කොවිඩ් 19 අස්සේ-ස්වයං රැකියා කරන්නන්ගේ ඉරණම කෙබඳු වේද?

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා රෝග වසංගත තත්ත්වය හේතුවෙන් ලෝකයම දැඩි අවදානමකට ලක්ව ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. අසල්වැසි ඉන්දියාව මේ වන විට දින 21 ක් වසා දමා තිබේ. ශ්‍රී ලංකාවේද, කොළඹ-ගම්පහ-කළුතර දිස්ත්‍රීක්ක දැඩි අවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කොට අඛණ්ඩව ඇඳිරි නීතිය පනවා තිබේ. රජය විසින් මේවන විට රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය වන්නේ එළඹෙන මාර්තු 30 වන සඳුදා සිට අප්‍රේල් 04 වෙනි දින දක්වා නිවසේ සිට වැඩකරන සතියක් ලෙස සැලකීමයි. මීට පෙරාතුවද සතියක කාලයක් ඒ් අයුරින්ම ක්‍රියාත්මක විය. කෙසේ වෙතත් රජයේ සේවකයින්ට මාර්තු මස වැටුප ලැබී ඇති අතර අප්‍රේල් මාසයේ වැටුප එළඹෙන 10 වෙනිදාට ප්‍රථම ගෙවන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් නියෝග කර ඇත. එහෙත් වඩාත් ඛේදවාචකය වන්නේ එදිනෙදා කුලීවැඩ කරන, ස්වයං රැකියාවල නිරතවන පිරිස් පත්ව ඇති පීඩාවය. ඔවුන් වෙනුවෙන් රජයට හෝ වගකිව යුතු ආයතනයන්ට කළ හැකි යමක් ඇත්ද?
“වැඩබිම” වෙනුවෙන් අප කළ විමසුමකදී ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහඳගමගේ මෙසේ කීය.

“මේ දෛනික ආදයම් ලබන අයට විශාල වශයෙන් පීඩාවට පත්ව තියෙනවා. අපි කොරෝනා වසංගත තත්ත්වයට කලින්ම අජිත් නිවාඩ් කබ්රාල් හරහා ඉල්ලීමක් කළා. සුළු හා මධ්‍ය පරිමාණ ස්වයං රැකියා නියුක්තිකයන්ට ඔවුන් ලබාගත් ණය, ලීසිං ආදිය ගැන යම් සහනයක් ලබාදෙන්න කියලා.ඒත් ඊට පස්සෙ කොරෝනා වසංගත තත්ත්වය ආවා. ඊට පස්සෙ තමා යම් විශේෂ සහන කීපයක් මේ වන විට ලබාදීල තියෙන්නේ. ඒ් අනුව ත්‍රී රෝද රථ රියදුරන්ට, මාළු ව්‍යාපාරික කටයුතු කරන කුඩා ප්‍රමාණයේ ලොරි රථ ආදියට ලීසිං වාරික ගෙවීමේ සහන, ලබාදීල තියෙනවා. ලොතරැයි අලෙවි කරන්නන්ට රු.2500ක දීමනාවක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළා. ඒ්ක ත් මේ මොහොතේ අගය කළ යුතු දෙයක්. අනෙක් අතට ස්වයං රැකියාවල නිරතවන පදික වෙළෙඳුන් පවා බොහෝ අසරණ වෙලා ඉන්නෙ. ඒ් නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ලොතරැයි අලෙවි නියෝජිතයින්ට යම් දීමනාවක් ලබාදුන්නා සේම පදික වෙළෙඳුන්ටත් යම් සහනයක් ලබාදීමට ක්‍රියා කරන්න කියලයි”

කහඳගමගේ මහතා එසේ සඳහන් කළ සහන මොනවාදැයි සැකෙවින් සටහන් කළ යුතුමය.

පවත්නා කොවිඩ් -19 ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ව්‍යාපාරිකයින්ට සහ පුද්ගලයන්ට සහන සැලසීමට 2020.03.20 දින පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට අනුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද නියෝගය මත , ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් විසින් මින් මතු මූල්‍ය ආයතන විසින් හැඳින්වෙන, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලත් විශේෂිත බැංකු සහ කල්බදු සමාගම් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පහත සඳහන් සහන ජනතාව වෙත ලබා දීමට මූල්‍ය ආයතන වෙත දැනුම් දී ඇති අතර මේ පිළිබඳ සවිස්තරාත්මක උපදෙස් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය. එවැනි සියලුම මූල්‍ය ආයතන පහත සඳහන් පරිදි ණය සහන (ප්‍රාග්ධනය සහ පොළිය මත) ක්‍රියාත්මක කළ යුතුය.

