්කරුවන් අතරේ හෝ යම් තැනැත්තෙකුට රක්‍ෂාව දීම හෝ නොදීම සම්බන්ධයෙන් හෝ කෙනෙකුගේ සේවා නියමයන් සම්බන්ධයෙන් හෝ කම්කරු තත්ත්වය හෝ යම් තැනැත්තෙකුගේ සේවය අවසන් කිරීම හෝ ඔහු යළිත් සේවයට ගැනීම සම්බන්ධයෙන් හෝ කම්කරුවන් අතරේ වූ භේදයක් හෝ ආරවුලක් අදහස් කරයි.’’

පනතේ ප‍්‍රතිපාදන අනුව කාර්මික ගැටලූවක් නිරාකරණය කර ගන්නේ කෙසේද, ඊට යෝග්‍ය ක‍්‍රියා පිළිවෙත කුමක්ද යන්න පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.

කාර්මික ක්ෂේත‍්‍රය සම්බන්ධ යම් ගැටලූවක් උද්ගත වූ අවස්ථාවක කොමසාරිස්වරයාට සාමදාන කිරීමෙන් හෝ බේරුම් කිරීමෙන් හෝ කාර්මික අධිකරණයක් මඟින් හෝ නිරාකරණය කිරීමට පනත හරහා බලය පවරා දී ඇත. ඒ අනුව කාර්මික ආරවුලක් හට ගන්නා බැව් හෝ පවතින ස්වභාවය කොමසාරිස්වරයා අදහස් කරන අවස්ථාවක, සේවා යෝජකයන් හා කම්කරුවන් නියෝජනය කරන සංවිධාන අතර යම් ගිවිසුමක් අනුව ආරවුල් නිරවුල් කිරීම පිළිබඳ විධිවිධාන යොදා ඇත්නම් ඒ අනුව නිරාකරණය කිරිමට ඔහුට හැකියාව ලැබේ. එසේ නැතහොත් සමඟි කිරීමෙන් කාර්මික ආරවුල නිරවුල් කිරීමට උත්සහ දැරිය හැකි අතර සමඟි කිරීමෙන් නිරවුල් කිරීම පිණිස බලය ලත් නිලධාරියෙකු වෙත යොමු කිරීමද කොමසාරිස්වරයාගේ කාර්යයභාර්ය වේ. මෙකී කි‍්‍රයාදාමයන්ට අමතරව අදාළ කාර්මික ආරවුල සම්බන්ධයෙන් පාර්ශ්වයන්ගේ එකඟත්වය මත බේරුම්කරුවකු හෝ කම්කරු විනිශ්චය සභාවක් වෙත යොමු කිරීමට ද කොමසාරිස්වරයාට බලය ඇත්තේය.

සේවා ස්ථානයක සේවා යෝජකයන් සහ සේවකයින් අතර උද්ගත වන ගැටලූ සාමදානයෙන් විසඳා ගැනීමට අදාළව පනතේ 11 – 15 දක්වා වගන්ති මඟින් ප‍්‍රතිපාදන සපයා ඇත. 11 වන වගන්තිය ප‍්‍රකාරව කාර්මික ආරවුලක් නිරාකරණය සඳහා බලය ලැබී ඇත්තේ කොමසාරිස්වරයාට හෝ බලය ලත් නිලධාරියෙකු වෙතයි. එම පුද්ගලයින්ට තමන්ට අවශ්‍ය යැයි හැෙඟන පරිදි ආරවුලට හේතුවූ කරුණු සොයා බලා නිරවුල් කිරීමට උත්සහ දැරිමට සහ ආරවුලට මැදිහත් වූවන්ට ආරවුල පිළිබඳ සාධාරණ සහ මිත‍්‍රශීලී ලීලාවෙන් නිරවුල් කිරීමට අවශ්‍ය උපක‍්‍රම නීත්‍යානුකූල ලෙස යෙදීමට බලය ඇත්තේය. එපමණක්ද නොව ආරවුල් නිරවුල් කිරීමේ කාර්යය සඳහා වු පරීක්‍ෂණය ආරම්භ කිරීමෙන් පසුව මාසයක් ඇතුළතදී අවසන් කිරීමද ඔහුගේ යුතුකම වන්නේය.

