කොරෝනා වසංගත තත්ත්වය තුළ ආපදා කළමනාකරණ කමිටු සක්‍රීය නොකරන්නේ මන්ද ?

2005 මැයි මස 13 දින පාර්ලිමේන්තුවේ සම්මත කල 2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ව්‍යසන කලමනාකරණ පනත තුල ” ව්‍යසනය” යන්න අර්ථ දක්වා ඇත්තේ මෙසේය.

ලංකාවේ යම් තැනැත්තෙකුට හෝ තැනැත්තන් කන්ඩායමකගේ ආරක්ෂාවට හෝ සෞඛ්‍යට අන්තරාදායක වන්නා වූ අන්තරාකාරී වන බවට තර්ජනයක් පවතින්නා වූ හෝ නැතහොත් යම් දේපලක් විනාශ කරන්නා වූ හෝ හානියට පමුනුවන්නා වූ හෝ  විනාශ වන බවට හෝ හානි සිදුවන බව්ට හෝ තර්ජනයක් වන්නවූද , ස්වාභාවික හෝ මිනිසා විසින් සිදුකරනු ලබන්නවූද සිද්දියක්, සැබැවින්ම  සිදුවීම හෝ සිදුවීමට ආසන්න වීම අදහස් කරන අතර ඊට,

1)  නාය යාමක්
2) සුලි සුලඟක්
3) ගං වතුරක්
4) නියඟයක්
5) කාර්මික උපද්‍රවයක්
6) සුනාමියක්
7) භූ චලනයක්
8) ගුවන් උපද්‍රවයක්
9) සමුද්‍රීය උපද්‍රවයක්
10 ) ගින්නක්
“11) වසංගතයක්
12) පිපිරීමක්
13) ගුවන් ප්‍රහාරයක්
14) සිවිල් හෝ අභ්‍යන්තර ගැටුමක්
15) රසායනික අනතුරක්
16)  විකිරණශීලීත්වයෙන් හටගත් යම් අනතුරක්
17) ගොඩබිම හෝ මුහුදේ සිදුවන තෙල් පිටාර ගැලීමක්
18) න්‍යශ්ථික ආපදාවක්
19) නාගරික හෝ වනාන්තර ගිනි ගැනීමක්
20) වෙරල ඛාදනය වීමක්
21) ටෝනාඩෝ චන්ඩ මාරුතයක්, අකුනු සැර වැදීමක් සහ දරුනු ගිගිරුම් සහිත කුනාටුවක්

යන ඒවා ඇතුලත් වේ.

” ව්‍යසන සඳහා ප්‍රති පියවර ” ලෙස
සිදුවීමට ආසන්න ව්‍යසනයක ඵලවිපාක වලක්වාලීම, අවම ප්‍රමානයට අඩුකිරීම,  හෝ ඊට ප්‍රතිවිරුද්දව කටයුතු කිරීම සඳහා හෝ ව්‍යසනයට පසුව ඇති වන  ඵල විපාක ජනතාව වෙත හෝ යම් පුද්ගලයෙකුට අයත්,රාජ්‍යට අයත් යම් දේපලක් වෙත හෝ බලපෑම අඩුකිරීම සඳහා හෝ අවශ්‍ය වන හෝ යෝග්‍ය වෙන පියවර  අදහස් වන අතර, තත්කාර්‍ය සඳහා වූ පුහුණු කිරීම පැවැත්වීම් හෝ ඒවාට සහභාගීවීම ඊට ඇතුලත්‍ ය.

මෙම ක්‍රියාමාර්ගයන් ගැනීම සඳහා ” ව්‍යසන කලමනාකරණය සඳහා වූ ජාතික සභාව “(ජාතික සභාව)” ක් පිහිටුවීමට පනතේ අංක 02 .01දක්වා ඇත.

පනතේ අංක 02.02 හි  දක්වා ඇති සභාවට
1) සභාපති ( නිලබලයෙන් ජනාධිපති)
2) උපසභාපති ( නිල බලයෙන් අගමැති)
3) විපක්ෂ නාකයගෙන් (  පනතේ සඳහන් නැතත් ,පාර්ලිමේන්තුව විසුරුවා ඇති විටෙක හිටපු විපක්ෂ නායක හෝ සර්වපාක්ශික සමුලුවක් හරහා තෝරපත්කර ගත හැක)
4) නම්කල අමාත්‍යාංශ 20 ක් භාර ඇමතිවරුන්
5) පලාත් ප්‍රධාන අමාත්‍යවරු
6) කතානායක නම් කරනු ලබන විපක්ෂ මන්ත්‍රීවරු 05
යන අයගෙන් මෙම සභාව සමන්විත යුතුය.

සභාවේ කර්තව්‍යන් පනතේ අංක 04 හි ඉතාමත් පුලුල්ව දක්වා ඇත.

