ගෝලීයකරණය ශ්‍රී ලංකාවට අභියෝගයක්‌ ද? අවස්‌ථාවක්‌ ද?

OXFAM රාජ්‍ය නොවන සංවිධානය පෙන්වා දෙන්නේ ගෝලීයකරණයේ අනුහස තුළ ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 8 දෙනාගේ වත්කම ගෝලීය දුගී ජනගහනයෙන් කොටසක්‌ වන බිලියන 3.6 ක ජනයාගේ වත්කමට සමාන වන බවය. ගෝලීයකරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට උරදුන් ඇමරිකා එ.ජ. ඇතුළු බටහිර යුරෝපානු රටවල්, වාර්තමානය වන විට එම ක්‍රමවේද හා ප්‍රතිපත්තීන් කෙරෙහි සැක සංකා මතුකරමින් සිටින්නන් බවට පත්ව ඇත. මේ තුළින් පෙන්වා දෙන්නේ ගෝලීයකරණය රාජ්‍යයන් වෙත ගෙනදෙන්නා වූ අවාසිදායක තත්ත්වයන් නොවේද?

ගෝලීයකරණය යනු මානව අදහස්‌, නිෂ්පාදන, ලෝකය පිළිබඳ දැක්‌ම හා අනෙකුත් සංස්‌කෘතික අංගයන්ගේ සිදුවන්නාවූ අන්තර් ජාතික හුවමාරුව ලෙස පුළුල්ව අර්ථ දැක්‌විය හැක. මානව ශිෂ්ටාචාරය ගොඩනැඟීම සපුරාම සංස්‌කෘතික, ආගමික හා ආර්ථික හුවමාරුව මත සිදුවූවක්‌ වේ. පුරාණ සේද මාවත හි වූ වෙළෙඳාම අන් කවරකටත් වඩා පෙර අපරදිග සංස්‌කෘතීන් යාකිරීම හා මානවයාගේ සමාජ ප්‍රගමනයේ කොටසක්‌ බවට පත්විය. එසේම,නූතන ආගමික විශ්වාසයන් ලෝකය පුරා පැතිරයැම, ගෝලීයකරණයෙහි අග්‍රඵලයක්‌ යෑයි පිළිගැනෙනු ලබන්නේ පෙර අපරදිග ජනජීවිතය කෙරෙහි වූ අසීමිත බලපෑම හේතුවෙනි.

ආර්ථීක ගෝලීයකරණය යනු භාණ්‌ඩ හා නිෂ්පාදන වෙළෙඳාම, සේවා ලබාදීම සඳහා මානව සංක්‍රමණයන් ආදිය තුළ සිදුවන්නා වූ සීමා පුළුල් වීම ලෙස දැක්‌විය හැක. ආර්ථීක ගෝලීයකරණය වේගවත් හා ක්‍රමවත් කිරීම සඳහා අන්තර්ජාතිත මූල්‍ය අරමුදල හා ලෝක වෙළෙඳ සංවිධානය වැනි ආයතන වර්තමානයේ දී කටයුතු කරනු ලැබේ. එසේම බොහෝ රාජ්‍යයන් තුළ ක්‍රියාත්මක වන ලිබරල් ආර්ථීක ප්‍රතිපත්තීන් ද ගෝලීයකරණය වර්ධනයට හේතුවී ඇත. 1970 වසර වන විට ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.5% ක්‌ව පැවති අන්තර් ජාතික වෙළෙඳාම 2001 වසර වන විට 16.2% දක්‌වා එම අගය වර්ධනය වී ඇත. මේ අයුරින් තවදුරටත් අන්තර්ජාතික වෙළෙඳාමේ පුළුල් වීම සඳහා ලෝක මට්‌ටමින් පොදු ආර්ථීක ප්‍රතිපත්තීන් ඇති කරගැනීමේ අවශ්‍යතාවක්‌ පවතින නමුත්, ඒ සඳහා ප්‍රමාණවත් එකඟතාවක්‌ ඇතිකර ගැනීමට මේවන තෙක්‌ නොහැකිව තිබේ. එසේ වුවත්, බොහෝ රටවල් ද්විපාර්ශ්වික හා බහු පාර්ශ්වීය වෙළෙඳ ගිවිසුම් හා ප්‍රාදේශීයකරණයන් (යුරෝපීය සංගමය) වෙත එළඹීම උත්සුකවීම වර්තමාන විදේශ සබඳතාවන්හි මූලික අංගයක්‌ බවට පත්ව ඇත. සෘජු විදේශ අයෝජන රටක ආර්ථීක වර්ධනයේ ගාමක බලවේගය බවට පත්ව ඇත්තේ, එය රටක ආර්ථීක දියුණුව අත්කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව වූ මිනුම් දණ්‌ඩක්‌ බවට ද පත්කරමිනි.

