කොරෝනා පැතිරුනොත්, වරද කාගේද?

ඉතාලියේ සිට පැමිණි විදේශ ශ්‍රමිකයන් නිරෝධායනය වන අවස්ථාවේ පසුවන ශ්‍රී ලංකාව, කොරෝනා රෝගයෙහි නව පරිච්ඡේදයක් සඳහා පරිවර්තනය වෙමින් පවතින බවට සළකුණු පහළ වී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිළ ප්‍රකාශ හරහාත් සමාජ ජාලා හා අනෙකුත් මාධ්‍ය හරහාත් ඉතාලියේ සිට පැමිණි ශ්‍රමිකයන්ගේ වරදින් එම රෝගය රට පුරා ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බවට හැඟවෙන ක්‍රියාකාරීත්වයක් මේ දින වල අපට නිරීක්ෂණය කළ හැකිව තිබේ.

 

දැනට කොරෝනා රෝගීන් 11 දෙනෙකු වෛද්‍ය පර්යේෂණ මඟින් තහවුරු කර ඇති අතර ඉන් අතිමහත් බහුතරය ඉතාලියේ නිෂ්පාදන වේ. ඒ අනූව රෝග නිරෝධායන ක්‍රියාවලියේදී මෙම රෝගය පාලනය කිරීම සඳහා යෙදිය යුතු අවධානය පිළිබඳ ඉතා වැදගත් සාක්ෂියක් සපයන අතර එය වනාහි ඉතාලියේ සිට පැමිණි ශ්‍රමිකයන්ගේ තරාතිරම, අධ්‍යාපනය හෝ හැසිරීම මත පටවමින් වගකීමෙන් බැහැර වීමට සෞඛ්‍ය අංශයට නොහැකිය.

රෝග ලක්ෂණ නොමැති, බෝවන සමය

කොරෝනා රෝගය අසාදනය වී දින 14ක කාලයක් යනතුරු සාධනීය රෝග ලක්ෂණයක් නොපෙන්වා සිටීමේ ඉඩකඩක් පවතින අතර නවතම පර්යේෂණ දත්ත වලට අනූව එය දින 20 හෝ ඊට වැඩි ප්‍රමාණයක් වීමටද හැකි බව සඳහන් වේ. නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා වෛරසය ශරීරයතුල ගුණනය වෙමින් තිබෙන බීජෞෂණ (Incubation) කාලය තුලදී රෝගය බොවීම හා ප්‍රචාරණය වීම සිදුවේ.

කෙසේ නමුත් දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය තුල නිරෝධායනය වන පුද්ගලයන්ගේ සහ වෙනත් ඕනෑම පුද්ගලයෙකුගේ රෝගී තත්ත්වය වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ මඟින් තහවුරු කිරීම සිදු වන්නේ පැහැදිලි රෝග ලක්ෂණ මතුවීමෙන් පසුවය. නිරෝධායන කාර්යයට සහ අනෙකුත් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සඳහා වෛද්‍ය රසායනාගාර සේවාව නිසි පරිදි භාවිත කිරීමට නොහැකි වීම හෝ නොකිරීම මීට අදාලව ප්‍රධාන හේතුවක්  වන බැවින් ඒ පිළිබඳව රජයේ හා සෞඛ්‍ය අංශ වල අවධානය වඩා විධිමත් ලෙස යොමුවිය යුතුය.

කොරෝනා රෝග පරීක්ෂණ, ඒකාධිකාරය

කොරෝනා රෝගය ඇති වීමත් සමඟම වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඇතැම් නිළධාරීන් එම ආයතනය තුල කොරෝනා හඳුනා ගැනීමේ පරීක්ෂණය සිදු කිරීමේ ඒකාධිකාරයක් නිර්මාණය කිරීමට උත්සහ දැරීම හේතුවෙන් දිවයින පුරා එම පරීක්ෂණය සිදු කිරීමට තිබූ මූලික අවස්ථාවන් අතපසු වීමකට ලක්විය. අද වන විටද සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වෛද්‍ය රසායනාගාර පද්ධතිය තුල මෙම පරීක්ෂණය සිදු කරනුයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වන අතර එයද සාමාන්‍ය පැය 8ක සේවා කාලයකට සීමාවී ඇත. නමුත් දිවයිනේ සියළු කොරෝනා හඳුනාගැනීමේ පරීක්ෂාවේ වගකීම එම පැය 8ක කාලය තුල විසඳීමට එම ආයතනයට සිදු වන අතර ඒ සඳහා ගත හැකිව තිබූ උපායමාර්ගික තීරණ නොසලකා හැරීම හේතුවෙන් තෝරාගත් පුද්ගලයින්ගේ පරීක්ෂණ පමණක් සිදු කිරීමට ක්‍රමවේදය බවට පරිවර්තනය වී ඇත.

