ජගත් කම්කරු ප‍්‍රමිතිවලින් සැලසෙන ප‍්‍රතිලාභ

ගෝලීයකරණයෙහි  අභියෝගයන් නිසා ජගත් කම්කරු ප‍්‍රමිතීන් අන් කිසි කලෙකටත් වඩා අදාළ වන තත්ත්වයට පත් වී ඇත. ඒවායින් අද දින සැලසෙන්නේ කිනම් ප‍්‍රතිලාභයන් ද?

ශිෂ්ඨ සම්පන්න රැකියාවන් (decent work) සඳහා මගකි

ජගත් කම්කරු ප‍්‍රමිති වූකලි, අන් සියල්ලට මත් වඩා ජනතාව මනුෂ්‍යයන් ලෙස සංවර්ධනය කිරීම අර්ථවත් කරන්නකි. 1944 වසරේ දී සම්මත කර ගත් ජගත් කම්කරු සමුළු (ILO) ෆිලඩෙල්ෆියා ප‍්‍රකාශනයේ දී, ”ශ‍්‍රමය වෙළඳ භාණ්ඩයක් නො වේ” යැයි ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් පිලි ගනු ලැබිණ. සැබවින් ම, ශ‍්‍රමය යනු ඇපල් ගෙඩියක් හෝ රූපවාහිනී කට්ටලයක් වැන්නක් මෙන්, ඉහළ ම ලාභය හෝ පහළ ම මිල තකා ගනුදෙනු කළ හැකි අප‍්‍රාණික නිෂ්පාදනයක් නොවන්නේ ය. රැකියාව යනු සෑම කෙනෙකුගේ ම දෛනික ජීවිතයේ කොටසකි. එය පුද්ගලයෙකුගේ අභිමානය, යහපැවැත්ම සහ පුද්ගලයා මනුෂ්‍යයෙකු ලෙස සංවර්ධනය කිරීම සඳහා රැකියාව තීරණාත්මක ය. ජනතාවට නිදහස ඇතිව, සුරක්ෂා සහිතව සහ අභිමානයෙන් යුතුව වැඩ කළ හැකි රැකියා සහ සේවා කොන්දේසි නිර්මාණය කිරීම ආර්ථික සංවර්ධනයට ඇතුළත් විය යුතු ය. කෙටියෙන් කිව හොත්, ආර්ථික සංවර්ධනය මගින් සිදුකරන්නේ ආර්ථිකයේ සංවර්ධනය නොව මිනිසුන්ගේ ජීවිත වැඩි දියුණු කරනු පිණිස ය; එහි දී මානව ජීවිතය සහ අභිමානය වැඩි දියුණු කිරීම කෙරෙහි එල්ලය යොමු කරන බව සහතික කිරීම ජගත් කම්කරු ප‍්‍රමිතීන් හි කාර්යභාරය වේ.

 ILO Conference

සාධාරණ සහ ස්ථාවර ගෝලීයකරණයක් සඳහා ජාත්‍යන්තර නීතිමය රාමුවකි

ගෝලීයකරණය වුණු ආර්ථිකයක් තුළ ශිෂ්ඨ සම්පන්න  රැකියාවක් පිළිබඳ පරමාර්ථය මුදුන් පමුණුවා ගැනීමට නම් ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රියාකාරිත්වයක් අවශ්‍ය ය. වෙළඳාම, මූල්‍යය, පරිසරය, මානව අයිතිවාසිකම් සහ ශ‍්‍රමය පිළිබඳ ජාත්‍යන්තර නීතිමය සම්මුතීන් සකස් කිරීම තුලින් ලෝක ප‍්‍රජාව මෙම අභියෝගයට ප‍්‍රතිචාර දක්වමින් සිටී. ආර්ථික වර්ධනය සහ සංවර්ධනය යහපත් රැකියා නිර්මාණය කිරීමට උපකාර වන බව සහතික කිරීමේ ඉලක්කය ඇතිව ජගත් කම්කරු ප‍්‍රමිතීන් කෙරෙහි අවධාරණය කරමින් සහ ඒවා ප‍්‍රවර්ධනය කරමින් ILO මෙම නීතිමය රාමුවට දායක වෙයි. ILOහි සුවිශේෂී ත්‍රෛපාර්ශවීය ව්‍යුහය රජයන්, සේවා යෝජකයන් මෙන් ම සේවකයන් ද මෙම ප‍්‍රමිතීන්ට සහාය දක්වන බව සහතික කරයි. එම නිසා, ජගත් කම්කරු ප‍්‍රමිතීන් තුලින් ගෝලීය ආර්ථිකය තුල සිටින සියලූ ක‍්‍රියාකාරකයන් විසින් එකඟ වූ මූලික අවම සමාජ ප‍්‍රමිතීන් නිර්ණය කොට දක්වයි.

