ගුරු විදුහල්පති සටන

දිවයින පුරා පිහිටි සියලුම රජයේ පාසල්වල සේවයේ නියුතු ගුරුවරු සහ විදුහල්පතිවරු ලබන පෙබරවාරි 26 වෙනි දින අසනීප නිවාඩු වාර්තා කර විරෝධතාවක නියැලී සිටීමට තීරණය කර ඇත. එපමණක් නොව එදින පෙරවරු 9.30 ට බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වීමටද සැලසුම් කර තිබෙන අතර ගුරු-විදුහල්පති වෘත්තිය සමිති 30 ක දායකත්වය ඊට ලැබෙන බව පැවසේ.

ඔවුන් එවැනි තීරණයකට එළැඹුණේ ඇයි? ඊට වසර විසි තුනක ඉතිහාසයක් ඇත. බැටන් පොලු, කඳුඵ ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරවලින් පිරි වැටුප් විෂමතා අරගලයේ ඉතිහාසය ලියැවෙන්නේ මෙසේය : ආසියාවේ අඩුම ගුරු-විදුහල්පති වැටුප්වලට හිමිකම් කියන රාජ්‍යය ශ්‍රී ලංකාව වන අතර අවුරුදු 20 ක සේවා කාලයක් සම්පූර්ණ කරනු ලබන උපාධිධාරි ගුරුවරයෙකුට ලැබෙන ආරම්භක වැටුප මසකට රුපියල් 44,000 ක් පමණ වන අතර ඊට වඩා පහළ මට්ටමේ ගුරුවරුන්ගේ මසක වැටුප රුපියල් 18,000 ක් පමණ ය. මෙම වැටුප් ප්‍රමාණවත් නොවීම හේතුකොට ගෙන 1994 වසරේදී බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා ගුරු සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවය පිහිටුවා දීප ව්‍යාප්ත සේවා වැටුපක් ලබා දීමට කටයුතු කළ අතර එම රජයේ අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කළ රිචඞ් පතිරණ ඊට මූලිකත්වය ලබා දෙනු ලැබිණි. ඊට පූර්වගාමීව අධ්‍යාපන ඇමතිවරු ලෙස කටයුතු කළ ලලිත් ඇතුලත්මුදලි සහ වි.ජ.මු. ලොකුබණ්ඩාර සහ හිටපු ජනපති ආර්. ප්‍රේමදාස යන අය ගුරු-විදුහල්පති වැටුප් වැඩි කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණවලට එළැඹී සිටියහ. මෙම වැටුප් වැඩි කිරීම 1997 වසරේදී පිහිටුවන ලද බී.සී. පෙරේරා වැටුප් කොමිසම විසින් අධ්‍යාපන සේවයේ වැටුප් වැඩි කිරීම වැරදි තීරණයක් බව ප්‍රකාශ කරමින් වැටුප් වැඩි කිරීම කපා දැමූ අතර අනෙකුත් රාජ්‍ය සේවාවන්වල වැටුප් වැඩි කිරීමට කටයුතු කෙරිණි. එසේ වුවද එම කොමිසම විසින් නිකුත් කරන ලද අංක 2/97/3 දරන චක්‍රලේඛයට අනුව ගුරු-විදුහල්පති වැටුප් වැඩි කිරීම සඳහා යොමුවන බව ප්‍රකාශ කෙරිණි. එම සලකා බැලීම ප්‍රෝඩාවක් වීම කරණකොටගෙන ගුරු-විදුහල්පති වැටුප් විෂමතා අරගලය දියත් කෙරිණි. ලයනල් ප්‍රනාන්දු සහ සාලිය මැතිව් වැටුප් කොමිසම විසින් 2008 වසරේදී චක්‍රලේඛයක් නිකුත් කරමින් ගුරු-විදුහල්පති වැටුප් වැඩි කිරීම නොකළ යුතු බව ප්‍රකාශයට පත් කෙරිණි. ඉන් අනතුරුව වැටුප් විෂමතා අරගලය දිනෙන්-දින උත්සන්න විය. 2008 වසරේදී උසස් පෙළ උත්තර පත්‍ර බැලීම වර්ජනය කිරීමට ගුරුවරු කටයුතු කළ අතර එය මර්දනය කිරීම සඳහා එවකට බලයේ සිටි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අනුරාධපුරයේ පිහිටි නිවත්තකචේතිය විදුහලේ උසස් පෙළ සිසුවෙකු මගින් මානව අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලදි. එම නඩුව මගින් ගුරු වැඩ වර්ජනය අධ්‍යාපනයට බාධාවක් බව සනාථ කෙරුණු අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රුපියල් පනස් දහසක දඩ මුදලක්ද නියම කෙරිණි. එමගින් එම වැඩ වර්ජනය ඇන හිටින. එම නඩු තීන්දුව මගින් ගුරු-විදුහල්පති සේවය රජයේ පොදු වැටුප් තලයෙන් ඉවතට ගෙන වෙනම සේවාවක් ලෙස සලකා වැටුප් වැඩි කිරීමක් සිදු කළ යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජයට නියෝග කරනු ලැබිණ. ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලවලට විසඳුමක් ලබා දීම සඳහා 2008 වසරේදී අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළ සුසිල් ප්‍රේමජයන්ත් විසින් අතුරු වැටුපක් ලබා දීමට යෝජනා කළ අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දමමින් ගුරු-විදුහල්පති අතුරු වැටුප් දීමනාව සඳහා රුපියල් මිලියන 6700 ක මුදලක් අවශ්‍ය බව පෙන්වා දෙනු ලැබිණ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2009 වසරේ අයවැයේදී එවකට මුදල් ඇමති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ රුපියල් මිලියන 3000 ක් වෙන් කිරීමට යෝජනා කරනු ලැබුවද අතුරු වැටුප් දීමනාවක් ලබා දීමට කටයුතු නොකෙරිණි. එම රැවටීමට ලක් වූ ගුරු-විදුහල්පති පිරිස දිනෙන් දින වෘත්තීය අරගල පවත්වමින් තම වෘත්තීය අයිතීන් දිනා ගැනීමට උත්සුක විය.

