කොරියාවේදී වාහනයක් පැදවීමට කැමතිද? එසේනම් ඊට පෙර මේ ගැන සිතන්න

කොරියාව යනු ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසකට රැකියා අවස්ථා හිමිකර දුන් රටකි. එරට තුළ සේවයේ නියුතු 30000කට අධික ශ්‍රී ලාංකිකයින් මව් රටේ ආර්ථිකයට දක්වන දායකත්වය නොමසුරුය.  නමුත් මෙහි යතාර්ථය තේරුම් ගැනීමේදී ඉතාමත් අසීරු රැකියාවල නිරතවෙමින් විවිධ දුෂ්කරතා, අභියෝග හමුවේ සිය දරු පවුල් රක්ෂා කිරීමේ අරමුණ ඇතිව මුදල් සෙවීමේ අරගලයක නිරතවන බව පෙනේ. එමෙන්ම අනේකවිධ අරමුණු ඇතිව කොරියාවට පැමිණෙන ලාංකික ශ්‍රමිකයින් සමහරක් දෙනාට කොරියාවට ආවිට මුල් අරමුණු අමතක වී යයි. ඇතැම් තරුණයින් සිය ජීවිතෙන්ද වන්දි ගෙවයි.

මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතු වන කාරණාවක් වන්නේ සෑම වසරකම විවිධ හේතුන් මුල්වී අවම වශයෙන් ලාංකිකයින් 10ත් 15ත් අතර ප්‍රමාණයක් මිය යන අතර එම සංඛ්‍යාව වැඩි වීමක් මිස අඩුවීමක් දැකිය නොහැකි බවයි.

මෙලෙස මියයාම සම්බන්ධයෙන් එරට විදේශ ශ්‍රමික උපකාරක මධ්‍යස්ථානයේ භාෂා පරිවර්තක ප්‍රේමලාල් අබේසිංහ මහතා කොරියා ලංකා සංසදයට පවසා ඇති කරුණු අනුව වැඩි ප්‍රමාණයක් රිය අනතුරුවලින් මිය යන අතර පසුගිය වසර 20ක කාලය ඇතුළත රිය අනතුරු නිසා ලාංකිකයින් 75ක් 100ක් අතර ප්‍රමාණයක් මිය ගොස් ඇති බවයි. එමෙන්ම තවත් සිය ගණනක් දෙනා පූර්ණ ආබාධිත තත්ත්වයටද පත්ව තිබේ.

ඔබත් කොරියාවේ සිටින රිය පදවන අයෙක්ද? එසේ නොමැතිනම් කොරියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින අයෙක්ද? එසේනම් පහත සදහන් වන්නේ කොරියා ලංකා සංසදය විසින් කොරියාවේ ලාංකිකයින් වෙතට ඉදිරිපත් කරන ලද අතිශය වැදගත් කරුණු කිහිපයකි.

දකුණු කොරියාවේ රථ වාහනවල මිල ඉතා පහළ අගයක පැවතියත් වාහන ලියාපදිංචිය, රක්ෂණය කිරීම, නඩත්තු කිරීම වැනි කාරණා සදහා මාස්පතා සැලකියයුතු මුදලක් වැය වෙන අතර අවම වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රු.30000ක්වත් වියදම් වේ. යම් අයෙක් කොරියාව තුළ සිය වීසා කාලය අවසන්වනතුරු රථ වාහනයක් භාවිත කරන්නේ නම් අවම වශයෙන් ලංකා මුදලින් ලක්ෂ 18ක මුදලක් පමණ වැයවෙනු ඇත. යම් අවස්ථාවල වාහන ලියාපදිංචියට  හා රක්ෂණයට  විශාල මුදලක් වැයවෙන බැවින් නීති විරෝධීව වාහන භාවිත කරන අවස්ථා දක්නට ලැබේ. එය කොරියාව තුළ දඬුවම් ලැබෙන වරදක් වන අතර බලපත්‍ර නොමැතිව රථ ධාවනය හා වාහන මිලදී ගැනීම නිසා වරදකරුවන් වෙන අවස්ථාද ඇත. බලපත්‍ර නොමැතිව රථ වාහන පැදවීම හේතුවෙන් වොන් 50 00000සිට වොන් 30 000000දක්වා දඩයක් නියම කිරීමට කොරියානු අධිකරණයට බලය ඇත. එමෙන්ම විශේෂ කරුණක් නම් මෙරට නීතිය යටතේ බලපත්‍ර නොමැතිව නවතා තබන ලද වාහනයක රියදුරු අසුනේ අසුන් ගැනීමද දඩුවම් ලැබිය හැකි වරදකි.

