ගෙවතු වවා අර්බුදය ජයගත හැකිද?- චින්තක රාජපක්ෂ, ජාතික ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

`කොරෝනා වෛරසය ලෝකයට අගුලූ දමා ඇත. ඇස ගැටෙන තැනක සිට මුළු ලොවක් අර්බුද ගණනකට තල්ලූ කරමින් සිටී. එකිනෙකා මත ජීවත් විය හැකි යැයි විශ්වාස කළ ජනතාවක් සමාජ දුරස්ථභාවයට පත් කර තිබේ. මිනිස් සබඳතා දුරස්වන විට සොබාදහම එකිනෙකා වැළඳගනිමින් නැවුම් බලාපොරොත්තු ඇති කර ගනිමින්, මහපොළොව සුවපත් කරමින් සිටී. ලෝකයට සමාප්ති කාලය අවසන් කිරීමට කාලය එළැඹ තිබේ.

ගෝලීය ආහාර නිෂ්පාදනය

වියා කැම්පසිනා සුලු ගැමි ගොවි ලෝක ව්‍යපාරය පවසා සිටින්නේ පවතින අර්බුදය සමඟ ලෝකයේ 72% පමණ වූ සාම්ප‍්‍රදායක හෝ කුඩා පරිමාණ කෘෂිකර්මයේ යෙදෙන්නන්, සතුන් ඇතිකරන්නන්, මසුන් මරන්නන්, වන වගාවල නිරත වෙන්නන්, දඩයක්කරුවන්, එකතු කරන්නන්, සහ ගොවිතැනට අදාළ වන හෝ ආශ‍්‍රිත හස්ත කර්මාන්ත වැනි සහ ග‍්‍රාමීය කර්මාන්ත වල රැකියාවල නිරතවන්නන්ට දැඩි බලපෑමක් ගෝලීය මට්ටමින් ඇතිකර තිබෙන බවයි. විශේෂයෙන්ම වත්මන් ආහාර නිෂ්පාදනය හා පාලනය සම්පූර්ණයෙන් ගොවියාගෙන් උදුරා ගෙන ඇති මොහොතක හටගැනී තිබෙන අර්බුදයන් සමග තව දුරටත් සුලූ පරිමාණ නිෂ්පාදකයින් අර්බුදවලට ගමන් කරන බවයි. එම නිසා වහාම බහු ජාතික සමාගම් හා අන්තර් ජාතික මුල්‍ය ආයතන වලින් යැපෙන නිෂ්පාදන මාදිලිය අහෝසි කර, නිෂ්පාදන අයිතිය සුලූ නිෂ්පාදකයින්ට, සුලූ ගොවීන්ට හා ග‍්‍රාමීය ජනතාවට පැවැරෙන පරිදි වත්මන් රාජ්‍ය ආර්ථික හා කෘෂිකාර්මික ප‍්‍රතිපත්ති වෙනසක් ඇති විය යුතු බවට අවධාරණය කොට ඇත.

ලෝකයට ඇත්තේ ආහාර නිෂ්පාදනයේ අඩුවක් නොවන අතර ඇත්තේ ආහාර බෙදා ගැනීම කා සතුද යන ප‍්‍රශ්නයයි. ඒ තුළ තිබෙන්නේ දේශපාලනික ගැටලූවකි. පිළිතුරත් දේශපාලනික විය යුතුයි. සම්පත්වල අයිතිය, මිල කිරීම, බෙදාහැරීම, පාලනය තවම ඇත්තේ එහි ඇත්ත අයිතිකරුවන් මත නොවන නිසා අතිවිශාල ජනතාවක් දිළින්දන් බවට පත් වී ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය 2019 වර්ෂයේ ලෝක ආහාර දිනය නම් කොට තිබුනේ “2030 දි සාගින්න දුරු කිරීමට පෝෂ්‍ය ආහාර වේලක්“ යන්නයි. ඒ වන විටත් සමස්ත ලෝක ජනගහනයෙන් මිලියන 820 ක් එනම් 10.7% පමණ පිරිසක් දිළින්දන්ය. ඔවුන් සියලූ දෙනාට 2030 වන තෙක් සාගින්න දුරු කිරීමට බලා සිටින්නට සිදු වේ. එම කාලය උදා වන විට මේ පිරිසට අලූතින් ඇතුළු වන පිරිස ඉහළ යනු ඇත. සාගින්නේ සිටින බහුතරයක් මිය යනු ඇත. ආහාර නොමැතිව දිළින්දන් මිය යන විට රටවල් විසින් ජීව ඉන්ධන නිපදවීමට ආහාර බෝග යොදා ගැනීමට තරම් සාහසික වී ඇත.

