කොරියාවේ සිටින ලාංකිකයන්ගේ අඳුරු පැතිකඩ

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිවිසුමෙන් මෘත දේහයක් රැගෙන එනු දුටුවෙමු. ඒ දකුණු කොරියාවේ බෝට්ටු අනතුරකින් දියේ ගිලී මියගිය 24 හැවිරිදි ගනුෂ්ක මදුමාල්ගේ දේහයයි.

කිසිදිනෙක ශ‍්‍රී ලංකා මුහුදේ පිහිනා නොතිබුණු මදුමාල් කොරියාවේ ධීවර යාත‍්‍රාවක සේවය කරමින් සිටියේය. අනතුර සිදුවන අවස්ථාවේ ඔහු ජීවිතාරක්ෂක කබායක් පවා පැළඳ සිට නැත.

දකුණු කොරියාවේ ශ‍්‍රී ලාංකික නුපුහුණු කම්කරුවන්ගෙන් සැළකිය යුතු සංඛ්‍යාවක් අහිතකර වෘත්තීය තත්ත්ව හා භයානක සේවා කොන්දේසි යටතේ වැඩකරමින් සිටිති.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මාරාන්තික වෘත්තීය තුවාල ඇතුළු බරපතල සෞඛ්‍ය ගැටලූ  හටගෙන ඇති බව ඬේලිමිරර් පුවත්පතේ නවතම ගවේශණාත්මක විශේෂාංගය වන ‘අක්ෂි’  මගින් අනාවරණය කර ගෙන ඇත.

දකුණු කොරියාවේ විශාලතම විදේශ කේන්ද්‍රිය කාර්මික ප‍්‍රදේශය වන අන්සාන්හි ශ‍්‍රී ලාංකික කම්කරුවන් ඬේලි මිරර් පුවත්පතට පැවැසුවේ සමහර ශ‍්‍රී ලාංකික කම්කරුවන් බර උපකරණ කඩා වැටීමෙන් මරණයට පත්ව ඇති බවයි. තවත් කම්කරුවන් පිරිසක් මදුමාල් මෙන් මුහුදේ ගිලී මිය ගොස් ඇත. තවත් සමහරක් බර යන්ත‍්‍රයට සිරවී මරණයට පත්ව ඇත.

කෙසේ වෙතත්, අපේ නිරීක්ෂණය වූයේ දකුණු කොරියාවේ ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණික කම්කරුවන් මුහුණ දෙන ගැටලූ  පිළිබඳ ඇත්තේ ඉතා සීමිත වාර්තා කරණයක් බවයි. තවද කොරියාවේ නුපුහුණු ශ‍්‍රී ලාංකික කම්කරුවන් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ කොරියාවේ ශ‍්‍රී ලාංකික තානාපති කාර්යාලය විසින් රැස් කරන ලද දත්ත අතර පැහැදිලි විෂමතාවයක් ද දක්නට ලැබිණි.

කොරියන් ‘වොන්’ සොයා නිෂ්පාදන, ධීවර, ඉදිකිරීම්, කෘෂිකාර්මික හා පශුසම්පත් වැනි අංශවල අඩු නිපුණතා සහිත රැකියා පිරවීම සඳහා කොරියාව රටවල් 16 ක් සමඟ රැකියා බලපත‍්‍ර පද්ධතිය (ඊපීඑස්) යටතේ ගිවිසුමක් අත්සන් කර තිබේ. මෙම රැකියා අපිරිසිදු, දුෂ්කර හා භයානක වන අතරම මෙම රැකියාවල අඩු වැටුප් හා දුර්වල සේවා කොන්දේසි හේතුවෙන් කොරියානුවෝ මෙම රැකියාවල නිරත නොවෙති. මේ වනවිට නිල වාර්තාවලට අනුව කොරියාවේ සංක‍්‍රමණික ශ‍්‍රමිකයන් මිලියන 2.4 ක් සිටින අතර පසුගිය වසර 10 තුළ එම සංඛ්‍යාව දෙගුණ වී තිබේ.

වයස අවුරුදු 18-39 අතර ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණික කම්කරුවන්ට දකුණු කොරියාව යනු ඔවුන්ගේ මව්බිමේ උපයන මුදලට වඩා ශ‍්‍රී ලංකා රුපියල් 200,000 – 400,000 ක් පමණ උපයා ගත හැකි අවස්ථාවකි.

