කොවිඩ් – 19 “තුරන් කිරීම”- ”සිඳබිඳ දැමීම” කළ හැක

කෝවිඩ් 19 වෛරසයෙන් මිදීම පිළිබදව ‍ක‍ෙරෙන  දහසකුත් එකක් සාකච්ඡා දෙස බලන විට  වෛද්‍ය ප්‍රතිපත්ති සදහා වූ ආයතනයේ (IPH) විධායක අධ්‍යක්ෂක වෛද්‍ය රවීන්ද්‍ර පී. රණන්-එලිය ගේ (Ravindra P. Rannan-Eliya) පහත දැක්වෙන තර්කානුකූල ඉදිරිපත් කිරීම සිත් කා වදින්න කි. එහි දී වෛද්‍ය විද්‍යාත්මක මෙන්ම සමාජ ආර්ථික හා දේශපාලන තලයේ යන සාකච්ඡාවට ඔහු ඒ මගින් සාර්ථකව අවතීර්ණ වෙයි. වෛරසයේ ව්‍යාප්තිය පැහැදිලි කරන තර්ක ක්‍රමයම යොදා ගනිමින් වෛරස‍ය තුරන් කිරීම වටහා ගැනීමට ඔහු ගණිතමය තර්කයන් ද යොදා ගනී. 

වෛද්‍ය රවින්ද්‍ර  රණන්-එලිය අපගේ විචාර ඇස යොමු කරන වැදගත් කාරණාව වන්නේ කොවිඩ් 19 වසංගතය පාලනය කර ඇති සේ සලකන රටවල් 14 දෙස බලන කළ, ලෝක ගෝලයේ විවිධ ප්‍රදේශ වල, විවිධ දේශගුණයන් හා ස්වාභාවික පරිසරයන් සහිත ප්‍රදේශයන් හි දී වුවත් ‍කෝවිඩ්  තුරන් කළ හැකි බවයි. ඔහුගේ මේ අවධාරණයෙන් ගම්‍ය වන්නේ කොවිඩි මර්ධනයේදී  සාර්ථක හා අසාර්ථක බව සොබා දහමට අනුව  නොව කොවිඩ් කළමනාකරණ ආකාරය අනුව සිදුවන බවයි. ඒ අතර ඔහු තවදුරටත් පෙන්වන්නේ මේ ‘සාර්ථක’ රටවල් 14 ගත්තද  ඒවා අනුගමනය කළ කොවිඩ් කළමනාකරණ ආකාරයන් ද විවිධ වූ බවයි. එකම ප්‍රතිපත්තියක් අනුගමනය නොකළ බවයි. ඒ අනුව  රටක සීමිත අත්දැකීම් සාමාන්‍යකරණයට නොගොස්, තවදුරටත් ගැඹුරට හාරා බැලීමෙන් මේ වෙනස එනම්, ‘සාර්ථක’ – ‘අසාර්ථක’ භාවය; ඇති කළේ කුමක්ද යන්න පිළිබදව නිගමන වලට එළඹීම සුදුසු බව ඔහු ‍‍‍පෙන්වා දෙයි.

 සෞඛ්‍ය    ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර විශේෂඥයෙකු වන වෛද්‍ය රවි රණන්-එලිය ගේ බ්ලොග් පිටුවේ පලවූ මෙම අදහස් දැක්වීම, වෛද්‍ය සරත් සමරගේ විසින් කර තිබූ සිංහල පරිවර්තනය අනුසාරයෙන් සංක්ෂිප්ත කර ඉදිරිපත් කරන්නකි.

