කොවිඩ් නිසා මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ විලාපය

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්හලක් ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් වාර්තා වීමත් සමග කබලෙන් ළිපට වැටුණු තත්ත්වයකට මුහුණදීමට සිදුවූ පාර්ශ්වයක් වන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ය. කොවිඞ් 19 ගෝලීය වසංගතයේ පැතිර යාමත් සමග විදෙස්ගත ශ්‍රමිකයෝ ගැටලු රාශියකට මැදිව සිටියහ. නැවත මව් රටට ඒමේ බලාපොරොත්තු සහිතව ඉතා දුක්ඛිත තත්ත්වයකට පත්ව සිටින වැඩි පිරිසක් සිටින්නේ මැදපෙරදිග රටවලය. ඔවුන් නැවත මෙරටට රැගෙන ඒමේ කටයුතු වරින් වර පමා වෙමින් තිබී පසුගිය කාලයේ නැවතත් කණ්ඩායම් වශයෙන් රැගෙන ඒමේ කටයුතු ආරම්භ කර තිබුණි. එහෙත් මේ වන විට රට තුළින් හමුවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සමග විගමණික ශ්‍රමිකයන් ගෙන ඒම නැවතත් තාවකාලිකව නතර වූයේය.

වසංගතය මධ්‍යයේ හිංසන

“අපේ රටේ බලධාරීන් අපිව ගෙන්න ගන්නේ නැති බව දැන් මෙහේ අය දන්නවා. ඒ නිසා දැන් ඒ අය අපෙන් වෙනදාටත් වඩා වද වේදනා දිදී වැඩ ගන්නවා. අපේ වැටුප් පවා දුන්නත් එකයි නැතත් එකයි කියලා දැන් ඒ අය හිතනවා. ලාංකාවේ අයට කොවිඩ් හැදුණත් වැඩකරන ගෙවල් වලින් පැනඩෝල් පෙත්තක්වත් ලැබෙන්නේ නැහැ. එම්බසි එකෙන් බලන්නේත් නැහැ. අපිට මේ රට වලට එන්න රජයේ අනුග්‍රහය ලැබුණා වගේම මේ වෙලාවේ අපි වෙනුවෙන් පෙනී ඉන්න අපේ රටේ රජයට බැරි ඇයි. ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න මෙහේ ලංකාවේ මිනිස්සු දුක් විඳලා මැරිලා යනවා.” කුවේට් හි ගෘහ සේවයේ යෙදෙන ශ්‍රී ලාංකික කාන්තාවක් රාවයට පැවසුවාය.

කොවිඩ් වසංගතයේ පැතිරීමත් ඒ හේතුවෙන් මව් රටට පැමිණීමට නොහැකි තත්ත්වයත් හමුවේ මැදපෙරදිග ගෘහ සේවයේ නියුතු බොහෝ සංඛ්‍යාවක් විගමණික ශ්‍රමිකයන් පත්ව තිබෙන්නේ ඉතා ඛේදනීය තත්ත්වයකටය. ඔවුන් බොහෝ දෙනා පවසන්නේ තානාපති කාර්යාල වලට දැන්වීමට ද නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇති බවය, ඒ ඇතැම් කාර්යාල වසා දමා ඇති බවය, ඇතැම් දුරකථනවලට කිසිවකු පිළිතුරු නොදෙන බවය. ඒ බොහෝ ශ්‍රමිකයන් දැන් සිටින්නේ කිසිදු පාර්ශ්වයක පිළිසරණක් නොමැති තත්ත්වයකය. කෙසේ හෝ තමන් මෙරටට රැගෙන එන ලෙස සියලුදෙනාට ඔවුහු ආයාචනා කරමින් සිටින්නේ එබැවිනි.