ඊපීඑස් යටතේ, අයදුම්කරුවන් තෝරාගනු ලබන්නේ කොරියානු භාෂාවෙන් ඔවුන්ගේ ප‍්‍රවීණතාවය මතය.

භාෂා ප‍්‍රවීණතා පරීක්ෂණයෙන් සමත්වූවන් සඳහා වැඩකරන වීසා බලපත‍්‍ර (ඒ.9-වීසා) නිකුත් කරනු ලබන අතර එමඟින් වසර හතරක් සහ මාස 10 ක් දක්වා වැඩකිරීමට අවස්ථාව ලබාදේ.

ශ‍්‍රී ලංකා මහබැංකුවේ වාර්තාවට අනුව, ඊපීඑස්හි සිටින ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණික සේවක සංඛ්‍යාව 22,000 කට වඩා වැඩිය.

කෙසේ වෙතත්, නීති විරෝධිව කොරියාවේ රැඳී සිටින ශ‍්‍රී ලාංකික කම්කරුවන් භයානක ලෙස වැඩිවන බැවින් මෙම සංඛ්‍යා නිරවද්‍ය නොවේ.

අපිරිසිදු, දුෂ්කර හා භයානක රැකියා

කොරියාවේ ජෙජු-ඩෝහි ධීවරයකු වන සම්පත් (29) ඔහුගේ පළමු රැකියාවෙහි සේවා කොන්දේසි දරාගත නොහැකි වූ විට,  ඔහුගේ කුරිරු සේවා යෝජකයාගේ ග‍්‍රහණයෙන් මිදී අවිධිමත් සේවකයකු වීම හැර ඔහුට වෙනත් විකල්පයක් නොතිබුණි. කොරියානු හාම්පුතුන් තවමත් අවිධිමත් සේවකයින් බඳවා ගන්නේ ඔවුන්ගේ නීති විරෝධී තත්ත්වය නිසා ඔවුන් වැඩකරන පරිසරයට එරෙහිව විරෝධතා දැක්වීම අඩුවනු ඇතැයි කියන සිතුවිල්ලෙනි.

ඊපීඑස් යටතේ, සංක‍්‍රමණික සේවකයින්ට රැකියාව වෙනස් කළ හැක්කේ වසර තුනක කාලය තුළ උපරිම තුන්වතාවක් පමණි. මීට අමතරව, රැකියා ස්ථානයක් හැර දමා මාස 3 ක් ඇතුළත රැකියා වෙනස් කිරීම සහ නව රැකියා සොයා ගැනීම සඳහා කම්කරුවන් තම සේවා යෝජකයින් විසින් අත්සන් කරන ලද නිදහස් කිරීමේ පෝරමයක් ලබාගත යුතුය. එසේ නොවුවහොත්, ඔවුන්ගේ නෛතික තත්ත්වය අහිමිවන අතර ඔවුන් අත්ඩංගුවට ගැනීමට යටත්වේ.

කොරියානු ආගමන විගමන කාර්යාලයට අනුව, නීති විරෝධී සංක‍්‍රමණික කම්කරුවන් 380,000 ක් කොරියාවේ රැඳී සිටින බවට ගණන් බලා තිබේ. ශ‍්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ වාර්තාවලට අනුව නීතිවිරෝධී ශ‍්‍රී ලාංකික කම්කරුවන් 3821 ක් සිටියදී, සත්‍ය සංඛ්‍යාව ඊට වඩා වැඩිය.

සම්පත්ට ඔහුගේ පළමු සේවා යෝජකයාගෙන් නිදහස් කිරීමේ පෝරමයක් ලබා ගැනීමට නොහැකි විය. වර්තමාන සේවා ස්ථානය වන ධීවර යාත‍්‍රාව තුළ ඇති අයහපත් ප‍්‍රතිචාර හා ඔහුගේ ජීවිතයට ඇති අවදානම කලින් තිබූ ස්ථානයට සමාන බව ඔහු පැවසීය.

ඔහුට වෙනත් විකල්පයක් නොතිබිණි. ඔහුගේ එකම ආදායම් මාර්ගය මත මුළුමනින්ම යැපෙන, ශ‍්‍රී ලංකාවේ සිටින ඔහුගේ පවුලට මුදල් යැවීම සඳහා ඔහු දුෂ්කරතා දරාගෙන රැකියාවේ නිරත වෙයි.

ඔහු මෙසේ පැවැසීය.

