ගෞරවනීය රැකියා හා වෘත්තීය සමිති කොයිබටද?

රැකියාවෙහි ‘‘ආත්මය’’ යළි දිනීම

අවුරුදු 35 ට පසු මහවැලි කේන්ද්‍රයේ දී 1980 ජූලි වැඩ වර්ජනය ගැන කතිකාවක් පසුගිය 06 වන දින ‘‘සමාජවාදී පොත් පියස’’ විසින් සංවිධානය කර තිබිණ. ඊට නිමිත්ත වූයේ සිරිතුංග ජයසූරිය විසින් ‘‘80 වැඩ වර්ජනය – වාර්තාමය විශ්ලේෂණයක්’’ මැයෙන් රචිත නවතම කෘතිය ය.

කතිකාව ආරම්භ කරමින් මහාචාර්ය සුමනසිරි ලියනගේ කියුවේ, අපේ වැනි රටවල නව ලිබරල්වාදය තහවුරු කිරීමත් සමග කම්කරු පංති අරගල සඳහා ඇති අවකාශය බරපතල ලෙස ඇහිරෙන හෙයින් 80 වර්ජනය ඒ මොහොතේ දියත් කිරීමට ගත් තීන්දුවෙහි වරදක් නොමැති බව ය. වරද ඇත්තේ වර්ජනය පසුබාන විට අවම තුවාල සමග එය අවසන් කිරීමේ සැළසුමක් නොතිබීමෙහි යැයි ඔහු කීවේය.

මේ නව ලිබරල් ආර්ථික මොඩලය පළමු වරට අත්හදා බැලූනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයකින් බලයට පත් චිලියේ සල්වදෝර් අයන්ඬේ ගේ ආණ්ඩුව අතිශය කුරිරු හමුදා කුමන්ත‍්‍රණයකින් 1973 දී පෙරළා දමා බලය ගත් ජනරාල් පිනොෂේ යටතේ ය. ‘‘චිකාගෝ කොලූවන්’’ යැයි ජනපි‍්‍රය වූ ආර්ථික විද්‍යාඥයන් විසින් සැළසුම් කෙරුනු නිදහස් වෙළඳ පල ආර්ථික මොඩලය දෙවන වරට අත්හදා බලන්නට ඉදිරිපත් වූයේ 1978 බලයට පැමිණි ජයවර්ධන ආණ්ඩුව විසින් යැයි මහාචාර්ය ලියනගේ පැවසී ය.

ජයවර්ධනගේ ඒ ආණ්ඩුව විසින් දෙසතියක් යත්ම හදිසි නීතිය යොදා ගනිමින් ‘80 වර්ජනය තලා දමනු ලැබිණ. සේවකයන් 47.000 ට රැුකියා අහිමි කරනු ලැබුණු අතර පවුල් සිය ගණනක් අනාථ විය. නව ලිබරල් ආර්ථිකය විසින් සමාජ සිතුම් පැතුම්, ආකල්ප හා වටිනාකම් සියල්ල වෙනස් කළේ ය.

‘‘දැන් කම්කරුවන් නැහැ. ඉන්නේ සේවකයන්. දැන් පිරිස් කළමනාකරුවන් නැහැ. ඒ වෙනුවට ඉන්නේ මානව සම්පත් කළමනාකරුවන්’’ මහාචාර්ය ලියනගේ කීවේය. ප‍්‍රාග්ධනය හා ශ‍්‍රමය අතර තිබූ පැරණි බෙදීමද දැන් ඒ අයුරින් අර්ථ දැක්වෙන්නේ නැත. දැන් ‘‘ශ‍්‍රමය’’ යනු ප‍්‍රාග්ධනයෙහි තවත් එක් අංගයක් ලෙස ගැනෙන මානව සම්පතකි. ජයවර්ධන ආණ්ඩුව බලයට පැමිණීමට පෙර වූ රාජ්‍ය කේන්ද්‍රීය ලෝකය ඉන් පසු අපට සහමුලින් අහිමි විය. අපගේ අනන්‍යතාවය අප තේරුම් ගත් ආකාරයත් වෙනස් විය. නිදහස් ආර්ථිකය සමග අපේ සමාජය හැම ආකාරයෙන්ම වෙනස් විය.

මට ඒ සමග මතක් වූයේ අප ඉතා ආදරයෙන් ගායනා කළ සිඞ්නි ආටිගල ගැයූ ‘‘නංගිලා මල්ලිලා’’ නම් ඉතා ජනපි‍්‍රය ගීතයයි.

‘……පුංචි බෝනික්කලා – පාට පාට නිලා මං ගෙනාවා කරත්තේ පුරා.

