කොරියාවේ ධීවර රැකියාවකට යන්න පෙර මේ ගැනත් සිතන්න!

දකුණු කොරියාවේ ධීවර කර්මාන්තය ප්‍රධාන කොටස් 2කට බෙදේ
1 මහ මුහුදේ ධීවර කර්මාන්තය
2 ගොඩබිම සිදුකරන ධීවර කර්මාන්තය ( ෆාම් ආශ්‍රිතව )
මෙහෙදී විශාලතම ගැටළුව සහ අභියෝගය වන්නේ මහ මුහුදේ සිදුකරන ධීවර රැකියාවයි

දකුණු කොරියාවේ නිෂ්පාදන , ඉදිකිරීම් , ධීවර යන අංශවල සේවය කරන සොයුරන් විසින් ” ශ්‍රී ලංකාවෙන් දකුණු කොරියාවේ ධීවර රැකියා සදහා පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනා සහෝදරත්වයට ධීවර රැකියා සදහා එන්නෙපා ඉදිකිරීම් හෝ නිෂ්පාදන අංශයේ රැකියා සදහා පමණක් යොමුවන්න ” යනුවෙන් මෑත කාළයේ නැවුම්වූ මාතෘකාවක් සහ ඉල්ලීමක් කරළියට ගෙන එන ලදි , ඔවුන් විසින් මෙවැනි ඉල්ලීමක් කරනු ලැබුවේ ඇයි ??

මීට ආසන්නතම හේතුව නම් නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි යන ආසන්නතම මාස තුන ඇතුලතදී අපගේම සහෝදරයින් තිදෙනෙක් මුහුදට බිලිවුනා , අද වන විටවත් ඔවුන්ගේ සිරුරු තුනවත් සොයාගැනීමට නොහැකිවී තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුවනම් මෙම මාස කිහිපයෙහි පවතින අධික ශීතලයි. මෙවැනි ශීත කාළයකදී කිමිදුම් කරුවන්ටත් මුහුදට බැසිය නොහැකි තරමටම වතුර ඉතාමත්ම ශීතලක් පවතී. ඔබට රැකියාව සිදුකිරීමට ඇති පරිසරය ගැන ඔබ දළ අදහසක් ඔළුවට ගන්න.

ඔබ මහ මුහුදේ ධීවර රැකියාවක් බලාපොරොත්තු වෙනවානම් කොරියාවට ශීත කාළය තුලදීද සමහරවිට ඔබට පාන්දර 2-3 යන වේලාවල් වලදී අවදිවී රැකියාවේ කටයුතු ආරම්භ කිරීමට සිදුවේ. ඔබ නැගිටින වේලාව⁣ට , දිනය පුරා ,සතිය පුරා ,මාසය පුරා පරිසර උෂ්ණත්වය බොහෝ විට සෘන 10 – 12 අගයක් ගැනීමට පුළුවන. මෙම වේලාවන් වලදී ඇග පත අනාවරණයවී ඇති ස්ථාන ඇතිනම් විනාඩි 2,3ක් තුල ගිණිපෙලෙල්ලකින් ඇග අතුල්ලනවාසේ දැඩි වේදනාකාරී බවක් ඇතිවේ. පාන්දර යාමයේ පරිසරයේ සීතලත් සමගම බෝට්ටුව සුළගද කපාගෙන ඉදිරියට ඇදෙනවිට ඔබ පත්වන ඉරණම පිළිබදව ඔබම දල අදහසක් ඔළුවට නගාගන්න , තවත් කාරණායක් නම් ඔබට නැවක සේවය කරන්නට සිදුවුවහොත් මහ මුහුද මැද අනිවාර්යයෙන්ම දවස් 25ත් 40ත් අතර කාළසීමාවක් සේවය කිරීමට සිදුවේ එතැනදී ඔබට සමාවක් ලබාගැනීමට කිසිදු අවස්ථාවක් නැත. සමහරවිට කෑම දවසටම එක වේලක් හෝ දෙවේලක් නෑමට අවශ්‍යනම් එම කාර්යය මුහුදු ජලයෙන් සිදුකර ගැනීමට සිදුවේ , අනෙක් අවස්ථාව නම් ඔබට රැකියාව කරන්න සිදුවන්නේ දූපතක වුවහොත් එයද මහත් අසීරුතාවයකි , කොරියාවේ ධීවර කර්මාන්තය සිදුකරන ප්‍රදේශ ආශ්‍රිතව තරමක් දුරින් , ලගින් වන්නට කුඩා දූපත් සමූහයන් පිහිටා ඇත. මේවායෙහි පවුල් 50-60ක් අතර පිරිසක් පමණක් ජීවත්වේ. ඔබ මෙවැනි දූපතක රැකියාවකට තේරීපත්වුව හොත් අාසන්නතම ප්‍රධාන නගරයේ තොටුපලේ ඇති බෝට්ටුවෙන් තමා ඔබගේ දූපතේ ඇති සජංනිම්ගේ නිවසට ගොස් රැකියාව සිදුකලයුතු වන්නේ. දූපත් ආශ්‍රිත ධීවර කර්මාන්තයේදී ඔබ සිරකරුවෙක් යන හැගීම ඔබට ඇතිවනවා නොඅනුමානය. මා මේ සදහන්කලේ ඔබ ධීවර කර්මාන්තය සදහා පැමිණෙනවානම් ඔබට මුහුණ දීමට සිදුවන අභියෝක අතලොස්සක් පමණි. මීට වඩා තවත් අභියෝග සිය ගණනකට මුහුණ දීමට ඔබට සිදුවේ.