ආචාර්ය වන්දනා ශිවා ඇයගේ බීජ නීතිය (ථෙ ළව් ඔෆ් තෙ Sඊඩ්) නැමැති කෘතියේ දක්වා ඇත්තේ පරිණාමය යනු සොබාදහම විසින් තෝරා ගැනීමට ඇති හැකියාව ලබාදෙන ක‍්‍රමය බවයි. තෝරා ගැනීම පැවතීම සඳහා සොබාදහමට විවිධත්වය තිබිය යුතුය. විවිධත්වය යනු ගොවියාටද, අභිජනනකරුවාටද, පොදුවේ කෘෂි විද්‍යාඥයාටද පදනම සපයයි. පරිණාමයට ඉඩසැලසීම සඳහා අපට විවිධත්වය අවශ්‍ය ය. ඒ අනුව අවශ්‍යතාවට අනුව හැඩගැසීම සඳහා ද විවිධත්වය අවශ්‍ය වෙයි. බෝග සඳහා හොඳම ගති ලක්‍ෂණ තෝරා ගැනීම සඳහා ද විවිධත්වය අවශ්‍ය වෙයි. මෙම විවිධත්වය පරම්පරා දහස් ගණනක් පුරා වර්ධනය වූවකි. අනාගතයේ බිහිවන අය සඳහා මෙම විවිධත්වය ආරක්‍ෂා කර දීම අපගේ යුතුකමය. තවද බිය උපදවන වේගයෙන් කෘෂිකාර්මික ජෛව විවිධත්වය අහිමි වෙමින් පවතින අතර, අතීතයේ දස දහස් ගණනක් ශාක ප‍්‍රභේද ආහාරයට ගනු ලැබූවත් අද 90% ක් සැපයෙන්නේ බෝග වර්ග 120 කින් පමණය. ශාඛ වර්ග 12 ක් සහ සත්ව වර්ග 5ක් සියලූ මිනිස් ආහාර වලින් 70% වකට වැඩි ප‍්‍රමාණයක් සපයයි. ශාඛ වර්ග හතරක් පමණක් (අර්තාපල්, සහල්, බඩ ඉරිඟුහා තිරිඟු) හා සත්ව වර්ග තුනක් (ගවයින්, ඌරන් සහ කුකුළන්) විසින් මිනිස් ආහාරවලින් අඩකට වැඩි ප‍්‍රමාණයක් සපයයි.

මෙයින් පැහැදිලි වන්නේ ලොව පුරා ස්වභාවිකව පවතින ආහාර විවිධත්වය දැනුවත්ව අහිමි කොට ඇති බවයි. විශාල ලාභයක් ලැබිය හැකි, ප‍්‍රවාහනය හා ගබඩා කිරීමට පහසු, කල්තබා ගැනීමට හැකි සීමිත ආහාර ප‍්‍රමාණයක ඒකාධිකාරී බලයක් (ලෝක බීජ වෙළෙඳාමෙන් 60% ක අයිතිය ඇත්තේ බහු ජාතික සමාගම් තුනක් මත) සමාගම් අතලොස්සක් මත තබා ගැනීමට ඉඩ හැර ඇත.

ලොව පුරා සිදුකරන කාර්මික කෘෂිකර්මාන්තය පවත්වාගෙන යාම සඳහා වනාන්තර කැපීම, විශාල ඒක බෝග වගාබිම් සඳහා රසායනික පොහොර හා කෘමිනාශක භාවිතය, මහා පරිමාණ ගොවිපොළ තුළින් සිදුවන සත්ව මල හා අපද්‍රව්‍ය, ගොවිපොළවල් සඳහා සිදු කරන අමුද්‍රව්‍ය ප‍්‍රවාහනය, ආහාර සැකසීම් හා ඇසුරුම්, අධිශීතාගාර තුළ ආහාර රඳවා තැබීම (විශේෂයෙන් සුපිරි වෙළෙඳ සැල් තුළ) හා කාබනික අපද්‍රව්‍ය නිසා ගෝලීය උණුසුම වැඩි කරන කාබන් විමෝචනය සඳහා 52%ක දායකත්වයක් ලබා දෙනු ඇත.

ලෝක බැංකු, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක වෙළෙද සංවිධානය, වැනි මුල්‍ය ආයතන හා සංවිධාන විසින් සිදු කරමින් සිටින්නේ එවැනි කෘෂිකර්මාන්තයක් පවත්වා ගෙන යාමට ගෝලීය මට්ටමින් අවශ්‍ය රාජ්‍ය අනුග‍්‍රහය ලබා ගැනීමට ණය හා ආධාර ලබා දීමයි. අප රටටත් එවැනි අමිහිරි අත්දැකීම් ගණනාවකට මුහුණ දීමට සිදු වී ඇත.

ලංකාව තුළ සිදුවන්නේ කුමක්ද?

ලංකාව තුළ සිදුවන්නේ හරිත විප්ලවය විසින් හඳුන්වා දුන් රසායනික කෘෂිකර්මාන්තයයි. 2005 වර්ෂයෙන් පසුව එයට රසායනික පොහොර සහනාධාරයක්ද එකතු විය. එය මේ දක්වා ක‍්‍රියාත්මක වේ. රසායනික ගොවිතැන සමග අප මතට කඩා වැටුණු සමාගම්වල ආධිපත්‍ය සුපුරුදු පරිදි ක‍්‍රියාත්මක වේ. උදාහරණයකට ලංකාවට බිත්තර වී බීජ නිෂ්පාදනයෙන් තවමත් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දිය හැක්කේ 30% පමණි. උඩරට එළවළු බීජ සියල්ල ආනයනය කරනු ලබයි. පහතරට එළවළු බීජ අවශ්‍යතාවයෙන් 20% පමණයි රජයට සැපයිය හැක්කේ. මේ වන තෙක් කිසිදු රසායනික පොහොර වර්ගයක් රට තුළ නිෂ්පාදනය කරනු නොලැබේ. මින් අදහස් වන්නේ ලංකාවේ ගොවිතැන තවමත් විදේශීය බීජ හා පොහොර මත රඳා පවතින බවයි.

දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් මේ වන විටත් ක‍්‍රියාත්මක වන පොහොර සහනාධාර වැඩසටහන 2020 යල කන්නයේ සිට නොමිලයේ සියලූ පොහොර ලබා දීම ආරම්භ කොට ඇත. (අක්කරයක් සඳහා යුරියා කිලෝ 85, මියුරියේට් ඔෆ් පොටෑස් කිලෝ 19.5, ටී.එස්.පී පොහොර කිලෝ 20.5 ලෙස) වාර්ෂිකව රුපියල් මිලියන 71000 ක් මේ සහනාධාරය වෙනුවෙන් රජය දරනු ඇත. ප‍්‍රතිඵලය කුමක් විය හැකිද?

