ගෙන් ගෙට ගොස්‌ ලී බඩු විකුණන දුගියන්ගේ ළසෝ ගීතය

බැලු බැල්මට සරළව පෙනුණ ද මොවුන්ගේ ජීවිතවලට බද්ධ වී ඇති දුක්‌ කම්කටොලු කන්දරාව සුළුපටු නොවේ. මොරටුමුල්ලේ ලී බඩු සාදන මුදලාලිලාගෙන් මිලදී හෝ ණයට හෝ රැගෙන අවුත් ඒවා අලෙවි වනතුරු පාරක්‌ පාරක්‌ ගානේ, ගෙයක්‌ ගෙයක්‌ ගානේ ලී බඩු හිස මත තබාගෙන අව් කූටයේ ඇවිද යන ඔවුන් එක තැනක එක ප්‍රදේශයක නොව රටේ ඕනෑ ම තැනක අපට දැකිය හැකිය. මෙවැනි අය ළඟ වැඩිපුරම තිබෙන්නේ ලී පුටු ය. එයට හේතුව හිස මත තබාගෙන බොහෝ දුරක්‌ ඇවිද යැමට හැකි බැවිනි.

කුඩා කාලයේ පටන් තම පියා සහ සීයා සමග මහ මග ඇවිද යමින් පුටු අලෙවි කිරීමෙහි අත්දැකීම් ලද මොරටුව ඉඳිබැද්දේ පදිංචි පනස්‌ තුන් හැවිරිදි ඩී. ලාල් අපට මුණගැසුණේ පුටු වෙළෙඳාමෙහි නිරත ව සිටිය දී ය. අපි ඔහුගෙන් සිය ජීවන අත්දැකීම් විමසුවෙමු.

”මම මේ රස්‌සාවට යොමු වෙනකොට මගේ වයස අවුරුදු දොළහක්‌ විතර ඇති. ඉස්‌කෝලෙ ගිහින් ඇවිත් තාත්තා එක්‌ක පස්‌සෙන් ගියා. තාත්තා ඈත පළාත්වලට යද්දි තාත්තාත් එක්‌ක ගියා. ටිකෙන් ටික ඉස්‌කෝලෙ යැම නතර වුණා. මේ රස්‌සාවට නිකන් ම හුරු වුණා. මොරටුමුල්ලේ මඩුවල හදන පුටු අරගෙන ඇවිත් පාර අයිනේ තියාගෙන විකුණනවා. පාරේ යන එන වාහන නතර කරලා සමහරු ගණන් අහලා, කේවල් කරලා යනවා. සමහරු එවෙලේ ම කතා කරලා අරගෙන යනවා. කවුරුත් ඉල්ලන්නේ අඩු ගාණකට යි. සමහරු ඉල්ලන ගණන්වලට නම් විකුණන්න බැහැ. අපි මේවා මිලට ගන්න මුදලටත් වඩා අඩුවෙන් ඉල්ලුවා ම අපි දෙන්නේ කොහොමද… සාප්පුවලින් බාල බඩු ලොකු ගණන් දීලා මිනිස්‌සු අරගෙන යනවා. අපි අඩුවට හොඳ දෙයක්‌ දුන්නත් අඩුවෙන් තමයි හිතන්නේ. අපි මේවා ලී මඩුවලින් අරගෙන ඇවිල්ලා පාර අයිනේ තියාගෙන වැලි කරදහිවලින් මැදලා, දැව ආරක්‍ෂාව ගාලා කල්පවතින විදිහට සකසනවා. මේවා පොලිෂ් නොකරන්නේ මිලදී ගන්න එන කෙනාට මේවා හදලා තියෙන ලීය ගැන සැක හැර දැනගන්නයි. බාල ලීයෙන් හදපු සමහර ලී බඩු පොලිෂ් කරලා ලොකු ලොකු සාප්පුවල ලොකු ගණන්වලට විකුණනවා. අපටත් ඕනෙ නම් එහෙම කරන්න පුළුවන්. නමුත් ලොකු සාප්පුවලින් වැඩි මිල දීලා බඩු ගත්තාට මිනිස්‌සු අපෙන් මේ ලී බඩු ඉල්ලන්නේ තුට්‌ටු දෙකට යි. අපි සමහර දවස්‌වලට කිලෝමීටර් තිහ හතලිහක්‌ මේ පුටු ඔළුව උඩ තියාගෙන ඇවිදිනවා. මහන්සි දරාගන්න බැරි වුණා ම ඉල්ලන ගාණකට දීලා එනවා. අපි ගෙනියන මේ ලී බඩු හොඳ මදි කියලා සමහරු හිතනවා. අඩු ගණන්වලට ඉල්ලද්දී අපි ඒ ගාණට ගැලපෙන විදිහට බාල ලීවලින් බඩු හදලා විකුණනවා. හැබැයි ගෙවන මුදලට වටින බඩු විතරයි විකුණන්නේ. අපෙන් ලී බඩු අරගෙන හොඳට පොලිෂ් කරලා අවුරුදු ගණන් පාවිච්චි කරන අයත් ඉන්නවා.”

