කොරෝනා රොගීන් ලොව පුරා නොසිතු ලෙස සීඝ්‍රයෙන් ඉහලට

එක්සත් රාජධානිය තුළ නැවතත් කොරෝනාවෛරසය සීඝ්‍රයෙන් පැතිරී යමින් පවතී. මේ වන විට දිනකට රෝගීන් 4,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන අතර, නිසි පියවර නොගතහොත් ඔක්තෝබර් මස වනවිට එය 50,000ක් දක්වා වැඩි විය හැකි බව එරට විද්‍යාඥයෝ අනතුරු අඟවති.

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්හි අගනුවර කොරෝනාවෛරස රෝගීන් සහ මරණ තියුණු ලෙස ඉහළ යාමත් සමග නව දැඩි සීමාවන් බලාත්මක කර තිබේ.

එම සීමාවන් යටතේ, මැඩ්රිඩ්හි පදිංචිකරුවන් 800,000 කට වැඩි පිරිසකට නිවසේ රැඳී සිටීමට නියෝග කර ඇති අතර, රැකියාවට යෑම හෝ වෛද්‍යවරයා වෙත යාම වැනි අත්‍යවශ්‍ය හේතුන් මත පමණක් නිවසින් බැහැර වීමට අවසර ලබා දී ඇත.

නව සීමාවන් විවාදයට තුඩු දී ඇති අතර, මෙය අඩු ආදායම්ලාභී පිරිසට වෙනස් කොට සැලකීමක් ලෙස ද සමහර පදිංචිකරුවන් සිය විරෝධය පළ කරමින් පවසති.

මේ අතර, නෙදර්ලන්තයේ සමහර ප්‍රදේශවලට නැවතත් සීමාවන් පනවා තිබේ. රැස්වීම් සඳහා දැඩි සීමාවන් සහ තැබෑරුම් කලින් වසා දමන ලෙස දන්වා ඇත.

පසුගිය සතිය තුළ අයිස්ලන්තය, ඩෙන්මාර්කය සහ ප්‍රංශයේ සමහර ප්‍රදේශවල ද නව සීමා කිරීම් ප්‍රකාශයට පත් කර තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය අනුව මේ වන විට ලොව පුරා කොරෝනාවෛරස රෝගීන් මිලියන 30.9 කට අධික සංඛ්‍යාවක් සිටින අතර 960,000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇත.

ලෙබනනයෙන් එක් දිනක් තුළ කොරෝනාවෛරස රෝගීන් 1,006 ක් වාර්තා වී ඇති අතර, පෙබරවාරි මස දී වෛරසය එරට තුළ පැතිරීම ආරම්භ වීමෙන් පසු වාර්තා වූ වැඩිම සංඛ්‍යාව එයයි.

මිලියන හතරකට ආසන්න ජනගහණයක් සහ තවත් සරණාගතයින් මිලියන ගණනක් සිටින ලෙබනනයට මෙය බරපතල තත්වයකි. මේ වන විට එරට රෝහල් සහ වෛද්‍ය පහසුකම් රෝගීන්ගෙන් පිරී ගොස් තිබේ.

එරට බොහෝ දෙනෙකු වෛරසයෙන් ආරක්ෂා වීමේ පියවර අනුගමනය කරන නමුත් ජනාකීර්ණ අඩු ආදායම්ලාභී ප්‍රදේශවල සියලු දෙනාටම සනීපාරක්ෂක පියවර අනුගමනය කිරීම දුෂ්කර ක්‍රියාවක් වී තිබේ.

එක්සත් ජනපදය රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (සීඩීසී) සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ දිගු දුර ගුවන් ගමන්වලදී කොරෝනාවෛරසය මගීන් අතර පහසුවෙන් පැතිර යා හැකි බවය.

මාර්තු මාසයේ දී ලන්ඩන් සිට වියට්නාමයට ව්‍යාපාරික පන්තියේ පියාසර කළ කාන්තාවකගේ සිද්ධියක් මුල් කරගෙන මෙම පරීක්ෂණ වාර්තාව සකසා තිබේ. එම කාන්තාවගේ ශරීර උෂ්ණත්ව පරීක්ෂණය සාමන්‍යය වුව ද, ගුවන් ගමනෙන් පසුව රෝග ලක්ෂණ වර්ධනය වී තිබිණි.

ඇය සමග සිටි සෙසු මගීන් 15 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණවලින් හෙළි විය.

සඳුදා (සැප්තැම්බර් 21) වන විට නවසීලන්තයෙන් කිසිදු නව කොරෝනාවෛරස රෝගියෙකු වාර්තා නොවුණු අතර, අනතුරු ඇඟවීමේ මට්ටම අවම කර තිබේ.

අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් පැවසුවේ වඩාත් ජනාකීර්ණ නගරය වන ඕක්ලන්ඩ් හැර අන් සෑම ස්ථානයකම අනතුරු ඇඟවීම් පළමු මට්ටමට දක්වා පහත දමන බවය.

මිලියන පහක ජනගහනයක් වෙසෙන නවසීලන්තයෙන් මෙතෙක් වාර්තා වී ඇත්තේ මරණ 25 ක් පමණක් වන අතර, මෙම වසර මුලදී පැවැත්වුණ දැඩි සීමා කිරීම් සමග වෛරසය ප්‍රජාව තුළ සම්ප්‍රේෂණය නොවී දින 102 ක් ගත විය.

ටජ්මහල මාස හයකට පසු නැවත අමුත්තන් සඳහා විවෘත කර තිබේ. එය මෙතෙක් කල් වසා දමා තිබුණු දීර්ඝතම කාලයයි.

සඳුදා උදෑසන විවෘත කිරීමට පෙර ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විෂබීජහරණය කර ඇති අතර, නිලධාරීන් සියලුදෙනා මුහුණු ආවරණ පැළඳ සිටි බව ප්‍රාදේශීය වාර්තාකරුවෙකු වන යෝගේශ් කුමාර් සිං බීබීසී වෙත පැවසීය.

ගොඩනැගිල්ලට ඇතුළු වීමේ දී ශරීර උෂ්ණත්ව පරීක්ෂාවන් සිදුකරන අතර සංචාරකයන්ට ඩිජිටල් ටිකට්පත් මිලදී ගන්නා ලෙස දන්වා තිබේ.

මේ වන විට දිනකට අමුත්තන් 5,000 කට පමණක් ටජ්මහලට ඇතුළු වීමට අවසර දී ඇත. වසංගතයට පෙර, මෙය නැරඹීමට දිනකට 70,000 ක් පමණ සංචාරකයන් පිරිසක් පැමිණ තිබේ.

ඇමරිකාවේ ‘ද එමීස්’ සම්මාන උළෙල ද මෙවර පැවැත්වීමට සිදු වූයේ අන්තර්ජාලය ඔස්සේය. එය එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි විශාල වශයෙන් හිස් වූ රඟහලකින් විකාශනය වූ අතර රූපවාහිනී තරු ඔවුන්ගේ සම්මාන නිවසේදීම පිළිගත්තේය.

මූලාශ්‍රය – බිබිසී / සන්දේශය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435