ගුරුවරුන්ගේ ස්ත‍්‍රී පුරුෂ අසමතුලිතතාවේ බලපෑම; කාන්තා ගුරු ඉහළට

විසිඑක්වන සියවසට උචිත නව අධ්‍යාපන අවශ්‍යතා සාක්ෂාත් කරගැනීමේ ඒකායන අරමුණ පෙරදැරි කරගනිමින් ක‍්‍රියාත්මකවන ජාතික පොදු අරමුණු තුළින් සමෝධානිත පෞරුෂයෙන් යුක්ත දරුවකු සමාජයට දායාද කිරීම පාසල මත පැවරී ඇති භාරධූර වගකීමකි.

ශිෂ්‍ය ප‍්‍රජාව මෙහෙයවනු ලබන පාසල් ගුරුවරයා ඔවුන් සඳහා දැනුම ලබාදීමත් දරුවා සතු අන්තඃ පුද්ගල හැකියාවන්, සමාජ හැකියාවන් සහ චින්තන හැකියාවන් සංවර්ධනය කිරීමේ වගකීමත් ශක්තියත් දරයි. එම හැකියාවන් සහිතව සමාජගත වන දරුවා සමස්ත සමාජ බලපෑමක් බවට පත්වන බව සියලූ ලාංකික පුරවැසියන් ගැඹුරින් අධ්‍යයනය කොට වටහා ගතයුතුව පවතී.

රජයේ පාසල් පද්ධතියට අවශ්‍ය ගුරු පිරිස සැපයීමට වසර තිහක පමණ කාලයක සිට උරදී සිටින ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් ඉහත කී භාරධූර වගකීම සහිත ගුරුවරයා සමාජයට දායද කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටුකරයි. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් වාර්ෂිකව මුදාහරින ගුරු පිරිස පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී ඔවුන්ගේ ස්ත‍්‍රී පුරුෂ අසමතුලිතතාවය ඉතා පැහැදිලිව පෙනී යන කරුණකි. මෙවැනි අසමතුලිතතාවයකින් යුක්ත ගුරු පිරිසකට සමෝධානිත පෞරුෂයෙන් හෙබි දරුවකු සමාජගත කිරීමේ වගකීම ඉටුකිරීමට හැකි වේද යන්න විමසීමට ලක්කිරීම කාලෝචිත ය.

කාන්තාවන් හා පුරුෂයන් සතු විශේෂ ලක්ෂණ, ස්ත‍්‍රී පුරුෂභාවය යන්නෙන් හැඳින්විය හැකිය. ජීව විද්‍යාත්මක ලෙස හා සමාජ විද්‍යාක්මක ලෙස මෙම ලක්ෂණ ස්ත‍්‍රී පුරුෂ හඳුනා ගැනීම්වලට අදාළ වේ. සෑම සමාජයක්ම ස්ත‍්‍රී පුරුෂභාවය සතු එක් එක් තත්ත්වයනට අදාළ කර ගත් භූමිකාවක් ඇතැයි සලකයි.

සමෝධානිත පෞරුෂයෙන් යුතු දරුවකු තැනීමේ තම සමාජ වගකීම ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය හරහා සිසුන්ට සම්පේ‍්‍රෂණය කරනු ලබන විට ගුරුවරයා, ස්ත‍්‍රී පුරුෂභාවය මගින් ආරෝපණය වී ඇති සංස්කෘතික හා තමා සතු අනන්‍ය ලක්ෂණ ද සිසුන්ට පවරනු ලබයි.

ශ‍්‍රී ලංකාව තුළ රජයේ පාසල්වල, ස්ත‍්‍රී ගුරුවරුන්ගේ විකාශය පහත දැක්වේ.

මේ අනුව ශ‍්‍රී ලංකාවේ පාසල් පද්ධතියෙහි කාන්තා ගුරු ප‍්‍රතිශතය ක‍්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවත් එය 2017 වනවිට පිරිමි ප‍්‍රතිශතය 26% වන අතර ස්ත‍්‍රී ප‍්‍රතිශතය 73% වන බවත් පෙනේ.