ගෝලීයකරණය අප හට අභියෝගයක්‌ වේද?

අන් කවරදාටත් වඩා අද වන විට ගෝලීයකරණය කෙරෙහි බොහෝ පර්ශවයන් විවේචනාත්මකව කටයුතු කරන කාලසීමාවක්‌ බවට පත්ව ඇත. වේගවත්ව සිදුවන්නා වූ පරිසර විනාශය, රටක ජනතාව අතර වන්නා වූ ආදායම් විෂමතාවේ වර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් අපගමනය, දුප්පත්කම ඉහළ යැම, රෝග පැතිරයැම වැනි කරුණු හේතුවෙන් පුළුල් විරෝධයක්‌ ලෝක සමාජය තුළින් නිර්මාණය වෙමින් පවතී. පවත්නා දුර්වලතා උද්දීපන කරමින්, OXFAM රාජ්‍ය නොවන සංවිධානය පෙන්වා දෙන්නේ ගෝලීයකරණයේ අනුහස තුළ ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 8 දෙනාගේ වත්කම ගෝලීය දුගී ජනගහනයෙන් කොටසක්‌ වන බිලියන 3.6 ක ජනයාගේ වත්කමට සමාන වන බවය. ගෝලීයකරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට උරදුන් ඇමරිකා එ.ජ. ඇතුළු බටහිර යුරෝපානු රටවල්, වාර්තමානය වන විට එම ක්‍රමවේද හා ප්‍රතිපත්තීන් කෙරෙහි සැක සංකා මතුකරමින් සිටින්නන් බවට පත්ව ඇත. මේ තුළින් පෙන්වා දෙන්නේ ගෝලීයකරණය රාජ්‍යයන් වෙත ගෙනදෙන්නා වූ අවාසිදායක තත්ත්වයන් නොවේද? ගෝලීයකරණ විරෝධි කණ්‌ඩායම් බටහිර රටවල් තුළ බිහිව ඇත්තේ මෙම අනර්ථයන් සඳහා වූ විරෝධය මතුකිරීමටය.

ශ්‍රී ලංකාව වෙත ගෝලීයකරණයෙහි අභියෝගයන්ට මුහුණ දීමට සිදුවී තිබෙන්නේ දශක ගණනාවක රාජ්‍ය අවපාලනයක අමිහිරි ප්‍රතීඵලයන් සමගය. ක්‍රමානුකූලව සිදුනොවූ ආර්ථීක ලිහිල්කරණය හා ආනයන ප්‍රතිපත්තින් තුළ දේශීය නිෂ්පාදකයා තිරයෙන් ඉවත්කිරීමට හේතුව ඇත. ඒ තුළ, කුඩා ආර්ථීකයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව හට ගෝලීය වෙළෙඳාමේ සාධාරණ කොටසක්‌ හිමිකර ගැනීමට තවමත් නොහැකිව පවතී. අප ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වන බාධක ලිහිල් කිරීම තුළ චීනය, ඉන්දියාව වැනි ඉහළ නිෂ්පාදන පරිමානුකූල පිරිමැසුමක්‌ සහිත රටවල් වෙතින් කෙරෙන ආනයනයන් හමුවේ, දේශීය නිෂ්පාදන මරණ මංචකය වෙත ගෙන යන ලදී. එම රටවල් සමඟ කරනු ලබන වෙළෙ¹මේදී අපගේ අපනයන ආදායමට වඩා හතර පස්‌ ගුණයකින් වැඩි ආනයන වියදමක්‌ දැරීම, වර්තමානයේදී ශ්‍රී ලාංකීය ආර්ථීකය වෙත ඉතා අහිතකර තත්ත්වයක්‌ ගෙනදී ඇත. අනෙක්‌ අතට අප රටෙහි පර්යේෂණ හා සංවර්ධන කටයුතු කෙරෙහි වූ ආයෝජනයන්හි තිබෙන්නා වූ දැඩි පසුබැසීම් හේතුවෙන් අන්තර් ජාතික වෙළඳාමේ දී ඉහළ ලාභදායී අංශයන් වෙත ළඟාවීමට නොහැකිව ඇත. සීමිත සම්පත් සහිත රටවල් වන ජපානය, තායිවානය හා සිංගප්පූරුව වැනි රටවල් පර්යේෂණ හා සංවර්ධන කටයුතු තුළින් අධි තාක්‌ෂණික උපාංග නිෂ්පාදනය වෙත පිවිස තම ආර්ථීකයන් ඉහළ වර්ධනයක්‌ දෙසට ගෙනයන ලදී. වර්තමානයේ තාක්‌ක්‍ෂණික දැනුම වේගවත්ව හුවමාරු වුවත් ඉහත දැක්‌වූ පසුබැසීම මත, ඔවුන්ගේ දියුණුව අප හට අනුකරණය කිරීමට නොහැකි මට්‌ටමක්‌ වෙත ළඟාවී ඇත. ඒ තුළ අප තවදුරටත් ගෝලීයකරණය දෙසට යොමුවී සාධාරණවේද? තවද, රට තුළ රාජ්‍ය ප්‍රතිපත්ති සකස්‌කිරීමේදී දේශීය අවශ්‍යතා සපුරාලීම හා විදේශ අයෝජනයන් ගෙන ඒම යන කරුණු දෙක අතර සමතුලිතයක්‌ පවත්වා ගැනීමට ඇති අපහසුතාව දැක්‌විය හැක. පසුගිය දිනයක හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ඉඩම් සංවර්ධන කටයුතු සඳහා විදේශ ආයෝජකයන් වෙත ලබාදීම පිළිබඳ වූ විරෝධතාවය මේ පිළිබඳ නිදසුනක්‌ ලෙස දැක්‌විය හැක. එසේම අනාගත ද්විපාර්ශ්වීය ගිවිසුමක්‌ මගින් ලාභදායි විදේශ ශ්‍රමිකයන් ලංකාව තුළට පැමිණ තම අයිතිවාසිකම් යටපත් කරනු ඇතැයි වූ සැකයක්‌ බොහෝ වෘත්තිකයන් සතුව පවතී.

