ගලි බවුසර් කැරකෙන ජීවිත රෝදේ පනිට්ටුවෙන් ඇරඹුණු හැටිනේ පුදුමේ

දිගම දිග හෝස් එක ගලි බවුසර් එකට පෑල්වෙන තැන අල්ලගෙන අපේ කතානායකයා බවුසර් එකේ පිටිපස්සේ එල්ලිලා යන්නේ බොහොම උජාරුවෙන්. කතා කරන වචන 20ක් අස්සට එයා මෙහෙම කෑල්ලක් එකතු කරනවා. ‘අපි නැතුව කරයි’ ‘දවස් දෙකක් ස්ට්‍රයික් කළොත් හොම්බෙන් යන්න වෙන්නේ’ එහෙම වචන දෙකක් එකතු වෙන්නේ නිකමට නෙමෙයි. එයා ජීවිතය ගැන හිතන විදිය. ජීවිතය එයා ගැන හිතන විදිය. මේ වගේ කාරණා ඒ වචන දෙකත් එක්ක එළි බහිනවා කියලයි මම හිතුවේ.

කේඩෑරි වෙලා ඇදිලා ගිය මූණක් තියන අපේ කතානායකයා ඉන්නේ බොහොම බැරෑරුම් මූණක් දල්වාගෙන. ඒ මූණ මැද්දෙන් තියෙන සජීවී හැම මාංස පේශියකම බැරෑරුම්කම එක්ක පයුරුපාසානම් පවත්වනවා. ඒ කියන්නේ මේ මනුස්සයා නිවීහැනහිල්ලේ ඉන්න මූණක් දිගින් දිගටම තියා ගත්තා නම් ඒ මාංස පේශි බාගදා බිමට එල්ලිලා වැටෙන්නත් තිබුණා. ගලි බවුසරයෙන් කක්කුස්සි වළවල් හිස් කරන එක තමයි අපේ කතානායකයාගේ රස්සාව. එහෙමට කියල සීරියස් නැති මේ වගේ රස්සාවක් කරද්දි ඇයි අහස – පොළොව ගැටගැහෙන තරමට සීරියස් මූඩ් එකක් හදා ගත්තේ කියල කෙනෙක් අහාවි. ජීවිත යාත්‍රාව කොයි කොයි විදියට පැද්දෙන්නේ එහෙම නැත්නම් පැද්දුණේ කියන එක අහල දැන ගන්නකම් මමත් හිටියේ ඒ වගේ අදහසක.

මේක සෙල්ලම් රස්සාවක් නෙමෙයි. අනිත් මිනිස්සු කැතයි ජරාවයි කියන දේත් එක්ක තමයි අපි ගනුදෙනු කරන්නේ. තමුන්ගේ අශූචි තමන්ට කොච්චර කැතයිද කියලා හිතාගන්න පුළුවන්නේ. එතකොට අනුන්ගේ අශූචි? මම කියන්නේ මේක එහෙමට කියල හරියට හිතා ගන්න කාටවත් බැහැ. මම මේ දවස්වල කරන්නේ ගෙවල්වලට ගිහින් උතුරන්න ළඟ ටොයිලට් උතුරන ටොයිලට් ගොඩ අදින එක. ඒ වගේ ගෙදරකට අපිව කොච්චර වටිනවද? ඒ වටිනාකම තියෙන්නේ වැඩේ කරගන්න කම් විතරයි. අපිත් ඒ විදියට මේ ගෑනු වගේ. ඒ කියන්නේ වුවමනාවට සොයාගෙන දුවගෙන එනවා. වුවමනාවක් නැති වුණාම අඩුම ගාණේ හිනා වෙන්නෙවත් නැහැ. නගර සභාව තමයි අපේ අයිතිකාරයෝ. මම මාස් පඩි කාරයා. උදේට අපිට ජොබ් කීයක් තියෙනවාද කියලා ටාගට් එකක් දෙනවා. මේ ඒරියා එකේ ඕනෑම ටොයිලට් එකක විස්තර මම ගාව තියෙනවා. හැමොම බලන්නේ වැස්සට කලින් ටොයිලට් එක කිරිටොයියා කර ගන්න. මොකද වැස්ස වැහැල එහෙම උතුරන්න සෙට් වුණොත් අල්ලපු ගෙවල්වලින් බේරිල්ලක් නැහැ. පී.එච්.අයි.ලා බලාගෙන ඉන්නේ කොහොම හරි ගාණක් කපා ගන්න.