ඕමානයේ ගෘහ සේවයේ සිටින එක් ශ්‍රී ලාංකික කාන්තාවක් මීට දින කීපයකට පෙර හඬා වැළපෙමින් තම දුක්ගැනවිල්ල සමාජමාධ්‍ය ජාලවලට එක් කර තිබුණේ මෙලෙසය. “මම ඕමානයට ඇවිත් අවුරුදු දෙකයි මාසයක් වෙනවා. මම වැඩ කරන ගෙදර මැඩම් මට එම්බසියට යන්න කියලා ගහනවා. කන්න දෙන්නේත් නෑ. කෑම ඉතිරි වෙන ඒවා මම කාවි කියලා, ඩස්ට්බින් එකට විසි කරනවා. බඩගින්නේ ඉන්න බැරුව මම තේ එකක් හදාගනිද්දී ඒකත් විසි කළා. පිහියෙන් ඇනලා මාව මරණවා කියලා කියනවා. මම එම්බසි එකට යන්න දන්නේත් නැහැ, මාව ගෙනිහින් දාන්නේත් නැහැ. මේ වීඩියෝව දකින කෙනෙක් හරි මට එම්බසියට යන්න උදව් කරන්න. මාව කොයි වෙලාවේ මරලා දාවි ද කියලා මට බයයි.” ඔවුන්ට යාන්තම් හෝ රැකවරණයක් තිබුණා නම් වසංගතය හමුවේ එම රැකවරණයන් ද දැන් අහිමිව ගොස්ය. මේ වන විට ඔවුන්ට කිසිදු පිළිසරණක් නොමැති බව දන්නා ඇතැම් හාම්පුතුන්ගෙන් දැන් ඔවුන්ට එල්ලවන හිරිහැර ද අසීමිතය.

කබලෙන් ලිපට වැටීම්

කුවේට්හි ගෘහ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක් දුරකථනය ඔස්සේ අපට පැවසුවේ ඇය සේවය කළ නිවසෙන් සිදුවූ හිරිහැර හේතුවෙන් ඇය එම නිවසෙන් පැන ගොස් කුවේට් හි මෙරට තානාපති කාර්යාලය වෙත ගිය බවය. එහි නිලධාරීන් තමන්ට වෙනත් නිවසක් සොයා දුන් බවත් එම නිවසේ හාම්පුතා වෙතින් ඇයට ලිංගික බලපෑම් එල්ල වූ බවත් ඇය පවසන්නීය. ඊට විරෝධය දැක්වූ විට ඇයට හාම්පුතා විසින් සඳහන් කර තිබුණේ ඇය ඒ වෙනුවෙන්ම තානාපති කාර්යාලයට ද දන්වා රැගෙන ආ බවය. ඇය එම නිවසෙන් ද පැන ගොස් අවසානයේ කිසිදු පිළිසරණක් නොමැතිව තවත් ශ්‍රී ලාංකිකයෙකුගේ රැකවරණය යටතේ මේ වන විට සිටින බව ඉකි බිඳිමින් කියන්නීය. “මම ඒජන්සියටත් ගියා. එතැන දීත් මාව විකුණන්න කතා වෙනවා මට ඇහුණා. මම අසරණයි, එහෙම කරන්න එපා කියලා මම ඇඬුවා. කිසිම කෙනෙක් උදව්වට ආවේ නැහැ.” ඇය ඇතුළු තවත් විශාල පිරිසකට නවාතැන් පමණක් නොව ආහාර වේලක් හෝ සොයා ගැනීමට නොහැකිව සිටින බව ඇය අප හා කීවාය. ඇතැම්විට නොමිලේ ආහාර සපයන ඉතා දිගු පෝළිම්වල බලා සිටියත් අවසානයේ කිසිදු අහරක් නොලබා සිටීමට සිදුවන බව ඇය පැවසුවාය. ඒ බොහෝ දෙනා මැදපෙරදිග රැකියා සොයා පැමිණ තිබුණේ තම පවුලේ ආර්ථිකය තම දෙවුර මත තබා ගනිමිනි. බොහෝ අයට පාසල් වියේ දරුවෝ වූහ. වයස්ගත, රෝගී දෙමාපියෝ වූහ. ඔවුහු ජීවත් කරවීමට මුදල් උපයා මෙරටට එවූ මේ විගමණික ශ්‍රමිකයන්ට අද ඒ කිසිවක් සිදුකරගත නොහැකි ව තිබෙන්නේය. මෙරට සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද මේ හේතුවෙන් මුහුණ දීමට සිදුව තිබෙන පීඩාවන් සුළු පටු නොවන්නේය.

