කොරෝනා හොයන PCR ගැන හොයා ගන්න අමාරු කථා ටික

“රෝහල් රසායනාගාර වහගෙන, විෂ්ව විද්‍යාලවල රෝගීන්ගේ පරීක්ෂණ කරන්න කියන එක හරියට රෝහල් වහලා සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය සායනයක් කරනවා වගේ වැඩක්.විශ්ව විද්‍යාල වල තමයි විෂය දැනුම වැඩිපුරම තියන අය ඉන්නේ. අපේ වෘත්තිකයෝ ඉගෙන ගන්නෙත් එහේ ඉන්න අයගෙන් තමයි. නමුත් රෝගියෙකුගේ පරීක්ෂණ කරනවා කියන්නේ වෙනම යාන්‍ත්‍රණයක්. ඒක විශ්වවිද්‍යාල වලට පවරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොහැකියාව වහ ගන්න.

සමහර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්  ඒක බලෙන් පටවා ගන්නේ වෙනත් පෞද්ගලික අරමුණු නිසා.සෞඛ්‍ය සේවාව පිළිබදව හොදටම දන්න, බලසම්පන්නම කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටියට, අපි රෝගීන්ට බෙහෙත් කරන එක, ඒක ඇතුලේ කරන්නේ නැහැනේ. විෂයට දක්ෂ වුණා කියලා, ප්‍රතිකාර කරන්න දක්ෂ කමක් හෝ ඒ යාන්ත්‍රණය ඔවුන් තියනවා කියලා ඒකෙන් කියවෙන්නේ නැහැනේ.”

මෙම චෝදනාව කරන්නේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදින්ගේ විද්වත් ආයතනයේ සභාපති රවි කුමුදේශ් මහතා ය.

කොරෝනා හදුනා ගැනීමේ වෛද්‍ය රසායනාගාර පරික්ෂණ ප්‍රමාණය වැඩි කිරිමේ ක්‍රියාවලියට විවිධාකාරයේ බාධාවන් පැමිණ තිබෙන බව ද ඔහු චෝදනා කරන්නේ ඊට අදාල කරුණු කාරණා රැසක් ද ඉදිරිපත් කරමිනි.

මෙම කොරෝනා හඳුනා ගැනීමේ පරික්ෂණය සිදු කිරිමේ දි ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යංශය සතුව ඇති පී.සී.ආර් පරික්ෂණ හැකියාවන් පූර්ණ වශයෙන් භාවිතා නොකර පෞද්ගලික අංශයට එම පරික්ෂණ කටයුතු ලබා දීමට විවිධ උපක්‍රම යොදවන බව මෙම චෝදනා අතර මූලික කරුණ වෙයි.

මුලින්ම අපි කතාබහට ලක්ව තිබෙන මෙම පීසීආර් පරික්ෂණය යනු කුමක්දැයි ඔහුගෙන් විමසුවෙමු.

“සාමාන්‍ය මිනිස්සු තමන්ගේ ලෙඩ රෝග සම්බන්ධයෙන් කොතරම් නම් වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සිදුකලත් ඒ පිළිබඳ සිද්ධාන්තමය වශයෙන් ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාවන් ඉතා විරලයි. නමුත් කොරෝනා වසංගතයේදී විශ්වවිද්‍යාල විසින් නිකුත් කර තිබූ සමහර වාර්තා වැරදි සහගත වීමේ සංසිද්ධියත් සමඟම ඇතිවූ කලබගෑනියත්  එක්ක PCR වාර්තා වල නිරවද්‍යතාවය ගැන මහජනතාව කිසියම් උනන්දුවක් දැක්වීම කැපී පෙනුනා.