කවුරු කොහොම අපිව තැනක තිබ්බත්, මම මේ රස්සාව කරන්නේ ඇත්තටම ආදරයෙන්. මම මගේ රස්සාවට ආදරෙයි. ඒ රස්සාව උපරිම හොඳට කරන්න තමයි මම උත්සාහ ගන්නෙ. සාමාන්‍යයෙන් ගෙදරක ටොයිලට් වළක් උතුරන්න ගන්නේ හරි අඩුවෙන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ටොයිලට් වළට කොහෙන් හරි උල්පතක් සෙට් වුණොත් ඒ වළ ඉක්මනට පිරෙනවා. නැත්නම් සාමාන්‍යයෙන් ටොයිලට් වළවල්වල වතුර පොළොවෙන් ෆිල්ටර් වෙලා ලස්සනට ළිඳකට සෙට් වෙනවා. දැන් තියෙන්නේ පර්චස් 5 ඉඩමනේ. ඒකයි ටොයිලට් වළවල් ගොඩ දාන්න සිද්ධ වෙන්නේ. දැන් තාක්‍ෂණය දියුණුයි. සිමෙන්තියෙන් වළ වහල තියේනම් ඒක කඩා ගන්න විතරයි අතපය මහන්සි කරන්න ඕන අනික් ඔක්කොම මැෂින්වලින්. වළ ඇතුළට බටේ දැම්මා. මැෂින් එක ස්ටාට් කළා. එච්චරයි. ප්‍රශ්නයක් වෙනවානම් වෙන්නේ වළ තියන තැනත් එක්ක. ඒ කියන්නේ පෙළක් අලුතින් හදන ගෙවල්වල ටොයිලට් වළ තියෙන්නෙ සාලේ මැද. හෝස් එක කොච්චර සුද්ද කරල තිබුණත් ඒකේ පොඩි ගඳක් තියෙනවාමයි. එහෙම ගෙවල්වල අයිතිකාරයෝ අපේ හෝස් එක සාලේ මැද බිම දානවටත් කැමැති නැහැ. මාළු මාකට් ඒකේ පිළීගඳ ගාගන්නේ නැතුව ඇවිදින්න බැහැනේ. එහෙම අමුතු රැඟුම් දාන අයට අපි ගාව වෙනම බෙහෙත් තියෙනවා.

පෙළක් ගෙවල්වලට හෝස් එක දාන්න ඕනෑ තවත් ගෙදරක මිදුල උඩින් ඒ හින්දම තරහ නොවී එළියට පේන්න බොහොම යාළුකමට ඉන්න පවුල් තියෙනවා. තරහ වුණොත් ටොයිලට් එක උතුරනවා. පෙළක් ගෙවල්වල කැත වතුර බහින්නේ අල්ලපු ගෙදර ටොයිලට් වළට. එතකොට ඒ ගෙදර වළ හිස් කරන්න සල්ලි දෙන්නේ අනික් ගෙදරින්. රස්සාව කරද්දි කැත කුණු ඇඟේ ගෑවෙන එක නතර කරන්න බැහැ. මම අකැමැති ගඳට නෙමෙයි, විෂබීජවලට. රස්සාවට මුලින්ම ආපු දවස්වල ඇඟිලි කරු කුණු වුණා. ඒ කාලේ එකම බෙහෙත ලාම්පුතෙල්. ලාම්පුතෙල් භාගයක් අරගෙන අත් දෙකේ ගාගෙන තමයි රස්සාව කරන්න ගත්තේ. දැන් එහෙම නැහැ. එක, එක ජාතියේ විෂබීජ නාශක තියෙනවා.

හවසට කොහොමත් අඩියක් ගහනවා කියල අපේ කතානායකයා කියද්දි හවසට කරන වැඩේ මම දවල්ම කරමු කියල යෝජනා කළා. මොකද ජීවිතයට කඩා වැටුණු ආගන්තුකයෙක් එක්ක කතා බහක් ඇතිකර ගන්න අඩියක් ගහනවා කියන එක දිරිදීමක් නිසා. අඩියක් එක්ක සාමාන්‍යකරණය වුණ අපේ කතානායකයා වචන පටලවා ගන්නේ නැතුව මට මචං කියන්නත් ගත්තා. පෙළක් වෙලාවට පුතා කියලත් කිව්වා. කොහොම වුණත් මෙයා මේ පළාතට, ඒ කියන්නේ හලාවතට ඇවිත් තියෙන්නේ ගෙන්දගම්පොළවෙ හොඳට කරක් ගහල. ඒ කියන්නේ කොළඹට තදාසන්න දෙහිවල, බම්බලපිටිය, කොල්ලුපිටිය ගැනත් මෙයාට අල්ලේ රේඛා වගේ නිරවුල් දැනුමක් තියෙන්නේ.