….. පීනනා මාළුවෝ – මෝට සයිකල් බොහෝ

හේවිසිකාරයෝ පෝනියෝ’’ යැයි ඒ ගීතයේ පද කිහිපයකි.

මේ සිංදුවේ ඉන්නා මනිබඩු වෙළෙන්දා දැන් දකින්නට තියා අහන්නටවත් නැත. ඒ වෙනුවට දැන් ගෙවල් වලට පැමිණ සීනුව නාද කරන්නේ කලිසම් කමිස හැඳ ටයි පටයක් පැළඳ බඩු අලෙවි කරන තරුණ ‘‘අලෙවි සහායකයෙකි’’. ඔහු කාගේ හෝ සේවකයෙකි. රස්සාවක් කිරීමෙන් ඔහු බලාපොරොත්තු වන්නේ මේ තරගකාරී සමාජයේ තවත් පාරිභෝගිකයෙකු වන්නට ය. මේ සමාජයේ සියල්ලන් හම්බ කරන්නේ සියල්ලට පෙර පාරිභෝගිකයෙකු වන්නට ය.

එනමුත් රැකියාවක් අවශ්‍ය වන්නේ නිකම්ම පාරිභෝගිකයෙකු වන්නට නොවේ. රැකියාවක් අවශ්‍ය වන්නේ වැදගත් මනුෂ්‍ය ජීවිතයක් සඳහාය. යම් පහසුවක් සහිතව සෞඛ්‍ය සම්පන්නව, පවුලක් නඩත්තු කරමින් බුද්ධිමය හා සංස්කෘතිකමය සමාජීය හා පෞද්ගලික ජීවිතයක් ගත කරන්නටය. එනිසා පැය 08 ක වැඩ දිනයකින් උපයන මුදල ඊළග පැය 08 තුල එවැනි වූ මනුෂ්‍ය ජීවිතයක් සඳහා ප‍්‍රමාණවත් විය යුතු අතර, ඉතිරි පැය 08 ඊළග දින ඩ සඳහා අවශ්‍ය විවේකය වෙනුවෙන් තිබිය යුතුය. පැය 08 ක වැඩ දිනයේ සූත‍්‍රය එවැනි ය.

රැකියාව පිළිබඳ මේ සංකල්පය හා අර්ථකතනය ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් පිළිගනු ලබන්නේ ‘‘ගෞරවනීය රැකියා’’ ලෙසිනි. එය ඔවුන් විස්තර කරන්නේ ‘‘…..රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ පවුල සඳහා සමාජ ආරක්ෂණයක් ද ස්වාර්ථය සඳහාත් සමාජීය පැවැත්මක් සඳහාත් සාධනීය අවකාශයක් ද ලබා දෙන, තම ප‍්‍රශ්න ඉදිරිපත් කරන්නට නිදහසක්ද තම ජීවිත වලට බලපාන්නාවූ තීන්දු ගැනීමට හවුල් වන්නටද හැකි සහ සියලූ ස්තී‍්‍රන්ට හා පිරිමින්ට සමාන අවස්ථා සහ සමාන ලෙස සැළතෙන සාධාරණ හා ප‍්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමේ පලදායි අවස්ථාවක්.’’ වශයෙනි.

ආණ්ඩු සහ මහා ව්‍යාපාර විසින්ද එය එළෙසින් පිළිගන්නේ නම් යහපති. එහෙත් නව ලිබරල් ආර්ථික කි‍්‍රයාවලියක් තුල එවැන්නකට ඉඩක් නැත. ආනයන වෙනුවට ජාතික නිෂ්පාදන ආදේශ කෙරුනු ආර්ථික ප‍්‍රතිපත්තිය කණපිට හරවා අපනයනය සඳහා නිෂ්පාදනය කිරීම අරමුණු කෙරුනු අලූත් විවෘත වෙළඳ පල ආර්ථිකය විසින් 1978 ට පෙර හිතන්නවටත් නොහැකි වූ ආර්ථික කි‍්‍රයාකාරකම් මුදා හැරින. මේ වන විට විධිමත් හා අවිධිමත් ආර්ථික කි‍්‍රයාවලියෙහි සැළකිය යුතු ක්ෂේත‍්‍රයක් ආවරණය කෙරෙන නව ඇසුරුම් කර්මාන්ත, බෙදාහැරීම් සහ ප‍්‍රවාහනය, ක්ෂණික ආහාර නිෂ්පාදනය, තොරතුරු තාක්ෂණය පදනම් යෝධ ව්‍යාපෘති සහ ව්‍යාපාර, කර්මාන්ත හා කුලී රථ සේවා, සුපිරි අලෙවිහල් ජාල, ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික වෛද්‍යසායන, පර්යේෂණාගාර සහ රෝහල් පමණක් නොව, වෙළඳ ප‍්‍රවර්ධන, උත්සව හා ඉසව් සංවිධාන කිරීමේ විශේෂඥ සමාගම් පවා ඇත.