පනතේ 12 වන වගන්තිය ප‍්‍රකාරව නිරවුල් කිරීමේ නියමයන් දක්වා සටහන් පත‍්‍රයක් පිළියෙළ කළ යුතු අතර, එහි ආරවුලට සම්බන්ධ දෙපාර්ශවයම හෝ නියෝජිතයන් හෝ අත්සන් කළ යුතුය. සෑම සටහන් පත‍්‍රයකම, එම සටහන් පත‍්‍රය අදාළ වන පාර්ශ්වයන්ද වෘත්තීය සමිතිද, සේවා යෝජකයන් ද, කම්කරුවන්ද සඳහන්වීම අනිවාර්ය වේ. මෙකී ක‍්‍රියාදාමයෙහි ඇති සුවිශේෂිත්වය වනුයේ කාර්මික ආරවුලට සම්බන්ධ පුද්ගලයා හෝ කණ්ඩායම සම්බන්ධයෙන් සිය වෘත්තිය සමිතියට නියෝජනය කිරීමට ඉඩ අවකාශ සැලසිමයි. එමගින් පැමිණිල්ල අදාළ වෘත්තිය සමිතිය හරහා ඉදිරිපත් කළ හැකි වන අතර සමිතියේ මඟ පෙන්වීම සහ ආරක්‍ෂාව නිබඳව ලැබේ.

ආරවුලට සම්බන්ධ කරුණු පරීක්‍ෂාවට ලක්කොට දෙපාර්ශ්වයේම අදහස් විමසීමෙන් නිරාකරණය කළ අවස්ථාවක පනතේ 12 (1) වගන්තිය යටතේ සකස් කරන ලද ගිවිසුමට දෙපාර්ශ්වයම එකඟත්වය මත අත්සන් තබනු ලැබේ. එහි ඇති වැදගත්කම තීව‍්‍ර වන්නේ ගිවිසුමට අදාළ කොන්දේසි සහ නියමයන් දෙපාර්ශ්වයේම එකඟත්වය මත මිස විසම්මුතිකව පැනවීමක් නොවන බැවිනි. ගිවිසුමට අදාළ කොන්දේසි කඩ කළ විට මහේස්ත‍්‍රාත් අධිකරණයක නඩු පැවරීමකට යටත් වීමට පාර්ශ්වකරුවන්ට සිදුවේ. මෙහිදී බහුලව කොන්දේසි උල්ලංඝණය කරනු ලබන්නේ සේවා යෝජකයන් බව වර්තමානයේ කාර්මික ආරවුල් දෙස නෙත යොමු කළ විට වටහාගත හැක. එවැනි අවස්ථවක කම්කරු කාර්යාලය මඟින් සේවා යෝජකයකුට තමන් අත්සන් කළ කොන්දේසි සහිත ගිවිසුම පිළිබඳව සිහිකැඳවීම් තුනක් යවනු ලැබේ. එකී සිහි කැඳවීම් තුනටම සේවා යෝජකයාගෙන් ප‍්‍රතිචාරයක් හෝ අනුකූලතාවයක් නොලැබුණහොත් පමණක් අධිකරණයේ පිහිට පැතීමට සිදුවේ.

කාර්මික ආරවුල් පනතේ 12 (4) වගන්තිය ප‍්‍රකාරව අදාළ කාර්මික ආරවුල නිරාකරණය කිරීමට කොමසාරිස්වරයාට හෝ බලය ලත් නිලධාරියා හෝ අපොහොසත් වුවහොත් වූ විට තමා පැවැත්වූ පරීක්‍ෂණයේ සම්පූර්ණ වාර්තාවක් පිළියෙළ කළ යුතු අතර අදාළ පරීක්‍ෂණයට ඔහු විසින් යොදන ලද විධිවිධාන සහ නිරවුල් කිරීම පිළිබඳ ඔහුගේ අදහසද  එහි අන්තර්ගත කළ යුතුය. කොමසාරිස්වරයාගේ අභිමතය පරිදි විශාල ආරවුලක් යැයි හැෙඟන අවස්ථාවක නිරවුල් කිරීමේ සටහන් පත‍්‍ර ගැසට් පත‍්‍රයෙහි ප‍්‍රසිද්ධ කිරීමද ඔහුගේ කාර්යය භාර්ය වේ. කොමසාරිස්වරයා සතු වාර්තාවේ පිටපතක් පාර්ශ්වයන්ට හෝ නියෝජිතයන්ට ඉදිරිපත් කළ යුතු අතර වාර්තාවේ සඳහන් යෝජනා පිළිගනිත් ද, ප‍්‍රතික්ෂේප කරත් ද යන්න දින 14 ක් ඇතුළත පාර්ශ්වයන් හෝ නියෝජිතයන් විසින් දැන්වීම ද ඔවුනොවුන්ගේ යුතුකමක් මෙන්ම අත්‍යාවශ්‍ය කරුණක් වන්නේය. මන්ද අදාළ පාර්ශ්වයන් නිහ`ඩ අවස්ථාවක  නිරවුල් කිරීම පිළිගනු ලැබී යැයි සලකනු ලබන බැවිනි. එපමණක් ද නොව යෝජිත නිරවුල් කිරීම, අදාළ දෙපාර්ශ්වයම හෝ නියෝජිතයන් පිළිගනු ලබන අවස්ථාවකදී ඒ බැව් ගැසට් පත‍්‍රයෙහි ප‍්‍රකාශයක් මගින් පළ කිරීමට කොමසාරිස්වරයා වග බලාගත යුතු අතර යෝජිත නිරවුල් කිරීම පිළි නොගන්නා අවස්ථාවක කොමසාරිස්වරයා විසින් ඒ බැව් ද  ගැසට් පත‍්‍රයේ පළ කිරීමට ද අමතක නොකළ යුතුය.