”මගේ පවුලේ අය ආපසු ගෙදර එනවිට මා ගැන බොහෝ බලාපොරොත්තු තියෙනවා. ඒ නිසා මගේ පවුලේ අය වෙනුවෙන් දුෂ්කරතා දරාගන්න මම තීරණය කළා.”

”මා වැනි සාමාන්‍යයෙන් පිහිනීම පුළුවන් කෙනෙකුට පවා කොරියානු මුහුදට හුරුවීම ඉතා අපහසුයි. ජීවිතාරක්ෂක කබා නොමැතිව යාත‍්‍රාකිරීම අපගේ කම්කරුවන්ගේ ජීවිත අනතුරේ හෙළනවා. මගේ සේවා යෝජකයා අපට ජීවිතාරක්ෂක කබා පැළඳීමට ඉඩ නොදෙන්නේ ඒවා පැළඳීම අපට සුවපහසු ලෙස ගමන් කිරීමට හා කාර්යක්ෂමව වැඩකිරීමට අපහසුයැයි සිතන නිසා” යැයි සම්පත්කියා සිටියේය.

ඔහුගේ කොන්ත‍්‍රාත්තුව සහ සැබෑ වැඩ අතර විෂමතා ද ඔහු අපට වාර්තා කළේය.

”මට දිගුපැය හා රාත‍්‍රී වැඩ මුරවැඩ කිරීමට වෙලා තියනව. මට තේ හදන්නත් වෙනවා. අතුපතු ගා පිරිසිදු කිරීමටත් බල කරනවා. අපි කොරියාවට ආවේ වහලූන් ලෙස වැඩකිරීමට නොවේ. අපට වැටුප් ගෙවන සේවාවක් අපි කරනවනේ.”

ශ‍්‍රී ලංකා විදේශ රැකියා කාර්යංශයේහි කොරියානු අංශයේ නිලධාරීන් ප‍්‍රකාශ කළේ අවිධිමත් කම්කරුවන් වඩා සූරාකෑමට ලක්විය හැකි බවයි. සම්පත් වැනි අවිධිමත් කම්කරුවන්ට ගැටළු හමුවේ කම්කරු නිලධාරීන් සහ පොලීසිය ඇතුළු කොරියානු රජයේ බලධාරීන් වෙත යාමට නොහැකි වන්නේ ඔවුන් අත්ඩංගුවට ගෙන පසුව පිටුවහල් කළ හැකි බැවිනි.

සේවක ආරක්ෂාව ගැන නොතැකීම

මෙම රැකියාවල නියුතු කම්කරුවන්ට වේදනාව හා අධික ලෙස බර පැටවීම, තාපය, ශබ්දය සහ භයානක රසායනික ද්‍රව්‍ය සමඟ කටයුතු කිරීම, අපහසුතා සහිත ඉරියව් වැනි උපද්‍රවයන්ට නිරාවරණය වීමට සිදුවේ.

නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීම සඳහා කොරියානු සේවා යෝජකයින් විසින් කම්කරුවන්ගේ ආරක්ෂාව  නොතකා සිටින ආකාරය ගැන අන්සාන්හි ශ‍්‍රමිකයකු වන රසික ගමගේ පැහැදිලි කළේය.

භෞතික පරිසරය හඳුනා ගැනීම සඳහා කර්මාන්ත ශාලාවල විශාල හා පහසුවෙන් ළඟාවිය නොහැකි යන්ත‍්‍රවල සංවේදක සහ පාලක පිහිටුවා ඇත. ආරක්ෂක සහ සේවා ස්ථානයේ අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් සංවේදක සහ පාලකයන් වැදගත් කාර්භාරයක් ඉටුකරයි. බොහෝ අවස්ථාවන්හීදී, සංවේදක සම්පූර්ණයෙන් භාවිතා කිරීම යනු තුවාල හා අනතුරු සිදුවීමට පෙර වළක්වා ගැනීමයි.

එහෙත් රසික කියා සිටියේ බොහෝ කර්මාන්ත ශාලා හිමියන් නිෂ්පාදන ක‍්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට බාධාවක් නොවිය යුතු නිසා එම සංවේදක සහ පාලක ඉවත් කිරීමට උපදෙස් දී ඇති බවයි.