කොරෝනා හදුනා ගැනීම සදහා අපි සිදු කරන්නේ Reverse Transcriptase Real Time PCR පරීක්ෂණය. මෙම පරීක්ෂණයට අනූව කොරෝනා රෝගියාගේ නිදර්ශකයේ ඇතිබව සනාථ කලහොත් අසාධිත බව තහවුරු වෙනවා. නමුත් වෛරසය නොමැති බව තහවුරු වීම මත ආසාධනයක් නොමැති බව අප සියයට 100 ක් තහවුරු කරන්නේ නැහැ. අසාධිතයාගේ ශරීරය තුල වෛරසය තිබියදී, නිදර්ශකයේ නොමැති වීමට හැකිවීම එයට හේතුවයි. කොහොම වුණත් නිදර්ශකයේ වෛරසය නොමැතිව, එය ඇති බව රසායනාගාරයක් තහවුරු කිරීම බොහෝවිට ක්‍රමවේදයෙහි වරදක්. එය නිතර නිතර විශ්වවිද්‍යාල  රසායනාගාර තුල සිදුවීම අපි නිරීක්ෂණය කලා, සොයා බලන ලෙස රහසිගත වාර්ථා දුන්නා. එය අපේ වගකීමක්. අපි කරමින් ඉන්නේ විද්‍යාත්මක කාර්‍යක්. නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගැනීමෙන් මිස, වසං කිරීමෙන් හෝ විවිධ අර්ථකථන සැපයීමෙන් කිසිවක් නිවැරදි වෙන්නේ නැහැ.”

මෙම පීසිආර් පරික්ෂණය සම්බන්ධයෙන් දැන් රජයේ රසායනාගාර පද්ධතියට අමතරව විවිධ තැන්වල රසායනාගාර සේවාවන් ලබා ගැනීමට අමාත්‍යංශය කටයුතු කරන්නේ අත්තනෝමතික විදියට තීරණ ගැනීමෙන් පසුව යැයි ද ඔහු පවසයි. එහිදි අදාල වෘත්තිකයන් ලෙස තමන් දිගින් දිගටම කිව්වේ රජයේ රසායනාගාර පද්ධතිය මීට වඩා දියුණු කිරිමේ හැකියාව තියෙන බව සහ මීට වඩා පරික්ෂණ කිරිමේ හැකියාව තිබෙන බව ය.

එහෙත් ලෝකයේ බොහෝ රටවල් මෙවැනි අවස්ථාවක අනිත් අංශයන්ගෙන් ප්‍රයෝජනයට ගැනිමක් සිදුකරයි. එසේ ප්‍රයෝජනයට ගැනීම සිදුවන්නේ එසේ තිබෙන යන්ත්‍ර සහ උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශයට පවරා ගැනීම තුලින් ය. එය ලංකාවේ ද තැන් කිහිපයක සිදුවු බව ඔහු පෙන්වා දෙයි.

ඔහු පවසන අන්දමට රත්නපුර මහ රෝහලේ පීසිආර් රසායනාගාරය පවත්වාගෙන යාම සදහා සම්පූර්ණයෙන්ම සබරගමුව විශ්ව විද්‍යාලයේ ඇති ඊට අදාල වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සහ ඔවුන්ගේ දැනුම රෝහලට ලබා දී ඇත. එසේම මඩකලපුව, යාපනය විශ්ව විද්‍යාලවලද එම සහයෝගය අදාල රෝහල්වලට ලබා දී තිබේ. කොළඹ විශ්ව විද්‍යාලයට ජාතික රෝහලටත්, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට උණ රෝහලටත් එවැනිම සහයෝගයක් ලබා දීමට හැකියාවක් තිබෙන බව ද ඔහු පෙන්වා දෙන අතර, මෙසේ මෙම විශ්ව විද්‍යාල විසින් රෝහල්වලට දෙන සහයෝගයට ස්තුතිවන්ත වන බවත්, එය සාමන්‍යෙයන් සිදුවිය යුතු නිවැරිදි ක්‍රමය ලෙස තමන් දකින බව ද පවසයි.