මේවගේ ලිපියක් කිය⁣වගෙන යනකොට එකපාරටම ඔබට හිත⁣ට නැගෙන පලමු ප්‍රශ්නය තමයි මෙච්චර අමාරු රැකියාවක් නම් මේවනවිටත් කොරියාවෙ ධීවර රැකියාවල නිරතවන අපගේම ශ්‍රී ලාංකික සහෝදරයින් තුන්හාරදහසක පිරිසක් කොහොමද මේ අභියෝගයන් ජයගෙන රැකියාව කරන්නෙ කියනදේ , තවකෙනෙකු තර්කයක් ගොඩනගන්න පුළුවන් තුන්හාරදහසක් දෙනා රැකියාව කරල ගොඩට එනවා නම් මසකට එක්කෙනෙක්, දෙන්නෙක් මුහුදට වැටිල ජීවිතේ නැතිවෙනවනම් එතැන තියෙන්නෙ අර වැටෙන පුද්ගලයන්ගෙ අපරික්ෂාරීබව හෝ ඔවුන්ගේ වැරැද්දක් යන්න. ඔබ සම්පූර්ණයෙන්ම වැරදියි එදා දිනයේ ලංකාවෙන් ඔහුගේ ඔළුවට ආපු ප්‍රශ්න, සජංනිම්ගේ තරවටු හෝ තවත් නානාවිද සිතුවිලි ඔබගේද, මාගේද සිතුවිලිවල ක්‍රියාකාරීමට පිළිවන ඒවාගේම ක්ෂණයකින් සිදුවෙන සුළු අතපසුවීම ජීවිතය මුහුදට බිලිවීමට හේතුවක් වෙනවා ඇත. කවුරුත් කැමැත්තෙන්ම මුහුදට පනින්නෙවත් වැටෙන්නෙවත් නැත. ඒමොහොතේ පවතිනා තත්වයන්ට අනුගතව රැකියාව කිරීමට බෝට්ටුවේ සිටිනා කාට වුවද සිදුවේ.