කොළඹ මහ නගර සභාවට බැඳෙද්දී අපේ කතානායකයාගේ වයස යන්තම් අවුරුදු 19 යිලු! කලින් තාත්තා රස්සාව කරපු හින්ද තමයි පුතාට දෙවනුව රස්සාව ලැබිල තියෙන්නේ. ඒ කාලේ මෙයාල කරල තියෙන්නේ මෑන් වෝල් සුද්ද කරන එක. මෑන් වෝල් කියන්නේ මනු වලට. ඒ කියන්නේ කොළඹ නගරය සැලසුම් කරපු සුද්දෝ මළ ද්‍රව්‍යය ප්‍රවාහනයට වෙනම ක්‍රමයක් සකස් කළා. සාමාන්‍යයෙන් දෙතුන් දාහකගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න හදාපු මනු වළවල් පුරවන්න අද වෙද්දි ලක්‍ෂ ගණනක් ලක ලෑස්ති වෙලා ඉන්නවා කියල තමයි අපේ කතා නායකයා කිව්වේ. මට ඊට කලින් අහන්න ඕනෑ වුණා එයා කතාව පටන් ගත්ත වෙලාවෙ කිව්ව පනිට්ටු කක්කුස්සි කියන්නේ මොන වගේ කක්කුස්සියකටද කියලා.

අසූව අවුරුද්දේ මුල් කාලෙත් තිබ්බේ පනිට්ටු කක්කුස්සි. එහෙම නැත්නම් බාල්දි කක්කුස්සි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගම්වල තිබුණු වළ කක්කුස්සිය වගේ සරල එකක්. ඒක උසයි. පොඩි ස්ටේජ් එකක් වගේ. ස්ටේජ් එක කියන්නේ කක්කුස්සියට. එතැන පහළින් අපි පිට කරන ජරාව වැටෙන්නේ බාල්දියට. සාමාන්‍යයෙන් දවස් 2, 3 කට සැරයක් අර බාල්දිය අපි සුද්ද කරන්න ඕනෑ. ඒ කාලේ තිබුණු බවුසර් එකට උදේට ඇවිත් අර බාල්දි ඔක්කොම දාගන්නවා. ඊට පස්සේ ඒවා හැඳල පොම්පාගාරයට අරගෙන ගිහින් භාර දෙනවා. එතැනින් තමයි ඒවා ප්‍රෙෂර් කරල මුහුද මැද්දට පොම්ප කළේ. ගොඩක් පනිට්ටු කක්කුස්සි තිබුණේ වතුවල, හෙට්ටිවීදියේ කඩවල පනිට්ටු අදින්න අපි ආසයි. මොකද පොඩි ගාණක් අතට එනවා. ඒ එක්කම කානු දිගේ ගලාගෙන යන රත්තරන් කුඩු එකතු කරල තව ගාණක් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ තමයි මැෂින් හයිකරපු ගලි බවුසර් අවේ. කොහොමත් පනිට්ටු කක්කුස්සි මේ ළඟක් වෙනකම් මීගමුවේ තිබුණා. මීගමුවේ පනිට්ටු කක්කුස්සි නැති වුණේ උෟරෝ හදන්න ගත්තාම. ඒ කියන්නේ බාල්දිය කරපු වැඩේ උෟරෝ කරන්න ගත්ත. කක්කුස්සිකාරයන්ට ඒක වාසියි උෟරා පැත්ත වැටෙනකම් අර ජරාව කාලා, කාලා මසට විකිණෙනවා.

කටගැස්මට තිබුණෙත් උෟරු මස් දීසියක්. පොඩි නැති අපුලක් ඇති වුණත් මක් කරන්නද? මොකද මම නොදැන හිටියත් ඒ වෙද්දි වුණත් අපි කතා කරලා තිබුණේ ඇත්තටම කතාවෙන් භාගයයි. ඒ හින්දා මම අපුල ගතිය මූණෙන් මතුවෙන එක වළක්වා ගන්න සීරියස් පෙනුමක් මවාගෙන කතාව දිග් ගස්සවා ගත්තා.