අනෙක් කාරණය වන්නේ වාර්ෂිකව ආහාර ආනයනය සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීමයි. මෙයට මුහුණ දීමට සැලසුම් සකස් කරන බව ආණ්ඩු කරවූ සියලූ දෙනා පැවසූ අතර පසුගිය වසර 15 කාලය තුල ප‍්‍රධාන බෝග වර්ග 05කින් රට (වියළි මිරිස්, බී ලූනූ, අර්තාපල්, බඩඉරිඟු, සෝයා බෝංචි) ස්වයංපෝෂිත කිරීමට කටයුතු කරන බවට පොරොන්දු විය. ඒවා සියල්ල පොරොන්දු පමණක් වී ඇත. සියලූ දේ තවමත් ආනයනය කරන අතර වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 16 ඉක්මවන මුදලක් ඒ සඳහා වැය කරනු ලබයි.

ආහාර ආනයනය කරනු ලබන රටවල් දෙස බැලීමේදී එම රටවල් බහුතරයක් මේ වන විටත් අර්බුද ගණනාවකට මුහුණ දී සිටී. උදාහරණ ලෙස ආනයන කරන ප‍්‍රමාණයෙන් (අල – පකිස්ථානයෙන් 34%, ඉන්දියාවෙන් 33%, චීනයෙන් 21%, ලූනු – ඉන්දියාව 93%, තිරිඟු- කැනඩාව 56%, රුසියාව 17%, පිටි- නවසීලන්තය 76%, ඕස්ට්‍රේලියාව 16.%, සීනි- බ‍්‍රසීලය 36%, ඉන්දියාව 27%) ආදී රටවල් වලට බෙදී යයි. අවම වශයෙන් ඉදිරි වසර 05 ක කාලයක් සෑම රටකටම තමන්ගේ ආර්ථික ස්ථාවරත්වය ගොඩනගා ගැනීමට වැය වනු ඇත. එමගින් රට අභ්‍යන්තරයේ ඇති වන පීඩනයන්ට මුහුණ දීමට හැකි සමස්ත සැලැස්මක් ඉදිරිපත් වීමට තිබෙන අවස්ථාව මේ වන විටත් මග හැරී ඇත.

අනෙක් කාරණය වන්නේ 2050 වර්ෂය වන තෙක් සකස් කර ඇති ජාතික භෞතික සැලැස්මට අනුව ප‍්‍රධාන ආර්ථික කලාප පහකට (බස්නාහිර, දකුණ, උතුරුමැද හා නැගෙනහිර පළාත් අධිනාගරික කලාප) දැනටමත් ලංකාව වෙන් කර ඇත. එහි ඇති සියලූ සම්පත් (මානව හා භෞතික) සියල්ල ප‍්‍රයෝජනයට ගත හැකි වන පරිදි අවශ්‍ය සංවර්ධන සැලසුම් සකස් කර අවසන්ය. එම සැලසුම් දැනටමත් සකස් කර ඇත්තේ බහුතර පීඩිත ජනතාවකගේ වුවමනාවන් ඉටු කර දීමට නොවන අතර, ඔවුන්ට අනිවාර්යෙන්ම සිදු වන්නේ තම ගම්බිම් අතහැර නගර වල අතරමං වීමටය. අප දැන් ප‍්‍රශ්න කළ යුත්තේ ඉදිරිපත් කර තිබෙන මුලූ ආර්ථික සැලැස්ම නැවත සලකා බැලීමට හා කෘෂිකර්මාන්තයට තීරණාත්මක මැදිහත්වීමක් සිදු කර එහි පවතින අර්බුද විසඳා ගැනීමට සුදානම්ද යන්නයි.

ගොවිතැන් උන්මාදය

ඉතිහාසය පුරා වරින් වර පැවති රජයයන් විසින් විවිධ කෘෂිකාර්මික වැඩසටහන් ආරම්භ කොට ඇත. ඒවා කිහිපයක් පහත පරිදිය. 2007 ඇති වු ලෝක ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා “අපි වවමු-රට නඟමු“ ගෙවතු 40 ලක්ෂයේ වැඩසටහන. 2010 වර්ෂයේ ආරම්භ කළ ගෙවතු 10 ලක්ෂයේ වැඩසටහන. 2015 වර්ෂයේ ආරම්භ කළ “ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන“. එම වර්ෂයේම ආරම්භ කළ “වස විසෙන් තොර ගොවිතැන් ජාතික වැඩසටහන“. ‘සිතමු කාන්තා ගොවි සමිති‘ 25000 ක් ගොඩනැඟීමේ වැඩසටහන, 2020 ආරම්භ කර ඇති “සෞභාග්‍යයේ ගෙවත්ත“ ගෙවතු දශලක්ෂයේ වැඩසටහන (එය ගෙවතු 20 ලක්ෂයක් දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත) ආදී මහා පරිමාණ ව්‍යාපෘති හා සමෘද්ධිය, දිවිනැඟුම, ගැමිදිරිය වැඩසටහන් යටතේ සිදුකර ඇති මැදිහත්වීම්ය.