දකුණු කොරියාවේ ධීවර රැකියා ක්ෂේත්‍රය යනු ඉතාමත් හොද සහ ආරක්ෂාකාරී පහසුකම් සහිත මහා පරිමාණයේ ව්‍යපාර නොවේ. එවැනි ව්‍යපාරද පවතී නමුත් කොරියානු ජාතිකයන් බහුතරයක් විදේශීය ජාතිකයන් උපයෝගී කරගනු ලබන්නේ ඔවුන්ගේ මේ කුඩා පරිමාණ ධීවර ක්ෂෙත්‍රය නගාසිටුවා ගැනීම සදහා සහ ඉතාමත් අවධානම් සහිත රැකියා කොරියානු ජාතිකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබන නිසාවෙනි. ඔබව තෝරාගනු ලබන බහුතරයක් ධීවර සජංනිම්ලා සතුව ඇත්තේ එක් බෝට්ටුවක් පමණි. ඔබ පැමිණීමට කලින් ඔහු හා ඔහුගේ බිරිද රැකියාවේ නිරතවී තිබීමට පුළුවන් . බොහෝවිට ඔබගේ නවාතැන ඔනුයේ ඔවුන්ගේ කුඩානිවසේ පොඩි ඉඩකඩක් හෝ නිවසටම යාකර ඔවුන් විසින් තනනලද ඉඩකඩක් වීමට පිලිවන , ඔබට ආහාර වශයෙන් ලැබෙනුයේ ඔවුන් ගෙදර සකසාගනු ලබන දෙයකි. අපි ලංකාවෙදි නම් ධීවර කිවුවොත් දන්නෙ මුහුදෙ මාළු පන්නයක් කරනව කියලයි. නමුත් කොරියාවෙ ධීවර කියන්නෙ පුළුල්ව පැතිරුණු ක්ෂෙත්‍රයක් මෙහිදී කර්මාන්ත විශාල සංඛ්‍යවක් පවතී. මේවා අනුව ඔබට ඉටුකිරීමට නියමිත කාර්යභාරයන් සහ ඔබට රැකියාව ආරම්භ කිරීම අවසන් කිරීමට ඇති කාළයන් විවිධ වේ. ධීවර රැකියා ආශ්‍රිත සජංනිම්ලා යනු වැඩිදුරට අධ්‍යපනයක් ලද්දන් නොවේ එමනිසා ඔබ ඔවුන්ගෙන් කාරුණිකත්වය ඉතාමත්ම අඩුවෙන් බලාපොරොත්තුවන්න. විශේෂයෙන්ම ඔවුන්ගේ කතා විලාශය ඉතාමත් පහත්ය. ඒ ඔවුන්ගේ චර්යා රටාවයි මේවා විදගන්නවා හැර මේව වෙනස් කිරීම උකහට වේ. ඉතාමත් සීමාසහිත ඉඩකඩක වාසය, වැඩිමනක් වශයෙන් දවසට දෙවේලක් පමණක් ආහාරය, එළියට යෑමේ අවස්ථාවන් සීමාසහිත වීම වගේ අභියෝග අනිවාර්යයෙන්ම විදදරා ගැනීමට ඔබට සිදුවේ. කෙටියෙන්ම කියනවනම් නොකා නොබී නොනාදා හෝ හැකි සෑම අවස්ථාවකම ඔබගෙන් සේවයක් ඉටුකරගැනීම ඔවුන්ගේ අභිලාෂයයි.

කොරියාවේ ධීවර රැකියා යනු ශ්‍රී ලංකාවේ ඇමතිවරුන්, ආයතන, නිළධාරීන්, බළධාරීන් විසින් අටවනලද උගුලක් ලෙස මා දකිනවා , ඊට ප්‍රධානතම හේතුවනම් දකුණු කොරියාවේ ධීවර කර්මාන්තය ගැන නිවැරදි සහ පරිපූර්ණ දැණුවත්භාවයක් ශ්‍රී ලාංකික සහෝදරත්වයට ලබා නොදීමයි. මුලදී ඔවුන් හිතුවට වඩා තත්වය දැන් දැන් බැරෑරුම් වෙමින් පවතී , විශේෂයෙන්ම නිළධාරීන් , බලධාරීන් යම්කිසි බියකින් පෙලෙනවා වීමටද පුළුවන මොකද එයාල ධීවර ක්ෂෙත්‍රය වෙනුවෙන් යම්කිසි පෙනීසිටීමක් සිදුකලහොත් කොරියාවෙන් ලංකාවට ලැබෙන අනෙකුත් කෝටා⁣වන් හෝ සහනසේවා තුලදී යම් යම් පසුබැස්සවීම් සිදුවීමට ඉඩකඩක් ඇතැයි කියා. නමුත් මට හැගෙන නිවැරදිම කාරණය නම් මෙම ධීවර කියන උගුල සදහා ඔවුන්ගේ කරල ඉතාමත් හොදින් පැසෙන බවය , ඔවුන්ගේ ආයතන වලට ඉතාමත් ලාභදායී ව්‍යපාරයක් වන බවය. මෙහිලාගැනිය හැකි සුවිශේෂිතම කාරණාවක් නම් කෙසේ හෝ දුක්ගැහට විද ලංකාවෙන් ධීවර රැකියා සදහා කොරියාවට පැමිණිපසු කොරියාවේ පිහිටුවා ඇති ශ්‍රීලාංකීය රාජ්‍ය ආයතන , නිළධාරීන් වත් එම සේවාව නිවැරදිව සිදුකරනවාදැයි හොදම සාක්ෂි සපයන්නන් වන්නේ දැනට කොරියාවේ සේවය කරන ධීවර සහෝදරයන්මය.