කොවිඩ් 19 යේ කෙලවර

කොවිඩ්-19 වෛරසය පිළිබඳව මූලික සංඛ්‍යා පෙබරවාරි මැද භාගයේ දී පැහැදිලි වු දා සිට, සෑම රටක්ම එහි පැතිරීම පාලනය කිරීමට උත්සාහ කරන බව පැහැදිලිය. අවාසනාවකට මෙන්, රටවල් විසින් අනුගමනය කළ හැකි විවිධ උපාය මාර්ග පිළිබඳව විශාල ව්‍යාකූලතාවයන් පවතී, නමුත් පෙරී ආ කළ මෙම උපායමාර්ගයන් දෙකක් දක්වා අඩුවේ. ඒ “අවම කිරීම” සහ “තුරන් කිරීම” යි,

“අවම කිරීම:” ක්‍රියාත්මක කිරීම සඳහා, රටක් පළමුව වෛරසය පැතිරීම මන්දගාමී කළ යුතු අතර, නව ආසාදිතයන් ගණන අඩුකර ගත යුතුය. අනතුරුව සංඛ්‍යාවන් කළමනාකරණය කර ගත හැකි යයි තක්සේරු කරන විට, දිනපතා සැලකිය යුතු නව කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් සමඟ ජීවත් වන අතර, ආර්ථිකය විවෘත කිරීම සඳහා පනවා ඇති සීමාවන් ක්‍රමයෙන් ලිහිල් කළ  හැකිය. ප්‍රායෝගිකව ගත් කළ මේ අවසානය නොවේ. යලි ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යන්නේ නම් ඒවා කළමනාකරණය කර ගත හැකි මට්ටමකට ගෙන ඒමට වරින් වර සීමාවන් තද කිරීමට එම රටවලට සිදුවනු ඇත. මෙම ඇරීම්-වැසීම-ඇරීම යන ප්‍රවේශය තුළ , බොහෝමයක් බටහිර ආර්ථිකයන් සැලකිය යුතු කාල පරාසයක් තුළ “අගුළු දැමීම” යටතේ පැවැත්වීමට සිදුවනු ඇති බව ඇස්තමේන්තු කර ඇත. නමුත් එය ඔවුන්ගේ ආර්ථිකයන් වේගයෙන් විවෘත කිරීමට ඉඩ සලසයි.

“තුරන් කිරීම:” මේ ක්‍රමෝපාය අරමුණු කරන්නේ, රට තුළ සැලකිය යුතු අඛන්ඩ  වෛරස සම්ප්‍රේෂණය සම්පුර්ණයෙන්ම නතර කිරීමයි. එහි දී හැකිතාක් දුරට දේශීය ආසාදියන් ගණන ශුන්‍යයට ආසන්නව එනම් සතියකට හෝ මාසයකට එකක් දෙකක් මට්ටමට පවත්වා ගැනීම යි. ඒ සදහා ප්‍රමාණවත් පාලනයක් ස්ථාපනය කිරීමයි.

තුරන් කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා, දේශීය ආසාදන ශුන්‍යයට ආසන්න මට්ටමකට අලුතින් අතිවන ආසාදිතයන් ගණන පැතලිව හා කලාතුරකින් ඇතිවීම වන පරිදි වෛරසය පැතිරීම මන්දගාමී කිරීමට අඛන්ඩ ක්‍රමෝපායන් අවශ්‍යය.

ප්‍රකාශයන් බොහෝ විට පිළිබිඹු කරන්නේ, සාර්ථකව ක්‍රියා කරන දේ පිළිබඳ අගතිගාමී ලෙස දැකීමක්, ඇතැම් රටවල් උලුප්පා දැමීමට ඇති කැමැත්ත හෝ පිළිගත හැකි සාක්ෂි මත පදනම් නොවීමත්ය. උදාහරණයක් වශයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු තවත් අය කොවිඩ් හොඳින් කළමනාකරණය කරන රටක් ලෙස ස්වීඩනය ගැන කතා කරති. නමුත් ඔවුන් එහි මරණ අනුපාතිකය ඉහල බව සැලකිල්ලට නොගනිති.