ඇති වී තිබෙන අර්බුද හමුවේ සියලූ ජන කණ්ඩායම් අතර, ගොවිතැන් කිරීමේ උන්මාදයක් ඇතිව තිබේ. එය හොඳ දෙයකි. නමුත් දැන් සිදුවෙමින් තිබෙන්නේ මේ උනන්දුව හා මැදිහත්වීම කෘෂිකර්මාන්තයේ පරිවර්තනයක් සඳහා යොදවා ගැනීමට හැකිද යන්නයි. නොමිලයේ හෝ ඉතා අඩු මුදලකට බීජ හා පැළ ලබා දීම මගින් ආරම්භයක් ගත හැකි වුවත්, ලංකාව තුළ ඇති වී තිබෙන කෘෂිකර්මාන්තයේ අර්බුදයට මුහුණ දීමට සමස්ත මැදිහත්වීමක් අවශ්‍යයි. එය තේරුම් ගැනීමට හෝ පාලකයන් සමත්වී සිටින බවක් නොපෙනේ. සුපුරුදු ලෙස මාධ්‍ය යොදා ගනිමින් ජනතාව තුළ ගොවිතැන අරබයා හැඟීමක් ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටියි. රජය විසින් යෝජනා කර ඇති ගෙවතු වැඩසටහන තාවකාලික බවත්, ආහාර ප‍්‍රවේශයන් පිළිබඳ හදිසියේ ජනතාව තුළ පවතින බිය අනාගතයේ පහව ගිය විට මේ උනන්දුව කඩා වැටීමට නියමිතය.

තෝරා ගන්නා බීජ වර්ග කිහිපයක් පමණක් එකම ආකාරයට ලංකාව පුරා බෙදා හැරීමෙන් අත්වන ඉරණම වන්නේ වෙළෙඳ පොළ තුළ බීජ හිඟයක් ඇතිවීම පමණක් වනු ඇත. ගොවිතැන ගෙවතු වගාවෙන් තවත් අදියර කිහිපයකට යා යුතුය. ඒ සඳහා ගමන් කිරීම හුදු බීජ පැකට්ටුවක් ලබා දීමෙන් කළ නොහැකි වනු ඇත. මේ වන විටත් ගොවියා ආරක්ෂා කර ගැනීමට කිසිදු යාන්ත‍්‍රණයක් සැකසීමට උත්සාහ නොගන්නා අතර, වානිජ මට්ටමේ සිටින කෘෂි සමාගම් හා වෙළෙන්දන් විසින් උපරිම වාසියක් ලබා ගැනීමට මෙය අවස්ථාවක් කර ගෙන ඇත.

අර්බුදය වටහා ගැනීම

උදා වී තිබෙන අවස්ථාවෙන් සියලූ පාර්ශව එනම්, රජය, ගොවීන්, පාරිභෝගිකයන්, බෙදාහරින්නන්, රාජ්‍ය නිළධාරීන් ඇතුළු පවතින ව්‍යුහයන් ඒකාබද්ධ වූ ප‍්‍රවේශයක් සකස් කර ගැනීමට යොමු විය යුතුය. නමුත් සිද්ධ වීමට නියමිත ඇත්තේ හුදකලාව එකි නෙකට වෙනස් ගමනක් යාමට සුදානම් වීමයි. මේ නිසා ඉදිරියේදී කෘෂිකාර්මික ගැටළු උග‍්‍ර වනු ඇත. දැනටමත් විවිධ මට්ටමින් ඒකාධිකාරී තත්ත්වයක් ඇති කර ගෙන ඇත. උදාහරණයකට සහල් වෙළෙඳපොළ පාලනය සමාගම් අතලොස්සකගේ පාලනයට රැගෙන ඇත. පසුගිය වසර ගණනාවක් පුරා මෙරට සුලූ පරිමාණ මෝල් හිමියන් විනාශ කොට අත්පත් කරගත් වෙළෙඳ ආධිපත්‍ය ව්‍යසනයන් අවස්ථාවලදී උපරිම ලාභය වෙනුවෙන් යොදවා ගෙන ඇත.

දශක 05 කට වඩා අඛණ්ඩව ගෙන යමින් තිබෙන කෘෂිකර්මාන්තය තුළ පවතින සැබෑ අභියෝගයන් තේරුම් ගැනීමට උත්සාහ කිරීමට තවමත් රජය අසමත්වී ඇත. මේ තත්ත්වය තේරුම් ගැනීම සඳහා මතු වී ඇති සැබෑ ගැටළු කිහිපයක වර්තමාන තත්ත්වය සලකා බලමු.

01. ආහාර ස්වෛරීභාවය රැකගැනීම වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද? ඒ සඳහා අපට අවශ්‍ය ගොවිතැන් ක‍්‍රමය කුමක් විය යුතුද? හරිත විප්ලවය මගින් හඳුුන්වා දුන්, සමාගම් විසින් ආධිපත්‍ය තහවුරු කරගත්, ආහාර නිෂ්පාදනය හා පාලනය සම්පුර්ණයෙන් එහි ඇත්ත අයිතිකරුවන් වූ ගොවීන්ගෙන් උදුරාගත්, විශාල වෙළෙඳපොළ බලයක් සීමිත පිරිසක් අතට පත්වූ, පාරිභෝගිකයන් ලෙස ඉහළ අතිරික්ත වටිනාකමක් ගෙවා මිලදී ගැනීමකට නතුවී ඇති, ආහාර මගින් පෝෂණය හා ප‍්‍රතිශක්තිකරණයක් ඇති කර ගැනීමට නොහැකි වී ඇති මොහොතක, පස හා ජලය විස මගින් දුෂණය කොට පවත්වාගෙන යන කෘෂිකර්ම ක‍්‍රමය වෙනස් කිරීම සඳහා දැඩි පියවරක් තබන්නට අසමත් වී ඇති පාලන ක‍්‍රමයක් අඛණ්ඩව පැවතීමෙන් කිසිදු වාසියක් සාමාන්‍ය ජනතාවට නොලබෙනු ඇත. ආහාර සුරක්ෂිතභාවය නැමැති ඉතා පටු ඉලක්කයක් සපුරා ගැනීමට සකස් කර ඇති ප‍්‍රතිපත්ති හා වැඩසටහන් මගින් විශාල වාසියක් අත්පත් කර ගැනීමට නොහැකි වී ඇත.