ධීවර රැකියාවෙහි ඇති බැරෑරුම් කාරණා ස්වල්පයක් ඔබ හමුවේ ලියාතැබුවේ ඔබට මෙයින් දලඅදහසක් ලබා ගැනීමටය. ධීවර කර්මාන්තය හේතුවෙන් දිනෙන් දින අපට අහිමිවන අපගේම සහෝදරයින් දිහා බලනවිට මාගේ පෞද්ගලික යෝජනාවනම් ධීවර වෙනුවට ඔබ ඉදිකිරීම් , සහ නිෂ්පාදන යන අංශවලට ඔබගේ වැඩි දායකත්වයක් යොදවා කැපකිරීමක් කරන්නට කියාය. ඇත්තවශයෙන්ම දකුණු කොරියාවේ ඉදිකිරීම් ක්ෂෙත්‍රය යනු ඉතාමත් හොද වැටුපක් ලැබියහැකි රැකියා ක්ෂේත්‍රයක්වේ.

අවසාන වශයෙන් ශ්‍රීලංකාවෙන් දකුණු කොරියාවට ධීවර රැකියා සදහා පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනා සහෝදරයන් හට එක යෝජනාවක් කිරීමට කැමැත්තෙමි , ගිය වර්ෂයේ පමණක් ධීවර රැකියා නිසා අහිමිවූ සහෝදර ජීවිත ගණන කොපමනදැයි සොයා බලන්න.

ඕනෙම කට්ටක් කන්න පුළුවන් යැයි ඇගේ තියෙන ඝට නිසා හෝ කොරියාවේ සිටිනා ඔබගේ මිතුරන් ලබාදෙන උපදෙස්මත ( වරෙන් මචන් අවුලක් නෑ ඕනතරම් කොල්ලො ඔය රස්සාව කරනව ,, කොහොමහරි කොරියාවට බැහැපං උඹව අපි සජාගෙ ලගින් පන්නල පුල්පොප් ජොබක් { වීස නැති රැකියාවක් } හොයල දෙන්නම් සහ තව තවත් සුරංගනා කථාවලින් ඔබව මුලාකරනු ඇත ) මේවා පිළිබදව කරුණු කාරණා සොයා බලා තම නුවණින් විමසා තීරනයක් ගන්න මොකද මේ කියන කරුණු කාරණා එකෙක්වත් ක්‍රියාත්මක කිරීමේදී වචන තරම් පහසු නොවනු ඇත.

ජීවිතය ජය ගැනීම සදහා ජීවිතය අනතුරේ දාගෙන ජීවත්වන්නන්ට ජීවිත කාළය පුරාවටම දුකක් ඉතිරි කරනවාද ? එහෙමත් නොමැතිනම් ජීවිතය ජය ගැනීම සදහා නැවත , නැවතත් උත්සාහකර නිවැරදි මං , නව මං තෝරාගන්නවාද යන්න ඔබගේ තීරණය වේ.

* කොරියාවේ ධීවර රැකියා සහ
* කොරියාවේ ස්ටුඩන්ට් වීසා
යන දෙවර්ගයම ඛේදජනක තත්වයන් වේ. මේපිළිබදව හොදින්ම දැණුවත්වී තීරණය ගැනීම ඔබ සතුවේ.

දිනෙන් දින අපට අහිමිවන අපගේම ශ්‍රීලාංකික සහෝදරත්වය වෙනුවෙන් හා ඔවුන්ගේ පවුල්වල ඇතිවන තත්වයන්ගැන ඉතාමත්ම සංවේදීව මෙම සටහන තබනලදි. තීරණය ඔබ සතුය.

මෙම ලිපිය කොරියාවේ ධීවර අංශයේ සේවය කරන ඔබට මෙන්ම ඉදිරි කාලයේ ධීවර රැකියා සදහා පැමිණෙන ලාංකික ශ්‍රමිකයින්ට අතිශය වැදගත් වන බැවින් සැමගේ දැනුවත්භාවයට බෙදා හරින්න කාරුණික වෙන්න.

(උපුටා ගැනීමකි)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435