පනිට්ටු කක්කුස්සි නිකන්ම නැතිවෙලා ගියා. ඔය අලුත තමයි මම අර කලින් කිව්ව මනුවළවල් සුද්ද කරන එක ඉස්සරහට ආවේ. ඒ කියන්නේ ඒ කාලෙ මනුවළවල් සුද්ද කරන්න අවශ්‍ය වුණේ නැහැ. මම කියන්නේ 60-70 කාළේ. පොම්පාගාරය ගාවට යනකම්ම කොළඹ ඉඳලා තිබුණේ බැස්මක්. සුද්දා ඒක හදල තිබුණේ ඒ විදියට. ඒත් ජනගහනය වැඩි වෙන්න, වැඩි වෙන්න තමයි අර විදියට මනුවළවල් සුද්ද කරන්න සිදු වුණේ. මුල්ම කාලේ වළක් හිර වුණාම ඒ වළේ තියෙන ජරාව අරගෙන දාලා මොකක් හින්ද හිර වුණාද කියල බලන්න වළ ඇතුළට බහින්න ඕනෑ. ඇඟ පුරාම ජරාව ගෑවෙනවා. පස්සේ පෙෂර් කරන මැෂින් ආවට පස්සේ ඒක වෙනස් වුණා. ඒත් මුල් දවස්වලත් අපි එක පාරම වළට බැස්සේ නැහැ. මොකද වළ ඇතුළෙ ගෑස් හැදෙනවා. ඒ ගෑස් එකට කලන්තය හැදෙනවා. ලාම්පුවක් පත්තු කරලා වළට දාලා තමයි ගෑස් ගතිය හොයා ගන්නේ. මේ ඔක්කොටම ඉස්සර වෙලා මනුවළේ බ්ලොක් එක අරින විදිය හරියට දැනගන්න ඕනෑ. ඉස්සර මම කලින් කිව්ව විදියට වළ ඇතුළට බැහැලා තමයි බ්ලොක් එක මොකක්ද කියලා අල්ල ගන්නේ. ඒත් දැන් එහෙම නැහැ.

දැන් කරන්නෙ ජෙට් බවුසර් ගහන එක. එහෙම නැත්නම් කම්බි ගහනවා. දැන් දැන් අලුත් ක්‍රම ඇති. ඒවා ගැන මම දන්නේ නැහැ. ඒත් අපි තමයි මේ රස්සාවේ ඇත්තටම දුකක් වින්දේ. මම ඔය කොළඹ තියෙන අසූචි වළවල් ඔක්කොටම බැහැලා තියෙනවා. පෙලක් වෙලාවට ලොක් එක අරින්න කම්බි ගහද්දි හරියට තැන අල්ලන්න වළ ඇතුළේ කිමිඳෙන්න වෙනවා. වළ ඇතුළේ කිමිඳෙනවා කියන්නේ සම්පූර්ණ ශරීරය කූඩුවම පුරා අසූචි. මොනව කියලා කරන්නද? දැන් නම් වැඩකරන අය හයි ප්‍රෙෂර් එකෙන් බ්ලොක් කඩනවා. අපිට එහෙම පහසුකම් තිබුණේ නැහැ.