වර්ෂ 1983 දී ආරම්භ කොට දැනට ශ‍්‍රී ලංකාව පුරා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක් ව්‍යාප්තව පවතී. පසුගිය වර්ෂ 6 කදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් බිහිවූ ගුරු සංඛ්‍යාව ස්ත‍්‍රී පුරුෂභාවය අනුව පහත දැක්වේ.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් මුදාහැරෙන ගුරු සංඛ්‍යාවෙහි පැහැදිලි ස්ත‍්‍රී පුරුෂ අසමතුලිතතාවයක් පවතින බව ඉහත දත්ත මගින් පෙනේ.

2017 වර්ෂයේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට බඳවා ගත් ශික්ෂණලාභීන් සැලකූ විට ඔවුන් 1995 වර්ෂයේ උපන් අය ලෙස සැලකුව හොත් 2001 වර්ෂයේ දී ඔවුන් රජයේ පාසල්වල 1 ශ්‍රේණියට ඇතුළත් වී ඇති අතර 2014 වර්ෂයේදී අ.පො.ස. (උ.පෙ.) සඳහා ඉදිරිපත් වී ඇත. එම තොරතුරු පහත දැක්වේ.

1995 වර්ෂයේ උපත් සංඛ්‍යාව හා 1 ශ්‍රේණියට ඇතුළත්වීම් සලකා බැලීමේ දී පෙනී යන්නේ පිරිමි ප‍්‍රතිශතය සහ ගැහැනු ප‍්‍රතිශතය ආසන්න වශයෙන් සමාන බවයි. නමුත් අ.පො.ස. උසස් පෙළ ඉල්ලූම් කිරීමේදී ද උසස් පෙළ සමත් සංඛ්‍යාවෙහි ද පිරිමි ප‍්‍රතිශතය ගැහැනු ප‍්‍රතිශතයට වඩා අඩු වීමක් පෙන්නුම් කරයි. වසර ගණනාවක අ.පො.ස. උසස් පෙළ ප‍්‍රතිඵල නිරීක්ෂණයෙන් ද එය තහවුරු කරගත හැකිය.

ඉතාමත් වැදගත් කාරණය වන්නේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත්වීම්වලදී පිරිමි ප‍්‍රතිශතය ගැහැනු ප‍්‍රතිශතයට වඩා විශාල අඩු වීමක් පෙන්නුම් කිරීමයි.

විද්‍යාපීඨවලට බඳවා ගැනීම් සඳහා ප‍්‍රධාන වශයෙන්ම අ.පො.ස. (උ.පෙ) සමත් සිසුන්ගේ ‘ලකුණ පදනම් කර ගනු ලබන බැවින් ගැහැනු ළමුන්ට වඩා අඩු’ අගයක් සහිත පිරිමි ළමුන්ට අධ්‍යාපන විද්‍යාපීඨවලට ඉල්ලූම් කිරීමේ හැකියාව අඩුවන අතර බඳවා ගන්නා පිරිමි සංඛ්‍යාව අඩුවීමට අ.පො.ස. (උ.පෙ.) අගය ද බලපෑම් කරයි.

2017 වර්ෂයේ දී අධ්‍යාපන විද්‍යාපීඨ බඳවාගැනීම් සඳහා 2014 වර්ෂයේ උසස් පෙළ ප‍්‍රතිඵල පදනම් කරගෙන ඇත. ඒ අනුව සිසුන් අ.පො.ස. (උ.පෙ.) සඳහා පෙනී සිටින වර්ෂය සහ බඳවාගැනීම් වර්ෂය අතර සැලකිය යුතු පරතරයක් පවතින අතර පසුගිය වර්ෂවලදී ද මෙවැනි පරතරයක් පද්ධතිය තුළ පෙන්නුම් කරයි. පීතෘ මූලික සමාජයක් පවතින ශ‍්‍රී ලංකාව වැනි රටක පිරිමි ළමයකු රැකියාවක් නොමැතිව දීර්ඝ කාලයක් රැඳී සිටීම තුළ ඔවුන් වෙනත් කුමන හෝ රැකියා අවස්ථාවක් සඳහා යොමුවීමත් ඒඅනුව විද්‍යාපීඨ සඳහා ඉල්ලූම් කරන පිරිමි ළමුන් සංඛ්‍යාව පහත වැටීමත් නොවැළැක්විය හැකි තත්ත්වයකි.

