කොවිඩ් 19 පරීක්ෂණ පුළුල් කළ යුත්තේ ඇයි?- GMOA කරුණු දක්වයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රට වත්මන්හි මුහුණදී පවත්නා වටපිටාව අවසන් වන බවට අනාවැකි පළ කිරීම පසෙක තබා ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ පුළුල් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහසයි.

ඒ සම්බන්ධයෙන් එම සංගමය විසින් දිගින් දිගටම ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ.

ඔවුන් පෙන්වා දෙන පරිදි කොවිඩ් 19 ගෝලීය වසංගතය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තිය පාලනය කිරීම අරමුණු කරගනිමින් රට තුළ පරීක්ෂණ පහසුකම් වැඩිදියුණු කිරීම කළ යුතු බවත්, මේ වන විට රට තුළ අවිනිශ්චිතතාවක් පවත්නා බවත්, එම අවිනිශ්චිතතාවට ප්‍රධාන හේතු 3ක් පවත්නා බවත් පෙන්වාදී තිබේ.

  1. සමස්ත රෝගීන්ගෙන් 80%ක් පමණ රෝග ලක්ෂණ නොමැති හෝ සුළු රෝග ලක්ෂණ ප්‍රමාණයක් සහිත වීම හා එම හේතුන් නිසා ඒ අයද නොදැනුවත්ව සමාජය තුළ සැඟව සිටීමට ඇති හැකියාව.
  2. රෝගය සමාජය තුළ සීඝ්‍ර ව්‍යාප්ති වීමට ඇති හැකියාව ( කිසිදු ක්‍රියා මාර්ගයක් ගනු නොලැබී නම් දින 30 ක කාලසීමාවකදී එක් රෝගියෙකුගෙන් නිරෝගී පුද්ගලයින් 400-500 ත් අතර පිරිසකට රෝගය බෝවිය හැකිය.)
  3. පරීක්ෂණ කටයුතු ප්‍රමාණවත් පරිදි පුළුල්ව සිදු නොකිරීම නිසා රට තුළ සිටින සැබෑ රෝගීන් පිළිබඳ තත්ත්වය රට ඉදිරියේ තාමත් අපැහැදිලි වීම.

මේ පිළිබඳව වැඩබිම කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය නවීන්ද ද සොයිසා කියා සිටියේ රෝගය පිළීබඳ මේ මොහොතේ පවතින අවිනිශ්චිතභාවය දුරු කොට සමාජය තුළ විශ්වසනියත්වයක් ඇති කිරීම සඳහා කළ යුතු  ප‍්‍රධානතම කාර්යය වන්නේ කොරෝනා රෝගීන් හඳුනා ගැනිම සඳහා සිදු කරන පරීක්ෂණ වැඩිදියුණු කිරීම බවයි. ඒ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් පෙන්වා දෙනු ලැබුවේ 2020 මාර්තු 31 වන දින බවද ඔහු සිහිපත් කළේය.

පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමේදි අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබඳවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී පෙන්වා දෙන ලදි.