ආහාර සුරක්ෂිතතාවය යනු එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුව, ක‍්‍රියාකාරී සහ නීරෝගී දිවියක් සඳහා අවශ්‍ය ප‍්‍රමාණයට, සියලූ ජනයාට, සෑම අවස්ථාවකදීම ආරක්ෂාකාරී (සෆෙ) හා පෝෂණයෙන් යුතු වූ, තම අභිමතයට අනුකූල වන ආහාර අවශ්‍යතාව ළඟාකරගත හැකි වීමයි. මෙයට ළඟා වීමට නොහැකි බහුතරයක් ජනතාව මේ තුළින් පිටමන් කරනු ඇත.
ආහාර ස්වෛරීභාවය යනු විවිධ රටවල හා එහි ප‍්‍රජාවනට ඔවුන්ගේ ආහාර සපයා ගැනීම පාලනය කර ගැනීමේ අයිතියයි. නිපදවිය හැක්කේ කෙබඳු ආහාර ද, කුමන තත්ත්වයක් යටතේද, කුමන ආහාරයක් ආනයනය කළ යුතුද යන්න ඔවුන්ට තීරණය කළ හැකි විය යුතුය. එනම්, තමන් ට ගැළපෙන ආහාර හා කෘෂිකාර්මික ක‍්‍රම තෝරා ගැනීමට සහ මානව හිමිකම්වලට ගරු කරන, පරිසර හිතකාමී හා තිරසර ක‍්‍රමවේදයන් මගින් සකසාගත්, සෞඛ්‍ය සම්පන්න සහ සංස්කෘතික වශයෙන් යෝග්‍ය ආහාර තෝරා ගැනීමයි. මේ මගින් කිසිදු පුද්ගලයෙකු පිටමන් නොකරන අතර සියලූ දෙනාගේ පැවැත්ම සහතික වනු ඇත.

02. නිෂ්පාදිත ආහාර සියලූ දෙනාට සාධාරණ වන ආකාරයට මිල කර බෙදා ගැනීමට ඇති හොඳම ක‍්‍රමය කුමක්ද? අප ගොවියාත්, පාරිභෝගියාත් රැක ගැනීම සඳහා රජය විසින් සිදුකළ මැදිහත්වීම් වල අත්දැකීම් ඇති රටකි. නමුත් 1977 පසුව මාක්ෆෙඞ්, වී අලෙවි මණ්ඩලය, සමූපකාර සමිති ආදී ජනහිතකාමී රාජ්‍ය ව්‍යුහයන් ක‍්‍රමානුකූලව විනාශය මුඛයට යැවිනි. නැතිනම් එවැනි ආයතනවල තිබූ බලය පෞද්ගලික අංශයට ලබා ගත හැකි වන පරිදි රාජ්‍ය දුර්වල කොට වගකීම් පවරන ලදී. දැන් අප අත්විඳිමින් සිටින්නේ එයට එරෙහිව වෙළෙඳ පොළ මත ගොඩනැගී ඇති මහා පරිමාණ සමාගම් විසින් නතු කර ගෙන තිබෙන වෙළෙඳ මාෆියාවය.

අද වන විට ගොවීන් යනු දින මාස ගණනක් බෝග වගා කිරීම සඳහා තම ශ‍්‍රමය හා මුදල් වියදම් කොට අවසන් වශයෙන් කිසිදු නිෂ්පාදනයකට පාලන මිලක් නියම කර ගැනීමට නොහැකි වී ඇති පිරිසකි.
ඇසුරුම් කළ ආහාර ද්‍රව්‍ය මෙන් නොව දෛනිකව අස්වනු නෙලන බෝග බෙදා හැරීම හා කල්තබා ගැනීමට හැකි නවීන ක‍්‍රමයන් හා මැදිහත්වීම් සඳහා මේ වන විටත් රජයට මැදිහත්වීමට නොහැකි වී ඇත. දිගු කාලීනවද සැලැසුමක් පවතී යැයි විශ්වාස කළ නොහැකිය. විධිමත් බෙදා හැරීම් ක‍්‍රමයක් සකස් වී නැත. දඹුල්ල, මීගොඩ, නුවරඑළිය, තඹුත්තේගම හා මැනිං වෙළෙඳ පොළ ආදී ලංකාව පුරා විවිධ මට්ටමේ ආර්ථික මධ්‍යස්ථාන සකස් කළ පමණින් එහි වාසිය පාරිභෝගියන්ට ලබා දීමට නොහැකි වී ඇත. වඩා වැදගත් වන්නේ මේ අතර මැද අලෙවි දාමය හැකි තරම් කුඩා කොට ඒ අතර මැද ගොවීන් හා පාරිභෝගිකයන් සම්බන්ධ වූ ජාලයක් ස්ථාපිත කිරීමය. ඒ සඳහා වඩා සුදුසුම ක‍්‍රමය වන්නේ සමූපකාර ක‍්‍රමයයි. දැනටමත් ක‍්‍රියාත්මකව පවතින 1000 පමණ වන සමූපකාර පද්ධතිය ශක්තිමත් කර ඉදිරියට ගැනීම කළ යුතුය. එමෙන්ම ගොවි සමූපකාර හා ගොවි සංවිධාන ශක්තිමත් කළ යුතුය. මිල හා හැසිරවීම එවැනි කණ්ඩායම් වලට බාර දිය යුතුය. මේ අවස්ථාවේ දී වඩා ශක්තිමත් මැදිහත්වීමක් සමූපකාරය සඳහා රජය විසින් ලබා දිය යුතු වන්නේ, සුපිරි අලෙවි සැල් ජාලයෙන් පමණක් පාරිභෝගිකයාටත්, නිෂ්පාදකයාටත් වාසියක් ලබා දිය නොහැකි බව ජනතාව ඉදිරියේ ඔප්පු වී ඇති නිසාවෙනි.