කොවිඩ් සම්ප්‍රේෂණය වීමේ ස්වභාවය, එය ගුණාකාර ලෙස පැතිරීමයි. උදාහරණයක් ලෙස, සෑම නව කොවිඩ් ආසාදිතයෙක්ම සෑම දින හයකට වරක් තවත් පුද්ගලයන් දෙදෙනෙකුට ආසාදනය කරයි නම්, (තාක්ෂණික වචනය: Reff=2.0), සෑම දින හයකට වරක් නව ආසාදන සංඛ්‍යාව දෙගුණ වේ. එසේ නම් අප එක ආසාදිතයකුගෙන් ආරම්භ කළහොත්, දින හයකට පසු දෙදෙනෙකුත්, දින 12 කට පසුව නව ආසාදිතයන් 32 කුත් වනු ඇත.

ගුණාකාර සංඛ්‍යා පිළිබඳ නියමය කොවිඩ් වේගයෙන් පැතිරීමට උදව් කරන අතර ම, වෛරස පැතිරීම අපට අඩුකල හැකි නම් එය වාසිදායක ලෙස ද ක්‍රියා කරනු ඇත. නිදසුනක් වශයෙන් – මුහුණු ආවරණ යොදා එක ආසාදිතයකු මඟින් ඇතිවන නව ආසාදිත සංඛ්‍යාව දෙක සිට අඩකින් (Reff=0.5) අඩු කිරීමේ ඉලක්කය ඇතිව, අපි දිනකට ආසාදන 32 කින් ආරම්භ කළහොත්, මසකට පසුව අපට ඇතිවන්නේ එක් නව ආසාදනයක් පමණි. මෙය ගුණාකාර වෙනසක් බැවින්, එයින් අදහස් වන්නේ, අප දිනකට ආසාදන අනුපාතය 320 ක් ලෙස ආරම්භ කළහොත්, එම මාසයේදීම දිනකට 10 ක් වැනි ආසාදන අනුපාතයකින් අවසන් වන බවයි.

මුල් සංඛ්‍යාව කුමක් වුවත්, ඵලදායී ආසාදන පාලන ප්‍රතිපත්තියකින් නව ආසාදිතයන් සංඛ්‍යාව එකම ප්‍රතිශතයකින් අඩු කරනු ඇත. අප ප්‍රමාණවත් කාලයක් මෙය ඉදිරියට ගෙන ගියහොත් වෛරසය අතුරුදහන් වනු ඇත.

අප්‍රේල් මස අවසන් වන විට ආසාදිතයන් 100 කට වඩා වාර්තා කර ඇති රටවල් 141 ක දත්තයන් විශ්ලේෂණය කිරීමේදී, අපගේ නිර්ණායක සපුරාලන රටවල් 14 ක් අපට හමු විය. මාර්තු සහ අප්‍රේල් අතර නව ආසාදිතයන් ගණන 95% කින් අඩු කිරීමට මෙම රටවලට හැකි වු අතර, ඔවුන්ගේ එම අඩු කිරීමේ අනුපාතය අනුව, ඔවුන් දැනටමත් එසේ කර නොමැති නම්, තවත් මාසයක් ඇතුලත ඔවුන් සියල්ලම බිංදුවට ආසන්න මට්ටමකට ලඟා වනු ඇත.

දත්ත දෙස බැලීමට පමණක් පදනම් කරගෙන, අප සමීපව නිරික්ෂණය කළ යුත්තේ මේ රටවල් 14යි. ලෝකයේ සෙසු රටවල් හා සසඳන විට මෙම රටවල් සමුහය තුළ කොවිඩ් වසංගතයේ ගමන් මග කොතරම් වෙනස් වී ඇත්දැයි පහත දැක්වෙන  සටහනේ ඔබට දැක ගත හැකිය. ශ්‍රී ලංකාව වෙනත් සාමන්‍ය රටකට වඩා හොඳ ප්‍රතිඵල ලබා ඇතත්, එය මේ රටවල්  14 තරම් හොඳ ප්‍රතිඵල ලබා නොමැති බව එම සටහන පෙන්වා දෙයි. සෙසු ලෝකයේ කොවිඩ් සංඛ්‍යාවන් අඛන්ඩව ඉහළ යන අතර, මෙම රටවල් මැයි දිනට පෙර බොහෝ දුරට මෙම වසංගතය මර්ධනය කර තිබේ. කොරියාව හැරුණ විට ඔවුන් සියල්ලෝම මෙය කළේ  සති හයකට අඩු කාලයකදීය. 

