ගෝලීය ගමනේ අවසානය/ද?

ලොවම මුහුණ දී සිටින මහා අනතුරකි. පිළියම් නොමැති වසංගතයකි. රෝ බියකි. ආර්ථික  දියුණුව මගින් ජයගත නො හැකි අභියෝගයකි. විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ තාක්ෂණික දියුණුව නිරුත්තරව අසරණය. න්‍යායවාදී විවරනවලට වඩා ප්‍රයෝගික විසඳුම් ඉල්ලා සිටින ජනයා ඉදිරිපිට හැම න්‍යායවාදියෙක්ම අසරණය. විද්‍යාවෙන් පීලි පැන අදේශපාලකයින් අතට පත් වී ඇති දේශපාලනයත්, ජාවාරම්කාරයින් අතට පත් වී ඇති වෙළදපොල ආර්ථිකයත්, අශිෂ්ටයින් අතට පත් වී ඇති මානව ශිෂ්ටාචාරයත්, සොබාදහම ජයගත්තා යැයි කියා ඊටම පරාජය වූ කාර්මික-තාක්ෂණික ‘දියුණුවත්’ ප්‍රතික්ෂේප කිරීමට හේතුවන ප්‍රශ්නාර්ථයක් අභියස ගෝලීය ගමන නවතින ලකුණු පහළ වී ඇත. ගෝලීයකරණයේ කාලබෝම්බය විසින් මානව වර්ගයාගේ සුරක්ෂිතතාව නැමති පවුර විශ්මය ජනක ලෙස සුනුවිසුණු කරමින් සිටින මොහොතක අප කලයුත්තේ කුමක්ද යන්න, ප්‍රශ්නයකට වඩා උභතෝකෝටිකයක් බවට වර්ධනය වී ඇත. මේ මොහොතේ මානව වර්ගයාගේ පැවැත්මේ සාරය බවට පත් වී ඇත්තේ බිය ය. ඉල්ලා සිටින්නේ හුදු ජීවත් වීමේ අයිතිය, රැකවරණය සහ නිදහස පමණක්මය.

පවත්නා සමාජ-ආර්ථික ක්‍රමය වන ධනවාදය එහි උපතේ සිටම ක්‍රියා කළේ මානව සාමුහිකත්වයට එරෙහිව ය. ක්‍රමයේ දැති රෝදයක්වත් නොව රෝදයක දැත්තක් බවට මිනිසා පත්කිරීමට ගත් ධනේශ්වර උත්සාහය අති සාර්ථක විය. මේ මොහොතේ කොරෝනා ගෝලීයකරණය විසින් ජාත්‍යන්තර පද්ධතිය තුළ රටවල් අතර පරතරය වැඩිකොට ඇත. රටවල් හුදකලාකොට ඇත. රටවල් තුළ නගර, ගම් හුදකලාකොට ඇත. පවුල් සහ පවුල් අතර සබඳතා සුනුවිසුණු කොට ඇත. පවුල් තුළ පුද්ගල සබඳතා මීටරයකින් එහාට තල්ලුකොට ඇත. පුද්ගලයාගේ සීමාව අන් හැම දෙයකින්ම අන් හැම කෙනෙකුගෙන්ම  ඈත්කොට ඇත. ඇල්ලීම, අතට අත දීම, සිප වැලඳ ගැනීම, බදා ගැනීම, සහ තවත් බොහෝ දේ තහනම් ය.  මානව වර්ගයාගේ බෝවීම ද නවතින ලකුණු පහළ වී ඇත. මේ එළඹ ඇත්තේ මිහිමත මානව වර්ගයාගේ සමාප්ත කාලය ද? නැතහොත් ධනේශ්වර ලෝක පර්යායේ අවසානයද? නැතහොත් ස්වදේශික රාජ්‍යවාදයක ඇරඹුම ද?

මේ අත් විඳින්නේ මහලොකු ධනේශ්වර දියුණුවේ, ගෝලීයකරණයේ  භයානක පලවිපාකයෝ ය. ධනය සහ බලය සඳහා වූ නග්න සහ නින්දිත පොර වැදීම සහ කා කොටා ගැනීම, ඒ ඒ ධන-බලවත් දාමරික පාලක කල්ලි අතර ලෝකය බෙදා ඉරි ඇඳ ගැනීමෙන් නැවතුනේ නැත. ඒ අඳින ලද ඉරිවලින් එහාට මෙහාට පනිමින් මුළු ලෝකයම තම ධනයේ සහ බලයේ අණසකට යටත් කර ගැනීමේ අශීලාචාර ක්‍රියාදාමය නම් කෙරුණේ ලෝකයම තනියායක් ය එය විශ්ව ගම්මානයක් ය යන කාව්‍යමය අලංකාරවලිනි. ඒ අලංකාරවලින් වහං කළේ අද අප අත් විඳින මහා ඛේදවාචකය ය. අර ධන-බලවතුන්ගේ අඥාන කමේ මහිමය නොව විශාලත්වයය. චීනය කොරෝනා තොරතුරු වසන් කරන්නේ අර නග්න ධන-බල පොරයේ ජාතික උපායමාර්ගයක් ලෙස ය. දැන් සිදුවී ඇත්තේ හැමෝටම එක වලේ සැතපීම නම් ඒ ධනේශ්වර බලවතුන් දිනාගත් ලෝකය කුමක් ද? එය ඇත්තේ කොහේද?

