ගුරුසිත නොරිදවා අධ්‍යාපනය අවරට නොයා යුතු

රට කරවන තීන්දු, තීරණ ගන්නා තැන්වල ඉන්නා අයගෙන් කෙරෙන ප්‍රකාශ දෙස විමසා බලනවිට අප රටේ අධ්‍යාපනය පිළිබඳ බොහෝ සැකසංකා මතුවේ.

අධ්‍යාපනයේ වාර්තමාන පරමාර්ථය ලෙස නිතර කියනු ඇසන්නේ එකම දෙයකි. “ලෝකයේ රැකියා වෙළෙඳපොළ, ඉල්ලුමට සරිලන වෘත්තිකයින් බිහිකිරීම” ලෙසිනි. ජාත්‍යන්තර අවශ්‍යතා ඉලක්‌ක කර ගනිමින් එම අවශ්‍යතාවලට අනුකූලවන පරිදි අපේ අධ්‍යාපන රටාව හැරවිය යුතුය වශයෙනි. එම අවශ්‍යතා අනුව විවිධ වෘත්තිකයින්, නිෂ්පදානයකර සපයා දීමද එක ඉලක්‌කයක්‌ විය යුතු බව හැබෑවකි. එහෙත් එය ප්‍රධාන හා එකම අපේක්‌ෂාව වුවහොත් අපේ ජාතික අවශ්‍යතාවලට කුමක්‌ සිදුවනු ඇත්ද? පළමුව සිදුවිය යුත්තේ ජාතික අවශ්‍යතා ඉටුකිරීම නොවේද? දෙවනුව ජාත්‍යන්තර අවශ්‍යතාවලට හෙවත් ඉල්ලුමට සැපයුම නම්වූ ආර්ථික න්‍යායට අනුව අතිරික්‌තය සැපයීම නොවේද?

මෙබඳු ඉලක්‌කයන් කරා රටේ අධ්‍යාපනය මෙහෙයවන දේශපාලනඥයන් පිළිබඳවද මහජනයා තුළ කුකුසක්‌ තිබේ. කන්නන්ගර මැතිඳුන් වැනි ආදිතමයින්ගේ දර්ශනය, ප්‍රවීණත්වය, හා පළපුරුදු සමඟ සසඳන කල්හි එසේ කුකුස්‌ ඇතිවීමද සාධාරණය. කතාබහට ලක්‌වීමද පුදුමයක්‌ නොවේ. එකම හා ප්‍රධාන ඉලක්‌කය පෙර කී පරිදි “වෘත්තිකයන්” බිහිකිරීම වනවිට ශාස්‌ත්‍රීය අධ්‍යාපනය දුර්වල වෙමින් අභාවයට යමින් යාන්ත්‍රික මිනිසුන් පිරිසක්‌ හෙවත් මිනිස්‌ අඟපසඟ සහිත අමුතුම රොබෝවරුන් පිරිසක්‌ නිෂ්පාදනය වනු ඇත. එබන්දන් තුළ මානුෂීය හැඟීම්, ගුණධර්ම ආදිය නොපවතී. දැනටමත් කලින් සිදුවූ වැරදි නිසා එම තත්ත්වය ඇතිවෙමින් පවතී, ඉදිරියේදී එය වඩතාa දියුණු වනු ඇත. අනාගතයේදී වැඩි වැඩියෙන් වාත්තීයවේදීන් නිෂ්පාදනය වනවිට ශාස්‌ත්‍රවේදීන් අඩුවෙවී නැතිවෙවි නැත්තටම නැතිව යැමට වුවද ඉඩ තිබේ. එවිට රටට, ජාතියට අවශ්‍ය බුද්ධිමතුන්, චින්තකයින්, විචාරකයින්, දාර්ශනිකයන්, ලේඛකයින්, සාහිත්‍යධරයින් රටේ බිහි නොවනවා ඇති. එබන්දක්‌ නැති තරමට හොඳයි” කියා සිතන දේශපාලනඥයන්ද වැඩිවනු ඇත.

දැනටමත් අපේ පාසල් පද්ධතිය තුළ ආගම, ධර්මය, ඉතිහාසය, සිංහල භාෂාව හා සාහිත්‍යය ආදී ජාතියට අත්‍යවශ්‍යම විෂයයන් ඉගැන්වීමට සුදුසුකම් ඇති දක්‌ෂ ගුරුවරුන් හිඟයක්‌ නැතුවා නොවේ. ඉදිරියේදී තව තවත් හිඟවී නැත්තටම නැතිව ගියවිට ජාතියට, ජාතික භාෂාවන්ට ආගම, දහමට අත්වන ඉරණම කෙබඳු වනු ඇත්ද?