පහත ප්‍රස්ථාර සටහන – තුරන් කිරීමේ සාර්ථක වූ රටවල්, සෙසු ලෝකය හා ශ්‍රී ලංකාවේ මාර්තු-අප්‍රේල් කාලය තුළ  නව ආසාදන ඇතිවීමේ ප්‍රවණතාවයේ වෙනස් වීම්.  

මෙම රටවල් පෙන්නුම් කරන තවත් දෙයක් නම්, පුළුල් පරාසයක ඇති විවිධ ප්‍රදේශ වල වුවත් කොවිඩ් තුරන් කළ හැකි බවයි. ඔවුන්ගේ මේ වෙනසට හේතුව, ඔවුන් කොවිඩ් කළමනාකරණය කළ ආකාරය පිළිබඳ දෙයක් විය හැකිය. නමුත් ඔවුන් එකම ප්‍රතිපත්තිය අනුගමනය කළ  බවත් නොපෙනේ. එසේ හෙයින් මෙය හරියට ම කුමක්ද යන්න එකවරම පැහැදිලි නැත.

නිදසුනක් වශයෙන්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් හොංකොං, තායිවානය, අයිස්ලන්තය සහ වියට්නාමය ජාතික අගුළු දමිම යොදා නැත, නමුත් බොහෝ රටවල් ශ්‍රී ලංකාවට වඩා කොවිඩ් පරික්ෂණ සිදුකර ඇති බව පෙනේ. කෙසේ වෙතත්, ගැඹුරට හාරා බැලීමෙන් තොරව සැබවින්ම වෙනසක් ඇති කලේ කුමක් ද යන්න පිළිබඳව නිගමන වලට එළඹීමට නොහැකි ය.

මුල් ලිපිය සදහා යොමුව – http://www.ihp.lk/blogs/ravi/2020/773/  

වෛද්‍ය ප්‍රතිපත්ති සදහා වූ ආයතනයේ (IPH) සාමාජිකයෙකු හා විධායක අධ්‍යක්ෂක වන වෛද්‍ය රවීන්ද්‍ර පී. රණන් එලිය, සෞඛ්‍ය පද්ධති සමානාත්මතාව, සෞඛ්‍ය මූල්‍ය සම්පාදනය හා ප්‍රතිපත්ති, සමාජ ආරක්ෂණය හා මහජන වැය විශ්ලේෂණය සම්බන්ධයෙන් ප්‍රවීණයෙකු වන අතර, එක්සත් රාජධානිය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, චීනය හා එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක පර්යේෂණ, උපදේශන සහ ක්ෂේත්‍ර අත්දැකීම් සහිත වෛද්‍යවරයෙකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව, ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා සංවිධානය සහ යුරෝපා සංඛ්‍යාලේඛණ කාර්යාලය සමග පුළුල් සහයෝගීතාවයක් සමග කටයුතු කරන ඔහු සෞඛ්‍ය වැය ඇස්තමේන්තු කිරීම, යෝජනා ක්‍රම හා සෞඛ්‍ය ගිනුම් පද්ධති සම්බන්ධයෙන් ප්‍රමුඛ ජාත්‍යන්තර විශේෂඥයෙකි. එසේම ලංකාව තුළ විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් වන ඇගයුම් කිහිපයකම ප්‍රධාන විශ්ලේෂක ලෙස කටයුතු කර ඇති ඔහු, අවිධිමත් කම්කරුවන් සදහා වන නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් සකස් කිරීම සදහා වන කණ්ඩායමකට නායකත්වය දෙයි.

රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සැපයුම් පද්ධතියන්හි කාර්යක්ෂමතාවයේ ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් සංසන්දනාත්මක දර්ශක සංවර්ධනය කිරීම සදහා වන පරීක්ෂණයක් සදහා ඔහුට එක්සත් ජනපදයේ හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය පිරිනමා තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435