03. නොමිලයේ රජය විසින් ලබා දෙන කෘෂිකර්ම සහනාධාර මගින් ආහාර, පෝෂණය, ප‍්‍රතිශක්තිකරණය, ගුණාත්මකභාවය, ඉහළ නැංවීමට හැකිද? වත්මන් රජය විසින් සියලූ දෙනාට නොමිලයේ පොහොර ලබා දීමට තීරණය කිරීමත් සමග ඒ තුළින් සමස්ත කෘෂිකර්මාන්තයට සිදුවන බලපෑම තක්සේරු කොට නැත. වැඩි වැඩියෙන් රසායනික පොහොර භාවිතය ඉහළ යන අතර, ගෙවතු වගාවන් ඉතා ආකර්ශණිය වූවාට සමස්ත කෘෂිකර්මය විනාශකාරී වනු ඇත. පරස්පර ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක වීම අපට නුහුරු අත්දැකීමක් නොවේ. පසුගිය යහපාලන රජය විසින්ද මේ දෙබඩි පිළිවෙත අනුගමනය කොට ඇත. උදාහරණයක් ලෙස ග්ලයිපොසේට් වල්නාශකය ලංකාවට ගෙන්වීම නතර කරවීමට ගත් තීරණය අඛණ්ඩව ක‍්‍රියාත්මක නොවීම දැක්විය හැකියි.

වකුගඩු රෝගය ඇතුළු බෝනොවන රෝගයන්ගේ ව්‍යාප්තිය ඉහළ යමින් තිබේ. අප ආහාරයට ගන්නා සියලූ දේ ඉතා අධික රසායනික විස මුසු වී ඇති අතර, කිසිදු අයුරකින් ශරීරයට හිතකර නොවේ. පරිසරයට විශාල රසායනික ප‍්‍රමාණයක් මුසු කොට ඇත. තීරණාත්මකව රජය කළ යුත්තේ කෘෂිකර්ම සහනාධාරය ආහාර ස්වෛරීභාවය රැක ගැනීමට හැකි වන පරිදි වෙනස් කර ලබා දීමට කටයුතු කිරීමයි. ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි පොදු පහසුකම් දියුණුවට යෙදවිය යුතු ජනතා බදු මුදල් මහා පරිමාණයෙන් බහු ජාතික සමාගම් වලට විදේශීය රටවල් වලට ලබා දීම සමාජයක් ලෙස අප ප‍්‍රශ්න කළ යුතුය.

04. විවිධ ගිවිසුම්, නීති, අනපනත්, ප‍්‍රතිපත්ති, කොන්දේසි මගින් රටේ ආහාර ස්වෛරීභාවය වෙනුවෙන් බලපෑම් ඇති වී තිබේ ද? ගෝලීය මෙන්ම ජාතික මට්ටමින්ද අප මුහුණ දී සිටින්නේ මේ අර්බුදයන් තුළය. විශේෂයෙන් කෘෂි ව්‍යාපාර විසින් වෙළෙඳ පොළ ඉලක්ක කොට ගෙන සිදු කරමින් තිබෙන මහා පරිමාණ කෘෂි වෙළෙඳාම නිසා ඇති වී තිබෙන තත්ත්වයන්ය. ඒ වෙනුවෙන් රටවල් තුළ ඇති කොට තිබෙන ප‍්‍රතිපත්ති වල වෙනස් කම් නිසා සිදු වී ඇති බලපෑම්ය. 1996 වර්ෂයේදී ලංකාවට ලෝක බැංකුව කියා සිටියේ තව දුරටත් කුඩා මට්ටමින් වගාවන් සිදු කිරීම හා නඩත්තු කිරීම ආර්ථිකය ඉදිරියට ගෙන යාමට බාධාවක් බැවින්, ඒ වෙනුවට ගෝලීය වෙළෙඳ පොළ හා තරග කළ හැකි මහා පරිමාණ වානිජ වගාවන් වලට යොමු වන ලෙසය . තවද ලංකාව තුළ කාලයක් පුරා ජලය නොමිලේ ලබා දීම මගින් ජල නාස්තියක් සිදු වී ඇති අතර, ඒවා පවත්වා ගෙන යාමට දරන වියදමට සාපේක්ෂව ලාභයක් ලබා දීමට නොහැකි වී ඇති බවය . ඒ නිසා හැකි ඉක්මනින් මහා පරිමාණ වගාවලට යාමට තිබෙන බාධාවන් ඉවත් කොට විවිධ සහන ක‍්‍රම (බදු, ඉඩම් නීති ලිහිල් කිරීම) ආයෝජනය කළ හැකි පුද්ගලයන්ට ලබා දීමට කටයුතු කරන ලෙසය. දැන් මුහුණ දී සිටින්නේ ජාතික ආර්ථිකයට 7% ක දායකත්වය ලබා දෙන කෘෂිකර්ම ක්ෂේත‍්‍රයට නැවත පන ගන්වනනේ කෙසේද යන අභියෝගයටය. ලෝක වෙළෙද සංවිධානයේ සාමාජික රටක් ලෙස ඔවුන් විසින් ක‍්‍රියාත්මක කිරීමට බලකොට ඇති තීරුබදු හා සේවා පිළිබඳ වෙළෙඳ ගිවිසුම් මගින් දැනටමත් කෘෂිකර්මාන්තයට බලපෑම් ඇති කොට තිබේ. එවැනි ගිවිසුම් වල ඇති කොන්දේසි වලට යටත් නොවීමට අපට ඇති ශක්තිය හා සැලසුම් පිළිබඳ ඉදිරියේදී තීරණාත්මක මැදිහත්විමක් බලාපොරොත්තු විය නොහැකි වනු ඇත.