* සියලුම ත්‍රිරෝද රථ, පාසල් වෑන්, ලොරි, කුඩා භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන සහ ස්වයං රැකියාලාභීන් විසින් මෙහෙයවනු ලබන බස්රථවල ලීසිං වාරික සඳහා මාස හයක සහනයක්

* පෞද්ගලික අංශයේ සියලුම විධායක නොවන සේවකයින්ට ලබා දී ඇති පුද්ගලික ණය සම්බන්ධයෙන් 2020.05.30 දින දක්වා සහන කාලයක්

* රුපියල් මිලියන 1ට අඩු සියලුම පුද්ලගික ණය හා ලීසිං වාරික සඳහා මාස 03ක සහන කාලයක්

* කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්, සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු තාක්ෂණ සහ ඒ ආශ්‍රිත සැපයුම් සේවා සපයන්නන් (ලොජිස්ටික්) යනා දී බලපෑමට ලක්වූ කර්මාන්ත සඳහා මාස හයක ණය සහන කාලයක්.

* මූල්‍ය ආයතන විසින් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා 4% ක පොලී අනුපාතයකට ලබා දිය යුතු අතර ඉහත I (4) අයිතමයේ අංශ සඳහා අවම වශයෙන් මාස 6 ක් වත් පොලී ගෙවීම් අත්හැර දැමිය යුතුය. නැවත මූල්‍යයනය සඳහා පොලී සහනාධාරයක් ඇතුළත් වේ.

* 2020.04.30 වන දින දක්වා ඉහත 1 සහ 2 අයිතම සඳහා ණය අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා මූල්‍ය ආයතන ගනුදෙනුකරුවන්ට ඉඩ ලබා දිය යුතු අතර මූල්‍ය ආයතන විසින් දින 45 ක් ඇතුළත එය අවසන් කළ යුතුය.

* රු. 50,000 ක් දක්වා වටිනාකමින් යුත් දේශීය ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු සඳහා මූල්‍ය ආයතන විසින් අයකරනු ලබන උපරිම පොලී අනුපාතය සියයට 15 ක් වියයුතුය. ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අවම මාසික ගෙවීම සියයට 50 කින් අඩු කළ යුතුය. තවද රු. 50,000 සීමාවට අඩු සියලු ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා නැවත ගෙවිය යුතු කාලය 2020.04.30 දක්වා දීර්ඝ කිරීමට නියමිතය.

* රුපියල් ලක්ෂ 5 ට අඩු වටිනාකමකින් යුතු චෙක්පත් සඳහා වන වලංගු කාලය බලපත්‍රලාභී බැංකු විසින් 2020.04.30 දක්වා දීර්ඝ කරනු ඇත.

ඇඳිරි නීතිය බලනොපැවැත්වෙන දිනවලදී බලපත්‍රලාභී බැංකුවල සියලුම ශාඛා උදේ 8.00 සිට ප.ව 1.00 දක්වා අවම සේවකයින් සංඛ්‍යාවක් සමඟින් විවෘතව තැබිය යුතුය. එසේම සියලුම ආයතනික ශාඛාවන් ආහාර, වෛද්‍ය, ගමනාගමන හා අනෙකුත් පාරිභෝගික සේවා සම්බන්ධිත ජාත්‍යන්තර ගනුදෙනු සඳහා පහසුකම් සැපයීමට ඇඳිරි නීතිය පනවා ඇති දිනවල විවෘත වනු ඇත.

මේ අයුරින් පොදුවේ ලබාදුන් සහන වලට අමතරව ඉතා පහල මට්ටමේ ආදායම් ලබන කුඩා පරිමාණයේ ආහාර පාන අලෙවි කරන, මුට්ට කරගසන, හඳුන්කූරු සකසන, ලියුම් කවර සකසන, නිවසේ ස්වයං රැකියාවක් ලෙස ඇඳුම් මසා අලෙවි කරන ආදී වශයෙන් විවිධ වශයෙන් ස්වයං රැකියාවල නිරත බොහෝ පිරිසක් අන්ත අසරණ භාවයට පත්ව සිටින බැව් පුදුමයක් නොවේ. මේ පිළිබඳ තමාගේ අදහස කුමක්දැයි විමසූ කල ආහාර බීම දුම්රිය කර්මාන්ත සේවක සමිතියේ ලේකම් සී.මලවිසූරිය මහතා, දැක්වූ ප්‍රතිචාරය මෙවැන්නකි.