පෞද්ගලික බස් රථ, තී‍්‍රරෝද රථ, බේකරි හා විවිධාකාර ස්වයං රැකියා අවිධිමත් වර්ධනයක් ලබා ඇත. මේ සියලූ ක්ෂේත‍්‍ර සමග පෞද්ගලික අංශයේ සේවක පිරිස ලක්ෂ 80 ට වැඩි ය. ‘80 වර්ජනයෙන් පසු අවුරුදු 35 ක කාලයක් පුරා නව තාක්ෂණය හා කලමනාකාරිත්වයක් සමග තහවුරු වූ මේ ආර්ථික කි‍්‍රයාකාරිත්වය විසින් අතිශය තරගකාරී පාරිභෝගික සමාජයක් බිහි කළේය. එහි ඉන්නේද අලූත් පරම්පරාවකි.

වරෙක හුදෙක් කුතුහලය නිසාම මම, තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්ෂේත‍්‍රයෙහි අලූත් පරම්පරාවේ තරුණෙකුගෙන් ඔහුගේ වැඩ කරන සතිය, පැය 35 ක සතියක්දැයි ඇසුවෙමි. ඔහු මාව විහිළුවට ගත්තේ ය. ’’මම වරායෙ කම්කරුවෙක් නෙවෙයි-නෙ’’ ඔහු කීවේය.

මේ ආකල්පමය පරිවර්තනයේ තරම ය. වැඩ කරන පැය ගණන් සීමා කෙරෙන්නේ නම් එය විය යුත්තේ කය වෙහෙසන ශ‍්‍රමිකයන් සඳහා ය. තමන්ට එවැන්නක් අදාල නැතැයි ඔහු සිතන්නේය. ‘‘අපට හම්බ කරගන්න පුළුවන් කාලය සීමා කරන එකේ තේරුමක් නැහැ-නෙ’’ ඔහු කීවේය. පැරණි කම්කරුවා මෙන් තමන්ගේ අයිතිවාසිකම් හා සේවා කොන්දේසි ගැන කිසිදු තැකීමක් නොමැති, එනිසාම පැරණි කම්කරුවා මෙන් වෘත්තීය සමිති ගැන දැන ගැනීමටවත් වුවමනාවක් නැති අලූත් පරම්පරාවේ සේවක මානසිකත්වය හැසිරෙන අයුරු එවැනිය. ඔවුන්ගේ ‘‘සාමුහිකත්වය’’ පිළිබඳ සිතුවිලි සියල්ල මැද පංතික ජීවිත හඹා යන තරගකාරිත්වය විසින් මරා දමා ඇත.

එනිසා ඔවුන්ට අද ‘‘ජීවිතය’’ යනු මේ විවෘත වෙළඳ පල විසින් නඩත්තු කරන පාරිභෝගික සමාජයේ ජීවත්වීමට අවශ්‍ය ආදායම සෙවීමේ තරගය තනිව ජය ගැනීමේ යෝධ ව්‍යායාමයකි. ඒ ආදායම මෙතෙක් යැයි සීමා කළ නොහැකි හෙයින්ම ඔවුන් දැන් හුදකලා ධාවන තරගයක යෙදෙන ‘‘මිනිස් පරමානු’’ බවට පත්ව ඇත. ඒ අධිවේගි ධාවනයෙහි ජාත්‍යන්තර කම්කරු සංවිධානය අර්ථ දක්වන ‘‘ගෞරවනීය රැකියා’’ ගැන සිතන්නට වෙලාවක් ඔවුන්ට නැත.

ශී‍්‍ර ලංකාණ්ඩුව විසින් පිළිගනු ලැබ ස්ථිර කරනු ලැබූ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 87 හා 98 සම්මූතීන් – තමන්ට අභිමත වෘත්තීය සමිතියක සාමාජිකත්වය ගැනීමේත් සාමුහිකව කේවල් කිරීමේත් අයිතිය – ඔවුන් දන්නේද නැත. මැද පංතියට මේ සියල්ල ඔවුන්ගේ නූතන දිවි පැවැත්මෙහි නියත ලක්ෂණ පමණි. නව ලිබරල් ආර්ථිකයෙහි වැදගත් වන්නේද මැද පංතික ජීවිත පමණි. විශාල වන මැද පංතික ජනගහනය ආර්ථික වර්ධනයේ සාධකයක් ලෙස ගණන් හැදෙන්නේද එබැවිනි.