05. බීජ, ජලය හා ඉඩමේ සුරක්ෂිතභාවයක් නොමැති විට එය රැක ගැනීමට කළ යුත්තේ කුමක්ද? වත්මන් සංවර්ධන මොඩලය විසින් සංවර්ධන අනාථයින් බිහි කරනු ඇත. පාරම්පරිකව තම උපන් බිම්වල ජීවත් වූ ජනතාවට තම භූමිය පමණක් නොව ජීවන මාර්ගයන් සියල්ල අහිමි කරමින් ඇත.
එමෙන්ම ඉතිහාසය පුරා අඛණ්ඩව ආරක්ෂා කර ගෙන ආ ගොවීන්ගේ බීජ අයිතිය විවිධ පනත් මගින් උදුරා ගැනීමට උත්සාහ දරමින් ඇත. 2013 වර්ෂයේ ඉදිරිපත් කළ බීජ පනත් කෙටුම්පත තාවකාලිකව පරාජය කර ගැනීම ආසන්තම අත්දැකීමයි. එමෙන්ම 1985 වර්ෂයේ ජාත්‍යන්තර වාරි කළමනාකරණ ආයතනය ආරම්භයත් සමග නිදහස් ජල අයිතිය උදුරා ගැනීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කළ අතර පසුගිය වසර 35 ක් පුරා විවිධ ප‍්‍රතිපත්ති, පනත් කෙටුම්පත් හා විවිධ ව්‍යාපෘති 20කට වඩා ඉදිරිපත් කොට ඇත.

මහා පරිමාණයෙන් ජනතාවගේ සහ රජය සතු ඉඩම් අක්කර දහස් ගණන් වානිජ වගාවන් සිදු කිරීමට බහු ජාතික සමාගම් වෙත පවරා දෙනු ලැබීය. ඉදිරියේදී ද පැවරීමට නියමිතය. අනෙක් පසෙන් චීනය, ඉන්දියාව, සිංගප්පුරුව වැනි රටවල් සඳහා විශාල ආයෝජන කලාප ලෙස මහා පරිමාණයෙන් ඉඩම් ලබා දී ඇත. ජනතාවට තම උපන් බිම් අහිමි කරමින් උතුරු නැගෙනහිර පාරම්පරික ඉඩම් දහස් ගණනක් තවමත් එහි ඇත්ත අයිතිකරුවන්ට ලබා දීමට කල් ගනිමින් සිටී. අවශ්‍ය වුව හොත් හොඳ ආයෝජකයෙක් එන තෙක් බලා සිටින්නේ කිසිදු පැකිලීමකින් තොරව ඉඩම් ටික ලබා දීමටය.
තනි බෝගයක් කඳුකර ප‍්‍රදේශය පුරා වගා කිරීමත්, එම කර්මාන්තය සඳහා ලක්ෂ 10 පමණ වන වතුකර ජනතාවක් තමන්ගේ ජීවිත කාලය පරම්පරා 04ක ගෙවා දමමින් සිටිති. දැන් එම වගාවත් සමග මතු වී තිබෙන සමාජ, පාරිසරික, ආර්ථික ගැටලූ වලට මුහුණ දීමට සමස්ත වෙනසක් අවශ්‍ය කාලයකි. මධ්‍යම කඳුකරය ආරක්ෂා කළ හැකි, ආර්ථික ප‍්‍රතිලාභ වතු ජනතාව වෙත ගලා යන, ජනතාවගේ සෘජු මැදිහත්වීමක් සහිත නව වගා ක‍්‍රමයක් බවට තේ වගාව පත් කිරීමට සුදානමක් අවශ්‍ය වේ. එය පාරිසරික කෘෂිකර්මය මුල් වූ වැඩපිළිවෙළක් විය යුතු වන අතර එවැනි වෙනසක් සඳහා කිසිදු රජයක් සැබෑ උත්සාහයක් ගෙන නැත.

06. වෙළෙඳ පොළ විසින් සියලූ දේවල් ආරක්ෂා කර ලබාදේය යන විශ්වාසය තව දුරටත් වලංගු නොවන නිසා එයට එරෙහිව ඇති විකල්ප අවස්ථාවන් මොනවාද? කොරෝනා වෛරසය මගින් සමාජයට ලබා දුන් ප‍්‍රබල පණිවිඩය වූයේ තව දුරටත් වෙළෙඳ පොළ ඉලක්ක කොට ගෙන ක‍්‍රියාත්මක වන ආර්ථික වැඩපිළිවෙළක පවතින අසාර්ථකභාවයි. උදාහරණයක් ලෙස සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අදාළව කිසිදු මැදිහත්වීමක් පෞද්ගලික රෝහල් වලට කළ නොහැකි විය.
ආහාර බෙදා හැරීමට අදාලවත් ඒ තත්ත්වයමයි. විශේෂයෙන් සාමාන්‍ය දුෂ්කර ජනතාවක් වෙත යම් ආකාරයකට හෝ සහනයක් ලබා දීමට තිබු එකම යාන්ත‍්‍රණය වුයේ සමූපකාරයයි. එය නොතිබෙන්නට මෙයට වඩා ජනතාවගේ විරෝධතා ඉහළ යාමට ඉඩ තිබුුණී.