”ළඟ පිහිටි කර්මාන්ත ශාලාවක සේවය කරන මගේ කිට්ටු මිතුරෙකුගේ අත් දෙකම යන්ත‍්‍රයකට අහුවුණා. උණු වතුර නළයක් වැටීමෙන් මගේ තවත් මිතුරෙකුට දරුණු පිළිස්සුම් තුවාල සිදුවුණා. දිගුකෙස් ඇති තවත් පිරිමි ළමයෙක් ඔහුගේ කොණ්ඩය යන්ත‍්‍රයකට හසුවී ඔහුගේ හිස් කබලත් සමගම එළියට ආවා. ඔහු රෝහලට ඇතුළත් කිරීමේදී මියගියා. මේ පිරිසම අවුරුදු විසිගණන්වල තරුණයන්,” ඔහු සිහිපත් කළේය.

තවත් ශ‍්‍රී ලාංකික සේවකයෙක්, නිර්නාමිකව අදහස් දක්වමින් කියා සිටියේ ලියාපදිංචි නොවූ සංක‍්‍රමණික සේවකයන්ට වන්දි හෝ වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට  තමන්ට කිසිදු බැඳීමක් නොමැති බව සේවා යෝජකයන් පවසන බවයි.

”ඔවුන් කම්කරුවන්ට තර්ජනය කරනවා විතරක් නෙමේ.. ඔවුන් නීති විරෝධී ලෙස රැඳී සිටීම සම්බන්ධයෙන් බලධාරීන්ට වාර්තා කරන බවත් කියමින් අපව බය කරනවා.”

සංක‍්‍රමණික සේවකයින්ට සහය සැපයීම සඳහා කොරියානු සහ ශ‍්‍රී ලංකා රජයේ නිලධාරීන් රට පුරා යොදවා ඇති බව පවසයි. කෙසේ වෙතත්, අන්සාන්හි නිෂ්පාදන කෂේත‍්‍රයේ සේවය කරන චරිත් (24) චෝදනා කළේ ඔවුන්ට කිසිදු නිලධාරියෙකුගෙන් අපේක්ෂිත සහාය නොලැබෙන බවයි.

”අපේ මිනිසුන්ගේ මරණ මාධ්‍යවල පවා වාර්තා වෙන්නේ නැහැ. කොරියාවේ සේවය කරන ශ‍්‍රී ලාංකික නිලධාරීන් අපගේ ගැටලූ  විසඳීමට වැඩි සහයෝගයක් දෙන්නේ නැහැ”

”අපි ප‍්‍රශ්න කතාකිරීමට පටන් ගත්තම කොරියානු රජය ශ‍්‍රී ලාංකිකයන් සඳහා වන කෝටාව කප්පාදු කරනු ඇතැයි බියෙන් අපේ රජය අපේම මිනිසුන්ගේ මෙම මරණ හා ගැටලූ  විසඳීමට උනන්දු වෙන්නේ නැහැ. ඔවුන් නිශ්ශබ්දව සිටින්නේ ඒ නිසයි,” චරිත් පැමිණිලි කළේය.

ඔවුන්ගේ දේපළ සහ වෙනත් වත්කම් උකස් කිරීමෙන් පසු, ඔවුන්ට කොරියාවට පැමිණීම පහසු වුණේ නැත. ඔවුන්ගේ ස්ථාවරය නම්, එහි සේවා පරිසර කෙතරම් භයානක වුවත්, ශ‍්‍රී ලංකාවට ආපසු යාම විකල්පයක් නොවන බවයි.

පිටත්වීමට පෙර පුහුණුවීමේ ගැටළු

කොරියාවේ ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණික කම්කරුවන් සම්බන්ධයෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යාමට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ රැකියා සඳහා අදාළ වෘත්තීය පුහුණුව හා දැනුම නොමැති කමයි.

ශ‍්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු, අලෙවිකරණ හා බඳවා ගැනීමේ) මංගල රන්දෙනිය මහතා පැවසුවේ නිපුණතා පරීක්ෂාවෙන් පසුව කාර්යාංශය විසින් දින 10 ක නේවාසික පූර්ව පිටත්වීමේ පුහුණුවක් ලබාදෙන බවයි. දැනට පවතින පුහුණු වැඩසටහන මගින් කම්කරුවන්ගේ ශාරීරික යෝග්‍යතාවය තීරණය කරන බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, පුහුණුවැඩ සටහනේ වෙනසක් සඳහා කම්කරුවන් අතර වැඩිවැඩියෙන් ඉල්ලීමක් පවතී. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ අදාළ පුහුණුවේ කාලය දීර්ඝ කර රැකියාවට ප‍්‍රතිසංස්කරණය විය යුතු බවයි.