“ඇත්තටම මේ නිවැරැදි  ක්‍රමය සිද්ධ කිරිමට සෞඛ්‍ය බලධාරින්ගේ නිවැරැදි මග පෙන්වීමක් විශ්ව විද්‍යාලවලට තිබුනේ නැහැ. ඒක නිසා සමහර විශ්ව විද්‍යාල තමන්ට අවශ්‍ය පරිදි මේ පරික්ෂණ කටයුතු පටන් ගත්තා. ඒ පරික්ෂණ කටයුතු පටන් ගැනීම වුණා ස්වාධිනව වාර්තා නිකුත් කරන්නටත් පටන් ගත්තා. මේක ජාත්‍යයන්තර රසායානාගාර ප්‍රමිතිකරණ ක්‍රමවේදයට සහ ඒ තියෙන මූලික පටිපාටියට ගැලපෙන්නේ නැහැ. නමුත් දැන් මේකෙන් ඇත්තටම මේ පර්යේෂණ රසායනාගාරවලට නිදර්ශක ගෙන්නවලා. ඒ නිදර්ශක කරලා ඒකට මහන්සිවෙන රසායනාගාරවලටත් අසාධාරණයක් වෙනවා. “

මේ අතර පිසිආර් පරික්ෂණ කරන යන්ත්‍රවල හිඟයක් අමාත්‍යංශය තුල තිබීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත විය හැකිද යන්න අප ඔහුගෙන් විමසුවෙමු.

“යන්ත්‍රවල හිඟයක් නැහැ. ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යංශය තුල පමණක් පීසිආර් යන්ත්‍ර අපි මුල අවස්ථාවේදි ම පෙන්නලා දුන්නා විශේෂ වාර්තාවක් මගින්. මේක අපි කලේ පළවෙනි කොවිඩ් රෝගියා හදුනාගත්ත වෙලාවෙම අපි කිව්වා මේ යන්ත්‍ර ගෙන්වීමේ අවශ්‍යතාවයක් නැහැ . ලංකාව පුරා විවිධ ආයතන තුල සමස්තයක් විදියට පීසිආර් යන්ත්‍ර 116 ක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පීසිආර් යන්ත්‍ර 55 ක් තියෙනවා කියලා. අපි ඒ වෙලාවෙම කිව්වා මේවාට සෞඛ්‍ය අමාත්‍යංශයට තියෙන පීසිආර් යන්ත්‍ර 55 ම උපරිමව ඇති.

ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය පීසිආර් 55 ක් තියෙනවා නම්, එකකින් අපි කියමුකෝ පැය 8 කදි 80 ක විතර නිදර්ශක කරන්න පුළුවන්. 80X55 ඒ ගාන කොවිඩ් රෝගින් පරික්ෂා කරන්න සිද්ධ වෙනවා කියන්නේ ලංකාවටම ආසාදනය වෙලා තියෙන්න ඕනේ. හරියට අපි මේක පාවිච්චි කරනවා නම්, ලංකාවේ තියෙන සෞඛ්‍ය සේවාවේ ධාරිතාවය උපරිම මට්ටමට එන තාක්, පීසිආර් පරික්ෂණ කිරිමේ හැකියාව සෞඛ්‍ය අමාත්‍යංශයට තිබුනා. නමුත් මේකේ කලට වෙලාවට සමහර ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යංශය ගත්තේ නැති නිසා අර ඇමරිකාවෙන් ගෙන්වන ලද පීසිආර් යන්ත්‍ර 36 ම අපිට, මේ වෙලාවේ ප්‍රයෝජනයට ගන්න බැහැ. මේ වෙලාවේ මේවට කවුරුත් වගකියන්නේ නැහැ. ඒ තීරණ කලට වේලාවට නොගැනීම නිසා රටට වුණු පාඩුව, මේ වැඩසටහනට වුණු පාඩුව, රජයට වුනු පාඩුව, කවුරුත් ගණන් හදන්නේ නැහැ.”

එසේ එම යන්ත්‍ර ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වීම පිළිබදව කළ විමසීමේ දි ඔහු පෙන්වා දුන්නේ අදාල මොහොතේදි ගතයුතු ක්‍රියාමාර්ග සෞඛ්‍ය බලධාරින් විසින් නොගැනීම නිසා එම ගැටලු පැන නැගුණ බවය.