දැනට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කර ඇති නමුත් පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියක ලබා ගැනීම මේ වන විටත් විධිමත් අයුරින් සිදු නොවේ. ඒ අනූව නිරෝධායනය සඳහා හෝ අනෙකුත් අවශ්‍යතා සඳහා වෛද්‍ය රසායනාගාර සේවාව කාර්යක්ෂමව භාවිතා කිරීමේ අවශ්‍යතාවය රජය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය අතහැර දැමීමට හේතුවක් විය හැකි වුවද ඒ පිළිබඳව නිවැරදි තොරතුරු හෝ උපදෙස් ලබා නොගැනීමේ පිළිවෙතක සෞඛ්‍ය අමාත්‍යාංශය දිඟින් දිඟටම නිරතව සිටින බවක් පෙනෙන්නට ඇත.

ශ්‍රී ලංකාව තුල කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ සඳහා බලයලත් එකම නියෝජිතයා වෛද්‍ය පර්යේෂණ ආයතනය බව අඟවමින් සිටියද රට තුල හඳුනා ගැනෙන පළමු කොරෝනා රෝගියා සෞඛ්‍ය අමාතයාංශයෙන් පිටත රසායනාගාරයකදී හඳුනාගෙන තිබීම මඟින් මෙම ක්‍රියාවලියේ පවතින ගැටළුකාරී තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකිය. එම රෝගියා ප්‍රතිකාර ගනු ලැබුයේ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙහි වන අතර එම රෝහලට අයත් රොගීන්ගේ කොරෝනා හඳුනා ගැනීමේ පරීක්ෂණ අනිවාර්යයෙන් යොමු කළ හැකි වන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛදරසවේද රසායනාගාර වෙතය. නමුත් අදාල රෝගියාගේ නිදර්ශක එම රසායනාගාරය වෙත යොමු නොකොට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත වෙනත් රසායනාගාරයක් වෙත යොමු කිරීමට හේතුව සහ එම තීන්දුව ගනු ලැබූ ආකාරය පිළිබඳව මෙතෙක් කිසිඳු පැහැදිලි කිරීමක් සිදුවී නොමැති නමුත් ඒ පිළිබඳව ජාතික බෝවන රෝග විද්‍යායතනය හා වෛද්‍ය පර්යේෂණ ආයතනය අතර කිසියම් විසඳා ගත යුතු ගැටළුවක් පවතින බව තහවුරු වේ. එසේම අදාල වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ වල ප්‍රතිඵලයන්ගේ නිරවද්‍යතාවය පිළිබඳ වගකීම සහ ඊට අදාල න්‍යතික වපසරිය පිළිබඳවද ගැටළු රැසක් මෙමඟින් ඇති විය හැක.

ජාතික බෝවන රෝග විද්‍යාතනයෙහි, පරීක්ෂණ වගකීම

ජාතික බෝවන රෝග ආයතනය යනු කොරෝනා පමණක් නොව ඉන් පෙර ව්‍යාප්ත වූ මෙන්ම අනාගතයේ ව්‍යාප්ත විය හැකි බෝවන රෝග සියල්ල සඳහා වගකිව යුතු ආයතනයයි. අවාසනාවකට එම ආයතනයේ රෝගීන්ගේ වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සඳහා වන නිදර්ශක යොමු කල යුතු වන්නේ කිනම් රසායනාගාරයක් වෙතද යන්න පිළිබඳව වාද විවාද ඇති කරගන්නා තත්ත්වයකට පත් කරමින් සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය එම රෝහල තුල එම රෝගීන්ගේ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා සුදුසු රසායනාගාරයක් නිර්මාණය කිරීම දිගින් දිගටම අතපසු කොට ඇත. මින් පෙර වසංගත තත්ත්වයන් ලෙස ව්‍යාප්ත වූ සාර්ස් ඉබෝලා වැනි රෝග අවස්ථාවලදීද ඊට ගැළපෙන ජෛව අරක්ෂණ තත්ත්ව සහිත රසායනාගාරයක් නිර්මාණය කිරීම සඳහා වූ විවිධ ඉල්ලීම් වලට අදාලව ප්‍රතිපාදන පවා වෙන් කර තිබියදී සෑම වසංගතයකදීම මෙන්ම කොරෝනා රෝගයේදීත් මුල සිට පටන් ගැනීමට සිදු වීම බරපතල තත්ත්වයකි.