විවාහයෙන් පසුව, මේ වනවිට කොරියානු පුරවැසියකු වන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමික ඉඳුනිල් සෞම්‍ය මන්ත‍්‍රී කියා සිටියේ කාර්යංශය විසින් සපයනු ලබන පුහුණුව හමුදා පාසලකට ඇතුළත් වීමට කම්කරුවන් පුහුණු කරනු ලබන ස්වරූපය ගනිමින් හමුදා  පුහුණුවකට බෙහෙවින් සමාන බවයි.

”පුහුණුවෙන් අපේ රැකියා සඳහා ප‍්‍රයෝජනයක් නැහැ. ධීවර අංශය සම්බන්ධයෙන් ගත් කළ, ලබාදෙන පුහුණුව නිෂ්ඵලයි,” ඉන්දුනිල් පැවසීය.

”ශ‍්‍රී ලංකාවේ සිටින විට කිසිදිනෙක මුහුදට බැස නැති නමුත් මෙ වනවිට කොරියාවේ ගැඹුරු මුහුදේ ධීවර යාත‍්‍රාවල සේවය කරන බොහෝ තරුණයන් ඉන්නවා. කොරියාවේ වැඩකිරීමට සහ ජීවත්වීමට භාෂාව පිළිබඳ මූලික පුහුණුවක් ප‍්‍රමාණවත් වෙන්නේ නැහැ,” යයි ඉඳුනිල් පැවසීය.

අක‍්‍රමවත් සහ නීත්‍යානුකූල නොවන කම්කරුවන් අඩුකිරීම සඳහා බලධාරීන් ඔවුන්ට එරෙහි නීත්‍යානුකූල ක‍්‍රියාමාර්ගවලට අමතරව ශ‍්‍රම ආරක්ෂාව වැඩිදියුණු කිරීමට පියවර ගත යුතු බව ඉඳුනිල්ගේ අදහසයි.

රජයේ දත්තවල සීමාවන් සහ පරස්පරතා

කොරියා ටයිම්ස් පුවත්පතට අනුව, පසුගිය දශකය තුළ සංක‍්‍රමණික කම්කරුවෝ 6000 කට ආසන්න සංඛ්‍යාවක් කොරියාවේ මියගියහ. කොරියාවේ වෘත්තීය සුරක්ෂතා සහ සෞඛ්‍ය ඒජන්සිය (කොෂා) විසින් නිකුත් කරන ලද 2018 වාර්ෂික වාර්තාව ද සංක‍්‍රමණික සේවකයන්ගේ මරණ සංඛ්‍යාව ඉහළ යන බව පිළිගෙන තිබේ.

කොෂා ප‍්‍රකාශ කළේ කොරියාවේ විදේශීය ශ‍්‍රමිකයින්ගේ සිඝ්‍ර ගලාඒම සහ සේවා ස්ථානවල දුර්වල සේවා කොන්දේසි කාර්මික අනතුරු ඉහළ යෑමට හේතුවන බවයි.

මේ අතර, කොරියාවේ ශ‍්‍රී ලාංකික කම්කරුවන් පිළිබඳ කාර්යාංශය, විදේශ අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් රැස්කරන ලද දත්තවල පැහැදිලි විෂමතා අපි නිරීක්ෂණය කළෙමු. කොරියාවේ මියගිය කම්කරුවන්ගේ සංඛ්‍යාව පිළිබඳ කාර්යාංශයේ දත්ත කොරියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යලය සහ විදේශ අමාත්‍යාංශය විසින් සපයන ලද සංඛ්‍යා සමඟ සැසඳෙන්නේ නැත.

කම්කරුවන් කියා සිටින්නේ සත්‍ය සංඛ්‍යා ඉතා ඉහළ බවයි. සඳහන් කළ පරිදි, විදේශ රැකියා කාර්යාංශය මියගිය සංක‍්‍රමණික සේවකයන් පිළිබඳ දත්ත සමුදාය පවත්වාගෙන යන්නේ මියගිය සේවකයන් පිළිබඳ වන්දි ඉල්ලා සිටින ඥාතීන්ගේ සංඛ්‍යාව මතය. එම පද්ධතියෙන් පිටත වෙනත් දත්ත ඔවුන් සතු නොවේ. එබැවින්, කොරියාවේ සිදුවන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ගේ මරණ සංඛ්‍යාව සත්‍ය වශයෙන්ම නිශ්චය කිරීමට ක‍්‍රමයක් නොමැත. කාර්යංශය ලේඛන ගත නොකළ මියගිය සංක‍්‍රමණික සේවකයන්ට වන්දි ලබා නොදෙන බැවින් පවතින දත්ත සමුදායද සීමිතය.