මේ මැද පංතික ජීවිත භෞතික අලංකරණයට සීමා කෙරෙන නගර වලට සැපයිය හැකි සේවාවන්ට අනුගත වන්නාහ. ඒ සේවාවන් නාගරික ස්ථාන වල ඉදි කෙරෙන සාප්පු සංකීර්ණ, සුඛෝපභෝගී අවහන් හල්, ශාරීරික ව්‍යායාම මං තීරු වලට සහ රථ ගාල් වලට සීමා වන්නකි. ඒ නගර වලට දියුණු, නවීන, සුවපහසු පුස්තකාල හා කියවීම් ශාලා, කෞතුකාගාර, කලාගාර, ලොකු පොඩි ශ‍්‍රවනාගාර, නෘත්‍යාගාර වැනි බුද්ධිමය හා සංස්කෘතිමය ජීවිත වලට අවශ්‍ය සේවා පහසුකම් අදාල නැත. නව ලිබරල් ආර්ථිකයෙහි සාමාන්‍ය පිළිගැනීම වී ඇත්තේ එවැනි බුද්ධිමය හා සංස්කෘතික පැවැත්මක් ආර්ථිකය මුල් වූ සංවර්ධනයකට අවශ්‍ය නැත යන්න ය.

එනිසා ප‍්‍රසාරණය වන මැද පංතිය සංවර්ධනයේ සාධකයක් ලෙස ප‍්‍රදර්ශනය කළ ද ඒ සංවර්ධනයෙහි ඇත්තේ බුද්ධිමය හා සංස්කෘතික අහේනියකි. එහි සෞන්දර්ය යනු වෙළඳ පල මත ගොඩ ගැසෙන විලාසිත අලංකරණයට ලඝු කෙරුණකි. වින්දනය යනු බුද්ධිමය විචාරයකින් තොර ගෝසාකාරි සිනහවකි.

නව ලිබරල් ආර්ථික වර්ධනය විසින් අත හැරෙන ග‍්‍රාමීය සමාජය විශාල වශයෙන් පවතින්නේ ලාභ ශ‍්‍රම සැපයුම් සඳහා ය. අපේ රටේ පසුගිය අවුරුදු 30 ක පමණ කාලයේ නිරන්තර යුද්ධයකට හසුව තිබූ උතුරු-නැනෙහිර හැර ඉතිරි සිංහල ග‍්‍රාමීය සමාජයේ සාමාන්‍ය පවුලක් ගතහොත් එහි ඉන්නේ මැද පෙරදිග යන මවත් නිදහස් වෙළඳ කලාපයේ දුවත් යුද්ධයට ගිය සොල්දාදු පුතාත් පවුලක් නඩත්තු කර ගැනීමට නොහැකි වූ ග‍්‍රාමීය අර්ධ කෘෂි කම්කරුවකු වූ පියාත් ය.

පසුගිය වසර කිහිපයේ මහ බැංකු වාර්තා සාඩම්බරයෙන් කීවේ අපේ විරැකියා ප‍්‍රතිශතය සියයට 05 ටත් වඩා අඩු මට්ටමක පවතින බව ය. එබැවින් මේ නව ලිබරල් ආර්ථික කි‍්‍රයාවලිය අප ප‍්‍රශ්න කළ යුතුව ඇත්තේ ඉන් සැපයෙන රැුකියා සංඛ්‍යාව සම්බන්ධයෙන්ම නොවේ. අතහැර දැමෙන ග‍්‍රාමීය ජීවිත සහ රැුකියා සඳහා ලැබෙන වටිනාකම පිළිබඳව ය. මේ රැකියා අති බහුතරය ජාත්‍යන්තර කම්කරු සංවිධානය අර්ථ දක්වන සහ ශී‍්‍ර ලංකාණ්ඩුව පිළිගන්නා අයුරු පැය 35 ක වැඩ සතියක් සමග රැකියා ස්ථානයේ ආරක්ෂාව ඇතිව ’’පවුල සඳහා සමාජ ආරක්ෂණයක් ඇති ස්වාර්ථය සඳහාත් සමාජීය පැවැත්ම සඳහාත් සාධනීය අවකාශයක්’’ වෙනුවෙන් සාධාරණ ආදායමක් ලබා දෙන්නේද? පැහැදිලි සහ නොපැකිලි පිළිතුර වනුයේ ‘‘කොහෙත්ම නැත’’ යන්න ය.