නිෂ්පාදන ආර්ථීකයක සිට සේවා ආර්ථීකයකට යොමුවීම ගෝලීයකරණය අප වෙත ගෙන එන තවත් අභියෝගයකි. ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව ග්‍රාමීය වාසීන් වීම තුළ තම සාම්ප්‍රදායික ජීවන රටාව වන කෘෂිකාර්මික අංශයෙන් ඉවත්ව, සේවා අංශය වෙත යොමුවීම සිදුවෙමින් පවතී. ඒ තුළ දේශීය සංස්‌කෘතිය හා වටිනාකම් රැක ගැනීම සඳහා ග්‍රාමීය ජනයා හට විශාල වෙහෙස මහන්සියක්‌ ගැනීමට සිදුව ඇත.

ගෝලීයකරණය අවස්‌ථාවක්‌ වන්නේ ඇයි?

බටහිර රටවල් ගෝලීයකරණය හා ලිබරල් ප්‍රතිපත්තීන්ගෙන් ඉවත් වීමට අරඅඳින අවස්‌ථාවක ඇයි අප එදෙසට යොමුවන්නේ කියා ප්‍රශ්නයක්‌ පැනනැඟෙනු ඇත. ආර්ථීක විද්‍යා න්‍යායනට අනුව වර්තමානය හැඳින්වෙන්නේ මහා අභිසාරිතා යුගය (The Great Convergence) වශයෙනි. එනම්, 16 වන ශතවර්ෂය වන විට ලෝකයේ රටවල් අතර දළ ඒක පුද්ගල ආදායම හි වෙනස ඉතා අවම වූ අතර ඉන්පසු පැවති ශතවර්ෂ තුන තුළ දියුණු රටවල් අනෙකුත් රටවල් අභිබවා ඉතා විශාල වත්කමක්‌ විවිධ හේතූන් මත උපයා ගැනීමට හැකිවිණි. වර්තමානය වන විට අනෙකුත් රටවල් දියුණුවේ තම කොටස සොයාගනිමින් පවතින කාලසීමාවක්‌ බවට පත්ව ඇත්තේ අන්තර්ජාතික වෙළෙඳාම තුළ වේ. චීනයේ ඒකපුද්ගල අදායමේ වර්ධනය මේ සඳහා හොඳම උදාහරණය වේ. එසේනම් දියුණු රටවල් මෙම ආර්ථීක ක්‍රමයෙන් ඉවත්වන්නේ ඔවුනට හිමි කොටස කෙමෙන් කෙමෙන් ගිලිහීයන අවස්‌ථාවක නොවේද? මෙම වටපිටාව තුළ තවදුරටත් අප ගෝලීයකරණය වෙත වඩාත් ළංවිය නොවේ ද?