2019 දී රැකියා ස්ථානවල සිදු වූ අනතුරු 4 ක් පමණක් කාර්යංශයට වාර්තා වී ඇති අතර ශ‍්‍රී ලංකා තානාපති කාර්යලයේ ලේඛනවලට අනුව ශ‍්‍රී ලාංකික කම්කරුවන් 34 දෙනෙකු කොරියාවේ රෝහල් ගතකර තිබේ. කොරියාවේ ශ‍්‍රී ලාංකික කම්කරුවන් සම්බන්ධ මත්පැන් ආශ‍්‍රිත අනතුරු සැළකිය යුතු සංඛ්‍යාවක් පැවතුණත්, රෝහල් ගතකර ඇති ඉතිරි සිදුවීම් 30 ම මත්පැන් භාවිතය හා සම්බන්ධයක් තිබේද යන්න සැක සහිතය.

ශ‍්‍රී ලංකාවේ එතෙර අපි සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඬේලි මිරර් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ කම්කරුවන් මුලින් ගිවිසුම් අත්සන් කර සේවා ස්ථාන වෙත පිටත්කර යැවීමෙන් පසු ඔවුන්ට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව සොයා බැලීමට ක‍්‍රමවේදයක් නොමැති බවයි.

”ලොකුම ගැටලූව ශ‍්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය විසින් පත්කරන ලද බලයලත් නිලධාරීන් කිසිවිටෙකත් කොරියාවේ කුඩා ගම්මානවලට ගොස් අපගේ කම්කරුවන් සමඟ රැස්වීමක් පවත්වා ඔවුන් මුහුණදෙන තත්වයන් පරීක් නොබැලීමයි. ඔවුන් ජංගම හමුවීම් සංවිධානය කරන්නේ විශාල නගරවල පමණයි. එබැවින් විශාල නගරවලට පැමිණීමට නොහැකි කම්කරුවන්ගේ ගැටළු කිසිවිටෙකත් වාර්තා වෙන්නේ නෑ..”

”තවත් ගැටළුවක් තමයි රැකියා කොන්ත‍්‍රාත්තු උල්ලංඝනය කරන කොරියානු සේවා යෝජකයන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග නොගැනීම. ඒ වෙනුවට, ලේඛනගත නොකළ කම්කරුවන්ගේ ඇපකරුවන්ට එරෙහිව නඩු පැවරීමට කාර්යාංශය තීරණය කර තිබෙනවා” යයි ද හඳුන්නෙත්ති මහතා පැවසීය.

සංක‍්‍රමණික සේවකයකු කොරියාවෙන් පිටත්ව ගිය පසු, පුද්ගලයන ප‍්‍රතිලාභ පිරිවැය රක්ෂණ, පිටත්වීමේ සහතික රක්ෂණ, අනතුරු රක්ෂණ සහ ඇප රක්ෂණ නමැති රක්ෂණ යෝජනා ක‍්‍රම හතරක්, සඳහා සුදුසුකම් ලබයි. හදිසි අනතුරක් සම්බන්ධයෙන් වන්දි ලබාගැනීම දුෂ්කරවන්නේ ඇයි දැයි ශ‍්‍රී ලංකා කම්කරුවන්ගෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ භාෂා දුෂ්කරතා, යෝජනා ක‍්‍රමපිළිබඳ ඇති අඩු අවබෝධය සහ අනතුරුව වසන්කිරීමට උත්සාහ කරන වගකීම් විරහිත සේවා යෝජකයන් ඊට හේතු බවයි.

කම්කරුවන්ගේ හිමිකම් ගැන කටයුතු සඳහා කොරියානු රජය විසින් පත් කරන ලද සුභසාධන නිලධාරි අයිරාංගනී රාජපක්ෂ කියා සිටියේ සමහර කොරියානු සේවායෝජකයින් සිදුවිය හැකි අවාසි හේතුවෙන් විදේශ ශ‍්‍රමිකයින්ට සිදුවන වෘත්තීය තුවාල බලධාරීන්ට වාර්තා කිරීමට මැලිකමක් දක්වන බවයි.