රසායනාගාර සේවාවේ, නව්‍ය භාවිතය

මෙකී තත්ත්වයන් සැළකිල්ලට ගෙන දැනට භාවිතා වන සාම්ප්‍රදායික වෛද්‍ය රසායානාගර ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට යමින් නව රසායනාගාර ක්‍රමවේදයන් භාවිතා කොට උපරිම වශයෙන් දින 7ක කාලයකදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමටත් රෝග ලක්ෂණ මතුවීමට පෙර අවධානම් කලාප වල සරන ලද පුද්ගලයන් සෘජු වෛද්‍ය රසායනාගාර පර්යේෂණ වලට ලක් කරමින් සිථිරසාර ලෙස රෝගීන් වෙන් කර ගැනීමත් සඳහා ජාත්‍යන්තර වශයෙන් භාවිතා වන නව්‍ය ක්‍රමවේදයන් කඩිනමින් ස්ථාපිත කිරීම රජයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමකි. එසේම අනුමාන සහ ගමන් ඉතිහාසය මත පමණක් පදනම් වෙමින් රොගීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියේදී තවදුරටත් කළ නොහැකි බැවින් රෝගය හඳුනා ගැනීමට මෙන්ම හඳුනාගත් රෝගීන් ජීවිත තර්ජනයකින් තොරව ආරක්ෂා කර ගැනීමට දිවයින පුරා අවරණය වන පරිදි 24පැය රසායනාගාර සේවාවක් සූදානම්ව තබන ලෙසත් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ ගොඩනැංවීම් බාධාවකින් තොරව ලබා දෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.

 

රෝගීන් කළමණාකරණයට අදාල සාමාන්‍ය රසායනාගාර පරීක්ෂණ

කොරෝනා රෝගීන් කළමණාකරනය කිරීම හා ඇතුලත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දිවයින් පුරා රෝහල් 20ක් නම් කොට ඇති අතර කොරෝනා රෝගී තත්ත්වයක් පිළිබඳ සැක සහිත සියළු පුද්ගලයන් අදාල රෝහල් වෙත ඇතුලත් වීම අනිවාර්යය වේ. ඉදිරි දින කිහිපය තුල රෝගීන් සංඛ්‍යාවෙහි වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බැවින් අදාල සියළු රෝහල්හි පහසුකම් පූර්ව අධීක්ෂණය යටතේ ගොඩනැංවීම සිදු නොවන්නේ නම් එකී රෝහල් වලින් සමහරක් රෝගය බෝ කරන මධ්‍යස්ථානයක් බවටද පත්වීමේ අවධානමක් පවතී. අදාල රෝහල්හි සාමාන්‍ය වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සිදුකරන රසායනාගාර සඳහා කොරෝනා වැනි අතිශය බෝවන සුළු නිදර්ශක පරීක්ෂා කිරීම සඳහා අත්‍යාවශ්‍ය උපකරණ හා යටිතල පහසුකම් මීට සති ගණනාවකට පෙර සිට ඉල්ලුම් කර තිබුනද හදිසි අවශ්‍යතාවය මතු වන තුරු ඒ සඳහා සමහර රෝහල් අධ්‍යක්ෂවරුන් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පවතී. එසේම සමහර රෝහල් වල විශේෂඥ වෛද්‍යවරුන් මෙම හදිසි ව්‍යසන තත්වයේදී පවා තමන්ට හිතෛෂී සමාගමේ යන්ත්‍රය ලබා දෙන තුරු කල් මරමින් සිටින බවක් පෙනෙන්නට ඇත.

ග්‍රහණයට ලක්වූ, සෞඛ්‍ය ලේකම් තනතුර

කොරෝනා රෝගය ලෝක වසංගතයක් බවට පත්වූ ආරම්භක මොහොතේ ඒ පිළිබඳ විධිමත් යෝජනාවලි ගණනාවක් යොමුවූ අතර එකී සියළු යෝජනා සෞඛ්‍ය ලේකම් වරියගේ ලිපි ගොනු අතර තවදුරටත් සිරවී ඇති බව අප වෙත වාර්තා වේ. වර්තමාන සෞඛ්‍ය ලේකම්වරිය සමඟ මෙකී ගැටළු සාකච්ඡා කිරීම සඳහා ඇති අවස්ථාවන් විරල වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ ක්‍රියාවලිය පුද්ගලයන් කීපදෙනෙකුගේ කැමැත්ත අනූව සිදුවන බවක් අපට හැඟි යනු ඇත. නව සෞඛ්‍ය ලේකම්වරිය විසින් එකක් දෙකක් හැරුණුකොට බහුතර වෘත්තීය සමිති සමඟ හෝ සෞඛ්‍ය සේවාව තුල සෘජු වෘත්තීය කාර්යයන්හි නියැලෙන වෘත්තිකයන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා ක්‍රමවේදයක්ද සකසා නොමැති බැවින් කොරෝනා රෝගීන් සමඟ සෘජු ගණුදෙනු කරන බොහෝ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයන්ට පැන නැගී ඇති ගැටළු, ඔවුන්ගේ අවශ්‍යතා සහ ආරක්ෂාව දිනෙන් දිනම උග්‍ර අතට පත් වෙමින් පවතී. ජාතික වගකීමකදී ඒ සඳහා උරදී කටයුතු කිරීමේ මනා පරිචයක් සහ හික්මීමක් සෞඛ්‍ය වෘත්තිකයන් සතු වන බැවින් මූලික අවශ්‍යතා පවා නොසළකා තමුන්ගේ සේවාව ලබා දෙනු ලැබුවද සමහර තීරණාත්මක නොසළකා හැරීම් හේතුවෙන් රෝහල් කාර්යය මණ්ඩලය අතර මෙම රෝගය ප්‍රචාරය වීමේ අවධානමක්ද පවතින බව පෙන්වා දිය යුතුය.