“මේ මොහොතේ පවත්නා තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අපි හැමෝම අසරණ වෙලා ඉන්නෙ. ඒ් අතරේ ස්වයං රැකියා කරන අය අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා තියෙනවා. අපි වැඩ කරන අයට යම් යම් සහන අරන් දීලා තියෙනවා. ඒ් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඔයාලටත් පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න”

ස්වයං රැකියාවල නිරතවන්නන් දැවැන්ත පීඩාවට ලක්ව ඇති බව යළි යළිත් සිහිපත් කරදිය යුතු කාරණයක් නොවේ. ණය, ලීසිං වාරික මාස 6ට අත්හිටුවීම වැනි කාරණයන්ගෙන් ඔබ්බට ගොස් බිම් මට්ටමේ එදිනෙදා වේල සරිකරගන්නන් කෙරෙහි මීට වඩා අවධානයක් යොමු කළ යුතුව ඇති බව අවධාරණය කළ යුතුව තිබේ. අර්බුදකාරී තත්ත්වයක බිම් මට්ටමට ආමන්ත්‍රණය කළ හැකි ඒවැනි තීන්දු කිහිපයක් ගෙන ඇති බවද අමතක නොකළ යුතුමය. ඒනම් මේවන විට රජය විසින් අඩු ආදායම්ලාභී පවුල්වල
සමෘද්ධි ලාභීන්ට රු.10,000ක පොලී රහිත අත්තිකාරම් මුදලක් ලබාගැනීමට සමෘද්ධි බැංකු හරහා අවස්ථාව සලසා දීම ඒවැන්නකි.
සමෘද්ධි හා දිළිදු පවුල් සඳහා ආහාර හිමිකම් පතක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරිමට නියමිතය. එය ඉතා කඩිනමින් ආරම් කළ යුතුමය. ප්‍රාදේශීය ලේකම් හා පොලීසියෙ අධීක්ෂණය යටතේ ධීවරයින්ට මුහුදු යාමට අවස්ථාව සලසාදී ඇති අතර මාළු අස්වැන්න රජය විසින් මිලදී ගැනීමට පියවර ගෙන තිබේ. කර්මාන්ත ක්සේත්‍රයේ නියැලී සිටින පුද්ගලයින්ට සේවක වැටුප් ගෙවීම, විදුලි බිල්පත් හා වරිපණම් ගෙවීම සඳහා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා මත 4%ක ණය මුදල් ලබා ගැනීම සඳහා පහසුකම් සලසා ඇති අතර බැංකු මගින් අය කරන ඉතිරි පොලිය රජය මගින් ඒම බැංකු වෙත ලබාදෙයි.

කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර රටවල ස්වයං රැකියාවල නිරතවන්නන් කෙරෙහි අනුගමනය කරන ක්‍රියා මාර්ග කෙරෙහිද සැකෙවින් හෝ විමසා බැලිය යුතුය.
එක්සත් රාජධාණියේ චාන්සලර් රිෂි ෂුනක් නිවේදනය කර ඇත්තේ ස්වයං රැකියාලාභීන්ට පසුගිය වසර තුන තුළ ඔවුන්ගේ සාමාන්‍ය මාසික ලාභයෙන් 80% ක් වටිනා ප්‍රදානයක් සඳහා මසකට ඩොලර් 2500 ක් දක්වා ඉල්ලුම් කළ හැකි බවය.
ජනවාරි මාසයේ ගොනු කරන ලද 2018-19 බදු වාර්තාවේ ලියාපදිංචි කර ඇති පරිදි අවම වශයෙන් ඔවුන්ගේ ආදායමෙන් අඩක් වත් ස්වයං රැකියාවලින් උපයා තිබිය යුතු බවට කොන්දේසියක් පවතී. කෙසේ වෙතත් ඉල්ලුම් කිරීමේ කාලසීමාව මග හැරුණු ඕනෑම කෙනෙකුට එය සිදු කිරීමට සති හතරක් ලබාදී තිබේ.

වසරකට ඩොලර් 50,000 ට අඩු ආදායමක් ලබන අයට මෙම යෝජනා ක්‍රමය විවෘත වන අතර ඒරට ස්වයං රැකියාවල නියුතු පිරිස මිලියන 5 ක ජනගහනයෙන් මිලියන 3.8 ක් පමණ අගයක් ගන්නා බව සඳහන්ය. “අපි ඔබව අත්හැරියේ නැහැ. අපි සියලු දෙනාම එකට සිටිමු.” චන්සලර්වරයා වැඩිදුරටත් පවසා ඇත. ඒසේ වුවද ඒරට කම්කරු නායක ජෙරමි කෝබින් පවසා ඇත්තේ අර්බුදයේ බරපතලකම හඳුනා ගැනීමට රජය ප්‍රමාද වී ඇති බවයි. මේ අතර අමෙරිකා එක්සත් ජනපදයේ පීඩිත වැඩිහිටියන් සඳහා ඩොලර් 1,200 ක් ඇතුළත් වන ආපදා ආධාර පනත් කෙටුම්පත සෙනෙට් සභාව විසින් සම්මත කර ක්‍රියාවට නැංවීම ආරම්භ කර තිබේ. අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය ඊට වඩා වෙනස්ය.