කොරියානු නීතිය යටතේ සේවා යෝජකයින් කාර්මික අනතුරු සංඛ්‍යාවට සාපේක්ෂ රැකියා රක්ෂණ ක‍්‍රමයට වැඩිගෙවීම් කළයුතු බව ඇය පැවසුවාය. ඔවුන් වැඩි වශයෙන් වෘත්තීය අනතුරු ඇති බවට සලකුණු කළහොත්, ඔවුන්ට අවාසි වන නිසා එම අනතුරු වසන් කිරීමට ඔවුන් උත්සහ දරන බව ඇය පැවසුවාය.

නීතිවිරෝධී කම්කරුවන්ගේ වැඩි වීම

කොරියාවේ මානව සම්පත් සංවර්ධන සේවයේ ශ‍්‍රී ලංකා නියෝජිත කිම් වොන් සියොක් ප‍්‍රකාශ කළ පරිදි නීතිවිරෝධී ශ‍්‍රී ලාංකික කම්කරුවන්ගේ අනුපාතය වැඩිවෙමින් පවතින අතර එය දැනටමත් 17% ක් පමණවේ.

”කොරියානු රැකියා වීසා බලපත‍්‍ර නියමිත කාලසීමාව ඉක්මවා නොයවා භාවිතා නොකරන ලෙස බලධාරීන් බොහෝවිට කම්කරුවන්ට අනතුරු අඟවනවා. ශ‍්‍රී ලාංකිකයන් විසින් කොරියානු රැකියා වීසා නීතිරීති අනිසි ලෙසභාවිතා කිරීම කොරියාවේ අනාගත රැකියා අපේක්ත තරුණයන්ට අහිතකර ලෙස බලපානවා,” කිම්වොන්සියොක් මහතා පවසා සිටියේය.

මේඅතර, කොරියාවේ නීති විරෝධී ශ‍්‍රී ලාංකික කම්කරුවන්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ ශ‍්‍රී ලංකා විදේශ රැුකියා කාර්යාංශය ශ‍්‍රී ලංකාවේදී ඔවුන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ආරම්භ කර තිබේ. විදේශ රැකියා කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නෛතික – විමර්ශන) කීර්ති මුතුකුමාරණ මහතා කියා සිටියේ ශ‍්‍රී ලංකාවෙන් නව සේවකයින් බඳවා ගැනීමට කොරියානු සේවා යෝජකයින්, අනුග‍්‍රාහකයින් සහ රජය අදි මදි කරන තත්වයක් උදාවිය හැකි බවයි.

”එබැවින්, කොරියාවේ රැකියා ස්ථාන වෙනස් කළ අයට එරෙහිව සිවිල් නඩු පැවරීමට අපි තීරණය කරල තියෙනවා. කඩුවෙල දිසා අධිකරණයේ දැනටමත් නඩු 100 කට වැඩි ප‍්‍රමාණයක් ගොනු කර තිබෙනවා,” ඔහු පැවසීය.

විමර්ශනය අතරතුර, කොරියාවේ ශ‍්‍රී ලාංකික කම්කරුවන් මුහුණ දෙන තවත් ගැටලූ කිහිපයක් අපි සොයා ගත්තෙමු.

ශිෂ්‍ය වීසා අනිසි ලෙස භාවිතා කිරීම

කොරියානු රජය විසින් පවත්වා ගෙන යනු ලබන දත්තවලට අනුව, මුලින් දකුණු කොරියාවට ජාත්‍යන්තර සිසුන් ලෙස ඇතුළු වූ ශ‍්‍රී ලාංකිකයන් ඇතුළු විදේශීය ජාතිකයෝ 11,000 ක් පමණ වීසා කාලය ඉක්මවා නීති විරෝධී ලෙස රට තුළ සිටිති.

දකුණු කොරියාවේ ශ‍්‍රී ලාංකික ශිෂ්‍ය සංගමයේ කමිටු සාමාජික දිලීප පැවසුවේ රැකියා ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලාංකිකයින් ශිෂ්‍ය වීසා බලපත‍්‍ර භාවිතය නතර කළ යුතුබවයි.