රෝගී තත්ත්වයට පත්ව කුවේට් හි සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් ද ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයකට තම දුක්ගැනවිලි ඉදිරිපත් කරන ආකාරය පසුගිය දිනෙක සමාජ මාධ්‍යවලට එක් කර තිබුණි. “මම මාස හතරක ඉඳලා රෝද පුටුවේ ඉන්නේ. අසනීප අය ඉක්මනට ලංකාවට ගන්නවා කිවුවත් අසනීප අය ඉද්දී සනීපෙන් ඉන්න අයත් ගෙන ගියා. අපිට ඉන්න තැනක් නැහැ. කන්න, අඳින්නවත් හරියට නැහැ. අපිට අවශ්‍ය බෙහෙත්වත් ගන්න විධියක් නැහැ. සනීපාරක්ෂක තුවා නැහැ. අපි අපේ ඇඳුම් ඉරලා සනීපාරක්ෂක තුවා විධියට පාවිච්චි කරවනවා. අපිට කිසිම කෙනකුගේ පිළිසරණක් නැහැ.” එම කණ්ඩායමේ එක් කාන්තාවක් කීවාය. ඒ බොහෝ දෙනාට තිබුණේ ඉතා දුක්ඛිත කතාන්දරය. ඔවුන්ට තිබූ එකම බලාපොරොත්තුව වූයේ කෙසේ හෝ මෙරටට නැවත ඒමට අවස්ථාවක් සලසා ගැනීමය.

විදෙස්ගතව රැකියාවන්හි නියැලෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 48000ක් පමණ නැවත මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. කොවිඞ් වසංගතයේ පැතිරයාම සමග රැකියා අහිමිවීම්, වැටුප් කප්පාදු, ආහාර ඖෂධ නවාතැන් ආදී මූලික අවශ්‍යතා අහිමිවීමෙන් ද තවත් බොහෝ ගැටලු රාශියකට මේ බොහෝ ශ්‍රමිකයෝ මැදිව සිටිති. ඇතැම් පිරිස් මෙම වසර ආරම්භයේ දී තෙමසක් සඳහා වීසා ලබා රැකියා සොයා මැදපෙරදිගට ගිය පිරිස්ය. ඇතැම් අය මේ වන විට රැඳී සිටින්නේ පොදු උද්‍යාන, පාළු ගොඩනැගිලි ආදී ස්ථානවලය. ඩුබායි හි එලෙස උද්‍යානයක රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ ඡායාරූප ද සහිතව එහි මාධ්‍යවේදිනියක් තම ට්විටර් ගිණුමේ මෙන්ම ‘ද ටෙලිග්‍රාෆ්’ වෙත මීට දින කීපයකට පෙර වාර්තා කර තිබුණි.

පිහිටක් නැති තානාපති කාර්යාල

ඒ අතර නීත්‍යානුකූල ලියවිලි රහිතව රැඳී සිටින ශ්‍රමිකයන් මුහුණ දී තිබෙන්නේ වඩා අවදානම් තත්ත්වයකටය. මෙම වසරේ අප්‍රේල් මාසය වන විට වීසා නොමැති සහ නීතිමය ගැටලු සහිතව කුවේට් හි සිටින විගමණික ශ්‍රමිකයන්ට මාසයක් තුළ කුවේට්වලින් පිටවන ලෙසත් එම කාල සීමාව තුළදී ඔවුන්ගේ ලියවිලි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන බවත් එරටින් දන්වා තිබුණි. “පිලිපීනය, බංග්ලාදේශය, ඉන්දියාව වැනි රටවල ගොඩක් අය ඒ වෙලාවේ මේ රටෙන් පිටත් වුණා. අපිටත් භාර වෙන්න කියලා තිබුණා, ඒත් ඒ වෙලාවේ එම්බසි එකෙන් ඒකට ඕනෑ ලියකියවිලි හදලා දෙනවා වෙනුවට පොලීසියෙන් ගෙන්නලා අපිට පහර දුන්නා. වීසා නැති, නීතිමය ප්‍රශ්න තියන අය ගොඩක් අය මෙහේ අසරණ වෙලා ඉන්නවා. අපිට රටෙන් පිටවෙන්න අවස්ථාව ලැබුණ වෙලාවේත් අපේ එම්බසි එකෙන් අපිට උදවු කළේ නැහැ. එම්බසි එකේ අයටත් කොරෝනා කියලා ඊට පස්සේ ඔෆිස් එක වහගෙන ඉන්නවා. ගොඩාක් අය තාම මෙහේ අඬ අඬ ඉන්නවා. ගෑනු අයව හිරකරගෙන ඉන්නවා. ඒවා මාධ්‍යවල යන්නේ නැහැ.” ඒ, නීතිමය ගැටලුවකට මැදිව එරටින් පිටවීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකික තරුණයෙකි. ඔවුන් සියලුදෙනාට තම මවු රටට යෑමට ලබා දුන් අවස්ථාවේ දී මෙරට තානාපති කාර්යාලය ඒ සම්බන්ධව නිසි මැදිහත්වීමක් නොකළ බවට ඔවුහු චෝදනා කරති. එමෙන්ම සෑම අතින්ම පීඩනයට පත්ව සිටින අවස්ථාවක තානාපති කාර්යාලවල අය තමන්ට උපකාර කරනවා වෙනුවට තව තවත් පීඩාවට පත්වන ආකාරයේ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ ඔහු විස්තර කළේය.