“ඇමැරිකාව රට ලොක්ඩවුන් කළාට පස්සේ, ඇමැරිකාවේ තියෙන ඒ ප්‍රතික්‍රීයක කට්ටල අපිට ගෙන්න ගන්න බැහැ. ඒත් අපිට අවශ්‍යනම් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මේකට මැදිහත් වුණානම් ඇමරිකාවෙන් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඉන්දියාවෙන් යන්ත්‍ර කිහිපයක් තියෙනවා ගෙන්න ගන්න පුළුවන්. නමුත් මේක රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වෙලා ගෙන්න ගමු කියන යෝජනාව, ජනාධිපතිවරයාට කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරිනුයි. නමුත් ඔවුන් එය කරන්නෙත් නැහැ. සෞඛ්‍ය අමාත්‍යංශය ඒක වර්ධනය කරන්නෙත් නැහැ.ඔවුන්ගේ ලේසිය සදහා මේක කරන්නම් හා කියලා පසුව කාට හෝ පවරනවා.

එතකොට මේකෙදි අපි ඇත්තටම දකිනවා සෞඛ්‍ය අමාත්‍යංශයේ රසායනාගාර සේවාව භාරව ඉන්න සමහර විශේෂඥ වෛද්‍යවරුනුත් ඔවුන් ඒක රසායානාගර විද්‍යඥවරුන්ට කරගෙන යන්න දෙන්නෙත් නැහැ. ඔවුන්ගේ භාරයේ මේක තිබිය යුතුමය කියන මතවාදයක් හදනවා. නමුත් ඔවුන් මේක කරගෙන යාමට මැලිකමක් දක්වනවා. ඔවුන්ගේ නොහැකියාව පවතිනවා. ඉතින් විශ්ව විද්‍යාලවල ඔය තත්ත්වය නැහැ.ඇත්තටම විශ්ව විද්‍යාලවල ඉන්න ආචාර්යවරුන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉන්නවා විශේෂඥ වෛද්‍යවරුන්ට වඩා ඉතාම ඉදිරියෙන් ඉන්නවා.

ඔවුන් මේක ඔවුන්ගේ අතට අරගෙන, ඔවුන් ඉතාම කෙටි කාලයක් ඇතුලත අවශ්‍යතාවයට පරිදි කටයුතු කරනවා. එතකොට දැන් මේ ගැටලු සහගත තත්ත්වය එන්නෙත් සෞඛ්‍ය අමාත්‍යංශය නිසයි. මොකද සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කල්පනා කරනවා ඇති, මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉන්න සමහර පස්සට අදින රසායානාගාර විශේෂඥ වෛදවරුන් එක්ක වැඩ කරනවාට වඩා අර ඉදිරියට යන්න අයත් එක්ක වැඩකරන එක ලේසියි කියලා. නමුත් ඒ ලේසිය තුල අවසාන වශයෙන් සමස්ත වැඩ සටහන ඇනහිටලා තියෙනවා. පස්සට යන නිළධාරින් පිළිබදව පියවරක් ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කළ යුතුව තිබෙනවා.”

ඔහු මීට අදාල උදාහරණ ද පෙන්වා දෙයි. “ ශ්‍රි ලංකා ජාතික රෝහලේ පීසීආර් රසායනාගාරයක් සෑදිම. මෙම පීසිආර් රසායනාගාරයක් හදන්න කියලා අපේ පළමුවෙනි යෝජනාව දුන්නේ ජනවාරි මාසයේදියි. ඒ කියන්නේ මේ කොවිඩ් 19 නිසා නෙමෙයි. ජාතික රෝහලේ ඕනෑතරම් පීසිආර් පරික්ෂණ කරන්න අවශ්‍ය රෝගින් ඉන්නවා. දැන් අද වෙනකොටත් වෛරසවේදි වෛද්‍ය පර්යේෂන ආයතනයේ කොවිඩ් පරික්ෂන විතරක් කරන හින්දා අනෙකුත් පීසිආර් පරික්ෂන සියල්ල ඇණහිටලා තියෙනවා. අඩුම තරමින් ඇණහිටපු පීසිආර් පරික්ෂණ අවශ්‍ය ඒ රෝගිනුත් මියයනවා. ඔවුන්ටත් ජිවිත අවදානමක් තියෙනවා.”