සභාවේ ගනපූර්ණය සාමාජික ගනනින් 1/3 කි. එනම් සාමාජිකයි 31 දෙනාගෙන් 10 දෙනෙකි. ( පන්තේ අංක 06)

පනතේ අංක 08 ට අනුව අධ්‍යක්ෂ  ජනරාල්වරයෙකුගෙන් යුතු ව්‍යසන කලමනාකරණ මධ්‍යස්ථානයක් පිහිටිවිය යුතුය.  මෙම මධ්‍යස්ථානයේ කාර්‍යභාරය අනුව ඕනෑම රාජ්‍ය ආයතනය සම්බන්ධිකරණයෙන් ඉහත කී ව්‍යසන සඳහා ප්‍රතිපියවර ගත හැකිය. මේ සඳහා පුලුල් බලතල මෙම මධ්‍යස්ථානයට ලබා දී ඇත.

දැනට covid19 වෛරස් වසංගතය මැඩලීමට පිහිටුවා ඇති ජනාධිපති කාර්‍යසාධක බලකාය වැනි ව්‍යූහයන්ද මෙම මධ්‍යස්ථානට අනුබද්ද කලහැකිය. ඒ හරහා දැනට පවතින ක්‍රියාවලිය සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධීකරනය කරමින් වඩාත් පුලුල් හා වේගවත් කල හැකිය.

පනතේ 11 වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් ව්‍යසන තත්ත්වයක් රටෙහි කොටසකට හෝ මුලු රටටම ප්‍රකාශ කලවිට ඒ ව්‍යසනය වෙනුවෙන් ඕනෑම ක්‍රියාවක් කිරීමට සභාවට බලය ඇත. ( මුදල් වෙන් කිරීම ඇතුලු) එවන් තත්වයක් තුල සිදුකරන යෝජනා ඊලඟ ආසන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ලෙස  ඉදිරිපත් කලයුතුය. එම යෝජනාව පාර්ලිමේන්තුවේ පරාජය වුවත් කල ක්‍රියාවන් සියල්ල නීත්‍යානුකූල සේ සැලකේ. ( පනතේ 11.03 සහ 11.04)

පනතේ වගන්ති 12 තුල ව්‍යසනයක් ලෙස ජනාධිපතිවරයා නම්කල විට ගතහැකි පියවරයන් විග්‍රහකර ඇත.

පනතේ වගන්ති 13 හි රටේ ස්වෛරීභාවයට හානියක් නොවන සේ රාජ්‍ය නොවන සංවිධානවලින් ආධාර ගැනීමට හැකියාව සහ බලය ඇත.

පනතේ  වගන්ති අංක 14  මගින් “ව්‍යසන පාලන උචිත පියවර ” පුලුල්ව දක්වා ඇති අතර ත්‍රිවිඩ හමුදාව සහ පොලිසිය කැඳවීම සහ යොදාගැනීම දක්වා ඇත.  එම පනත ප්‍රකාරව ගනුලබන උචිත පියවරයන් ඔස්සේ සත්භාවයෙක් කටයුතු  ක්‍රියාත්මක කරන නිලධාරියෙකුට විරුද්දව නඩු පැවරිම ද කල නොහැක. (පනතේ වගන්ති 23- නිලධාරීන්ගේ මුක්තිය) උචිත පියවර ගැනීමේදී නිලධාරියෙකු අතින් සිදුවෙන පාඩුවක් සඳහා රජය වන්දි ගෙවනු ලබයි. ( වගන්ති අංක 15- )

ව්‍යසන කලමනාකරනය සඳහා යොමුවන නිලධාරින් රාජකාරීමය වශයෙන් පූර්ණ සුරක්ෂිතතාවයක් මෙම පනත හරහා ලබාදී ඇත. දැනට ක්‍රියාත්මක වෙන ක්‍රමය හරහා එවන් ආරක්ෂාවක් පැහැදිලි නැත.

ව්‍යසන කලමනාකරනයට අදාල මුදල් රජයේ ඒකාබද්ද අරමුදලෙන් ( වගන්ති අංක 17) හෝ ඕනෑම ආයතනයකින් ලබා ගැනීමට බලය ඇත.ඕනෑම රාජ්‍ය ආයතනයක සම්පත් ද භාවිතා කිරීමට බලය ඇත.

ව්‍යසන කලමනාකරනයකදී ඊට බාධා පමුනුවන්නන් හට නඩු පැවරීමට ද මෙම පනතේ වගන්ති අංක 24 මගින් ප්‍රතිපාදන සලසා ඇත.

මෙවන් ව්‍යසනයන් මර්දනය සඳහා විශාල රාජ්‍ය මුදල් ආයෝජනය කර දෙස් විදෙස් පුහුනුවීම් සඳහා යොමුකල නිලධාරින් මෙම ආපදා කලමනාකරන මධ්‍යස්ථානයයේ ඇත.