ඒ අනුව 2019 වසර ගුරු-විදුහල්පති වැටුප් විෂමතා අරගලවල තීරණාත්මක වසරක් බවට පත් විය. එම වසරේ මාර්තු 13 වෙනි දින මෙන්ම සැප්තැම්බර් 26 සහ 27 යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමට ගුරු-විදුහල්පති දෙපිරිස කටයුතු කරනු ලැබූහ. එසේ වුවද යහපාලන ආණ්ඩුව විසින් 2019 වසරේ ජනවාරි 27 වෙනි දින දුම්රිය, විශ්වවිද්‍යාල, අනධ්‍යන යන ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවලට විසඳුම් සෙවීම සඳහා ඇමතිවරු දසදෙනෙකුගේ සමන්විත අනු කමිටුවක් පත් කරනු ලැබිණි. එම කමිටුව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමග ජනවාරි 29 වෙනි දින සාකච්ඡාවක් පවත්වනු ලැබූ අතර වැටුප් විෂමතාව සහ එම කමිටුව විසින් පිළිගනු ලැබිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස ගුරු සේවය වෙනම සේවාවක් ලෙස පිළිගෙන එය “සංවෘත සේවාවක්’ බවට පත් කොට වැටුප් වැඩි කිරීමට තීරණය විය. එය ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් අගය කරනු ලැබුවද එවැනි කටයුත්තක් කිරීම සඳහා මාස හයක පමණ කාලයක් ගත වන හෙයින් අතුරු වැටුපක් ගෙවන ලෙස වෘත්තීය සමිති විසින් යෝජනා කෙරිණි. එම අතුරු වැටුප් ගෙවීමේදී අනුගමනය කළ යුත්තේ 2018 සැප්තැම්බර් මාසයේ පැවති එස්. රනුක්ගේ වැටුප් කොමිසම විසින් යෝජනා කරන ලද වැටුප් වැඩි කිරීම බවට වෘත්තීය සංගම් විසින් පෙන්වා දෙනු ලැබිණි. එම යෝජනාව ක්‍රියාත්මක කරන ලෙසට අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කළ අකිල විරාජ් විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් 2019 වසරේ ඔක්තෝබර් මස ඉදිරිපත් කළ අතර නොවැම්බර් 7 වෙනි දින ඊට අනුමැතිය ලැබිණි. එසේ වුවද එස්. රනුක්ගේ වැටුප් කොමිසම විසින් වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය ආපස්සට හැරවීමට ක්‍රියා කළ බව ගුරු-විදුහල්පති වෘත්තීය සංගම් චෝදනා කරති. එය එසේ වුවද එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි නිහාල් රණසිංහ එස්. රනුක්ගේ වැටුප් කොමිසමට ගොස් අතුරු වැටුප් වැඩි කිරීමේ යෝජනාව ලබා දෙන ලෙසට ඉල්ලා සිටි අතර එම අමාත්‍යාංශයේ අනෙකුත් නිලධාරින්ද ගුරු විදුහල්පති වැටුප් විෂමතාව කඩිනමින් විසඳියයුතු බවට තීරණය කරනු ලැබුවද එය ක්‍රියාත්මක නොවීය.