මේ අතර පීසිආර් පරික්ෂණ අවශ්‍ය රෝගි තත්ත්වයන් ගණනාවක් ද වෙයි. ඕනෑම වයිරසයක් සදහා මේ පිසිආර් පරික්ෂණ අවශ්‍යව තිබේ. එහිදි උදාහරණ ලෙස ගත්විට ඩෙංගු, සිඑන්වි නැමති වයිරසයට, වකුගඩු බද්ධ කරන අය වෙනුවෙන් පරික්ෂණවලට මෙම පීසිආර් පරික්ෂණ අවශ්‍යවන බව ද ඔහු සදහන් කර සිටි.

“ලෝකයේ අද වන විට පීසිආර් පරික්ෂණයෙන් ඇත්තටම කළ නොහැක්කක් නැහැ.ජාතික රෝහලේ තමයි ලෝකයේ වැඩිම අත්දැකිම් තියෙන නව ක්‍රමවේද අත්හදා බලන විශේෂඥ වෛද්‍යවරු පිරිස ඉන්නේ. එතකොට ඔවුන්ගේ දැනුම ලංකාවට අරන් ආවම , ඒක ක්‍රියාත්මක කිරිම සදහා රසායනාගාරවල සහයෝගය තියෙන්න ඕනේ. එතකොට අද ජාතික රෝහලේ එහෙම සහයෝගයක් ඔවුන්ට නැති හින්දා ඔවුන් ඉගෙන ගත්ත දැනුම පොතේ තියාගෙන පරණ එක කරමින් ඉන්නවා.”

ඔබ දැක්කා චීනය වැනි රටවල සමහර සංඛ්‍යා ලේඛන පිළිගත්තේ නැති තත්ත්වයකට පත්වුණා. එහෙම ලොකු රටකට වෙනවා නම් අපේ වගේ රටකට වෙන්න කාලයක් යන්නේ නැහැ.එකේදි අභියෝගයට ලක්වෙන්නේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයොයි. රසායනාගාර සේවාව.ඒකෙදි කවුරුත් කියන්නේ නැහැ මේ එක එක්කෙනා දීපු වාර්තා නිසා මෙහෙම වුණා කියලා. සෟජුවම අපිව ප්‍රශ්න කළා සමාජ මාධ්‍යතුලින්. අපි අපේ රස්සාව හරියට කරන්නේ නැහැ කියලා. එතකොට අපිට මහජනතාවට කියන්න වෙනවා අපේ රස්සාව අපි කළා, අපේ වෛද්‍ය රසායනාගාර විද්‍යඥ වෘත්තිකයෝ ඉන්න රසායනාගාරවල මෙහෙම වැරැද්දක් වුනේ නැහැ කියන එක.

ඒ වගේම අපිට සමාජ මාධ්‍ය ජාලවල චෝදනාවක් ආවා , කොරෝනා තියෙනවා කියලා අර විශ්ව විද්‍යාලවල දෙන වාර්තා අපි රෝහල්වලට ගෙනැල්ලා රෝහල්වල කොරෝනා නැහැ කියලා බොරු වාර්තා දෙනවා නේද මේ ආණ්ඩුව බේර ගන්න කියලා. ඇත්තටම මේක අපිට කරපු ලොකු චෝදනාවක්.

අපි ඒ චෝදනාවට උත්තර දිය යුතුයි.මේ අවස්ථාවෙදිත් අපි උත්තර දෙනවා ඒ වගේම අපි රටේ මහජනතාවටත් කියනවා කිසිම වාර්තාවක වෙනස් කිරිමක් හෝ විකෘති කිරිමක් රජයේ රෝහල්වල රසායනාගාරවල කරන්න බැහැ.එහෙම කිරිමේ අවස්ථාවක් අපි ලබා දීලත් නැහැ. අපිට කවුරුත් එහෙම බලපෑම් කරලත් නැහැ. ඒ වගේම අපේ තියෙන ක්‍රමවේදයන්ට අනුව මෙන්න මෙතැනදි ඉතා වැදගත් පර්යේෂණ රසායනාගාරයක් සහ රෝග හදුනා ගැනිමේ රසායනාගාරයක් අතර වෙනස.