  1. දැනට ශ‍්‍රී ලංකාව තුළ නිවාස ආශ‍්‍රිතව පොකුරු වශයෙන් රෝගීන් වාර්තා වන අතර (III වන අදියර)නිරෝධායන ක‍්‍රියාවලිය සැලකිය යුතු මට්ටමේ සාර්ථකත්වයකින් යුතුව සිදු වන නිසා රෝගී පොකුරු වශයෙන් ගම්මාන ආශ‍්‍රිතව ව්‍යාප්ත වීම හා සමාජය තුළව්‍යාප්ත වීම මේ මොහොතේ පාලනය කර ගැනිමට හැකිව ඇත.
  2. පසුගිය දිනවල වාර්තා වූ රෝගීන් නිරෝධායන මධ්‍යස්ථානවල නොසිට සමාජය තුළ සිටියා නම් අවසන් අදියර වන සමාජ ව්‍යාප්තියක් දක්වා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පැවති බව පැහැදිලිය.
  3. වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත අනුව මේ වන විට රෝගීන් සමඟ සමීපව ගැටුණු ප‍්‍රථම මට්ටමේ ස්පර්ශකයන් 3000 කට ආසන්න ප‍්‍රමාණයක් හඳුනාගෙන ඇත.
  4. ආරක්ෂක අමාත්‍යංශයට අනුබද්ධ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්ත වලට අනුව මේ වන විට ආසාදිත රෝගීන් සමඟ ස්පර්ශ වූ ප‍්‍රථම, දෙවන හා තෙවන මට්ටම් වල සමස්ථ ස්පර්ශකයන් 23,000 කට ආසන්න ප‍්‍රමාණයක් නිරීක්ෂණ මට්ටමේ සිටින බව පැහැදිලිය.
  5. මේ මොහොතේ රට තුළ ව්‍යාප්ත ව සිටින මෙම ස්පර්ශකයන් සැබැවින්ම රෝග ආසාදනය වූවන්ද, නොවූවන් ද යන වග අපැහැදිලිය. එමෙන්ම මෙම සමස්ත ස්පර්ශකයන් සංඛ්‍යාව රට තුළ ව්‍යාප්තව සිටින ආකාරය පිළිබඳ පැහැදිලි චිත‍්‍රයක් මේ දක්වා රටට ඉදිරිපත්ව නැත.
  6. අප විසින් ඉහත පෙන්වා දෙන ලද අවිනිශ්චිතභාවය දුරු කර රට යළි යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද පෙන්වා දුන් පරිදි අප විසින් ප‍්‍රධාන කරුණු 2 ක් අවධාරණය කරන ලදි.

1. සැක කටයුතු සියලු දෙනා ආක‍්‍රමිණශීලි ලෙස පරීක්ෂණ සඳහා යොමු කිරීම. (Aggressive Testing Strategy)

  • එනම් රෝගීන් සමඟ ස්පර්ශ වු දැනට හඳුනා ගෙන ඇති සැක සහිත සියලු දෙනා පරීක්ෂාවට ලක් කිරීම.
  • නිරෝධායන මධ්‍යස්ථාන තුළ හෝ නිවාස තුළ නිරෝධායනය වී සිටින සියලූම දෙනා රෝගය වැළඳී ඇත්දැයි හඳුනා ගැනීම සඳහා පරික්ෂාවට ලක් කිරීම
  1. එක් වරක් පරීක්ෂා කිරීමේදි රෝගීන් නොවන බවට ප‍්‍රකාශ වන සියලු දෙනාද නැවත නැවත පරීක්ෂාවට ලක් කිරීම. (Repeated testing through test test test strategy)
  • දැනට සිදුකරන පරීක්ෂණවල සංවේදීතාවය 70% ට වඩා අඩු බැවින් පරීක්ෂණවලට සහභාගි වූ ආසාදිතයන් ගෙන් 30% ට ආසන්න ප‍්‍රතිශතයක් රෝගය ආසාදනය නොවූවන් ලෙස සමාජයට නිදහස් වීමේ බරපතළ අවදානමක් ඇත.
  • එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද එක් වරක් පරීක්ෂා කර රෝගීන් බවට තහවුරු නොවන පිරිස් පවා නැවත නැවත පරීක්ෂාවන්ට ලක් කිරීම සඳහා නිර්දේශ කරයි. එමගින් පරීක්ෂණයේ  සංවේදීතාවයද වැඩි කරගැනීමට හැකිවේ.
  • තවද ස්පර්ශකයන් නැවත නැවත පරික්ෂා කිරීම මගින් රෝගය ආසාදනය වූ නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන හෝ සුළු වශයෙන් රෝග ලක්ෂණ පෙන්වන පිරිස හඳුනා ගැනීමට හැකි වේ.
  • එක් වරක් පමණක් පරීක්ෂාවට ලක් කර රෝගීන් නොවන බවට ප‍්‍රකාශ වන පුද්ගලයන් නැවත නැවත පරීක්ෂණයන්ට ලක් නොකර සමාජයට මුදා හැරීම ඉතා භයානක බව මේ මොහොතේ අවධාරණය කළ යුතුය. ඒ පිළිබඳව වන තාක්ෂණික ප‍්‍රවේශය (Algorythm)  සෞඛ්‍ය බලධාරින් විසින් තව දුරටත් කල් නොයවා රට ඉදිරියේ ඉදිරිපත් කළ යුතු බව නැවතත් සිහිපත් කරමු.