ගුරු වෘත්තිය තුළ පවතින ස්ත‍්‍රී පුරුෂ වෙනස

පොදු රාජ්‍ය ණ්ඩලය හා යුනෙස්කෝ ආයතනය මගින් ඩොමෙයිකාව, ලෙසතෝ රාජ්‍යය, ඉන්දියාව, සෝමාලියාව හා ශ‍්‍රී ලංකාව යන රටවල් 05 ක් පිළිබඳ 2011 දී කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ පිරිමින්ට වඩා කාන්තාවන් වැඩිකොටසක් ගුරු වෘත්තිය තෝරා ගෙන ඇති බවයි.

එයට සම්බන්ධ වන ආචාර්ය උපාලි එම්. සේදර මහතා දක්වන්නේ ගුරුවරියක වීමේ අභිමානය තුළින් තම දරුවන් අධ්‍යාපනයට යොමු කිරීම, ගුරු වෘත්තියේ ඇති තෙමසක නිවාඩු තම දරුවන් හදාවඩා ගැනීමට පහසුවීම, ප‍්‍රාථමික සිසුන්ට ඉගැන්වීමට කාන්තා ගුරුවරුන්ට වැඩි අවස්ථාවක් ලබාදීම ගුරු වෘත්තියට ශ‍්‍රී ලාංකීය කාන්තාවන් වැඩිපුර ඇතුළත්වීමට හේතු වී ඇති බවයි.

පිරිමි ළමුන්ට වඩා ගැහැනු ළමුන් උසස් අධ්‍යාපන අරමුණුවලට යොමුවීම, මෙය සදාචාරාත්මක රැකියාවක් වීම, දියණියකට සුදුසුම රැකියාව ගුරු වෘත්තිය බව පිළිගන්නා දෙමාපියන් තම දියණියන් මෙයට උනන්දු කරවීම, රාත‍්‍රී වැඩ රාජකාරි නොමැතිවීම, විශාල වැටුපකට වඩා නිවාඩු වැදගත් වීම, ගුරු වෘත්තිය සඳහා ගෙවන අඩු වැටුප සහ මෙහි ඇත්තේ ස්ත‍්‍රී ක‍්‍රියාවලියක් බවට පිරිමින් තුළ ඇති මතය, ගුරු වෘත්තියේ පවතින ස්ත‍්‍රී පුරුෂ වෙනසට හේතු වශයෙන් එහිදී තවදුරටත් දක්වා ඇත.

2017 වර්ෂයේ රටවල් 05 ක් සමග කරන ලද යන සමීක්ෂණයෙන් පෙන්වා දෙන්නේ ගුරු වෘත්තීයේ ස්ත‍්‍රී පුරුෂ සමතුලිතතාවය ඇති කිරීමට ශ‍්‍රී ලංකාව තුළ කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. එසේම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විෂය මාලාව තුළ, ගුරු අධ්‍යාපනඥයන් තුළ, පාසල් විෂය මාලාව තුළ, පෙළපොත් සම්පාදනය කිරීම් තුළ, එම ක‍්‍රියාවලීන්ට අදාළ සම්පාදක කමිටු තුළ, ස්ත‍්‍රී පුරුෂ සමතුලිතතාවය ඇති කිරීමට පියවර ගෙන නොමැති බවත් කිසිදු විෂයක හෝ කිසිදු පාසල් පෙළ පොතක ස්ත‍්‍රී පුරුෂ සමතුලිතතාවය පිළිබඳ දක්වන පාඩම් නොමැති බවත් ජාතික වශයෙන් ස්ත‍්‍රී පුරුෂත්වය පිළිබඳ ප‍්‍රතිපත්තියක් නොමැති බවත් ඉතා මෑත අනාගතයේ දී ගුරු වෘත්තිය කාන්තාකරණය වීම සිදුවන බවත් පෙන්වා දෙයි.