දැනටමත් බොහෝ පාසල්වල බුද්ධ ධර්මය ඉගැන්වීමට සුදුසුකම්ලත් ගුරුවරුන් නොමැත. කාලසටහන්වල සතියට කාලච්ඡේද එකක්‌ දෙකක්‌ හෝ තිබෙන නිසා ආචාර්ය මණ්ඩලය තුළ සිටිනා වැඩ අඩු කවුරුන් හෝ යෙදවීමේ විකල්ප ක්‍රියාමාර්ගයට යනවා විනා විදුහල්පතිවරුන්ට වෙන කළ හැකි දෙයක්‌ ද නැත. බුදු දහම උගන්වන්නේ එක්‌කෝ පාසලේ ක්‍රීඩා ගුරුවරයා ය. නැතිනම් ගෘහ විද්‍යා ගුරුවරියයි. එසේත් නැත sනම් වෙනත් කුමන හෝ විෂයයක්‌ ප්‍රගුණ කළ ගුරුවරයෙකි. ගුරුවරියකි. ඒ අය වෙතින් ආගම දහම කොහොම ඉගැන්වෙනවාද? යන්න සිතා ගැනීමටත් අපහසුය. සිංහල, සාහිත්‍ය, ඉතිහාසය ආදි විෂයයන්ට ද එසේමය.

දැනුම, ආකල්ප, කුසලතා, ත්‍රිත්වයම එක හා සමානව සියලු සිසුන්ට ලැබිය යුතුය යන්න අධ්‍යාපනඥයන්ගේ ඉලක්‌කය හා අපේක්‌ෂාව වුවද වෘත්තීයවේදීන් බහුල කිරීමේ ඉලක්‌කයේදී ආකල්ප කියා දෙයක්‌ නැතුවාට කමක්‌ නැතැයි කියන අයද බහුලවිය හැකිය. දැනටමත් පසුගිය කාලයේ අඩුපාඩු නිසා අකාල්ප වර්ධනය යන්න ගුරු – සිසු – දෙමාපිය තෙපිරිසම තුළ ම හීන වෙවී යන ලකුණු පහළවී තිබේ. වර්තමාන පාසල් පද්දතිය තුළ ගුරුවරුන්, සිසුන් හැසිරෙන ආකාරය දෙස බලවිවට මේ ආකල්ප හීනවීමේ ප්‍රතිඵල ජනමාධ්‍ය වාර්තා තුළින් දිනපතා අසන්නට දකින්නට ලැබේ. දරුවන් තුළ පමණක්‌ නොව ගුරුවරුන් තුළද “සහෝදරත්වය” නමැති හැඟීම නැත්තටම නැතිවා සේය. සහජීවනය යන්න නැත්තටම නැතුව යනවා සේ ය. එකිනෙකා කුලල් කා ගන්නා තත්ත්වයට ආකල්ප පිරිහෙමින් පවතී. ආකල්ප සංවර්ධනයට අවශ්‍ය මානසික පෝෂණය ලැබෙන්නේ ආගම ධර්මය, සාහිත්‍ය, කලාව, සෞන්දර්ය ආදිය තුළ වුවත් බොහෝවිට ඊට ලැබෙන ඉඩකඩ අවස්‌ථා යොමුකිරීම් ඉතා මඳය. ගරු – සිසු දෙපිරිසටම මෙය එකසේ අදාළ ය. මේවායින් ලැබිය යුතු පෝෂණය මූලද්‍රව්‍ය මනසට නොලැබෙනවිට (ප්‍රමණවත්ව) නිර්මාණාත්මක හැකියාවන්ගෙන් හා මානුෂීය ගුණාංගයන්ගෙන් යුතු පිරිපුන් දරුවන් සමාජයට (ජාතියට) දායාද කෙරෙන්නේ නැත. තීරණ ගැනීමේ හැකියාව, උසස්‌ චින්තනය, කළමනාකරණ කුසලතා ආදියෙන් දුර්වල මානුෂීය ගුණාංගයන්ගෙන් හීන පිරිහුණු ජාතියක්‌ ශේෂවීම මේ සියල්ලේ ප්‍රතිඵලය වනු ඇත. ජාතික විපතකට තුඩු දෙන අධ්‍යාපනයකින් රටට වැඩක්‌ නැත. ජාතික ප්‍රතිපත්තියත් සහිත අධ්‍යාපනය අපට අවශ්‍ය බව සියල්ලන්ටම වැටහේවා·

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435