කාර්මික ආරවුල් පනතේ 13 වගන්තිය ප‍්‍රකාරව නිරවුල් කිරීමක් බල පවත්නා දිනය සහ එහි කාල සීමාව සඳහන් කරයි. තවද 14 වන වගන්තිය අනුව වලංගුව පවත්නා සෑම නිරවුල් කිරීමක් 12 (2) උපවගන්තියේ විධිවිධාන ප‍්‍රකාරව නිරවුල් කිරීමෙහි සඳහන් කරනු ලබන පාර්ශ්වයන්ද, වෘත්තීය සමිති, සේවා යෝජකයන් සහ කම්කරුවන්ද පනතෙහි කාර්යයන් සඳහා වගකීමට බැඳෙනු ලබන අතර නිරවුල් කිරීමේ නියම,නිරවුල් කිරිමෙන් බැඳුණු සේවා යෝජකයින් හා කම්කරුවන් අතර සේවා ගිවිසුමෙන් අදහස් කරන ලද නියම විය යුතු වේ.

නිරවුල් කිරිමක් අවසන් වීම පිළිබඳව පනතේ 15 වන වගන්තිය ප‍්‍රතිපාදන සලයනු ලබයි. එනම් එම පනත යටතේ බැඳෙනු ලැබූ යම් කිසි පාර්ශ්වකරුවකුට හෝ වෘත්තිය සමිතියකට හෝ සේවා යෝජකයකුට හෝ කම්කරුවකුට, කොමසාරිස්වරයා සහ නිරවුල් කිරීමට යටත් සෑම පාර්ශ්වයකටද, සමිතියකටද, සේවා යෝජකයකුට සහ කම්කරුවකුට යම් සීමාවන්ට යටත්ව නියමිත ආකෘතිය අනුව දැන්වීමක් ලියා යැවීමෙන් නිරවුල් කිරීම ප‍්‍රතික්ෂේප කිරීමට හැකියාව ලැබේ.

නිරවුල් කිරීමක් ප්‍රතික්ෂේප කිරීමක, නීත්‍යානුකූල දැන්වීමක් කොමසාරිස්වරයාට ලැබුණු විට එබඳු දැන්වීමක් යම්කිසි නිරවුල් කිරීමක් සඳහා යවන ලද්දේ නම්, එම නිරවුල් කිරීම, එසේ කරන ලද දැන්වීම කොමසාරිස්වරයා විසින් භාරගත් මාසය ළගම මාසය අවසානයේදී ක‍්‍රියා විරහිත වන්නේය. එමෙන්ම නිරවුල් කිරීම අවසන් වන කාලය දක්වා කරන ලද ප‍්‍රකාශයක් දක්වා අදාළ ප‍්‍රතික්ෂේප කිරීමේ දැන්වීම ගැසට්පත‍්‍රයෙහි පළ කිරීමටද ඔහු කටයුතු කළ යුතුය. නමුත්  නිරවුල් කිරීමක පාර්ශ්වයක් ලෙස ඇතුළත් වු සියලූම දෙනා නොමැති වූවත් එවැනි සමිතියක හෝ යමෙකු විසින් නීත්‍යානුකූල ප‍්‍රතික්ෂේප කිරීමේ දැන්වීමක් ලබා දුන් අවස්ථාවක එකී නිරවුල් කිරීම විරහිත වන්නේ එම දැන්වීම දුන් වෘත්තිය සමිතියේ හෝ එහි සාමාජිකයන් හෝ සේවා යොජකයින් සම්බන්ධයෙන් පමණකි. අනෙකුත් පුද්ගලයන් සම්බන්ධයෙන් එය බල පැවැත්වෙනු ලැබේ.

මේ අනුව පෙනී යන්නේ රැකියා ස්ථානයේදී එදිනෙදා මතුවන කාර්මික ආරවුල් සාමදාන තත්වයට පත් කිරීමෙහිලා කාර්මික ආරවුල් පනතේ ප‍්‍රතිපාදන මගින් දායකත්වයක් ලැබෙන බවයි. කාර්මික ආරවුලක් බලධාරී පුද්ගලයින් හරහා විධිමත් ක‍්‍රියාදාමයකට අනුව සාමාදානයෙන් නිරවුල් කිරීමට පනත මඟින් සෘජුවම බලපෑමක් එල්ල නොවූවද, වක‍්‍රාකාරව හෝ පනත හරහා වර්තමාන කාර්මික ගැටලූවට විසඳුම් සෙවීමට පූර්වාදර්ශයක් සපයනු බැව් නොඅනුමානය.

සැකසුම :- ගිහානි විජේපාල

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435