ගුරුවරුන්ගේ ස්ත‍්‍රී පුරුෂ අසමතුලිතතාවය ශිෂ්‍යයින්ට බලපාන ආකාරය.

පිරිමි ගුරුවරු, පාලනය කිරීමෙහිදී ද අධිකාරී බලය පවැත්වීමේදී ද දෘඪ බවක් පෙන්වයි. ඔවුන් අවංක බවෙන් හා සෘජු බවෙන් යුක්තවන අතර කරුණු විශ්ලේෂණය කරමින් ඉක්මන් තීරණ ගැනීමට ද ඔවුන්ට හැකියාව ඇත. ගැහැනු ගුරුවරු හැඟීම්වලට මුල් තැන දෙයි. නැමෙන සුළුයි. තීරණ ගැනීමේදී කාන්තා දර්ශනයෙන් යුක්තව බලයි. පාසල්වල විනය පවත්වා ගැනීමට පිරිමි ගුරුවරු අත්‍යාවශ්‍ය සාධකයක් බවද පිරිමි ළමුන්ට දැකීමට ”පිරිමි ආකෘති’’ අවශ්‍ය බවද ස්ත‍්‍රී පුරුෂ අසමතුලිතතාවය පිළිබඳ අදහස් දක්වන්නෝ පවසති.

ගැහැනු ගුරුවරු ඉගැන්වීම තුළින් පිරිමි ළමුන් තුළ පිරිමි පෞරුෂ ලක්ෂණ මතු නොවී ගැහැනු ලක්ෂණ ඉස්මතුවන බවත් පිරිමි ළමුන්ට අවශ්‍ය ධෛර්යය, ශක්තිය, නිර්භීතකම, ඍජු බව, ගැහැනු ගුරුවරු ඉගැන්වීම තුළින් අඩුවන බවත් පිරිමි ගුරුවරු ගැහැනු පිරිමි දෙකොටසටම ඉතා හොඳ ආකෘති බවත් පර්යේෂකයන්ගේ මතයයි.

මෙම විෂමතාවය පිළිබඳව අදහස් දක්වන පාසල් කළමනාකරුවන් ප‍්‍රකාශ කරන්නේ ඉගැන්වීම් ක‍්‍රියාවලියට අමතර වෙනත් කාර්යයන් සංවිධානයේදී ද ශ‍්‍රම දායකත්වය සැපයීමේදී ද විනය සම්බන්ධව කටයුතු කිරීමේදී ද විෂය සමගාමී කටයුතුවලදී ද පිරිමි ගුරුවරුන්ගේ අඩුව ඉතා බැ?රුම් ලෙස පවතින බවත් මෙය පාසලේ ගුණාත්මකභාවයට බලපෑම් කර ඇති බවත් ඉතා මෑත අනාගතයේදී විශාල ගැටලූකාරී තත්ත්වයක් මේ තුළින් උද්ගතවිය හැකිබවත්ය.

පාසල් පද්ධතිය තුළ පිරිමි ගුරු ප‍්‍රතිශතය අඩුවීමේ තත්ත්වය අත්දකින පිරිමි ළමුන් එම අත්දැකීම විද්‍යාපීඨ සඳහා ඉල්ලූම් කිරීමේදී සෘණ පෙළඹවීමක් ලෙස යොදාගන්නේ දැයි යම් අදහසක්ද මතුකළ හැක.

පිරිමි ගුරු වෘත්තියට ඇතුළත් කරගැනීම සඳහා විවිධ ක‍්‍රියාමාර්ග දැනට ලෝකය පුරාම ව්‍යාප්තව පවතී. ඔස්ටේ‍්‍රලියානු රජය ගුරුවෘත්තියට පිරිමි ඇතුළත් කර ගැනීම සඳහා විවිධ ක‍්‍රම සම්පාදනය කොට ඇත. කැනඩාවෙහි අධ්‍යාපනඥයන් බඳවාගැනීමේ දී පිරිමින්ට ප‍්‍රමුඛතාවක් ලබාදී ඇත. බි‍්‍රතාන්‍යය 1979 දී ආරම්භ කරන ලද ආයතනය පිරිමි පද්ධතියට ගෙන්වා ගැනීම සඳහා විවිධ වැඩසටහන් පවත්වනු ලබන අතර පිරිමි ගුරුවරු බඳවා පුහුණු කරනු ලබයි.