ජනාධිපතිවරයාගේ ජාතික කමිටුව

කොරෝනා රෝගීන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛව ජනාධිපතිවරයා විසින් ජාතික කමිටුවක් පත්කොට තිබේ. එලෙස කමිටුවක් පත් කිරීමේ මූලික අරමුණ මෙම ජාතික ව්‍යසනයේදී සාමුහික තීන්දු ගැනීම සඳහා ඇති ඉඩකඩ වැඩිදියුණු කිරීම විය හැකිය. කෙසේ නමුත් එම සංකල්පය සෞඛ්‍ය අමාත්‍යාංශය තුලදී ඊට පරස්පරව ක්‍රියාත්මක වන බවක් නිරීක්ෂණය වේ. එම කමිටුවේ ඇතැම් සාමාජිකයන් සහ සෞඛ්‍ය අමාත්‍යාශයේ සමහර නිළධාරීන් වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අවශ්‍යතාවයන් සහ යෝජනා නොසලකා හැරීම සඳහා එම කමිටුව භාවිත කරමින් සිටින අතර අවම වශයෙන් එමඟින් ගනු ලබන තීන්දු වෛද්‍ය නොවන අනෙකුත් සේවාවන් වෙත විධිමත් පරිදි දැනුම් දීමට පවා ක්‍රමවේදයක් සැකසී නොමැත. එනිසාම රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුල සෞඛ්‍ය සේවාවන්ට අදාලව වර්ධනය වෙමින් පවතින ගැටළු ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට හා රජයට නිවැරදි ලෙස වාර්තා නොවන තත්ත්වයක් පවතී. ඒ අනූව හෙද නිළධාරීන්, වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ නිළධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැනි වෘත්තිකයන් හට මූලික අවශ්‍යතාවයන් පවා සපයා ගත නොහැකි තත්ත්වයන් සමහර සෞඛ්‍ය ආයතන වලදී බරපතල නොසළකා හැරීමකට ලක්ව තිබීම මෙම රෝගය අනාගතයේදී අනවශ්‍ය ලෙස ප්‍රචාරණය වීමටද හේතුවක් විය හැක.

මෙලෙස මතුවන සාමාන්‍ය ගැටළුකාරී තත්ත්වයන්ගේ සිට ඒ ඒ වෘත්තීන්ට අදාල ප්‍රතිපත්ති ගොඩනැංවීමේ ක්‍රියාවලිය දක්වා වූ යෝජනාවලි පවා ප්‍රසිද්ධා මාධ්‍ය ඔස්සේ සාකච්ඡා කිරීම හෝ විවේචනය කිරීම සුදුසු නොවන බව ඇතමෙක් විශ්වාස කරන්නට පුළුවන. එසේම පසුගිය රජය සමයේ සිදු නොකරන ලද සමහර විවේචනයන් මේ මොහොතේ ඉදිරිපත් කිරීම දේශපාලනික ගැටළුවක් ලෙස ඇතමෙකු විසින් හුවා දක්වන්නටද පිළිවන. නමුත් ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකළයුතු යැයි හැඟෙන ඇතැම් කරුණු පවා එවන් තත්ත්වයකට පරිවර්තනය කරන්නට අපට සිදුවී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ඒ සඳහා ඇති ඉඩකඩ ඇහිරී ඇති නිසාය. එසේ නොමැති නම් අහුරා දමා ඇති නිසාය. ඒ හැරුනු කොට මෙකී සියළු විවේචනයන්ගේත්, යෝජනාවන්ගේත් අවංක හරය වන්නේ මතුවී ඇති ජාතික ව්‍යසනයට මුහුණ දීම සඳහා සියළු සෞඛ්‍ය සේවාවන් මෙන්ම අසහනයට සහ අගතියට ලක්ව ඇති සියළු සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සහ කාර්යය මණ්ඩලවල සහයෝගය පූර්ණ වශයෙන් රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීමය. ඒ සඳහා ඒ ඒ සෞඛ්‍ය සේවාවන්ගේ අනන්‍යතාවයට හා ස්වාධීනත්වයට ගෞරවයක් සහිත වටපිටාවක් සැකසීම රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමකි.

රවී කුමුදේශ්, සභාපති – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435