මේ අතර කොවිඩ් වෛරසය ආසාධිතව කිසිදු ප්‍රතිකාරයක් ලබාගත නොහැකිව අසරණ තත්ත්වයේ සිටින ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් මැදපෙරදිග සිටින පිරිස් අපට පැවසූහ. ඒ බොහෝ දෙනා මේ වන විට සිටින්නේ ද කිසිවෙකුට උපකාරයක් කිරීමට හැකි තත්ත්වයක ද නොවේ. ඔවුන් වෙනුවෙන් පෙනී සිටින කිසිදු පාර්ශ්වයක් ද මේ වන විට නැත. කෙසේ වෙතත් කොවිඞ් ආසාධිත යැයි පීසීආර් පරීක්ෂණ වලින් තහවුරු වන අය මෙරටට රැගෙන එන්නේ ද නැත. රැගෙන එන අවස්ථාවල ගෙන එන්නේ ද කොවිඞ් ආසාධිත නොමැති බවට තහවුරු වන්නන් පමණි. මෙම වසර තුළ දී මැදපෙරදිග රටවල කොවිඞ් ආසාධිතව ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් 68ක් මියගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත සඳහන් කරයි. ඒ, සවුදි අරාබි 30ක්, කුවේට් 17ක්, අබුඩාබි 8ක්, කටාර් 6ක්, බහරේන් 2ක්, ජෝර්දාන් 1ක් සහ ඕමාන් 4ක් ලෙසය. ඉන් 56ක් පුරුෂයන් වන අතර 12ක් ස්ත්‍රීන් බව එම කාර්යාංශය සඳහන් කරයි.

ඉදිරි සැලසුම මොකක් ද?

මිනුවන්ගොඩ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවක් ආශ්‍රිත මෙරටින් විශාල කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාවක් වාර්තා වීම සමග ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් මෙරටට රැගෙන ඒමට සැලසුම් කර තිබූ ගුවන් ගමන් ද තාවකාලිකව අවලංගු වූයේය. ඒ සමග එම ශ්‍රමිකයන්ගේ මව් රටට ඒමේ බලාපොරොත්තුව තවත් ඈතට ගොස් තිබේ. එවන් පසුබිමක මෙම ශ්‍රමිකයන් මැදිව සිටින ගැටලු සම්බන්ධයෙන් සහ ඔවුන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් වන සැලසුම කුමක් දැයි අප ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වන මංගල රන්දෙණියගෙන් විමසුවෙමු. විශේෂ ගුවන් යානා කීපයක් යවා කඩිනමින් ගෙන්වාගත යුතු අය පිළිබඳ අපි ලැයිස්තුවක් හැදුවා. ඒක ජනාධිපතිතුමාටත් ඉදිරිපත් කළා. කොවිඞ් කමිටුවෙනුත් අනුමැතිය ඊට ලැබී තිබුණා. ඒ සියල්ල සූදානම් කර තිබිය දී අවාසනාවන්ත ලෙස ලංකාව ඇතුළේ මේ කොවිඞ් දෙවන රැල්ලක් මතු වුණා. දේශීය වශයෙන් දැනට තිබෙන මානව හා භෞතික සම්පත් ලංකාවේ ඇතුලේ ඉන්න අය වෙනුවෙන් යොදවන්න සිදුවුණා. ඉදිරි දින කීපය තුළ ආසාදිතයන්ගේ ප්‍රමාණය වැඩි වෙයි ද පීසීආර් හා රෝහල්වල ඇඳන් ප්‍රමාණය මදි වෙයි ද නිරෝධායන ස්ථානවල ප්‍රමාණය මදි වෙයි ද වැනි දේ පිළිබඳ සති දෙකක් පමණ ඉදිරියට බැලීමට සිදුවන නිසා ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් යොදවා තිබූ සියලු විශේෂ ගුවන් යානා ජාතික කොවිඞ් කමිටුව විසින් තාවකාලිකව නවතා දැමුවා. කෙසේ වෙතත් ඉදිරි සති දෙක තුන නිරීක්ෂණයටන්ට අනුව ගන්නා ඊළඟ පියවරක් තිබෙනවා. ඒ අනුව ගෙන්වා ගැනීම වෙනත් ක්‍රමයකට සැලසුම් කිරීම සම්බන්ධයෙන් දැනට සාකච්ඡා සිදුවෙනවා.”

