කොත්තුවට දියවෙන නීරස ජීවිත

ඔවුන්ගේ ජීවිතයේ රිද්මය එය නොවුවද කොත්තු රොටියක්‌ තැටිය මත පිසෙන විට ඒ හඬට රිද්මයක්‌ ඇත. ප්ලේන්ටියක්‌ හෝ ටී එකක්‌ සාදන තැනැත්තා කෝප්පයකින් තවත් කෝප්පයකට වක්‌කරන විට පෙනෙන්නේ ගලා හැලෙන දිය ඇල්ලක රිද්මයකි. ඒ අයුරින් රිද්මයකට රස මවන ප්ලේන්ටි බාස්‌ලා හා කොත්තු බාස්‌ලා ජීවිතයේ දුක්‌ ගින්දර නිවන්න ලිප් ගින්දර ළඟට වී රැකියාව කරයි.

රත්වී පෙන නැගෙන වතුර හැලියකින් තේ රසය කිරි රසය මවන්නට, ගිනියම් යකඩ තහඩුවක කටට රස දැනෙන උණු උණු කොත්තු රොටියක්‌ පිසින්නට පෙළගැසී සිටින මිනිසුන් සූප ශාස්‌ත්‍රය පිළිබඳ කොතැනකවත් අකුරු කළ අය නොවේ. ජීවිතය සොයාගෙන මහමඟට පය තබා නතර වූ සැණෙකින් අහුලාගත් දැනුම ප්‍රයෝජනයට ගෙන ප්ලේන්ටියට, කොත්තුවට රස දෙන්නට ජීවත්වෙන පිරිසකි ප්ලේන්ටි බාස්‌ලා සහ කොත්තු බාස්‌ලා.

බුලත් විටක රස බලන්නට තේ පැන්ට්‍රි‍රයෙන් සමුගෙන හෝටලය පිටුපස ඇති බංකුවේ වාඩිවී සිටි ප්ලේන්ටි බාස්‌ගෙ අත ශීතකරණයක දින ගණනක්‌ පරණ වූ මාළු පෙත්තක සේ සුදුමැලි වී ඉරි තැලී ගොස්‌ ඇත. උදේ පටන් රෑ වනතුරු උණුවතුර සීනි කලවම අතට වැදී අල්ල සහ ඇඟිලි පුරුක්‌ ප්‍රසාරණය වී ඇති ආකාරය ගින්නෙන් පිළිස්‌සී නැගෙන දිය පොත්කලමකට ද සම කළ හැකිය.

ඔහු හා සමඟ දොඩමළු වන්නට ලද අවසරය තුළින් අසා සිටින්නට වූයේ තේ කෝප්පයක තරම් රසවත් කතාවක්‌ නොවේ.

රිය අනතුරක්‌ හේතුවෙන් ඇති වූ පාදයේ ආබාධය නිසා පහසුවෙන් කළ හැකි ප්ලේන්ටි බාස්‌ රස්‌සාව ඔහු කරන්නේ තෘප්තියෙනි.

ප්ලේන්ටියක්‌, ටී එකක්‌ කලින් හදල තියල විකුණන්න හොඳ නෑ. උණුසුම් බෝතල්වල දාල තිබ්බොතින් පල් රහක්‌ එනවා. ප්ලේන්ටිය හරි ටී එක හරි හදන්න ඕනෑ ඇළුමිනියම් කෝප්පවල. එතකොට තමයි රස්‌සෙ පවත්වගන්න පුළුවන් වෙන්නෙ.

ඔහු තේ කලාව පිළිබඳ ප්‍රවීණයෙක්‌ යෑයි සිතෙන තරමට රසවත් තේ කෝප්පයක්‌ සාදන ආකාරය විස්‌තර කරයි. පටන්ගත් දා සිටම එකම හෝටලයක පමණක්‌ සේවය කරන මොහු ඉතාම කැපවීමකින් හා ආශාවෙන් රස්‌සාව කරන කෙනෙකි.

කොහොමත් එක දිගට වැඩ කරන්න බෑ. සීනිවලට අත තැම්බෙනවා. ඒ හින්දා මාසෙකට දෙපාරක්‌ විතර නිවාඩු ගන්න වෙනවා.

උණු ජලය සහ සීනි මිශ්‍රව අතේ ඇතිවන මේ තත්ත්වය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බව ද ඔහු පවසයි.

උපයන මුදල පිළිබඳව අතෘප්තියක්‌ නැතත් ප්ලේන්ටි සැදීමේ රස්‌සාව ගැන බොහෝ දෙනා කතා කළේ තෘප්තියෙන් නොවේ.

මස්‌ කොත්තුවක්‌ වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි

එන කාටවත් නම් නිකං දෙන්නෑ ඕනෑමයි සල්ලී

ඒ ගීත තාලයට යකඩ පතුරු දෙක කොත්තු තැටියේ වැදෙන රිද්මයට කොත්තුව පිසෙයි. තාමත් තරුණ විය නොඉක්‌මවූ මේ හැඩි දැඩි මිනිසා ද කොත්තු රස්‌සාව වෙනුවෙන් රට වටේ හෝටල් ගණනාවක ලැග සිටි අයෙකි. එලෙස සේවය කළ එක්‌ හෝටලයක අයිතිකරුගේ බිරිඳ සමඟ ඇතිකරගත් අනියම් සබඳතාවක ප්‍රතිඵලය වන්නෙ එම කාන්තාවද කැටුව ඔහු පලායැමයි. දරු දෙදෙනකුත් සමඟ කුලී නිවසක ජීවත් වෙමින් ඔහු නගරයේ හෝටලයක කොත්තු රස්‌සාව කරයි.