වත්මන් covid 19 වෛරස් වසංගතය මර්ධනයට යොදාගෙන ඇත්තේ ඉහත මධ්‍යස්ථානය සතු 117 හදිසි ඇමතුම් අංශය පමනි. මෙම හදිසි ඇමතුම්  අංශයද ලංකාවේ ඇති තාක්ෂණයෙන් දියුනුම  ඇමතුම් මැදිරියයි. පොලිස් ඇමතුම් මැදිරියට ( 119) පුහුනුව ලබන  නිලධාරීන්ට පෙන්වන ආදර්ශ මැදිරිය ද මෙයයි.

දුරකථන සහ සියලු මාධ්‍ය  ආයතන බිඳ වැටුනත් ජනතාව ශබ්ද විකාශන මගින් ඇමතිය හැකි  පද්ධතියක් ( කුලුණු 77 කින් සමන්විත ) ද මෙම මධ්‍යස්ථානය සතුය.

දිස්ත්‍රික්ක වශයෙන් නවීන සැටලයිට් තාක්ෂණ පහසුකම් සහිත වාහන 25 සහිත මෙම ආපදා කලමනාකරණ  මධ්‍යස්ථානය මෙම වසංගතය මර්ධනයට අවශ්‍ය කෙරෙන රාජ්‍ය යාන්ත්‍රණය සම්බන්ධීකරණය සදහා භාවිතා  කල යුතුව තිබූ හොඳම නීතියානුකූල රාජ්‍ය ආයතනයයි. එහෙත් ඒ සදහා දැන් ප්‍රමාදය. මක් නිසාද යත් පෙර ආපදා  අවස්ථාවේ දී,
ඒ සම්බන්ධයෙන්  ජනතාව දැනුවත් කිරීම, සූදානම් කිරීම,
අවධානම් අවම කිරීම හා පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කිරීම යනාදි අවස්ථාන් දැන් පසුකර අවසන් බැවිනි.

මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වූයේ ආපදා කලමනාකරනය යනු යම් වියසන තත්ත්වයක් ඇති වූ පසු ඉන් පීඩාවට පත්වන ජනතාව බේරා ගැනීම, සෙවීමේ සහ මුදවා ගැනීම, සහන සහ සහනාධාර බෙදා දීම ලෙස රජයේ උසස් හා වගකිවයුතු අය වෙත පෙන්වා දී තිබීමත් එය ඒ ආකාරයටම තේරුම් ගැනීමත්ය. රජයේ මුදල් වැය කල යුත්තේ සහනාධාර බෙදීමට නොව එම වියදම් අවම කිරීමටය.

එහෙත් මෑතක සිට ආපදා කලමනාකරන මධ්‍යස්ථානයේ ප්‍රමුඛ කටයුතු නොසලකා බාහිර පුද්ගලයන් දෙතුන් දෙනෙකු ගේ පැවැත්ම උදෙසා මෙහි සිවිල් නිලධාරින් හා සිවිල් රාජකාරීන් පැත්තකට කර කටයුතු කිරීම තුල සිවිල් නිලධාරින් දැඩි කලකිරීමට ලක් වී සිටින අතර  හමුදා නිල ඇදුමට සහ තරුවලට බිය වී සිටීමට සිදුවීම හේතුවෙන් ඔවුන් හට නිහඬව සිටීමට ද සිදුව ඇත. ඊට හේතුව අතීතයේ සහ වර්තමානයේ එවැනි තර්ජනවලට මුහුණ දීමට සිදුවීම නිසාය. තවද , මේ වන විට මෙම හමුදා ආක්‍රමණය දිස්ත්‍රික් කාර්යාල දක්වා ද ව්‍යාප්ත වී ඇත. එහෙත් ගැටලුව වන්නේ එම ආක්‍රමණය නොව ඉතාම වැදගත් වන පූර්ව ආපදා කලමනාකරනය පිළිබඳ හමුදා නිලධාරින්ට අවබෝධයක් නොමැතිකමයි
අවසානයේ මෙහි අනිසි ප්‍රතිඵලවලට මුහුණ දෙන්නේ අහිංසක ජනතාව සහ ඔවුන්ගේ බදු මුදල්ය.

එබැවින් ආපදා කලමනාකරනය සහ හදිසි ආපදා  ප්‍රතිචාර දැක්වීම යන අංශ දෙකෙහි වෙනස පැහැදිලිව හදුනා ගැනීම ඉතා අත්‍යාවශ්‍ය වන අතර එය ඉදිරියට ඇති වන ආපදා තත්ත්වයන් කලමනාකරනයට හා ආපදා අවධානම් සහ හානි අවම කර ගැනීමට නියත වශයෙන්ම හැකි වනු ඇත. මේ සදහා දැන් හෝ මෙම මධ්‍යස්ථානයේ යම් අඩුපාඩු පවතී නම් ඒවා නිවැරැදි කිරීමට රජයේ බලධාරින්ගේ අවධානය යොමු විය යුතුය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435