මේ අය ලී මඩුවලින් අරගෙන එන මේ බඩු පාරක්‌ අයිනේ දවස්‌ දෙක තුනක්‌ තියාගෙන විකුණන අතර බඩු ප්‍රවාහනය කරන ලොරියකට අත දාලා බඩු නැතිව හිස්‌ව යන වෙලාවකදී මේවා පුරවාගෙන වෙනත් පළාතකට රැගෙන යාමට පුරුදුව සිටී. ඒ සඳහා කාලයක්‌ තිස්‌සේ ඔවුන් සමග ප්‍රවාහන ගනුදෙනුවෙහි යෙදෙන ලොරි රථ ද ඇත. ලොකු මුදලකට ලොරියක්‌ කුලිsයට රැගෙන යැමට තරම් ඔවුන්ට වත්කමක්‌ නැති හෙයින් එසේ කිරීමට පුරුදුව සිටී. නගරයෙන් නගරයට, ලොරියෙන් ලොරියට පටවගෙන ගෙයක්‌ ගෙයක්‌ ගානේ රැගෙන යන මේ පුටු කවදා හෝ දිනක විකුණා අවසන් වනතුරු ආපසු නිවෙස්‌ බලා පැමිණීමක්‌ නම් නැත. පාරක්‌ අයිනක තියාගෙන සිටින මේ බඩු පරෙස්‌සම් කර ගැනීමට අවශ්‍ය නිසා රාත්‍රි ගණනාවක්‌ ඔවුන් මහ පාරවල් අයිනේ රැය පහන් කරනු ඇත. වැස්‌සක්‌ ඇද වැටෙන ලකුණු දුටු සැනින් ඒවා අහල පහල පෙනෙන වහළක්‌ යටට ගොඩගසා ගන්නා ඔවුන් වැස්‌ස නිමවූ වහා ම ඒවා යළි පාර අයිනට රැගෙන එනු ඇත. මෙවන් වූ කටුක ජීවිකාවකට හුරුවී සිටින ඔවුන්ගේ දරුවන් ජීවත් කරවන්නේ මෙසේ ඉඳහිට පුටුවක්‌ දෙකක්‌ විකුණා ගන්නා මුදලිනි. බොහෝවිට මෙවැනි පවුල්වල පිරිමි දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වන අතර ඔවුන් මෙයට යොමු වන්නේ නිරායාසයෙනි. මෙම රැකියාවෙහි ම නියුතු ඉඳිබැද්දේ ඩී. සුනිමල්ගේ අත්දැකීම් මෙසේ ය.