ඉහත දක්‌වා තිබෙන, ගෝලීයකරණයෙහි අභියෝග හා අවාසිදායක තත්ත්වයන් හමුවේ වුවත් අප ගෝලීයකරණය වෙත තවදුරටත් යොමුවිය යුතුව පවතින්නේ, එම කරුණු ඉක්‌මවූ ප්‍රතිලාභ අත්කරගැනීමට තවදුරටත් ශ්‍රී ලංකාව වෙත අවකාශයන් විවරව පැවතීම තුළ මෙන්ම වර්තමාන දේශය ආර්ථීක අර්බුදය හමුවේ ආර්ථීක සංවර්ධනය සඳහා වෙනත් විකල්පයක්‌ නොමැති බැවිනි. ශ්‍රී ලංකාව පසුගිය දශක කිහිපය පුරා පවත්නා රාජ්‍ය ආර්ථීක අවපාලනය තුළ ලබාගත් විදේශ ණය ප්‍රමාණය ඇ.ඩෝ. බිලියන 45 ඉක්‌මන අතර එය 2015 වසරේ සමස්‌ත දළ දේශීය නිෂ්පාදිතයෙන් 55% අගයක්‌ ගනු ලබයි. එම ණය ගෙවීම සඳහා ඇති එකම මාර්ගය වන්නේ ලංකාව වෙත විදේශ විනිමය ගෙනඒම නම් කටුක මග පමණක්‌ වීම කනගාටුදායක තත්වයකි.

ගෝලීය ආර්ථීකය තුළ සංවර්ධිත රටවල් 1.4% ක හා සංවර්ධනය වෙමින් පවත්නා රටවල් 4.0% ක ආර්ථීක වර්ධනයක්‌ අපේක්‌ෂා කරන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පුරෝකථනය කොට ඇත. මෙම වර්ධනීය ආර්ථීක තත්ත්වය තුළ තවදුරටත් ගෝලීය වෙළෙඳාම පුළුල් වීමට ඉඩප්‍රස්‌ථා විවර වෙනු ඇත. ගෝලීය ඇඟළුම් කර්මාන්තය ඇ.ඩෝ බිලියන 350 ක්‌ ඉක්‌මවන අතර ඒ තුළ අපගේ අපනයන වටිනාකම ඇ.ඩො. බිලියන 5 ක්‌ පමණක්‌ වේ. අප හට ඉදිරි වසර පහ තුළ ඇ.ඩෝ. බිලියන 10 ක්‌ දක්‌වා එය වර්ධනය කරගත හැකි නම් සමාජයේ පහළ මට්‌ටම් වෙත සැළකිය යුතු ආදායමක්‌ බෙදාහැරීමට හැකිවීම හා ඔවුන්ට ජාතික නිෂ්පාදිතයට ඵලදායි ලෙස සහභාගිවීමට ඉඩප්‍රස්‌ථා විවර වෙනු ඇත. එය ගෝලිය ආර්ථීකය තුළ පවත්නා අසීමිත අවස්‌ථාවන් පෙන්වා දෙන්නක කදිම නිදසුනක්‌ වන අතර එවැනි අවස්‌ථා විශාල ප්‍රමාණයක්‌ අප හමුවේ විවරව පවතී.

ඇපල් ස්‌මාර්ට්‌ ජංගම දුරකථනයක්‌ නිෂ්පාදනය කෙරෙණුයේ ඇමරිකාව, ජපානය, දකුණු කොරියාව, තායිවානය හා ජර්මනිය යන රටවල නිෂ්පාදිත උපංග කොටස්‌ අවසන් වශයෙන් චීනය තුළ එකලස්‌ කිරීමෙනි. එමගින් පෙන්නුම් කරනුයේ තවදුරටත් එක්‌ කර්මාන්ත ශාලාවක හෝ එක්‌ රටක්‌ තුළ සියල්ල නිෂ්පාදනය අවශ්‍ය නොවන බව වේ. එසේ නම් අප වෙත වඩාත් ලාභදායි හා තත්ත්වයෙන් උසස්‌ උපාංග කොටස්‌ නිපදවීම තුල එවැනි ගෝලීය නිෂ්පාදනයක්‌ සමග සම්බන්ධවීමට අවස්‌ථාවක්‌ ගෙන දෙනු ඇත.

