ගැටුම් හා ලිංගික ප්‍රචණ්ඩත්වය

ලිංගික ප්‍රචණ්ඩත්වය යනු ලිංගික බලහත්කාරය, අපහරණය හුදු අපරාධයකින් ඔබ්බට ප්‍රචණ්ඩ ක්‍රියාවලියක් හා බැඳී පැවතීමයි. එය බොහෝ විට තමන්ගේම ප්‍රජාවගේ ආධිපත්‍යධාරී පිරිසකගෙන් ස්ත්‍රීන්ට හා ළමුන්ට එරෙහිව ක්‍රියාවෙ යෙදවිය හැකිය. වින්දිතයා පීඩාවට පත්කිරීමට අමතරව ලජ්ජාවට හා අවමානයට පත් කිරීමත් එහිම දිගුවක්ව ඇති බැවින් බොහෝ විට වින්දිතයින් හෙළිදරව් නොවීම නිසාම අපරාධකරුවන්ට පහසුවෙන් නීතියෙන් ගැලවී යා හැකිවීමේ ප්‍රවණතාවක් අතීතයේ සිටම වර්ධනය වී තිබේ. දශක 3ට අධික කාලයක් ශ්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර ප්‍රෙද්ශවල පැවති සිවිල් යුදමය වාතාවරණය තුළ ආරක්ෂක අංශ විසින් ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව සිදුකර ඇති බවට චෝදනා එල්ලවිය. ගැටුම් සමය තුළ ශ්‍රී ලංකා හමුදා විසින් බහුල වශයෙන් ලිංගික ප්‍රචණ්ඩත්වය දියත් කළ බවට එක්සත් ජාතීන්ගේ විමර්ශන ඇතුළු විවිධ පාර්ශවයන් ලේඛන ගතකර තිබේ.

‘‘යුද්ධයෙන් පසුව එළඹුණු සමය තුළ පුරුෂ හා කාන්තා රැඳවියන්ට එරෙහිව ආරක්ෂක බලකා කාර්ය මණ්ඩල විසින් සිදුකළ දූෂණ හා ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා පුළුල්ව ව්‍යාප්තව තිබූ බව විශ්වාස කිරීමට සාධාරණ පදනමක් ඇති බව“ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය විසින් කළ විමර්ශන වාර්තාවක දැක්වෙයි.
“එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධයක් ඇති බවට අනුමාන කරමින් එම පුද්ගලයින්ගෙන් තොරතුරු ලබාගැනීමට, ඔවුන් ලජ්ජාවට පත්කිරීමට සහ දඬුවම් ලබාදීමට හිතා මතාම යොදාගත් වධහිංසා ක්‍රමයක් බවට ලිංගික ප්‍රචණ්ඩත්වය යොදාගත් බව“ එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි. එහෙත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ලිංගික ප්‍රචණ්ඩත්වය ප්‍රතිපත්තියක් ලෙසම හෙලාදැකීම හා ඊට එරෙහිව ක්‍රියා කිරීම නිසාම බලහත්කාරයෙන් සංවිධානයට බඳවාගත් දරුවන්, තරුණ ස්ත්‍රීන් ආදිය කෙරෙහි පවා ලිංගික ප්‍රචණ්ඩත්වයක් දියත් නොවුණු බව පර්යේෂකයින් අවධාරණය කරයි. එහෙත් එසේ වූ පිරිස් පවා යුද්ධයෙන් පසුව අවතැන් කඳවුරු ජීවිතයක් ගත කරන සමයේ රජයේ රක්ෂක අංශවල ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු බව අනාවරණය වී තිබීම සැබවින්ම කනගාටුවට කරුණකි.

ශ්‍රී ලංකාවේ ගැටුම්කාරී ප්‍රචණ්ඩ සමයන් තුළ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම උතුරු නැගෙනහිර සිවිල් යුදමය වාතාවරණයට පමණක් සීමාවූ තත්ත්වයක් නොවේ. 1971 දී සිංහල තරුණයින් අතරින් පැන නැඟුණු කැරැල්ල මර්දනය කිරීමේදීද ආරක්ෂක අංශ විසින් අනුගමනය කරනු ලැබුවේ එවන් ක්‍රෑර ක්‍රියාදාමයක් බැව් පිළිගන්නට සිදුවේ. ජයවර්ධන සහ ආනන්ද රාජා මෙසේ පවසති.