මේ අර්බුදයන් තුළත් ලෝක බැංකුව කියා සිටින්නේ තව දුරටත් හැකි තරමක් මැදිහත්වීම් සිදු කර වෙළෙඳ පොළ යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම කරන ලෙසයි. ඔවුන් අසාර්ථ බව පිළිගැනීමට සුදානම් නැත. අප දැන් සාමුහිකව කියා ටිය යුතු වන්නේ වෙළෙඳපොළ යාන්ත‍්‍රණයන් ශක්තිමත් කළ පමණින් එහි වාසිය පසුගිය දශක 04ක් පුරා පහළ මාලයේ ජනතාව වෙත කාන්දු වී නොමැති බවය. එම නිසා තව දුරටත් කළ යුත්තේ ජන සහභාගිත්වයක් සහිත, ප‍්‍රතිලාභ වැඩි පිරිසක් වෙත ගලා යන ආර්ථික වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට කටයුතු කිරීමය. එවැනි සුදානමක් මේ වන තෙක් ආරම්භ වී නැත.

07. ආහාර ස්වෛරීභාවය රැක ගැනීමට හැකිවන කෘෂිකර්ම ප‍්‍රතිපත්තියක් සකස් කර ගැනීම හදිසි අවශ්‍යතාවක් ලෙස රජය තවමත් වටහා නොගන්නේ මන්ද? කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් 2008 වර්ෂයේ ලංකාවට ජාතික කෘෂිකර්ම ප‍්‍රතිපත්තියක් හඳුන්වාදෙනු ලැබීය. නමුත් අද වන තෙක් එම ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය රෙගුලාසි සකස් කොට නැත. සිදුවන්නේ කුමක්ද? මැතිවරණයකින් පසුව පත්වන ආණ්ඩු විසින් අදාළ මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට යාමයි. ඒ අනුව ඇමතිවරයාට වුවමනා වන පරිදි විවිධ අලූත් කෘෂිකර්ම වැඩසටහනක් හඳුන්වාදෙයි. එම වැඩසටහන් කිසිසේත්ම ජාතික කෘෂිකර්ම ඉලක්ක සපුරා ගැනීමට උදව් නොවේ. බොහෝ වැඩසටහන් වසර තුනක් ගත වන විට අවසන් කිරීමට බලකරන අතර, ඉදිරි දෙවසරක කාලය වෙන් වන්නේ ඊළඟට පවත්වන මැතිවරණයට සුදානම් වීමටය. මෙය මේ මෙහොතේත් සිදුවේ.

ඉතා දිර්ඝ කාලයක සිට අප මතුකරන ප‍්‍රධාන ගැටළුව වන්නේ මෙයයි. අපට සමස්ත ගැටලූවලට මුහුණ දීම සඳහා ශක්තිමත් ප‍්‍රතිපත්තියක් අවශ්‍ය වේ. එය අවම වශයෙන් වසර 10-15 ක් අඛණ්ඩව ක‍්‍රියාත්මක වන්නක් විය යුතුය. නැතිනම් අපිට ඉතිරි වන්නේ බෝඞ් ලෑලි හා අතරමග නතර කළ විවිධ නම් ඇති වැඩසටහන් පමණි. තවත් කරුණක් වන්නේ මේ වැඩසටහන් සඳහා විශාල වශයෙන් ජාත්‍යන්තර සංවිධාන හා ආයතනවලින් ණය මුදල් රැගෙන තිබීමය. එම මුදල් පොළියද සමග අප නැවත ගෙවිය යුතුය. අප සියලූ දෙනා ඇති තරමටම දේශපාලනික සංදර්ශන බවට පත්වූ වැඩසටහන් දැක ඇත. මේ මොහොතේ ආරම්භ කොට ඇති ගෙවතු වැඩසටහන් (සෞභාග්‍යයේ ගෙවත්ත, ටිකිරි කොටුව) තුළත් ඇත්තේ පෙර වුවමනාවමයි.

නව මාවතක් කරා..

කෘෂිකර්මය පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය අභිප්‍රේරණය ඇති කර ගැනීමට සුදුසු කාලය නිර්මාණය වී ඇත. ආහාර ද්‍රව්‍ය ආනයන මත රඳා පැවතීම කිසිදු මොහොතක රටකට වාසි දායක නොවනු ඇත. එමගින් නිර්මාණය වි ඇති වානිජ කෘෂිකර්මාන්තයේ අවිනිශ්චිතභාවය හා ආකර්යක්ෂමතාව රටට දැඩිව බලපානු ඇත. ඉන් මිදීම සඳහා ප‍්‍රධාන පියවර 07ක් දැනට යෝජනා කළ හැකිය.

පළමු පියවර – ඒකීය බෝග වගාවේ සිට විවිධාංගීකරණය වූ බහු බෝග වගාවකට මාරු වීම. එමගින් ජෛව විවිධත්වය වර්ධනය කිරීම. ආහාර සුලබතාව ඇති කිරීම.

දෙවන පියවර – ස්වභාවික සම්පත් විමධ්‍යගත කිරීම. එනම් විශේෂයෙන් ඉඩම්, බීජ හා ජල අයිතිය එහි මුල් අයිතිකරුවන්ගෙන් උදුරා ගැනීමට දරන උත්සහායන් නතර කොට ඒවා පාලනය හා පවත්වාගෙන යාම සඳහා එහි අයිතිකරුවන්ට බාරදීම.

තෙවන පියවර – ආහාර ආනයනය මත රඳා පැවතීම වෙනුවට, රට තුළ ආහාරවලින් ස්වයංපෝෂිත වීමට ප‍්‍රමුඛතාව ලබා දීම. මෙය සිදු කිරීමේ සම්පුර්ණ හැකියාව ඇත්තේ සුලූ පරිමාණ ආහාර නිෂ්පාදනයේ යෙදෙන්නන්ගෙන් නිසා ඔවුන්ට බලපාන කිසිදු ආකාරයේ ප‍්‍රතිපත්තියක් රජය විසින් නොගැනීම

සටහන-පී.ඩබ් මුතුකුඩආරච්චි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435