සෘජු විදේශ ආයෝජන ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට ඉඩප්‍රස්‌ථා ගෝලීයකරණයේ වර්ධනයත් සමඟ ප්‍රසාරණය වනු ඇත. එය වැදගත් වන්නේ, ලංකාව වෙත නව තාක්‌ෂණය හා නිෂ්පාදන ක්‍රමවේද ලබාගැනීමට ඇති හොඳම හා වේගවත්ම ක්‍රමය වන බැවිනි. එමගින් නව අධිතාක්‌ෂණික අංශ වෙත පිවිසීමට හැකිවන අතර දීර්ඝකාලීන සංවර්ධනයක්‌ සඳහා මූලික අත්තිවාරම සපයනු ලබයි. දැනට ලංකාව වෙත සෘජු විදේශ ආයෝජනය ලෙස ලබාගැනීමට හැකිව ඇත්තේ ඇ.ඩෝ. බිලයන 1 ක්‌ පමණි. එහෙත් මියන්මාරය, වියට්‌නාමය හා බංගලාදේශය වැනි කලාපීය රටවල් ඇ.ඩෝ. බිලියන 10 ඉක්‌මවූ ආයෝජන පසුගිය වසර තුළ පමණක්‌ ගෙන්වා ගැනීමට හැකිව ඇත. එසේ නම් ශ්‍රී ලංකාව සතුව පවත්නා ඉහළ සක්‌ෂරතාවක්‌ හා කාර්යක්‌ෂමතාවක්‌ සහිත මානව සම්පත් හේතුවෙන් සෘජු විදේශ අයෝජන නැමැති පයිප්පයේ කට පුළුල් කරගැනීමට අවස්‌ථාවක්‌ තිබෙන බව පැහැදිලි කරුණකි. තවද, වර්තමාන කාලගුණික හා දේශගුණික විපර්යාස හා ස්‌වාභාවික අනතුරු ඇති වීමේ සම්භාවිතාවයන් ඉහළ යැම තුළ ගෝලීය සමාජයක අවශ්‍යතාව වඩාත් පුළුල්ව ඇත.

රජය පමණක්‌ නොව අප වෙතද ගෝලීයකරණය තුළ රට සංවර්ධනය වෙත මෙහෙයවීමට විශාල වගකීම් සම්බාරයක්‌ පැවරී තිබේ. අප හුරුව සිටින පාරිභෝගික සංස්‌කෘතියේ සිට අයෝජන සංස්‌කෘතිය දක්‌වා විතැන්කරවීම, රට සංවර්ධන මාවත වෙත ගෙනයැම සඳහා අවශ්‍ය මූලික කරුණවේ. ලොව දියුණු පත් බොහෝ ජාතීන් ඉතිරි කිරීමේ හා අයෝජනයකිරීමේ හැකියාව ප්‍රගුණ කරන්නන් වූ අතර ඔවුන් වර්තමාන පාරිභෝජනය අනාගත ආදායම් මාර්ගයක්‌ බවට පත්කරගෙන ඇත. සිංගප්පූරුව හා චීනය වැනි රටවල් 45% ඉක්‌මවූ දළ ඉතිරි කිරීමේ ප්‍රතිශතයක්‌ රඳවාගෙන ඇති අතර ඉන්දියාව හා නේපාලය යන සාක්‌ රටවල් 32% ඉක්‌මවූ ප්‍රතිශතයක්‌ රඳවා ගැනීමේදී අප හට හැකිව ඇත්තේ 25% ක්‌ පමණවූ දළ ඉතිරි කිරීමේ ප්‍රතිශතයක්‌ පමණි..

විවෘත මනසකින් අවට ලෝකය දෙස බැලීම තවත් වැදගත් කරුණකි. බාහිරින් ලැබෙන සියල්ල බුක්‌ති විඳිමින් එහි වන්නා වූ අඩුපාඩු පෙන්වා දෙනවා වෙනුවට ලෝකය වෙත යමක්‌ ගෙනයැමට උත්සාහ ගතයුතුව පවතී. අප සිදුකරන්නා වූ ක්‍රියාකාරකම් වඩාත් ඵලදායි හා නවතාවයෙන් යුක්‌තව ඉටුකිරීමට සෑම දෙනාම කටයුතු කළයුතුව පවතී. එය අවසාන වශයෙන් ජාතික ඵලදායිතාව වර්ධනයට හා සංවර්ධිත ලෝකය වෙත පියමැනීමට හේතුවනු ඇත.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435