ගුරු හා හෙදි පුහුණු පාසල් උපාධි මට්ටමට

රටේ දැනට තිබෙන ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා හදාරන ආයතන ක‍්‍රමයෙන් උපාධි පිරිනමන මට්ටමට උසස් කිරීමටත්, ගුරු හා හෙද හෙදියන් පුහුණු ආයතන පාසල් උපාධි මට්ටමට ගෙන ඒමට බලාපොරොත්තු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ප්‍රථම පාර්ලිමේන්තු සැසවාරය අමතමින් සඳහන් කරන ලදි.

මේ සම්බන්ධව වැඩිදුරටත් පැවසුවේ,

අද බොහෝ රටවල් රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය ඉහළ දැමීමට තාක්ෂණය විසඳුමක් ලෙස යොදාගෙන තිබෙනවා. ඒ හරහා සැමට සමාන අවස්ථා ලබා දෙන්නටත් පුළුවන්. ඒ නිසා රාජ්‍ය ආයතන තුළ තාක්ෂණය භාවිතය ප‍්‍රචලිත කිරීමට විශේෂ අවධානයක් යොමු කරනවා

අද විශ්වවිද්‍යාලවල උගන්වන සමහර පාඨමාලා රැකියා වෙළෙඳපොලට ගැලපෙන්නේ නැහැ. වර්තමාන රැකියා වෙළෙඳපොල අවශ්‍යතාවන් සඳහා අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පුහුණු කිරීම සඳහා දැනට හදාරන පාඨමාලාවලට අමතරව ඔවුන්ට ස්වේච්ඡාවෙන් සහභාගි විය හැකි කෙටිකාලීන අමතර පාඨමාලා හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා. සිසුන් ඇතුලත් කිරීමේදී මෙන්ම වෙළෙඳපොල අවශ්‍යතා ඉලක්ක කරගෙන පාඨමාලා ප‍්‍රතිසංස්කරණය කිරීමේදී විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලට වැඩි නිදහසක් ලබා දිය යුතුයි.

රටේ දැනට තිබෙන ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා හදාරන ආයතන ක‍්‍රමයෙන් උපාධි පිරිනමන මට්ටමට උසස් කිරීම අවශ්‍යයි. මේ සඳහා ආරම්භයක් ලෙස අපේ ගුරු පුහුණු පාසල් හා හෙදි පුහුණු පාසල් උපාධි මට්ටමට ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා. පුහුණු උපාධිධාරී ගුරු හිඟය දැනටමත් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ ගැටලූවක්. ඒ වගේම හෙදියන් සඳහා දැනට ලබාදෙන වසර 3 ක ඩිප්ලෝමාව වසර 4 ක උපාධියක් දක්වා උසස් කිරීමෙන් ද, ඔවුන්ගේ ඉංග‍්‍රීසි දැනුම වර්ධනය කිරීමට ක‍්‍රියා කිරීමෙන් ද, ඔවුන්ට ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව විදේශ රටවල්වල පවා සේවය කිරීමටත් ඉඩ සැලසෙනවා.

උසස් පෙළ අසමත්වන සහ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත් ශිෂ්‍යයන්ට තාක්ෂණික සහ කාර්මික අංශයේ දැනුම වැඩි කිරීම සඳහා, කාර්මික සහ තාක්ෂණික විද්‍යාල පද්ධතිය ශක්තිමත් කළ යුතුයි. එම ආයතන සඳහා ලබා දෙන ප‍්‍රතිපාදන හා පහසුකම් වැඩි කළයුතුයි. මේ හරහා ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණුවක් ලද ශ‍්‍රම බලකායක් ඇති කළ හැකි අතර, දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළෙඳපොල තුළ ඉහළ වේතනයක් ලබා ගතහැකි රැකියා අවස්ථා අපේ තරුණ තරුණියන්ට ලබා දිය හැකියි.

රැකියා ක්ෂේත‍්‍රය තුළ ඉංග‍්‍රීසි දැනුම මදිකම බොහෝ තරුණ තරුණියන්ට අවස්ථාවන් අහිමි කරවනවා. මේ නිසා ලංකාවේ සෑම පාසලකම ඉංග‍්‍රීසි භාෂාව ඉගැන්වීමේ පහසුකම් දියුණු කිරීමටත් ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් අනුයුක්ත කිරීමටත් විශේෂ ක‍්‍රමවේදයක් අපි හඳුන්වා දෙනවා.

අලුත් රැකියා අවස්ථා තරුණ තරුණියන් සඳහා සොයා දීමට අපේ විදේශ තානාපති අංශවලට විශේෂ වගකීම් පවරන්නට අපි බලාපොරොත්තු වෙනවා. නුපුහුණු සේවකයන් විශාල වශයෙන් පිටරට යවනවා වෙනුවට සෑම ක්ෂේත‍්‍රයකම පුහුණු සේවකයන් පිටරට යැවීමෙන් අපේ රටට ලැබෙන විදේශ විනිමය වැඩි කර ගන්නවා මෙන්ම ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොල තුළ අපේ රටේ ප‍්‍රතිරූපයත් වර්ධනය කර ගත හැකියි.

අධ්‍යාපන ක්ෂේත‍්‍රය රටකට හොඳ විදේශ විනිමය උපයා ගත හැකි මාර්ගයක්. ශ‍්‍රී ලාංකික දරුවන්ද විශාල ප‍්‍රමාණයක් අද ආසියාතික උසස් අධ්‍යාපනික ආයතනවල ඉගෙනුම ලබනවා. අධ්‍යාපනය සඳහා අපේ දරුවන් විශාල වියදමක් දරා පිටරට යවනවා වෙනුවට විදේශීය ශිෂ්‍යයනුත් ලංකාවට ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙලක් අපි සකස් කළ යුතුයි. සියලූම විශ්වවිද්‍යාල ජාත්‍යන්තර වශයෙන් තම ශ්‍රේණිගත කිරීම් වලින් ඉහලට පැමිණීම සඳහා කෙටිකාලීන හා දීර්ඝකාලීන සැලසුම් සකස් කළ යුතුයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435