මේ රස්සාව කරලා පැන්ෂන් එක විදියට අපිට ඉතිරි වෙන්නේ මොකක්ද කියල ඔයාලා දන්නවාද? මම දන්න විදියට මේ රස්සාවේ පැන්ෂන් එක තමයි අංශභාගය. ඇයි කියන්න දන්නේ නැහැ. ඒ වුණාට මාත් එක්ක රස්සාව කරන්න ගත්ත ගොඩ දෙනෙක් මැරුණේ අංශභාගය හැදිලා. දුක්වේදනා විඳලා. මම රස්සාව කරද්දි අද වුණත් උදේට කන්නේ පාන්පිටිවලින් හදාපු කෑමක්. එක්කෝ පරාටා, නැත්නම් රොටි. කොළඹ ඉන්න කාලේ උදේම ආනන්දභවන් එකෙන් තෝසේ 3ක් කනවා. ඒ කාලේ ආනන්දභවන් කළේ මුරුගේසු කියලා යාපනේ මුදලාලි කෙනෙක්. කඩේ කකුස්සි ඔක්කොම බැලුවේ මම. ඒ හින්ද මුදලාලි මගෙන් සල්ලි ගත්තේ නැහැ. පාන්පිටිවලින් හදාපු කෑමක් උදේම කෑවට පස්සේ බඩ ෆුල්. ප්ලේන්ටියි වතුරයි දාන්න දාන්න බඩගින්න එන්නේ නැහැ. රස්සාව කරද්දි කිසිම දෙයක් පිරියකින් කන්න අමාරුයි. මොකද ජරාව ඇඟපතේ හැම තැනම ගෑවෙනවානේ. කඩේකට ගිහින් ප්ලේන්ටියක් බොනවට කඩකාරයා කැමැති නැහැ. එතකොට ප්ලේන්ටි එක ගත්තේ ෂොපින් කවරයකට. කවරේ කඩාගන්න ඇල්මැරෙන්න දීලා ගහලා දානවා. ඊට පස්සේ නා ගන්නවා. අපිට නාන්න වෙනම තැනක් තිබ්බා. එතැනින් නාලා තමයි අනික් ටැප් අල්ලන්නේ. ඊට පස්සේ කට්ටිය එකතු වෙලා අතට ආපු ටිප් එක කලෙක්ෂන් කරලා බෝතල් දෙකතුනක් ගේනවා. ඔන්න එතකොට තමයි ඇඟට සැහැල්ලුවක් එන්නේ. දැන් නම් එහෙම නැහැ. ඔක්කොම මැෂින්වලින් කරන්නේ. ඒ වුණාට අපි දිහා තාම මිනිස්සු බලන්නේ අසූචි ගොඩක් දිහා බලන විදියට.

කරන්න දෙයක් නැහැ. මේක ලැබීම කියලා හිත හදාගන්න විතරයි තියෙන්නේ. මම මේ රස්සාව කරනවාට ළමයි, ගෑනු කවුරුත් කැමැති නැහැ. කොළඹදී තමයි මම බැන්දේ. එයා දෙමළ. මම සිංහල. කසාද බදින කොට මම කිව්වේ නගර සභාවේ වැඩ කියලා විතරයි. ඒත් පස්සේ දැන ගන්තා මම මොකක්ද කරන්නේ කියලා. ළමයින්ටත් දැන් ළමයි ඉන්නවා. මේ අය නම් කියන්නේ මේ රස්සාව කරන්න එපා කියලා. ඒත් මම ඒකට කැමති නැහැ. අපිට තියෙන්නේ පොඩි පඩියක්. ඒ වුණාට කල්ලකෝනි පාරක් දෙකක් ගහගන්න පුළුවන්. ඒ වගේ දවසකට 2000-3000ක් හොයා ගන්න පුළුවන්. මම ළඟදී මගේ එක මිනිපිරියකගේ ගෙදර වළක් ඇද්ද. කෙල්ල මාත් එක්ක කතා කළේ නැහැ. ලැජ්ජාවටද දුකටද කියන්න මම දන්නේ නැහැ. එච්චරයි! මම ඕවා ගැන හිතන්න යන්නේ නැහැ.

අපේ කතානායකයා මේ කතාව දිගින් දිගටම කියවාගෙන යන්න ඇති කියලා කියවන ඔබ හිතනවා නම් ඒක වැරදියි. ආවේග, සුසුම් කෙඳිරිලි වගේ දේවල් කතාව ඇතුළෙ තිබුණා. හරියට අපි ලියද්දි තිත්, කොමා, විරාම ලකුණු තියනවා වගේ. කොහොම වුණත් සමාජ සැකැස්මේ එක හරස් කඩක් ලකුණු කරන අපේ කතානායකයා කියනවා වගේ ඔහුත් කරන්නේ වැදගත් රස්සාවක්.

සරලව මෙහෙම හිතන්න කියල මම යෝජනා කරනවා. දැන් කොළඹ ලස්සනයි. හලාවත, පුත්තලම, මීගමුව, නිට්ටඹුව ලස්සනයි. කොච්චර ලස්සන වුණත් ලස්සන පිළිබඳ අදහසක් අපට එන එකක් නැහැ. ඉවසන්න බැරි දුගඳක් අර ලස්සන එතැන කලවම් වුණොත්. ලස්සන කරන එකට අපි හැමෝම දායක වුණත් දුගඳ නැති කරන්න පුළුවන් මේ අපේ කතානායකයාගේ පරපුරට.

මූලාශ්‍රය – මව්බිම

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435