ගුවන් තොටුපළේදි හසුවු අපූරුව සෙල්ලම

ශ්‍රී ලංකාවේ විවාහ නීතිය උපයෝගී කර ගනිමින් ප්‍රංශයේ පුරවැසිභාවය ලබා ගැනීමේ ජාවාරමක නියැලී සිටි බංගලාදේශ ජාතිකයන් සිවු දෙනෙකු ඊයේ (13)  දින සවස ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන – විගමන දෙපාර්තමේන්තු සහකාර පාලකවරයා කටයුතු කර තිබේ .

මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රංශයේ සරණාගතයින් සේ ලියාපදිංචි වී ඇති 35 හැවිරිදි ප්‍රථම බංගලාදේශ ජාතික පිරිමි දෙදෙනා ඊයේ  දින පස්වරු 2.00 ට ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 372 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ පැමිණ තිබුණි .

එහිදී ගුවන් තොටුපළ ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මොවුන්ගෙන් ශ්‍රී ලංකාවට පැමිණීමේ හේතුව විමසත් දී , ඒ සඳහා ප්‍රමාණවත් පිළිතුරක් දීමට අපොහොසත් වී තිබීම නිසා , ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු ඔවුන් ප්‍රංශය වෙත පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ .

ඒ අනුව ඕමාන් ගුවන් සේවයේ ගුවන් යානයට මොවුන් දෙදෙනා නංවා ගැනීමට සූදානම් වත්ම , ඔවුන් එම ගුවන්යානා කාර්යය මණ්ඩලයට බාධා කරමින් , කෑකෝ ගසමින් විරෝධතාව පළ කරන්නට විය .

ඒ නිසා මොවුන් දෙදෙනා එම ගුවන් යානයට නංවා ගැනීම පසෙක ලා ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ට භාර දීමට ගුවන්යානා කාර්යය මණ්ඩලය පියවර ගෙන තිබුණි .

ඒ අතර ඊයේ  දින පස්වරු 4.20 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් තවත් බංගලාදේශ ජාතිකයන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර , ඔවුන් අතරින් 50 හැවිරිදි පියෙකු සහ 20 හැවිරිදි දුවෙකු සිටියාය .

ඔවුන් දෙදෙනා ගුවන් තොටුපළ වෙත පැමිණි පසු , මුලින්ම පිටුවහල් කිරීමට සූදානම් කර තිබූ බංගලාදේශ ජාතිකයන් දෙදෙනා සමඟ කථා බස් කරනු දුටු ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මොවුන් සිවු දෙනාම , තම කාර්යාල පරිශ්‍රය තුළට කැඳවා පරීක්ෂණ ආරම්භ කර තිබේ .

එහිදී මෙම පියා සහ දුවගේ ගමන් මල්ලේ අනෙක් බංගලාදේශ ජාතිකයන් දෙදෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර වල ඡායා පිටපත් දෙකක් ද හමු වී තිබේ .

පසුව මොවුන්ගෙන් දීර්ඝව සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී මෙම සියලු සැලසුම් අනාවරණය කර ගැනීමට ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වී තිබේ .

ශ්‍රී ලංකාවේ පවත්නා විවාහ නීතිය අනුව , දින 03ක් ශ්‍රී ලංකාවේ ගත කළ පසු , ශ්‍රී ලංකාව තුළ තම විවාහය ලියාපදිංචි කළ හැකි නිසා ,එම අවස්ථාව භාවිතා කර , මෙරට තුළදී විවාහය ලියාපදිංචි කර , පසුව එම පුරුෂයා ප්‍රංශය වෙත ගොස් , තම බිරිඳ සඳහා පුරවැසිභාවය ඉල්ලා සිටීම මෙම ජාවාරමයි .

මීට පෙර අවස්ථා ගණනාවකදී ද මෙවැනි සිදු වීම් ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන තිබේ .

ඉන්පසුව ප්‍රංශයේ සිට පැමිණි බංගලාදේශ ජාතිකයන් දෙදෙනා ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 373 දරන ගුවන් යානයෙන් සහ දුව සහ පියා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 191 දරන ගුවන් යානයෙන් ද ඊයේ  දින සවස 5.30 ට පමණ ආපසු ඔවුන් පැමිණි රටවල් වෙත පිටුවහල් කර තිබේ .

(උපුටා ගැනීමකි)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435