ඉන්දියාවේ ‘නොයිඩා’ (Noida) කාර්මික සංවර්ධන පුරයේ ‘ලේබර් චෝක්’ (Labour Chowk) ආයතනය, ඉදිකිරීම් අංශයේ රැකියා සොයා එන සිය ගණනක් ශ්‍රමිකයන්ගෙන් පිරී ඉතිරී යාම සුලභ දර්ශනයක් වී තිබිණි.
නවදිල්ලි අගනුවර ප්‍රත්‍යන්ත කලාපයක පිහිටි එම කුඩා මංසන්ධිය කුලීකරුවන් සොයා ගැනීම සඳහා ඉදිකිරීම් අංශයේ ව්‍යාපාරිකයන් නිරන්තරයෙන් ගැවසෙන ස්ථානයකි. එහෙත් අද එම මුළු කලාපය ම දැඩි නිහඬතාවක ගිලී පවතී. සියල්ල ඇණහිට ඇත. ඒ අතරවාරයේ එක් කෙළවරක මිනිසුන් රංචුවකි.
ඔවුන් අතර සිටි රමේෂ් කුමාර් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ‘බණ්ඩා’ (Banda) දිස්ත්‍රික්කයෙන් පැමිණි කුලීකරුවෙකි.

”අද අපි කුලියට ගන්න කවුරුවත් නැති බව අපි දන්නවා. ඒත් හදිසියෙවත් අවස්ථාවක් ලැබේවි කියලයි බලාගෙන ඉන්නේ,” ඔහු බීබීසියේ විකාස් පාන්ඩේට කියා සිටියේය.

”මම දවසකට රුපියල් හය සීයක් හම්බ කරනවා. මම පස්දෙනෙක් නඩත්තු කරන්න ඕන.තව ටික දිනකින් ගෙදර තියෙන කෑම ටික ඉවර වෙනවා. කොරෝනා අනතුර මට තේරෙනවා. නමුත් මට මගේ දරුවෝ බඩගින්නේ ඉන්නවා බලාගෙන ඉන්න බැහැ.”.

දවසේ කුලියක් කරමින් එදා වේල පිරිමහ ගනු ලබන දශ ලක්ෂ ගණනක් ඉන්දියානුවන්ගේ තත්ත්වය එයයි. අගමැති නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා (මාර්තු 24) ප්‍රකාශයට පත්කළ නිවැසියන් ගෙදොරදොරේ ම රැඳී සිටීමේ ක්‍රියාදාමයත්(lockdown) සමග ඉදිරි සති තුනක කාලය තුළ ආදායමක් සරිකර ගැනීමේ අවස්ථාවක් සම්බන්ධයෙන් ඔවුන්ට බලාපොරොත්තු තැබීමේ මාවතක් නොමැත. ඉදිරි දින දෙකතුන ඇතුළත ඔවුන්ගෙන් ඇතැමෙකු ආහාර අහේනියකට මුහුණ දෙනු ඇත.

ලෝක කම්කරු සංවිධානයේ සංඛ්‍යාලේඛන අනුව ඉන්දීය ශ්‍රම හමුදාවෙන් යටත් පිරිසෙයින් 90% ක් පමණ මුරකරුවන්, පිරිසිදු කරන්නන්, රික්ෂෝ පදවන්නන්, පදික වෙළෙඳුන්, කුණු කසළ එකතු කරන්නන් සහ ගෘහ සේවකයන් ලෙස අවිධිමත් රැකියාවන්හි නිරත වෙති. ඔවුන්ගෙන් අතිබහුතරයට විශ්‍රාම වැටුප් නොමැත. එපමණක් නොව, ලෙඩ නිවාඩු හෝ රක්ෂණයෙන් තොර වෙති. එසේ ම ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට බැංකු ගිණුම් නොමැත. එම ජනතාව යැපෙන්නේ දවසේ පඩියට කුලියක් කිරීමෙනි.

මේ අනුව ලෝකයම පවතින්නේ අර්බුදයකය. වසංගත තත්ත්වය වඩාත් දරුණුවට බලපානු ලබන්නේ දිළිදු කම්කරුවන්ටය. එදාවේල සරිකර ගැනීම වෙනුවෙන් දෛනික කුලීවැඩ කරන පිරිස්වලටය. ස්වයං රැකියාවල නිරතවන්නන්ටය. කෙතරම් කාලයක් මේ තත්ත්වය පාලනය කර ගැනීමට හැකිවේදැයි අනුමාන කිරීමට පවා නොහැකිය. ශ්‍රී ලංකාවේ තත්ත්වය කෙරෙහි අප වඩාත් සමීපව නිරීක්ෂණය කළ යුතුවා සේම මේ මොහොතේම ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීම අත්‍යවශ්‍යය. ඒය බලධාරීන්ගේ වගකීමය. අපගේ යුතුකමය.

පී.ඩබ් මුතුකුඩආරච්චි

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435