දකුණු කොරියාවේ මාර්ගවල පොලිස් නිළධාරීන් සිටීම දුලභ වුවත් එහි සෑම ස්ථානයකම ආරක්ෂිත කැමරා සවිකර ඇති අතරම නිරන්තරයෙන් ඒවා පරීක්ෂාවටද ලක්වේ. බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් තැකීමක් නොකරන අතර රථ වාහන වැරදි නිසා දඬුවම් විදීම හා දඩ මුදල් ගෙවීමටද සිදුවේ. කොරියානුවන් මාර්ග නීති සම්බන්ධයෙන් නව තාක්ෂණය මනාව යොදා ගන්නා අතර මාර්ග දෙපස අලංකාර කර ඇති විසිතුරු ශාඛ ආදියට රිය අනතුරකින් යම් හානියක් සිදුවුවහොත් ඒ සදහාද නගර සභාවට අලාභ හානිය ගෙවීමට සිදුවේ. එවැනි කාරණා සම්බන්ධයෙන් ඔබ දැනුවත් වී සිටීමත් සැලකිලිමත් වීමත් වැදගත් වෙන බව මින් පැහැදිලි වේ.

දකුණු කොරියාවේ සෑම කඩ සාප්පුවකම මත් පැන් විකිණීමට ඇති අතර අනෙකුත් ජනයාට කරදර නොවන අයුරින් ඕනෑම අවස්ථාවක මත් පැන් පානය කිරිමට නීතියෙන් බාධා නොමැත. බොහෝ ලාංකිකයන් මත් පැන් භාවිතා කර රිය ධාවනය කරන අවස්ථාද එවැනි අවස්ථාවල රිය අනතුරු සිදුවන අවස්ථාද අප ඕනෑතරම් දැක ඇත. එවැනි අවස්ථාවල පොලිස් පරීක්ෂණ වලින් මත් පැන් පානය කර ඇති බව තහවුරු වුව හොත් නීතිය මඟින් අධික දඩ මුදලක් නියම කරනු ලබයි. විශේෂය නම් එවැනි අවස්ථාවක රියදුරන්ට පමණක් නොව එම රියෙහි ගමන් කරන අනෙකුත් පුද්ගලයින්ටද දඩුවම් නියම කරයි. එමෙන් දකුණු කොරියානු නිතිය යටතේ රථ වාහන සම්බන්ධව වොන් ලක්ෂ පනහක මුදලක් (ලංකා මුදලින් රුලියල් ලක්ෂ 05 ක්) දඩයක් නියම වුවහොත් ඔහු එරටින් පිටුවහල් කිරීමද කරනු ලබයි. එහිදී කිසිම අයුරකින් නැවතත් කොරියාවට පැමිණිමේ ඉඩකඩ කොරියා රජය විසින් ආවරණය කරයි.

ඔබ කොරියාවේදී රථ වාහනයක් භාවිත කරන අයෙක් හෝ වාහනයක් ගැනිමට අපේක්ෂාවෙන් පසුවෙන අයෙක්නම් හෝ කොරියාවට රැකියාවක් සදහා පැමිණීමට අපේක්ෂාවෙන් සිටින අයෙක් නම් ඉහත සදහන් කරුණු කාරණා කෙරෙහි අවබෝධයෙන් හා සැලකිලිමත් වීම ඔබේ ජීවිතයට හා මුදල් පසුම්බියටද යහපත් වෙනු ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435