කොරියානු භාෂා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම ඇරඹේ

කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම මාර්තු මස 14, 15, 16, 17  යන දින 04 තුලදී දිවයින පුරා පිහිටි කාර්යාංශයේ පළාත් කාර්යාල, දිස්ති‍්‍රක් පුහුණු මධ්‍යස්ථානවලදී සිදුකෙරේ. මෙම අයදුම්පත් කොරියාවේ නිෂ්පාදන හා ධීවර රැකියා සඳහා පමණක් නිකුත් කෙරේ. අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, මහනුවර, රත්නපුර, වව්නියාව යන කාර්යාංශයේ පළාත් කාර්යාල හා මතුගම, අම්පාර, මඩකලපුව, හලාවත, දඹුල්ල, ගාල්ල, යාපනය, පොළොන්නරුව, ති‍්‍රකුණාමලය, තංගල්ල, යන කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානවලදී සහ කටුනායක සහන පියස මධ්‍යස්ථානය හා අතුරුගිරිය ජාතික වැවිලි කළමණාකරණ ආයතනයේදී අයදුම්පත් නිකුත් කෙරේ.

මෙම විභාගයට පෙනී සිටීම සඳහා සුදුසුකම් ලෙස වයස අවුරුදු 18ත් 39ත් අතර අය (1977 මාර්ත 15 සිට 1999 මාර්තු 14 දක්වා උපන් අය) විය යුතුය. සිර දඩුවම් නොලද අය විය යුතු අතර කොරියානු රජයෙන් ආපසු හරවා හෝ නෙරපූ අය නොවිය යුතුය. වර්ණ අන්ධ හෝ වර්ණ දුර්වලකම් නැති අය විය යුතු අතර, කොඳු ඇට පෙලේ ආබාධයක් හෝ ඇගිලි ආබාධ ඇති අයට මෙම විභාගයට පෙනී සිටිය නොහැක. මෙම විභාගය අපේ‍්‍රල් මස ආරම්භ වීමට නියමිතය. වැඩිදුර තොරතුරු සඳහා කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවිය පරිශීලනය කරන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඇගයුම් මත ලකුණු ලබා දීමේ ක‍්‍රමවේදය මත පවත්වන මෙම විභාගය මගින් අපේක්ෂකයින් සතු කොරියානු භාෂා හැකියාව සහ කුසලතාවය, කායික තත්වය සහ වැඩ අත්දැකීම් පිලිබදව සොයා බලනු ලැබේ. අදාළ කර්මාන්ත සදහා රැකියා අපේක්ෂකයින් තෝරා ගනු ලබන්නේ ඔවුන් ලබා ගන්නා ඉහළ ලකුණු මට්ටම් අනුවයි. පලමු වටය සමත් වීම සදහා අපේක්ෂකයින් විසින්  අවම ලකුණු මට්ටමට වඩා ඉහලින් සිටිය යුතුය. නිෂ්පාදන සදහා අවම ලකුණු මට්ටම 40% ක් සහ ධීවර රැකියා සදහා අවම ලකුණු මට්ටම 36% වේ. දෙවන වටයේදී කුසලතා පරීක්ෂණයට හා නිපුණතා පරීක්ෂණයට අවස්ථාව ලැබේ. එම පරීක්ෂණ වලදී ලබා ගන්නා ලකුණු වල එකතුවෙන් ඉහළම ලකුණු ලබා ගන්නා අය මෙම ලකුණුු මත ඇගයුම් ක‍්‍රමවේදය මගින් තෝරා ගනු ලැබේ.

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ, මාර්තු මස 14 සිට 17 දක්වා දිනයන් තුළ අදාළ මධ්‍යස්ථානවලට ගොස් අයදුම්පත් ලබාගන්නා ගෙන විභාගයට පෙනී සිටිමින් කොරියාවේ රැකියාවක් සදහා යාමට මූලික සුදුසුකම් ලබා ගන්නා  ලෙසයි. මෙම විභාගය පිළිබඳව අවශ්‍ය තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ලබාගන්නා ලෙසත්, ඒ සඳහා තෙවන පාර්ශවයක සහයෝගය ලබා නොගන්නා ලෙසත්, අමාත්‍යතුමිය රැකියා අපේක්‍ෂිතයින්ගෙන් ඉල්ලා සිටී. එසේම කිසිවිටෙක කිසිඳු පුද්ගලයෙකුට මුදල් ලබා නොදෙන ලෙසඳ දැනුම්දෙයි. සියළු ගණුදෙනු කාර්යාංශය මගින් පමණක් සිදුකරන ලෙසද ඇය වැඩිදුරටත් ඉල්ලා සිටී.

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය දකුණු කොරියානු රාජ්‍යයේ කම්කරු අමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවන්හි ප‍්‍රතිඵල ලෙස දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප‍්‍රමාණයක් ලාංකික ශ‍්‍රමිකයින්ට හිමි විය. එසේම කොරියානු රැකියා නිසා වැඩි විදේශ විනිමය ප‍්‍රමාණයක් ලංකාවට ලැබෙන බවත් අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

 2015 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියාවන් සදහා පිටත්ව ගිය මෙරට ශ‍්‍රමිකයින් සංඛ්‍යාව වැඩි වී තිබෙන අතර, ඒ අනුව 2016 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව ගිය විගමණික ශ‍්‍රමිකයින් සංඛ්‍යාව 6629 ක් වන අතර, එය 2015 වර්ෂයට වඩා 32% කින් වැඩි වීමකි. 2015 වර්ෂයේ දකුණු කොරියාවේ රැකයා සදහා 5007 ක් පිටත්ව ගොස් තිබේ.

2015 වර්ෂයේ ධීවර අංශයේ රැකියා අවස්ථාවන් 1319 ක් ද, නිශ්පාදන අංශයේ 3513 ක්ද, ඉදිකිරීම් අංශයේ 170ක් ද, කෘෂිකර්ම හා පශු සම්පත් අංශයේ 3ක්, වෛද්‍ය හා අක්ෂි උපකරණ නිෂ්පාදන අංශයේ රැකියා අවස්ථාවන් 1 ක් ද හිමි වී තිබේ.

2016 වර්ෂයේ ධීවර අංශයේ රැකියා සදහා 2163 ක්ද, නිෂ්පාදන අංශයේ රැකියා සදහා 4330 ක් ද, ඉදිකිරීම් අංශයේ රැකියා සදහා 118 ක්ද, කෘෂිකාර්මික අංශයේ රැකියා සදහා 6ක්ද, වගා ක්ෂේත‍්‍රයේ රැකියා සදහා 6ක් ද, ධීවර කර්මාන්තය සඳහා 5ක් ද, යන්ත්‍රෝපකරණ නිශ්පාධන සදහා 1 අයෙක්ද දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව ගොස් තිබේ. මේ වන විට දකුණු කොරියාවේ දළ වශයෙන් 35,000 කට ආසන්න ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් ප‍්‍රමාණයක් සේවය කරයි.

වැඩබිම

සබැඳි ලිපි

2017 විදේශික ශ්‍රමිකයින්ට කොරියාවෙන් හිමි රැකියා ප්‍රමාණය මෙන්න 

Print Friendly, PDF & Email

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435