”ඉස්‌සර නම් මේ රස්‌සාවෙන් ලාබ ලැබුණා. අපි පුටුවක්‌ ඔළුවේ තියාගෙන වැඩි දුර ඇවිද්දේ නැහැ. අපට කතා කරලා මිනිස්‌සු මේවා මුදලට ගත්තා. දැන් ප්ලාස්‌ටික්‌ පුටු තියෙන නිසා මිනිස්‌සු මේ පුටු ගණන් ගන්නේ නැති තරමයි. අපි ගෙවල්වලට ගියත් අපි ව එළව ගන්න තමයි සමහරු බලන්නේ. දවසක්‌ අපේ කෙනෙක්‌ එහෙම ගෙදරකට ගියා ම ඒ ගෙදර හිටපු බල්ලෙක්‌ කාලා සෑහෙන කාලයක්‌ වෙදකම් කළා. එයාගෙ වෙළෙඳාමත් ටික දවසකට නතර වුණා. අනික අපෙන් කවිච්චි ඉල්ලන්නේ රුපියල් හාරපන් දහසට යි. නමුත් සාප්පුවල පොලිෂ්වලින් වහපු කවිච්චි ලොකු ගණන්වලට විකිණෙනවා. දවසක්‌ අපේ කෙනෙක්‌ ගිය පාරක වෙන කවුද කට්‌ටියක්‌ කඩයක්‌ හොරකම් කරලා. හොරු අල්ලන්න දුවගෙන ආව මිනිස්‌සු අපේ කෙනාව අල්ලගෙන ගහලා. යන්තම් ගෙදරක පුටුවක්‌ ගත්ත නෝනා කෙනෙක්‌ මෙයාව හඳුනගෙන කෑ ගහලා අනිත් අයට කියලා තිබුණා. ඒත් ටික දවසක්‌ තැල්මට වෙදකම් කළා. නොදන්න පළාත්වල ඇවිදලා අපේ අය කරදරේ වැටිලා තියෙනවා. ඒත් මොනවා කරන්න ද අපට ඇවිදින්න වෙනවා. අපේ තාත්තා මාළු රස්‌සාව කරන අතරේ මේ රස්‌සාවත් කළා. ඒ කාලේ කීපදෙනයි මේ රස්‌සාව කළේ. ජංගම වෙළෙඳාමේ යන අයට ඉස්‌සර හැඳුනුම්පතක්‌ තිබුණා. ඒක අපේ ආරක්‍ෂාවට හේතු වුණා. දැන් එහෙම දෙයක්‌ නෑ.”

වයස අවුරුදු හැටක්‌ වන කඩලානේ එස්‌. ප්‍රනාන්දු මේ රැකියාවට අවතීර්ණ වී ඇත්තේ පහළොස්‌ වැනි වියේදී ය. ගාමිණි සිල්වා මේ රැකියාවෙන් දරුවන් තිදෙනකු සමග පවුලක්‌ නඩත්තු කරන අයෙකි.

”අපට මේ ලී කුඩු නිසා නිතර ලෙඩ හැදෙනවා. අපි මේවා වැලි කරදහි දාලා මදින්නේ එළියේ තැන් තැන්වල තියාගෙනනේ. ඉතිං හුළං පාරට මේවා අපේ ඇහේ කටේ නාහෙ යනවා. අපිත් එක්‌ක වැඩ කරන ජෝසප් අංකල්ට හතිය හැදෙනවා. ඒ ලෙඩේ හැදුණේ මේ රස්‌සාව නිසයි. එයා නිතර ම කරන්නේ පුටු මදින එකයි. වැඩිපුර නැවිලා ඉන්න නිසා කොන්දේ කැක්‌කුමකුත් තියෙනවා. මේක රස්‌සාවක්‌ වගේ ම මිනිස්‌සුන්ට ඕනේ කරන දෙයක්‌ ලබා දීමක්‌ විතරක්‌ නෙවෙයි මේකෙ කලාවකුත් තියෙනවා. මේක රැක ගන්න පුළුවන් වැඩපිළිවෙළක්‌ අපට අවශ්‍යයි.Êඒ වගේ ම අපේ ජීවිතවලට ආරක්‍ෂාවකුත්, අපේ පවුල්වල උදවියට රැකවරණයකුත් තියෙනවා නම් බය වෙන්න දෙයක්‌ නැහැ. අපි වෙනුවෙන් යමක්‌ කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.”

ඒ මේ රටේ එක්‌ ජන කොට්‌ඨාසයකගේ ළසෝ ගීය වේ නම් එවැනි දුක්‌ ගැනවිලි තව කොතෙක්‌නම් තිබේද………. අවශ්‍ය වන්නේ ඔවුන්ගේ කඳුළු පිස දැමීම නොව කඳුළක්‌ නොවැටී සිනාසෙන්නට මඟක්‌ පාදා දීම ය.

තුෂාරී කළුබෝවිල – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435