මෙම වකවානුව තුළ නොවැම්බර් 16 වෙනි දින නව රජය බලයට පත් වූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති මැතිවරණ ප්‍රකාශය තුළද ගුරු-විදුහල්පති සේවය සංවෘත සේවාවක් බවට පත් කොට ඔවුන්ට වැටුප් වැඩි කරන බවට සඳහන්ව තිබිණ. එහි ප්‍රතිඵලය වශයෙන් වත්මන් රජය විසින්ද ගුරු-විදුහල්පති සේවය සංවෘත සේවාවක් ලෙස පිළිගෙන අමාත්‍ය මණ්ඩල අනුමැතියද ඊට ලබා දී තිබේ. 2019 දෙසැම්බර් 18 වෙනි දින වත්මන් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ගුරු විදුහල්පති සංගම් අතර පැවති සාකච්ඡාවේදීද වැටුප් විෂමතා ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම සාකච්ඡා කළ අතර විසඳුමක් ලබා දීම සම්බන්ධයෙන් මාසයක කාලයක් අධ්‍යාපන ඇමතිවරයාට ලබාදීමට වෘත්තීය සමිති එකඟතාව පළ කරනු ලැබූහ. මාසයක කාලය ඉකුත්වූ පසු ජනවාරි 21 වෙනි දින අධ්‍යාපන අමාත්‍යවරයා සහ වෘත්තීය සමිති නායකයෝ සාකච්ඡා පැවැත්වූ අතර ගුරු විදුහල්පති සේවා සංවෘත සේවා බවට පත් කොට වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසට එහිදී වෘත්තීය සමිති නායකයෝ ඉල්ලා සිටිනු ලැබිණ. එය ක්‍රියාවට නැංවීමට බල කරනු පිණිස පෙබරවාරි 26 වෙනි දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය අරගලය දියත් කිරීමට නියමිත ය.

රැවටීමකට ලක් කර තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ

අවුරුදු 23 ක් පුරා බලයට පැමිණි කිසිදු ආණ්ඩුවක් ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවලට විසඳුම් ප්‍රායෝගිකව ලබා දීමට කටයුතු කළේ නැහැ. වැටුප් විෂමතාවලට විසඳුම් ලබා ගැනීම සඳහා ලංකා ගුරු සේවා සංගමය තනි සංවිධානයක් වශයෙන් මෙන්ම අනෙකුත් ගුරු වෘත්තීය සංගම් සමග එකතු වී විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවා. ඒත් ආණ්ඩු විසින් පොරොන්දු ලබාදීම් සිදු කළත් ඒවා ක්‍රියාවට නැංවීමට කටයුතු නොකොට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් රැවටීමකට ලක් කර තිබෙනවා. වත්මන් ආණ්ඩුවත් ගුරු-විදුහල්පති සේවය සංවෘත සේවාවක් බවට පත් කරමින් වැටුප් විෂමතා නැති කිරීමට පොරොන්දු වී තිබෙනවා. ඒ පොරොන්දු කඩිනමින් ඉටු කරන්න කියා අප රජයෙන් ඉල්ලා සිටිනවා.