ලෝකයේ මහා බලවතුන් යැයි කියාගත් ඩොනල්ඩ් ට්‍රම්ෆ්, ෂි ජින්පිං, ව්ලැදිමීර් පුටින්, බෝරිස් ජොන්සන්, ඇන්ජෙලා මර්කෙල් සහ එම්මානුවෙල් මැක්රෝන් ඇතුළු මහා නායකයින් හැමෝටම සිදුවී ඇත්තේ මුහුණු ආවරණයකින් ගෝලීයකරණයේ සමස්ථ හෙළුව නොව මුහුණ පමණක් වසා ගැනීමටය. එපමණකින් නොනැවතී ඔවුන් සහ ඔවුන්ට ආවැඩූ අය කලයුත්තේ තම පුර්වගාමින් සහ තමන්ලා අනුගමනය කළ සහ කරන මිහිකත විනාශ කිරීමේ මහා මෙහෙයුමෙන් ඉවත් වී ලෝකවාසීන්ගෙන් සහ මහපොලොවෙන් සමාව ඉල්ලා සිටීමය. ගිය මඟ වැරදි බව ලෝකයට කියා පෑම ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ඛේදවාචකයේ පසුවදන ලියා අවසන්ය. මේ ව්‍යසනය “අපේ කාලයේ ගෝලීය සෞඛ්‍ය අර්බුදය” ලෙස නම් කොට, ඊට ගොදුරුවී ඇතැයි සැකකරන සියලු අය පරීක්ෂාවට ලක්කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටීමෙන් පෙනී යන්නේ වසංගතයට වෛද්‍ය ප්‍රතිකාර තවමත් නොමැති බවය. එසේම රටවල් තම තමන්ගේ වෛද්‍ය ක්‍රම අත්හදා බැලීම යෝග්‍ය බවය. ඉන් පෙනී යන්නේ හෝ ඇඟවෙන්නේ ගෝලීය රෝගයට ඇත්තේ ජාතික ප්‍රතිකාර බවය.  අරුමය වන්නේ මෙවැනි පසුබිමකත් ස්වදේශික ජාතිකවාදයට ගරහන ගෝලීයකරණයම ඉල්ලා සිටින මහා රැඩිකල්වාදීන් ලෝකයේත් සිටීම ය, අපේ රටෙත් සිටීම ය.

ගෝලීයකරණය පිළිබඳව වූ සුබ සිහින ප්‍රශ්න කිරීමේ කාලය එළඹ ඇත. මේ ගෝලීයකරණය පොදු ජනයාගේ එකක් නොව එහි දී වන්නේ ධනේශ්වර ක්‍රමය ලෝකය පුරා දිවීමක් ය කියා කීවේ කියුබාවේ හිටපු විප්ලවීය නායක පිදෙල් කස්ත්‍රෝ ය. ගෝලීයකරණය වන්නේ මානව හිතවාදීකම නොව ධනපති ක්‍රමයේ ධන-බල පෙරේතකම ය. එසේම ගෝලීයකරණයේ දී සිදුවන්නේ ස්වභාවික සම්පත්, තාක්ෂනය, මුල්‍ය වෙළඳපොළ, බහු ජනසංහාරක ආයුධ සහ තොරතුරු මාධ්‍ය මත බලවතුන් කීප දෙනෙකුගේ හෝ බලවත් කණ්ඩායම් කීපයකගේ ඒකාධිකාරී බලහත්කාරය ක්‍රියාත්මක වීමය, යනුවෙන් කීවේ  ඊජිප්තු-ප්‍රංශ ආර්ථික සහ දේශපාලන විද්‍යාඥයෙකු වූ සමීර් අමීන් ය. ඇත්තටම කොරෝනා යනු ඒ ඒකාධිකාරය සඳහා වූ ධන-බලවතුන්ගේ තරඟය හෝ පොරකෑම නිසා එලියට වීසි වුන පාලනය කිරීමට අසීරු භුමරංගයක් ය. කට්ටඬියන්ගෙන් මිදුන යකෙක් ය. හිතන්න ධනපති ක්‍රමය සහ එහි වෙළඳපොළ විසින් උත්කර්ෂයට නැංවූ සියල්ල බියෙන් සලිත වී අසරණ වී ඇති සැටි. තවදුරටත් මෙවැනි ලෝක ක්‍රමයක් අවශ්‍ය ද?

ජාත්‍යන්තර පද්ධතියට කැමැත්තෙන් සහ අකමැත්තෙන් ඇලී සිටි රාජ්‍යයන් ජාතික සීමා දක්වා තල්ලු වීමේ අවශ්‍යතාව කොරෝනා විසින් අවධාරණය කරන ඉතා වැදගත් කාරණයකි. ගෝලීයකරණය ප්‍රතික්ෂේප කිරීම නොව එය අහසේ තබා ස්වදේශික ජාතිකවාදය පොළොවට ගෙන ඒමේ අවශ්‍යතාවද ඒ මගින් අවධාරණය වේ. ස්වදේශික ජාතිකවාදයක් සහ ජාතික රාජ්‍යයක්, ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයක්, සහ මානව සහ පරිසර හිතවාදී වෙළඳපොළක් පිලිබඳ කොරෝනා විසින් කරන අවධාරණය අප පමණක් නොව සෙසු රටවල් ද නොසලකා හැරියොත් ඇතිවන තත්ත්වය වනාහි මිහිමත මානවයාගේ පණ නල  අහිමිවී යාමය. කොරෝනා පෙන්වා දෙන්නේ මානව සහ සොබාදහම් වාදී ස්වයංපෝෂිත රාජ්‍යයන්ගෙන් සමන්විත අලුත් ලෝක පිළිවෙලක අවශ්‍යතාවය ය. මේ එවැනි ප්‍රගතිශීලී ස්වදේශික ජාතිකවාදයක් ඇරඹීම අවැසිම මොහොතක් ය. එනම් ස්වදේශික ජාතිකවාදී මොහොතය. කැමැත්තෝ සිතත්වා.

 

 

 

 

කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක (ලංකාදීප ලිපියෙහි සංස්කරණය කළ කොටසකි)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435