”මෙම අර්බුදයට රැකියා නියෝජිතයන් සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. ශිෂ්‍ය වීසා මත පැමිණෙන බොහෝ දෙනා දකුණු කොරියාවේ ශිෂ්‍ය වීසා බලපත‍්‍රවලට අදාළ නීතිරීති දන්නේ නැහැ. වංචනික ශිෂ්‍ය වීසා බලපත‍්‍ර මත දකුණු කොරියාවට පැමිණීමෙන් පසු ශ‍්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් අසරණ වී ඉන්නවා,” දිලීප කියා සිටියේය.

අධික මත්පානය

ශ‍්‍රී ලංකාවේ සංක‍්‍රමණික සේවකයන්ට එරෙහිව කොරියානු අධිකරණවල නඩු ගණනාවක් විභාගවෙමින් පවතින බව අපට දැකගත හැකිවිය.

මේ වසරේදී ශ‍්‍රී ලාංකිකයන් 12 දෙනෙකු අත් අඩංගුවටගෙන ඇති අතර කොරියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාර්තාවට අනුව කිහිප දෙනෙකුට සිරදඬුවම් පවා නියම කර තිබේ. වඩාත් කනස්සල්ලට කරුණවන්නේ අත් අඩංගුවටත්  ගැනීම් බොහොමයක් මත්පැන් පානය කළ සිදුවීම් හා සම්බන්ධවීමයි. බීමතින් රිය පැදවීම, ලිංගික අතවර කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනී මැරීම යන චෝදනා ඊට ඇතුළත්ය.

බහුතරයක් ශ‍්‍රී ලාංකිකයන් තමන් උපයන මුදලින් අඩකට වඩා වැඩි ප‍්‍රමාණයක් සෑම මසකම මත්පැන් හා මධ්‍ය සාර සම්බන්ධ වියදම් සඳහා වැයකරන බව අන්සාන්හි කර්මාන්තශාලා සේවක රසික ගමගේ පැවසීය. ”බොහෝ කොරියානුවන් මෙන් අපේ අයත් වැඩිපුර තෝරන්නේ සෝජු  කියන බීම. වැඩ ආරම්භ කිරීමට පෙර මත්පැන් පානය කිරීම මෙහි සාමාන්‍ය පුරුද්දක්.”

රතු විදිය

තමන්ගේ සුපුරුදු ලිංගික සහකරුවන්ගෙන් සහ ඔවුන්ගේ ප‍්‍රජාවන්ගෙන් සහ පවුල්වලින් බැහැරව සිටින පුද්ගලයින් තුළ අවදානම් සහගත ලිංගික හැසිරීම් වැඩි වී ඇත. කොරියාවට සංක‍්‍රමණය වීමෙන් පසු සමහර ශ‍්‍රී ලාංකික තරුණයන්ට ලිංගාශ‍්‍රිත රෝග ආසාදනය වී ඇති බව විදේශ රැකියා කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මුතුකුමාරණ මහතා පවසයි.

කොරියාවේ නිෂ්පාදන අංශයේ සේවකයකු වන ධනුෂ්ක අපට අදහස් දක්වමින්  මෙසේ කියා සිටියේය ”කොරියාවේ රතු වීදිවලට ස්වේච්ඡාවෙන් යන අයට අමතරව, ගිනිකොනදිග ආසියාවේ කාන්තාවන් සම්බන්ධ වී කරන ජාවාරම්වලට ගොදුරු වූ ශ‍්‍රී ලාංකික පිරිමි ළමුන් මට හමුවෙලා තියනවා. ඔවුන් ගොදුරු බවට පත්වන අතර එම කාන්තාවන් විසින් ඔවුන්ගෙන් කප්පම් ලබාගන්නවා.”

කම්කරුවන් මුහුණ දෙන ඉහත සඳහන් කරුණු පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ සංක‍්‍රමණය වීමට පෙර ඔවුන්ගේ අනාගතය පිළිබඳව විශාල බලාපොරොත්තු තබා සිටි කම්කරුවන් පසුව වැඩිකාලයක් කොරියාවේ රැඳීසිටීමට නැඹුරු වන බවයි.

වෙහෙස මහන්සියෙන් උපයාගත් මුදල විවිධ දේ සඳහා නාස්ති කරන ඔවුහු දුෂ්කර රැකියාවල අනතුරු වලින් තුවාල ලබා අවසානයේ නැවත රැකියාවක් කර ගැනීමට තරම් සුදුසුකම් නොමැති ආබාධිත පිරිසක් ලෙස මව්බිමට පැමිණෙති.

පියුමි ෆොන්සේකා – ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435