කොරියාවේ ඔබට වැදගත් ඔවදනක්…!

දකුණු කොරියාවේ සංක්‍රමණික සේවකයින් පිලිබඳ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වී ෆ්‍රෙන්ඩ්ස් (We Friends) සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කිම් මිසුන් මහත්මිය පසුගියදා වැඩබිම හා මුනගැසුණු අවස්ථාවේ දී තම රටේ වෙසෙන ලාංකික ශ්‍රමිකයින් ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් වැදගත් අදහස් දැක්වීමක් සිදු කළා. අප නැගු පැනයන්ට ඇය ලබාදුන් පිළිතුරු පහත දැක්වෙනවා.

පසුගියදා, සංක්‍රමණික සේවකයන්ගේ වෘත්තීය සමිතිය පිළිගනීමින් ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීන්දුව ගැන ඔබ මොකද හිතන්නේ?

එය ඉතාම වැදගත් තීන්දුවක්. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව සංක්‍රමණික සේවකයන්ගේ නීත්‍යානුකුල තත්වය කුමක්වුවත් ඔවුන්ට වෘත්තීය සමිතිය සමඟ සම්බන්ධ වීමේ හා ක්‍රියාකිරීමේ හැකියාව ලැබෙනවා. සමහර වෙලාවට සංක්‍රමණික සේවකයන්, බියක් දක්වනවා වෘත්තීය සමිති සමඟ සම්බන්ධ වෙන්න. ඒකට හේතුව ඔවුන් ඉන්න තත්වය. නමුත් ඔවුන් කිසි බියක් ඇති කරගත යුතු නැහැ වෘත්තීය සමිතියකට සම්බන්ධවෙන්න. මෙය අපේ සමාජය විසින් ගත් ඉතාම වැදගත් තීන්දුවක්. සංක්‍රමණික සේවකයන් ලැබූ විශාල ජයග්‍රහණයක්‌.

දකුණු කොරියාවේ සේවය කරන සංක්‍රමණික සේවකයන්ට සම්බන්ධ විය හැකි වෘත්තීය සමිති මොනවාද?

සංක්‍රමණික සේවකයන් වෙනුවෙන්ම වූ වෘත්තීය සමිතිය තියෙනවා. ඒ වගේම ඔවුන්ට දේශීයව ක්‍රියාත්මක වන වෘත්තීය සමිති සමගත් සම්බන්ධ වෙන්න පුළුවන්. සමහර දේශීය සමිති වලට සංක්‍රමණික සේවකයින්ගේ සාමාජිකත්වයක් තිබෙනවා. නමුත් තමුන්ට වඩාත් ගැලපෙන සමිතිය අදාළ තත්වයන්ට අනුව තමුන් තෝරාගන්න ඕනි.

වෘත්තීය සමිති හා සම්බන්ධ වුවහොත් එමගින් ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ට හිමිවන වාසි මොනවාද?

ඔවුන්ට ලබාගත හැකි පළමු දේ තමයි සේවකයෙකු වශයෙන් තමන්ට හිමි අයිතීන් මොනවාද යන්න පිළිබඳ අවබෝධයක් ලබාගැනීම හා ඒවා දකුණු කොරියාවේදී භුක්තිවිඳිය හැක්කේ කෙසේද යන්නයි. ඒ වගේම තම අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් හෝ උසාවි යාමට සිදුවුවහොත් හෝ ඔවුන්ට පුළුවන් වෘත්තීය සමිතිය වෙත ගොස් ඔවුන්ගේ සහය ගෙන එම ගැටලුව විසඳා ගැනීමට. තමුන්ගේ රැකියාවේ ගැටලුවක් වුනත් සමිතියකට ගිහිල්ල කියලා විසඳාගන්න පුළුවන් තමුන් සමිතියේ සාමාජිකත්වය අරන් තියෙනාවානම්.

සංක්‍රමණික සේවකයන්ගේ ඔවුන්ගේ වීසා දීර්ඝ කරගැනීමට හැකියාවක් තිබේද? 

යම් සේවකයෙකු EPS ක්‍රමවේදය තුලින් දකුණු කොරියාවට පැමිණ ඇත්නම් ඔවුන්ගේ වීසා දීර්ඝ කරගැනීමේ කිසිඳු හැකියාවක් නෑ.

එසේනම් ඔවුන්ට එහි සිටිය හැකි කාලය කොපමණද?

නීත්‍යනුකුලව සිටිය හැකි උපරිම කාලය වසර 4යි මාස 10යි. එයින් පසු ඔබ විශ්වාසවන්ත සේවකයෙකු ලෙස සුදුසුකම් ලැබුවහොත් තවත් වසර 4යි මාස 10ක කාලයක් ඔබව දකුණු කොරියාව තුළ සේවයේ යෙදවීමට සේවායෝජකයාට හැකියාවක් ඇත. නමුත් එලෙස සේවා කාලය දීර්ඝ කළහොත් පළමු වසර 4යි මාස 10 නිමවී යළි මව්බිමට ගොස් මාස 3කින් ඔබ නැවත දකුණු කොරියාවට පැමිණිය යුතු වේ.  මේ පිලිබඳ වැඩි විස්තර https://www.eps.go.kr/ph/index.html යන වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක.

ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් වෙනුවෙන් ඔබට දියහැකි විශේෂ පණිවිඩයක් තිබේද?

දකුණු කොරියාව තුළ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් විශාල පිරිසක් සිටිනවා. ඒ වගේම තමයි නීති විරෝධී ලෙස රැඳී සිටින විශාල පිරිසකුත් සිටිනවා. ඒ නිසා ඔබට යම් ගැටළුවක් ඇතිවුවහොත් ඔබ කළ යුත්තේ ඔබගේ රටින් පැමිණ සිටින අන් අයගේ සහය ලබා ගැනීමයි. මන්ද ඔවුන් ඔබට සහය දීමට සතුටින් ඉදිරිපත් වේවි.

ශ්‍රී ලාංකිකයන්ට සහය ලබාගත හැකි දකුණු කොරියානු සංවිධාන තිබේද?

අපි සංක්‍රමණික සේවකයන් වෙනුවෙන් නීති ආධාර ලබාදෙන සංවිධානයක් ඒ වගේම සිවිල් සමාජය විසින් පවත්වාගෙන යන සංක්‍රමණික සේවකයන් වෙනුවෙන් ඇති උපදේශක සේවා මධ්‍යස්ථානය සහ සහය මධ්‍යස්ථානය මගින් ද ඔබට අවශ්‍ය සේවාව ලබාගන්න පුළුවන්.  ඒ වගේම තමයි රජය විසින් පවත්වාගෙන යන සංක්‍රමණික සහය මධ්‍යස්ථානයෙන්ද උදව් ලබාගන්න පුළුවන්.

නිසි ලියකියවිලි නොමැතිව නීති විරෝධී ලෙස රැඳී සිටින සංක්‍රමණික සේවකයන්ට ඒ තත්වයෙන් මිදීමට සහය ලබාගත හැක්කේ කෙසේද?

ඔබ නීති විරෝධී ලෙස රැඳී සිටින සංක්‍රමණික සේවකයෙකු වුවත් රාජ්‍ය නොවන සංවිධාන (NGO) මගින් සහය ලබා ගැනීමට බයවෙන්න ඕනේ නෑ. අප සංවිධානය එනම් “සංක්‍රමණික සේවකයන් සඳහා වූ සෞඛ්‍ය සංවිධානය” මගින් ඔබට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් හෝ සෞඛ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා අපව සම්බන්ධ කරගන්න පුළුවන්.

දකුණු කොරියාව තුල සෞඛ්‍ය සඳහා වූ සමාජාරක්ෂණ වැඩපිළිවෙල සඳහා සංක්‍රමණික සේවකයන් ඇතුලත් වේද?

එය රඳාපවතින්නේ ඔහු නීත්‍යානුකුලව රැඳී සිටිනවාද යන්න මත. නීත්‍යානුකුලව රැඳී සිටිනවා නම් ඔහුට සමාජ ආරක්ෂණ 4 ට හිමිකම් කීමට හැකියාව තියෙනවා. නමුත් ඔබ නීත්‍යානුකුලව රැඳී නොසිටියත් NGO හරහා සහය ලබාගන්න පුළුවන්. ඒ වගේම රජය විසින් ලබාදෙන හදිසි අනතුරු ප්‍රතිලාබ ලබාගැනීමේ හැකියාවද පවතී.  ඒ නිසා එම සහය ලබාගැනීමට බියක් හෝ මැලිකමක් නොදක්වන්න.

තවදුරටත් පැහැදිලි කිරීම අවශ්‍යනම් wedabima@gmail.com හරහා අප හා සම්බන්ධ වන්න

සබැඳි ලිපි

කොරියානු සංක්‍රමණික සේවකයන්ගේ ප්‍රථම වෘත්තිය සමිතිය..!! 

කොරියානු සංක්‍රමණික සේවකයන්ට හිමි කාර්මික අනතුරු රක්ෂණාවරණය

කොරියාවේ සේවය කරන ඔබට හිමි සමාජ රක්ෂණයන්

කොරියානු නීතිය අනුව හිමි කම්කරු අයිතිවාසිකම්

 

මේ ලිපිය ප්‍රයෝජනවත්වේයැයි ඔබට හැඟෙන අයෙකු අතර බෙදා හරින්න 🙂

තවත් දෙස් විදෙස් තොරතුරු සඳහා පිවිසෙන්න වැඩබිම වෙබ් අඩවියට.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435