අප රටෙහි ද ගුරු වෘත්තීය තුළ පවතින ස්ත‍්‍රී පුරුෂ විෂමතාවයට පිළියම් සෙවීම අධ්‍යාපනයේ ජාතික අවශ්‍යතාවයක් බව පෙනේ. ඒ අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට බඳවා ගන්නා පිරිමි සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා කිසියම් ක‍්‍රියාමාර්ගයක් ගතයුතුව ඇත. නව බඳවා ගැනීම් සඳහා ’අගය පමණක් නොව වෙනත් දර්ශකයක් ඇතුළත් කිරීම, බඳවා ගන්නා වර්ෂය හා වයස පිළිබඳව සැලකිලිමත්වීම, පිරිමි ළමුන්ගේ අ.පො.ස. (උ.පෙ.) අසමත්වීමේ ප‍්‍රතිශතය අවම කිරීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම, පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුය.

රාජ්‍ය අංශය, පෞද්ගලික අංශ, රාජ්‍ය නොවන වෙනත් ආයතන, ජනමාධ්‍ය, දේශපාලනය, ආර්ථික අංශ, ප‍්‍රතිපත්ති සම්පාදන අංශ, සියල්ල විසින් මේ පිළිබඳ අවධානය යොමු කිරීමත් අධ්‍යාපන විද්‍යාපීඨ තුළ ද සමස්ත අධ්‍යාපන පද්ධතිය තුළ ද ජාතික වශයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ස්ත‍්‍රී පුරුෂ සමතුලිතතාව පිළිබඳ සංවේදී වන පාඨමාලා පැවැත්වීමත් සිදුකළ යුතුව ඇත.

ගුරු වෘත්තියට පිරිමින්ට ඇතුළත්වීම උපස්ථම්භනය සඳහා කිසියම් ආයතනයක් ඇති කිරීම, ගුරු වෘත්තියේ පවතින වැටුප් වැඩි කිරීම මගින් පිරිමි පද්ධතියට ඇතුළත් කිරීම වර්ධනය කළ හැකි බැවින් ඒ පිළිබඳ රාජ්‍ය අංශයේ අවධානය යොමුකිරීම ආදිය ද මෙහිදී වැදගත්වේ.

ජාතියක ජීවනාලිය දරුවන්ය. ඔවුන් ගොඩනගන අධ්‍යාපනය ද එහි ප‍්‍රධාන පුරුක ගුරුවරු ද වේ. අධ්‍යාපනය වෙනුවෙන් කෙතරම් ජාතික ධනය වැයකළ ද සමාජ ප‍්‍රගමනයට දායකවන දරුවකු රටට දායාද කිරීමට අවශ්‍ය ස්ත‍්‍රී පුරුෂ සමතුලිතතාවයෙන් යුක්ත ගුරු පරපුරක් නොවන්නේ නම් එහි ඵලදායීතාවය කෙසේ අගයමුද? ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් මුදාහරින ගුරුවරුන්ගේ ස්ත‍්‍රී පුරුෂ අසමතුලිතතාවයට විසඳුම් සෙවීම පමාකළ හොත් සමෝධානිත පෞරුෂයෙන් හෙබි දරුවකු සමාජගත කිරීමේ වගකීම දරණ පාසල් පද්ධතියක් ඉතා මෑත අනාගතයේ දී ම අපට අහිමිවනවා පමණක් නොව අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමේ වරද නිවැරදි කිරීමට බොහෝ වෙහෙස මහන්සි වීමට ද අපට සිදුවනු ඇත.

(එස්. ඒ.එම්.එස්.ජී.ජේ. සේනාරත්න, කථිකාචාර්ය, ගණිත අංශය, නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය – දිවයින)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435