එසේ නම් බුද්ධිමය හා සංස්කෘතිකමය ජීවිතයක් විඳිය හැකි එවැනි වූ පැය 35 ක රැකියාවක් වෙත අප යොමු වන්නේ කෙසේද යන්න විශේෂ අවධානයක් ලැබිය යුතු ප‍්‍රශ්නයකි. මෙය ඇත්තෙන්ම වෘත්තීය සමිති විසින් කතිකාවකට තැබිය යුතු කාරණාවකි. සම්මතයක් ලෙස කෙරෙන ‘‘සේවක කේන්ද්‍රීය’’ ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් බැහැරව, තම සාමාජිකත්වයේ ජීවන තත්ත්වය පරිපූර්ණ දියුණුවකට ගෙන යා හැක්කේ කෙසේදැයි යන්නට වහා අවධානය යොමු කළ යුත්තකි. වැටුප් වැඩි කරගැනීමේ හා සේවා තත්ත්වයන් යහපත් කර ගැනීමේ ඇත්ත ගැටළුවක් ඇත.

එහෙත් එමගින් ’’පවුල් සඳහා සමාජ ආරක්ෂණයක් ඇති ස්වාර්ථය සඳහාත් සමාජීය පැවැත්ම සඳහාත් සාධනීය අවකාශයක්’’ ලැබෙන්නේ නැත. එනිසා රැකියාවක් කිරීමේ ඇත්ත පෞද්ගලික හා සමාජීය අවශ්‍යතාව ඉන් සැපිරෙන්නේ නැත. සමාජීය ‘‘ජීවන තත්ත්වය පරිපූර්ණ කිරීම’’ ගැන අවධානයක් නැති හා උග‍්‍ර වෙළඳ පල තරගයක් මත පෞද්ගලික වාසි සහ ලාභය ජීවිතයේ එකම අරමුණ කරගත් වත්මන් සමාජය, ‘‘වැටුප් වැඩි කිරීම් සහිත ගෞරවනීය රැකියා’’ පිළිගනු ඇතැයි මම නොසිතමි.

ආණ්ඩු සහ මහා ව්‍යාපාරික ප‍්‍රජාව බුක්ති විඳින්නේ මේ පරස්පරයේ අයුතු වාසිය ය. වෘත්තීය සමිති ඉල්ලීම් සමාජ විරෝධී යැයි මාධ්‍ය විසින් හුවා දැක්වෙන්නේද එනිසාම ය.

එනිසාම, වෘත්තීය සමිති ඉල්ලීම් සමාජ ආර්ථික සංවර්ධන සැළසුමෙහි අන්තර්ගතයට බද්ධ විය යුතුය. සියලූ සේවකයනට හා ඔවුන්ගේ පවුලේ අයට බුද්ධිමය හා සංස්කෘතිමය ජීවිතයකට ඇති අයිතිය සංවර්ධන සැළසුම් මගින් සහතික කළ යුතු යැයි ඉල්ලා සිටිය යුතුය. ඒ අනුව වැටුප් වැඩි කිරීම් ඉල්ලා සිටිය යුත්තේ පැය 35 ක ගෞරවනීය වැඩ සතියක් සඳහා ය. මෙය වඩා සංයුක්තව කියන්නේ නම්, ‘‘පැය 35 ක වැඩ සතියක් සඳහා සාධාරණ වැටුපක් සමග බුද්ධිමය හා සංස්කෘතිමය ජීවිතය සඳහා ලොකු පොඩි සෑම නගරයකම, පුස්තකාල, ශ‍්‍රවනාගාර, නෘත්‍යාගාර හා කලාගාර පිහිටුවිය යුතුයැයි ඉල්ලීම’’ අද වෘත්තීය සමිති ඉල්ලීමක් විය යුතුව ඇත.

එහි තර්කය වනුයේ රැකියාව මගින් සෑම මනුෂ්‍යයෙකුටම පූර්ණ ජීවිතයක් ගත කිරීමේ ආදායමක් හා විවේකයක් සහතික විය යුතුය යන්නයි. ‘‘රැකියාවේ ආත්මය’’ විය යුත්තේ මේ සමාජයේ මානුෂික අගයන් තහවුරු කෙරෙන එවැනි වූ සංස්කෘතිමය අගයක් සහිත බුද්ධිමත් ප‍්‍රජාවක් බිහි කර ගැනීමය. එය හුදෙක් නීති මගින් කළ හැකි නොවේ.

කුසල් පෙරේරා

2015 ඔක්තෝම්බර 14 වන දින

කොළඹ

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435