උදා –   A.එම පිරිස් කීවරක් පරීක්ෂා කළ යුතුද?

  1. එක් එක් පරීක්ෂණ අතර තැබිය යුතු කාල පරතරය කුමක්ද?
  2. එක් එක් අවස්ථාවේදි භාවිත කළ යුතු පරීක්ෂණ ක‍්‍රමවේදය කුමක්ද?

කෙසේ වෙතත් ‘වැඩබිම‘ කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටියේ තම සංගමය විසින් නැවත නැවතත් සිදු කරන ලද අවධාරණය කිරීම් හමුවේ මේ වන විට සෞඛ්‍ය බලධාරින් විසින් පරීක්ෂණ කටයුතු පුළුල්ව සිදු කිරීම ආරම්භ කරමින් සිටින බවයි. ඒ අනුව මීට ඉහතදි දිනකට 200 – 300 ත් අතර සිදු කළ පරීක්ෂණ ප‍්‍රමාණය මේ වන විට 500 ඉක්මවා සිදු වෙමින් පවතින බවත්,  මෙය තවදුරටත් හැකි උපරිමය දක්වා පුළුල් කිරීම කෙරෙහි බලධාරින්ගේ අවධානය යොමු විය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ඉදිරි සතියක කාලය තුළ ඉහත සඳහන් කළ දැනට හඳුනාගෙන සිටින 3000 කට ආසන්න පළමු පෙළේ ස්පර්ශකයන් සියලු දෙනා පරීක්ෂාවට ලක් කර අවසන් කළ හැකි වනු ඇත. ඒ අය අතුරින් රෝගීන් බව හඳුනාගන්නා සියලු දෙනා වෙන් කර ප‍්‍රතිකාර කල යුතුය (Case Isolation) එක් වරක් පරීක්ෂා කළ විට රෝගීන් නොවන බවට ප‍්‍රකාශ වන සියලු දෙනාද තාක්ෂණික මඟ පෙන්වීම යටතේ නැවත නැවතත් පරීක්ෂාවන්ට ලක් විය යුතුය.

මේ පිළිබඳව ගරු ජනාධිපතිවරයාගේ හෝ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුවී නැතිද? මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය නිලධාරී සංගමයේ ප්‍රකාශකයා කියා සිටියේ රට නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරි සංගමය විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත 2020 අප්‍රෙල් 4 වන දින යෝජනාවලියක් බාරදුන් බවයි.

ඊට අමතරව 2020 අප්‍රේල් 12 වන දින අප විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත යොමු කළ ලිපිය හරහා තවත්  කරුණු කිහිපයක් පෙන්වා දුන් බවත් ඔහු සිහිපත් කළේය.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කළ නිවේදනයක අවසානයේ මෙසේ දැක්වෙයි.

“එනම්, කොරෝනා (Covid 19) ගෝලීය වසංගතය ලෝක මට්ටමින් යම් පාලනයකට ලක් වන මොහොතක රටට පුද්ගලයන් ඇතුළු වන වරායන් හා ගුවන් තොටුපල විවෘත කිරීමේදි සැලකිලිමත් විය යුතු කරුණු පෙන්වා දෙන ලදි. එහිදි රටට ඇතුළු වන සියලුම පුද්ගලයන් අනිවාර්ය පරීක්ෂණ වලට හා නිරෝධායන ක‍්‍රියාවලියකට ඇතුළත් කළ යුතු බව අප විසින් පෙන්වා දෙන ලදි.

මේ වන විට සමාජ දුරස්ථකරණය ඉලක්ක කරගනිමින් පනවා ඇති සීමා කිරීම් විද්‍යානුකූල පදනමක් මත පමණක් ක‍්‍රමක‍්‍රමයෙන් ලිහිල් කළ හැක. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද පෙන්වා දෙනු ලබනුයේ පැනවු තහංචි ඉවත් කිරීම මෙන්ම ලිහිල් කිරීම සඳහා හදිසි නොවිය යුතු බවයි. ඒ සඳහා අප රටට ඇති හැකියාව පිළිබඳ පූර්ව අනාවැකි පල කිරීමට මේ මොහොත කල් වැඩි බව පෙන්වා දෙනු කැමැත්තෙමු. “

පී. ඩබ්.  මුතුකුඩආරච්චි

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435