කොමිසමට ලැබුණු අභියාචනාවලින් 87%කම තොරතුරු නිකුත් කරලා

තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව විවිධ අයදුම්කරුවන් තොරතුරු ලබාගැනීමට යාමේදී මුහුණ පාන දුෂ්කරතා සහ ගැටළු සම්බන්ධයෙන්, තොරතුරු කොමිසන් සභාව වෙත 2017-2019 කාලය තුළ වැඩිම අභියාචනා ප්‍රමාණයක් යොමුව ඇත්තේ ‘ආයතනික විනිවිදභාවයට’ අදාළව අයදුම් කළ තොරතුරු විෂයෙහි බවත්, එම අභියාචනා සංඛ්‍යාව 571ක් බවත්, තොරතුරු කොමිසමේ තීරණ සම්බන්ධයෙන් කළ අධ්‍යනයක ප්‍රථිඵල විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් නීතිඥ අශ්විනි නටේසන් වීරබාහු මහත්මිය පැවසීය.

දෙවනුවට වැඩිම අභියාචනා ප්‍රමාණයක් යොමුව ඇත්තේ රැකියා සහ කම්කරු විෂයට අදාළව බවත්, එම සංඛ්‍යාව 373ක් බවත් පෙන්වා දුන් ඇය, සියලු අභියාචනාවලට පදනම් වී තිබුණේ අදාළ අධිකාරින් මගින් නියමිත කාලය  තුළ නිසි පරිදි අයදුම්කරුවන්ට තොරතුරු ලබා නොදීම සහ තොරතුරු දීම ප්‍රතික්ෂේප කිරීම් බවද කීවාය. තාක්ෂණය, මාධ්‍යය සහ විකාශන සන්නිවේදනයට අදාළ ඉන්දියානු නීතිවේදිනියක වන අශ්විනි නටේසන් වීරබාහු මේ තොරතුරු අනාවරණය කළේ “තොරතුරු දැනගැනීමේ පනත – ජයග්‍රහණ සහ අභියෝග” මැයෙන් ඉකුත් සදුදා (28) කොළඹදී පැවැති විවෘත සංවාදයක ආරාධිත දේශනය පවත්වමිනි.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැති මෙම සංවාදය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කොට තිබුණේ එදිනට යෙදී තිබූ අන්තර්ජාතික තොරතුරු දිනය නිමිත්තෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේද කීවාය.

“මෙහි ආයතනික විනිවිදභාවය යන්නට ආර්ථික විනිවිදභාවය සළකා බලා තිබෙනවා. එහිදී පොදු අධිකාරීන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය, අය-වැය ප්‍රථිපාදන සහ වියදම්, අධ්‍යාපන ආයතනවලට ඇතුළත්වීමේ ක්‍රියාවලිය සඳහා වන නිර්ණායක, ප්‍රතිලාභ සහ හිමිකම් වෙන් කිරීමේ නිර්ණායක, යටිතල පහසුකම් ව්‍යාපෘතිවල තත්ත්වය සහ සංවර්ධනය, වැටුප් විස්තර, අපරාධ ආදිය සම්බන්ධයෙන් වන වැදගත් ලියකියවිලි අනාවරණය කිරීම කෙරෙහි අවධානය යොමු කොට තිබෙනවා. ‘දූෂණය’ යන්නෙන් ලබා දුන් බලය අවභාවිත කිරීම සළකා බලා තිබෙනවා. උදාහරණ ලෙස, ප්‍රතිපාදන අවභාවිතය, සම්පත් වෙන් කිරීමේ අවිධිමත්භාවය සහ වැරදි කලමනාකරණය කෙරෙහි අවධානය යොමු කොට තිබෙනවා. මෙම පර්යේෂණයේ ඉල්ලුම සහ සැපයුමට අදාළ පැතිකඩ විශ්ලේෂණය කිරීමේදී ඉන්දියාවේ රාජස්ථානයේ සිදුකළ පර්යේෂණයක් මූලික වශයෙන්ම පාදක කරගෙන තිබෙනවා.

කොමිසන් සභාවේ ප්‍රධාන තීරණ සම්බන්ධයෙන් සළකා බැලීමේදී අකුරේගොඩ ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේදී උපදේශක සමාගම්වලට ගෙවන ලද ගෙවීම්වල විශාල විෂමතා හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් වන නඩුව ප්‍රධාන එකක්. එය මාධ්‍ය තුළ පුළුල් ලෙස වාර්තා කෙරුණා. ජාතික ආරක්ෂාව පිළිබඳ ව්‍යතිරේඛය තහවුරු නොකිරීම මත අනාවරණය කිරීම් කොතරම් ප්‍රබලද කියනවා නම් මෙහිදී අතිරික්ත මුදල් ආපසු ගෙවන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ උපදේශන සමාගමට නියෝග කිරීමක් සිදුවෙලා තියනවා. ඒවගේම ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි, මානව සම්බන්ධකම් පිළිබඳ ප්‍රධානී සහ ප්‍රධාන වානිජ නිලධාරි සහ ජාතික ගුවන් සේවය විසින් අත්සන් කරන ලද ගිවිසුම් කිහිපයක් පිළිබඳව ගුවන් නියමුවන්ගේ සංගමය තොරතුරු ඉල්ලා සිටීමක් සිදු කළා. එහිදී කොමිසන් සභාවේ උපදෙස් මත අදාළ තොරතුරු නිකුත් කිරීම සිදුකළා. ඒ අනුව ගෙවන ලද වැටුප් සහ වෙනත් ගිවිසුම් නිදහස් කිරීමටද කොමිසන් සභාව නියෝග කොට තිබෙනවා. මෙහිදී පෞද්ගලිකත්වය සහ අනෙකුත් රාජ්‍යයන් සමඟ තිබෙන විශ්වාසයට හානිවීම යන ව්‍යතිරේඛයන් ප්‍රතික්ශේප කිරීමත් සිදුව තිබෙනවා.

මධ්‍යම රජයේ පොදු අධිකාරින්ට එරෙහි අභියාචනා 783ක් කොමිසමට ඉදිරිපත් වෙලා තියනවා. පළාත් මට්ටමෙන් 259ක් ඉදිරිපත් වෙලා තියනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් 142ක් ඉදිරිපත් වෙලා තියනවා. මේවායින් දින 14ක් ඇතුළත ප්‍රතිචාර ලබාදී ඇති ප්‍රතිශතය 31%-34% අතර ප්‍රමාණයකයි පවතින්නේ. දින 28ක් අතර ප්‍රතිචාර දැක්වීම් ප්‍රතිශතය 18%-27% අතර ප්‍රමාණයක ව්‍යාප්තව පවතිනවා.

කොමිසන් සභාවේදි තොරතුරු නිකුත් කළ අභියාචනා ප්‍රමාණය 87%ක ප්‍රතිශතයක් දරනවා. 16%ක අභියාචනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.”

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435