“මම මුලින්ම කෙරුවේ වේටර් රස්‌සාව. එකෙන් පැන්න තේ හදන්න. පිටි ටික අනල ගෝදම්බ රොටිය ගහන්ඩ ඉගෙන ගත්ත දවසෙ ඉඳල කොත්තු රස්‌සාවට බැස්‌සා. කාල බීල ගෙවල් කුලී ගෙවාගන්ඩ ඇතිවෙන පඩියක්‌ හම්බ වෙනවා. ඒ වුණත් ප්‍රශ්නෙ තියෙන්නෙ ළමයි ගැන. මේ රස්‌සාව ස්‌ථිර නෑ. අපි ඉන්නෙ. එක කකුලක්‌ ඇතුලෙ එක කකුලක්‌ එළියෙ තියාගෙන නේ. යන්න කියපු දවසට යන්න වෙනවා. අපට මේව අතඇරල යන්න පුළුවන් වුණාට ළමයින්ට ඉස්‌කෝල අතඇරල යන්න බෑනෙ.” ස්‌ථිර තැනක හොඳ පඩියක්‌ ගෙවන රස්‌සාවක්‌ ලැබේ නම් කොත්තු බාස්‌ රැකියාවට සමුදෙන්නට ඕනෑම මොහොතක මොහු සූදානමින් සිටී.

නගර දෙකක්‌ යා කරන ප්‍රධාන පාරක්‌ මැද පිහිටි කඩයක කොත්තු පිසින කාන්තාවක්‌ පිළිබඳව මතකයක්‌ තිබිණි. ජීවිතයෙ එක්‌ වතාවක්‌ පමණක්‌ දුටු මේ කොත්තු පිසින ගැහැනිය සොයා ගිය නමුත් අද ඇය එහි නොමැත. වර්තමානයේ හෝටලය පවත්වාගෙන යන පිරිසගෙන් ඇය පිළිබඳව බොහෝ තොරතුරු අසා දැනගැනීමට හැකිවිය.

ඉතා රූමත් තැනැත්තියක්‌ වූ ඇය හා ඇගේ සැමියා විසින් කුලී පදනම මත අතීතයේදී මෙම හෝටලය පවත්වාගෙන ගොස්‌ තිබේ. කාලයාගේ ඇවෑමෙන් බීමට හුරු වූ සැමියා තම රාජකාරිය පැහැර හරිද්දී ඇයට සිදුවූයේ හෝටලයේ සියලු බර කර මත තබාගන්නටය. කාර්යශූර කාන්තාවක්‌ වූ ඇය අවසානයේ කොත්තු රොටී දැමීමේ කාර්යය ද සියතට ගත්තාය. සැමියගේ බේබදුකමේ පීඩාව විඳ දරාගැනීමට අපොහොසත් වූ ඇය අවසානයේ කඩේ වැඩට හිටි තමාට වඩා වසර කීපයකින් ළාබාල වේටර් කොලුවා සමඟ පැන ගියාය. ඔවුන් දෙදෙනා දුර පළාතක හෝටලයක්‌ පවත්වාගෙන යන අතර බේබදු සැමියා හෝටල් කිරීම අතහැර කසිප්පු විකිණීමේ නිරත වග දැනගන්නට ලැබිණි.

පිටි ගුලියක්‌ උඩ දමා කඩදාසියක්‌ තරමට සිනිඳුවට දිගහැර ගොදම්බා රොටියක්‌ තනාගැනීමට සීනි තේකොළ පදමට එක්‌කොට ප්ලේන්ටියක්‌ ටී එකක්‌ වක්‌කර ගැනීමට ජීවිතය දියකර අවසාන කාලයේ කතෝලික පල්ලියක කම්කරු සේවයේ යෙදෙන වයෝවෘද්ධ මිනිසාට තමන්ගේ යෑයි කිව හැකි කෙනෙක්‌ මෙලොව සිටී නම් හදවතේ වැඩ සිටින දෙවියන් වහන්සේ පමණි. මේ අසරණ මිනිසාට පල්ලියට යන එන සියලු දෙනා හැකි පමණට ආධාර උපකාර කරයි.

සැදැහැවත් මනුෂ්‍යයකු දිනක්‌ මේ තැනැත්තාට ආහාරය සඳහා කොත්තු රොටියක්‌ ගෙනැවිත් දීමට කාරුණික වූවේය. දෑත් එකට එක්‌කොට ඉතා කරුණාවෙන් සහ යටහත් පහත්ව එය ප්‍රතික්‍ෂේප කරමින් ඔහු කියා සිටියේ තමා කිසි දවසක කොත්තු රොටි ආහාරයට නොගන්නා බවයි. කොත්තු එතරම්ම ඔහුට නීරසය.

සුදත් සමරදිවාකර – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435