“එම අවස්ථාවේ දැක්වූ ප්‍රතිචාරයේ එක් සුවිශේෂී අංගයක් වූයේ ලිංගික ප්‍රචණ්ඩත්වයයි. සැබවින්ම රටේ ජනතාවගේ හෘද සාක්ෂිය තුළ යුද සමයේ ස්ත්‍රී දූෂණ පිළිබඳ පළමු වරට දැඩි මුද්‍රාවක් තබනු ලැබුවේ මෙමප සමයේදී ජේ.වී.පෙ සංවිධානය සමගින් “සම්බන්ධ“ යයි චෝදනා එල්ලවීම හේතුවෙන් (සිංහල) සොල්දාදුවන් අතින් “දඬුවමට“ ලක්වූ ප්‍රේමවතී මනම්පේරිය නමැති සිංහල තරුණ කාන්තාව ප්‍රසිද්ධියේ ලිංගික අවමානයට ලක්කොට මරාදැමීමේ සිදුවීම මගින්“ය.

1988-89 භීෂණ සමය තුළද (88 ජනවාරි මාසයේ සිට 94 දෙසැම්බර් දක්වා) බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල සිදුවූ පැහැරගැනීම්, අතුරුදහන්කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කරන ලද කොමිසම විසින් අනාවරණය කරගෙන ඇති අන්දමට ඒ යුගයේ ස්ත්‍රීන් දූෂණය හා මරාදැමීම සිදුව ඇති අතර ‘‘ප්‍රජාව පාලනය සඳහා වන මෙවලමක් වශයෙන් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය යොදාගෙන ඇති බව දක්වා තිබේ.

රැඳවුම්භාරයේ සිටින පුද්ගලයින් වධ හිංසාවට ලක්කිරීමේ ක්‍රමයක් ලෙස ලිංගික බලහත්කාරකම් සහ ලිංගික ප්‍රචණ්ඩත්වය යොදාගැනීම සම්බන්ධයෙන් ලංකාවට දීර්ඝ ඉතිහාසයක් තිබේ.
සිරභාරයේ සිටින අතරතුර ලිංගික ප්‍රචණ්ඩත්යේ වින්දිතයින් බවට පත්වූ අය අතරට පුරුෂයින් හා කාන්තාවන් ඇතුළත් වන අතර ඔවුන් විවිධ ප්‍රජාවන්ට අයත්ය.

උදාහරණයක් ලෙස එක්තරා මානව හිමිකම් සංවිධානයක් ගැටුම්කාරී පසුබිමට පරිබාහිරව 2011දී ප්‍රකාශයට පත් කළ ලේඛනයක 2000න් පසු ආ පළමු දශකය තුළ “ පොලිස් සිරභාරයේ සිටින අතර වධ හිංසාවට ලක් වූ සිංහල පුරුෂයින් සහ කාන්තාවන් පිළිබඳ සිද්ධි දහසකට වඩා ඇතුළත්ව ඇති අතර එයින් බොහොමයක් ලිංගික ප්‍රචණ්ඩත්යේ හා ලිංගික බලහත්කාරයන් හෝ දූෂණය සම්බන්ධ ඒවාය. ගැටුම් සහිත පසුබිම තුළ සෑම ජන කොටසකටම අයත් පුද්ගලයින් මෙසේ ඉලක්ක ගත වී තිබේ.

එනමුත් මෙහිදී සුළුතර ද්‍රවිඩ ප්‍රජාව (කාන්තාවන් මෙන්ම පුරුෂයින් එක සේ) මෙවන් ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා විශේෂයෙන් ඉලක්ක වී ඇති බව පෙනෙයි. ඔවුන් එසේ විශේෂයෙන් ඉලක්ක ගතවීමටත්, අවදානමට පාත්‍රවීමටත්, හේතුව බහුතරය දෙමළ ජනතාව වන ප්‍රෙද්ශ වල ගැටුම් ඉතා තීව්‍ර අන්දමින් ව්‍යාප්තව තිබීම හා වරදකරුවන් තමන්ගේ වාසියට යොදාගත හැකිවීමේ වෙනස්කොට සැලකීම සහ බල අසමතුලිතතාවයන්ගෙන් ගහණ ඉතිහාසයක් මෙම සමාජයට හිමිව තිබීමය.

(ගැටුම්වලදී ලිංගික ප්‍රචණ්ඩත්වය ලේඛනගත කිරීම සහ විමර්ශනය කිරීම පිළිබඳ ජාත්‍යන්තර මූල ලේඛනයේ උප ග්‍රන්ථය ඇසුරිණි).

සටහන – පී.ඩබ් මුතුකුඩආරච්චි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435