රජයේ ප්‍රකාශකයෙකු අපට පැවසුවේ ගෙන්වනවා ගැනීම් සම්බන්ධයෙන් දැනට ලංකාවේ ක්‍රියාත්මක වන ඉහත කී ක්‍රමවේදය වෙනස් කර නිරෝධායන කටයුතු ආදියෙහි වගකීම එම පුද්ගලයන්ට ගැනීමටත්, සියලු ආසාධිතයන් රෝහල්ගත කිරීම වෙනුවට ඇතැම් රටවල සිදුවන ආකාරයට රෝග ලක්ෂණ සහිත පිරිස් පමණක් රෝහල්ගත කිරීම වැනි ක්‍රියාවලියකට මාරු වීමට ඉදිරි දිනවල තත්ත්වය සලකා බලා තීරණ ගනු ඇති බවය.

රටේ වගකීම ඉටු කරන්න

“සුරංගනා කතා කියලා මේ රටවලට එවන ඒජන්සිවල අය අපි මෙහාට ඇවිත් භාරදුන්නාට පස්සේ හොයන්නේවත් නෑ. හැමදාම අපේ රටේ කාන්තාවෝ මෙහේ ආවාට පස්සේ දුක් විඳිනවා. කිසිම පිහිටක් නෑ. දැන් මරුවා පෙනි පෙනී අපිට මෙහේ බලාගෙන ඉන්න වෙලා තියනවා. අපෙන් කොරෝනා එනවා කියලා කිවුවාට දැන් රට ඇතුලේ කොරෝනා ඇති වෙනකම් ඒ අය දන්නේ නෑ. චීනේ අයට කිසිම නීතියක් නැතිව රටට එන්න දුන්නා. අපිත් චීනයට ගිහින් චීනය හරහා ලංකාවට එන්න ඕනෑ ද. චීනයේ අයට එක විධියකටත් අපිට තව විධියකටත් සලකන්නේ ඇයි. කවදා වෙනකම් මේ අය මේ විධියට රඟපාවි ද. පහුගිය කාලයේ පළමු තැන දීලා තිබුණේ ඡන්දයට. මෙහේ ලාංකිකයෝ කාන්තාරයේ වැළලෙද්දී අපි ගෙන්වා ගන්න ඔනෑ කමක් තිබුණේ නැහැ.”මව් රටට ඒමට කුවේට්හි බලා සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් කියන්නීය.

එපමණක් නොව රටෙහි පුරවැසියන් වන මෙම විගමණික ශ්‍රමිකයන් රැකගැනීමේ වගකීම මෙරටට තිබෙන්නේය. ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන්ගෙන් මෙරටට වාර්ෂිකව ලැබෙන ඇමරිකානු ඩොලර් බිලියන 7කට වැඩි විදේශ විනිමය වටිනාකමින් ඇමරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන්නේ මැදපෙරදිග සේවා නියුක්තිකයන්ගෙනි. එසේ වුව ද මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශවයන්ගේ නිසි මැදිහත්වීමක් සිදුවන බව නම් පෙනෙන්නට නැත. වරින්වර විගමණික ශ්‍රමිකයන් වෙනුවෙන් විවිධ ප්‍රතිපත්ති යෝජනා ආදිය මතු වුව ද තවමත් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙරට රජය කෙතරම් දුරට මැදිහත් වෙනවාද යන ගැටලුව තිබෙන්නේය.

උපුටාගැනීම – රාවය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435