ගල්ෆ් නිව්ස් කියවන්නන් ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලාංකික පවුලට අත දෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන්ගේ පරිත්‍යාගශීලිත්වයට  ස්තූතිවන්ත වෙමින් මාසයක් වැනි කෙටි කාලයක් තුළ ඩුබායිහි ශ්‍රී ලාංකික පවුලකට ණය බරින් මිදී ආපසු ලංකාවට පැමිණීමට හැකිවී තිබේ.

ඉෂාරා විජෙතුංග සහ ඇගේ පුතුන් දෙදෙනා වන කීහාන් අබ්බාස් (5) සහ රෙහාන් අබ්බාස් (6) ඉකුත් සැප්තැම්බර් 24 වන දින මෙලෙස කොළඹ, කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියහ.

වීසා බලපත්‍ර කල් ඉකුත්වීම සහ ඔවුන්ගේ පවුලේ අතිශය ආර්ථික අපහසුතාවන්  හේතුවෙන් කිසි දිනෙක පාසලට නොගිය දරුවන් දෙදෙනා දැන් ශ්‍රී ලංකාවේ පාසලකට ඇතුළත් කරනු ඇති බව “ගල්ෆ් නිව්ස්” වාර්තා උපුටා දක්වයි.

“අපට මේ අයුරින් ගොඩඒමට උදව් කළ අයට කොහොම ස්තූති කරන්නද කියලා මට හිතාගන්න බෑ. මගේ බිරිඳට සහ දරුවන්ට නැවත නිවසට යාමට හැකිවීම මහත් සහනයක් ”යැයි කඳුළු සලමින් මොහොමඩ් ෆෙහ්රත් සින්කායා අබ්බාස් පවසයි. ණය ආපසු ගෙවීම සඳහා නැවතී සිටීමට සිදු වූ ඔහු හැකි ඉක්මනින් ලංකාවට පැමිණ තම පවුල සමඟ එකතුවනු ඇතැයි කියැවෙයි.

ඩුබායි හි විකුණුම්කරුවෙකු ලෙස සේවය කළ  අබ්බාස්ට, 2016 දී රැකියාව අහිමි වී තිබුණු බැව් අගෝස්තු 18 වන දින ගල්ෆ් නිවුස් පුවත්පත වාර්තා කර තිබිණි.

රැකියා විරහිතවීම පවුලේ ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව විය. ඉක්බිතිව ඔහු තම බිරිඳගේ පොල් ස්වයං රැකියාවකට සහය ලබාදුන්නද,  එකී නිදහස් කලාපයේ ව්‍යාපාරයද බංකොලොත් වී තිබේ. අගරු චෙක්පතක් ලබාදීමේ වරදකට ඉෂාරා විජේතුංගට යම් කාලයක් සිරගතව සිටීමට සිදුව ඇති අතර එකී කාලය තුළ  පවුලේ අයට පදිංචිය අහිමිවී වීසා බලපත්‍ර කල් ඉකුත්වී තිබේ.

පුණ්‍ය ආයතනයක  හවුල් නවාතැන්පලක වෙනත් පිරිස් සමග නවාතැන බෙදාහදා ගනිමින් ජීවත්වීමට සිදුව ඇති කාලයේ දරුවන්ට අධ්‍යාපන අවස්ථා සලසා ගැනීමට හැකිවී නැත. මෙහිදී ශ්‍රී ලාංකික සුභසාධක සංගමය මොවුන්ට උදව් උපකාර කරන ලද නමුත් පවුලට ව්‍යාපාරික වශයෙන් සිදුවූ අලාභ ණය ඩොලර් 52,000 ක් වී තිබුණු අතර  ක්‍රෙඩිට් කාඩ් ණය දළ වශයෙන් රුපියල් 200,000 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

මෙම තත්ත්වය යටතේ මෙම පවුලට නැවත ලංකාවට යාමට  අවශ්‍යයව තිබුණු නමුත්  හිඟ ගෙවීම් හේතුවෙන් ඔවුන්ට ඩුබායි වලින් පිටවීම වළක්වා තිබුණි. එහෙත් මෙම පවුල මුහුණදී සිටි අර්බුදය, ගල්ෆ් නිව්ස්හි පළවීමෙන් පසු  ලොව පුරා කියවන්නන්ගෙන් ආධාර ගලා එන්නට විය. මෙය ඔවුන්ගේ ණය අර්බුදය විසඳීමට හා අධිකරණ නඩු ක්‍රියාමාර්ග විසඳාලීමට සමත්විය.

“දැන් අපට ණය ගෙවීමෙන් පස්සෙ අවම මුදලක් ඉතිරිව තියෙනවා. ඒ මුදල මගේ බිරිඳට සහ දරුවන්ට මෙරටින් පිට පියාසර කිරීම සඳහා මාගේ නමට මාරු කර තියෙනවා. මගේ බෑණා ඔවුන්ගේ ගුවන් ටිකට් පත් සඳහා අනුග්‍රහය දැක්වූවා.  දෙසතියක කාලයක් තුළ, ඉතිරි කොටස සම්පූර්ණ කරලා ශ්‍රී ලංකාවේ සිටින මගේ පවුලේ අය සමඟ නැවත එක්වීමට මම බලාපොරොත්තු වෙනවා” අබ්බාස් පවසයි.

ශ්‍රී ලංකා සුභසාධක සංගමයේ කළමනාකරු ඇල්බට් ජෝර්ජ් හෙට්ටිආරච්චි ” ගල්ෆ් නිවුස්” වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ  පවුලේ අධික දඩ මුදල් අය කර ගැනීමට ඔවුන්ගේ සංවිධානයට සහයවීමට හැකි වූ බව හා ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය මැදිහත්වී ළමයින් සඳහා විදේශ ගමන් බලපත්‍ර ලබාදුන් බවය.

“ඔවුන් සිටි මූල්‍ය අවුල් ජාලයෙන් ගොඩගැනීම සඳහා නොමසුරුව ඉදිරියට පැමිණීම ගැන අපි ප්‍රජාවට ණයගැතියි. ඔවුන්ගේ පිටවීම සඳහා අපි බලධාරීන් සමඟ සමීපව කටයුතු කළා.  මෙම අර්බුදය විසඳා ගැනීම ගැන අපිට  ලොකු සතුටක්” හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන්  කළ බව gulfnews සඳහන් කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435