අපේ රසායනාගාරවල තියෙන යන්ත්‍ර, ජාත්‍යයන්තර වශයෙන්ම හදලා තියෙන්නේ එහෙම වෙනස් කිරිම් කළ නොහැකි විදියටයි. අපි වෙනස් කිරිම් කරනවා නම් ඒකටත් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අනුගමනය කරන්න. නමුත් පර්යේෂක රසායනාගාරයක එහෙම නැහැ. ඔවුන් කරන්නේ පර්යේෂණ නිසා, ඒකට ඒ යන්ත්‍රවල ඉඩකඩ දීලා තියෙනවා.

ඒ නිසා අපි මහජනතාවට කියනවා අපි රජයේ රසායනාගාරයක කිසිම අවස්ථාවක මේ කාගේ හෝ වුවමනාවකට පරික්ෂණ වාර්තා වෙනස් කරන්නේත් නැහැ අපේ වුවමනාවට පවා ඒක කළහැකි වන්නෙත් නැහැ. එහෙම කවුරුවත් බලපෑමක් කරලත් නැහැ. අපි දීලා තියෙන වාර්තා නිවැරිදියි. ඒක හැම ආකරයකින්ම අපි තහවුරු කරලා දෙන්නේ කියලා. මෙන්න මේ මුලික කාරණා දෙක තමයි ”

ඔහු එසේ පැවසුවද මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලවල මෙම කාර්යේ නියැලි සිටින පිරිස් විසින් මීට අදාලව සිය පාර්ශවයෙන් යම් යම් කරුණු කාරණා ද මාධ්‍ය තුල ඉදිරිපත් කර තිබු බැවින් ඒ පිළිබදව ද ඔහුගෙන් විමසුවෙමු.

“අපි ඒ අයට කියන්නේ අපි මේ කතා කරන්නේ ඔබගේ වැරැද්දක් ගැන නෙමෙයි.ඔබගේ රසායනාගාරයේ යම් කිසි වරදක් ඇවිත් තියෙනවා.ඒක ගැන අවසාන තීරණය ගන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යංශය සහ ඒ අදාල බලධාරින් විසින්. අපි වෛද්‍ය රසායනාගාර වෘත්තිකයෝ විදියට අපිට එහෙම එකක් නිරික්ෂණය වෙනවා. ඒ ගැන නිවැරිදි කිරිමක් කරගන්න. අපිට ප්‍රසිද්ධියේ කියන්න තියෙන්නේ. ඒ හැරුණම ඔබගේ කැපවීම හෝ, ඔබගේ දැනුම හෝ ඔබගේ අධ්‍යාපනය, ඔබ මේකට දක්වන දායකත්වය පිළිබදව අපි සෟජුව ඇගිල්ල දිගු කරන්නේ නැහැ.මොකද ඔබට පැවැරු රාජකාරියක් කරන්නේ.

අපිට තියෙන ගැටලුව සෞඛ්‍ය අමාත්‍යංශයේ තියෙන රසායනාගාර පද්ධතිය අධෛර්යමත් තත්ත්වයට පත් කරලා, මේ වගේ අවදානම් කාර්යයක් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පිටත ඉන්න විශ්ව විද්‍යාලවලට පවරන්න තීරණය කරන නිළධාරින් පිළිබදව සහ ඒ රාජකාරි සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදුකිරිම සදහා වැටුප් ලබමින් නිකම් ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් පිලිබදවයි. ඒ නිසා අනවශ්‍ය වාදයක් අපිත් එක්ක පටල ගන්න එපා . අපිට ඔබත් සමග කිසිම ගැටලුවක් නැහැ කියන එකත් පණිවිඩයක් විදියට දෙනවා.