අරගලය නතර කරන්නේ නැහැ – ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින්

ගුරු විදුහල්පති සේවාවන්ට බී.සී. පෙරේරා වැටුප් කොමිසම විසින් ඇති කරන ලද වසර 23 ක් පවතින වැටුප් විෂමතාව ඉවත් කිරීමට ඇතුඵ අනෙකුත් ප්‍රධාන ඉල්ලීම් ලබාදීම ආණ්ඩුවේ වගකීමක්.

යහපාලන රජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිගෙන තිබෙන ගුරු හා විදුහල්පති සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කර නව වැටුප් ව්‍යුහයක් සැකසීමට ආණ්ඩුව කඩිනමින් පියවර ගත යුතුයි. එම කර්තව්‍ය ඉටු කිරීමට කාලයක් ගත වන නිසා අතුරු වැටුප් ගෙවීමට කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය ක්‍රියාවට නැංවීම සඳහා ඊට අදාළ චක්‍රලේඛනය භෞතික වශයෙන් නිකුත් කරන තුරු අපේ අරගලය නතර කරන්නේ නැහැ.

අඩු වැටුප් – වැඩි වැඩ / ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති, මොහාන් වීරසිංහ

විදුහල්පතිවරු මූල්‍ය කළමනාකරණය, පිරිස් කළමනාකරණය, අධ්‍යාපන සම්පත් කළමනාකරණය සහ භෞතික සම්පත් කළමනාකරණය යනාදී වශයෙන් කළමනාකරණ සේවාවක නියැලෙන පිරිසක්. කළමනාකරණ කටයුතුවල නියැලෙන අධ්‍යක්ෂවරු පිරිසක්ද අධ්‍යයන ක්ෂේත්‍රය තුළ සිටින අතර ඔවුන් විධායක ශ්‍රේණියේ නිලධාරීන් ලෙස සලකනවා. ඒත් විදුහල්පතිවරු මාණ්ඩලික ශ්‍රේණියක් ලෙස සැලකුවත් විධායක ශ්‍රේණියක් ලෙස නොසැලකේ. විධායක ශ්‍රේණියේ නිලධාරීන් විදුහල්පති කරන කළමනාකරණ සේවා සිදු කරන්නේ තනි ක්ෂේත්‍ර වශයෙනි. ඒ වෙනුවෙන් ඔවුන්ට දීමනා ලැබේ. ඒත් විදුහල්පතිවරු සිදු කරනු ලබන කළමනාකරණ සේවා සඳහා දීමනා නොලැබේ. විදුහල්පතිවරයකු ලෙස තුන්වෙනි ශ්‍රේණියට බඳවා ගත් පසු අවුරුදු 6 ක් සේවය කොට දෙවැනි ශ්‍රේණියට උසස්වීමක් හිමිය. තවත් අවුරුදු 6 ක් දෙවැනි ශ්‍රේණියේ කටයුතු කළ යුතුයි. පළමුවන ශ්‍රේණියේත් අවුරුදු 6 ක් කටයුතු කළ පසු විදුහල්පති ධුරයට පත්වේ. උසස්වීම ලැබීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තිබෙන සංකීර්ණ ක්‍රියාවලියක් තිබෙන්නේ විදුහල්පති ක්ෂේත්‍රයට පමණයි. ඒ නිසා ඔවුන් පීඩාවට පත් වෙනවා. ඔවුන් මාණ්ඩලික නිලධාරීන් වීම නිසා විශ්‍රාම වැටුප සදහා වැන්දඹු හා අනත්දරු දීමනා වශයෙන් 7% ක් වැටුපෙන් කපා ගන්නවා. ගුරු සේවයේ අයට එසේ සිදු කරන්නේ නැහැ. විදුහල්පති අඩු වැටුපකට විශාල සේවයක් සිදු කරන බව පෙනේ. අවුරුදු 23 ක කාලයක් පුරා වැටුප් විෂමතාවලට ලක් වී තිබෙන විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට රජය ක්‍රියා කිරීම වටී.

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු (රාවය)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435