සෞඛ්‍ය බලධාරින්ට අපි කියන්නේ මේක අනවශ්‍ය ගැටලුවක් මෙතැන ඇති කරලා තියෙන්නේ. අපිට මේ කාරණා කිසිසේත්ම සමාජයට හෝ මාධ්‍යයට කියන්න අවශ්‍ය නැහැ. සෞඛ්‍ය අමාත්‍යංශය තීරණ ගැනීමේ ක්‍රියාවලියේ ගැටලුවක් තියෙනවා. දැන් අපි මේකේ ප්‍රධාන පාර්ශවකරුවෙක්. මේ උපකරණ ගෙන්වන, උපකරණවල අවසානයේ අපි තමයි අවසාන පාරිභෝගිකයා, එතකොට දැනට ගෙන්වන උපකරණ හෝ මේ ක්‍රියාවේ යොදවන කිසිම කර්තව්‍යයක් පිළිබදව ඒකේ තාක්ෂණික උපදෙස් පිළිබදව කිසිම කාරණාවකට වෛද්‍ය රසායනාගාර වෘත්තිකයෝ සහභාගි කරවා ගෙන නැහැ.

එතකොට දන්නා හඳුනන විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙක් එක්ක විතරක් මේ කාර්යය කිරිමෙන්, මේ කාර්යය අතරමගදි බාධාවන්ට ලක් වෙනවා. ඒ බාධාවන්වල ප්‍රථිඵලයක් විදියට ඔයගොල්ලන් මේක පිටට යවන එක වැරදියි. සෞඛ්‍ය අමාත්‍යංශ වෛද්‍ය රසායනාගාර විද්‍යඥ වෘත්තිකයෝ බලාගෙන ඉන්නවා මේ කාර්යය සියයට 100 ක් තමන්ගේ අතින් කරන්න. ඒ සදහා ඕනෑම කැපවීමක් අපි කරනවා. ඒකට කිසිම දීමනාවක් අපි ඉල්ලන්නේ නැහැ. කිසිම වරප්‍රසාදයක් අපි ඉල්ලන්නේ නැහැ. අපි දැනටත් එහෙම ඉල්ලල නැහැ.

අපි කියන්නේ පාලනාධිකාරිය සහ මේකට අදාල විශේෂඥ වෛද්‍යවරුන්ගේ රාජකාරිය, ඔවුන් ලබන වැටුපට සාධාරණය ඉෂ්ට කරනවා නම්, මේ ක්‍රියාවලිය සෞඛ්‍ය අමාත්‍යංශය තුල සිද්ධ කරන්නට ඕනේ. අපිට මේ වන විට කිසිම බලාපොරොත්තුවක් නැහැ අපිට දරන්නට බැරි ධාරිතාවයක් මේ සදහා පැමිනේවි කියලා. නමුත් ඒ කාර්යයන් නොකර අවසානයේදි නිදර්ශක එවන විට යවන්න තැනක් නැහැ කියලා කොහෝ හෝ යවන්න එපා. දැනුත් කාලය තියෙනවා.

ශ්‍රි ලංකා ජාතික රෝහල වැනි ස්ථානවල අනිවාර්යෙන්ම මේ රසායනාගාර හදන්න.එම රසායනාගාර හදන්න අපිට දවස් පහකට වඩා වැඩි කාලයක් යන්නේ නැහැ. ඉතින් මේවා කරලා සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම එම අමත්‍යංශය විසින් ඉෂ්ට කිරිමට කටයුතු කරන්න. එය තමයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පඩි ලබන නිලධාරින්ගේ වගකීම. අපිට බැරි වුනොත් තමයි අනික් අයගේ උදව් ලබා ගත යුතුවන්නේ. දැන් අපි කරන්නේ නිකම් ඉදගෙන අනික් අයගේ උදව් ලබා ගැනීමට උත්සහ කිරිමයි.

රවී කුමුදේශ්, සභාපති, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

රවී කුමුදේශ්, සභාපති, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

 

 

 

 

 

 

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435