 

සාර්ථකත්වය සඳහා සමාන අවස්ථාවකි

සමාජ ප‍්‍රමිතීන් පිළිබඳව ජගත් නීතිමය රාමුවක් තුලින් ගෝලීය ආර්ථිකය තුළ සම සාධාරන තරඟ බිමක් (level playing field) පවතින බව සහතික කරයි. ජාත්‍යන්තර වෙළඳ තරගයේ දී වැඩි සාපේක්ෂ වාසියක් ලැබෙතැයි විශ්වාසයෙන් කම්කරු ප‍්‍රමිතීන් පහත හෙළීමට පෙලඹීම උත්තේජනය කරවීම වැළැක්වීමට රජයන්ට සහ සේවා යෝජකයන්ට මෙය උපකාර වේ. දිගුකාලීනව ගත් කල එවැනි ක්‍රමවේදයන් කිසිවෙකුටත් ප‍්‍රතිලාභ නොසලසයි. කම්කරු ප‍්‍රමිතීන් පහත හෙළීම නිසා පහළ වැටුප්, පහළ නිපුණතා සහ සේවකයන් සේවය අත් හැර යාම වැඩි කර්මාන්ත පැතිරීමට අනුබලයක් ලැබිය හැකි අතර, වඩා ස්ථාවර ඉහළ නිපුණතා සහිත සේවා නියුක්තියක් නිර්මාණය කිරීමෙන් කිසි යම් රටක් වළකනු ලැබිය හැකි ය. එමෙන් ම, වෙළඳ හවුල්කරුවන්ට සිය ආර්ථික තත්ත්වය ඉහලට වර්ධනය කර ගැනීම වඩා දුෂ්කර ද විය හැකි ය. ජගත් කම්කරු ප‍්‍රමිතීන් යනු රජයන් සහ සමාජීය හවුල්කරුවන් සම්මත කර ගත් අවම ප‍්‍රමිතීන් බැවින් එම නීති සියල්ලන් සම්බන්ධයෙන් ක‍්‍රියාවේ යොදවනු සහතික කිරීම සියල්ලන්ගේම අභිලාශය උදෙසා විය යුතුය. එවිට, ඒවා ක‍්‍රියාවේ නොයොදවන අය ඒවා ක‍්‍රියාවේ යොදවන අයගේ පරිශ‍්‍රමයන් දුර්වල නො කරති.

 

ආර්ථික කාර්ය සාධනය වැඩි දියුණු කිරීමේ ක‍්‍රමයකි

ජගත් කම්කරු ප‍්‍රමිතීන් හේතුවෙන් සැලකිය යුතු පිරිවැයක් දැරීමට සිදු වේ යැයි ද, එනිසා ඒවා ආර්ථික සංවර්ධනයට බාධාවක් යැයි ද ඇතැම් විට සැලකේ. කෙසේ වුව ද, මේ පිළිබඳව සිදු කොට ඇති පර්යේෂණ එන්න එන්න ම වැඩි වෙමින් පවතින අතර, ඒවායින් පෙන්නුම් කෙරෙන්නේ ජගත් කම්කරු ප‍්‍රමිතීන්ට අනුකූලව ක‍්‍රියා කිරීම නිසා ඵලදායිතාව සහ ආර්ථික කාර්ය සාධනය බොහෝ විට වැඩි දියුණු වන බව යි. වඩා ඉහළ වැටුප් සහ වැඩ කාලය පිළිබඳ ප‍්‍රමිතීන් ද සමානාත්මතාවයට ගරු කිරීම නිසා වඩා යහපත් සහ වඩා තෘප්තිමත් සේවකයන් සහිත සහ සේවකයන් සේවය අත් හැර යාම අඩු තත්ත්වයක් ඇති පරිසරයක් නිර්මාණයට දායක විය හැකිය. වෘත්තීය පුහුණුව උදෙසා ආයෝජනය කිරීම තුලින් වඩා හොඳින් පුහුණුව ලද ශ‍්‍රම බලකායක් සහ වඩා උසස් සේවා නියුක්ති මට්ටමක් ඇති කල හැකි ය. සුරක්ෂාව පිළිබඳ ප‍්‍රමිතීන් නිසා අධික පිරිවැයක් දැරීමට සිදු වන අනතුරු සහ සෞඛ්‍ය රැකවරණ ආවරණ  ගාස්තු අවම කිරීමට දායක විය හැකි ය. රැකියා ආරක්ෂණය නිසා අවදානම් දැරීමට සහ නව්‍ය කරණයේ නියැලීමට සේවකයන් දිරිමත් කල හැකි ය. විරැකියා සහන යෝජනා ක‍්‍රම සහ සක්‍රියක  ශ‍්‍රම වෙළඳ පොළ ප‍්‍රතිපත්තින් (active labour market policies) වැනි සමාජ ආරක්ෂණයන් නිසා ශ‍්‍රම වෙළඳ පොළේ නම්‍යතාවට පහසුකම් සැපයිය හැකි අතර, ආර්ථික ලිහිල්කරණය (economic liberalization) සහ පෞද්ගලීකරණය තිරසර වී පොදු ජනතාවට වඩා පිළිගත හැකි තත්ත්වයකට පත් විය හැකි ය. සේවක එක්රැස් වීමේ නිදහස සහ සාමූහික කේවෙල් කිරීම නිසා වඩා යහපත් ශ‍්‍රම-කළමනාකරණ මතවිචාරන (consultation) වලට සහ සහයෝගිතාවට මග පෑදිය හැකි අතර, ඒ හේතුවෙන් අධික පිරිවැයක් දැරීමට සිදු වන කම්කරු ගැටුම් සංඛ්‍යාව අඩු වී සමාජ ස්ථාවරත්වය වැඩි දියුණු විය හැකි ය.

 

කම්කරු ප‍්‍රමිතිවල හිතකර බලපෑම් වලට විදේශීය ආයෝජකයන්ගේ ඇස නො ගැටී සිටිය නොහැක. අයෝජනය කළ යුත්තේ කිනම් රටවල දැයි තෝරා ගැනීමට භාවිත කරන නිර්ණායකවල දී, විදේශීය ආයෝජකයන් පහළ ශ‍්‍රම පිරිවැයවලට වඩා ශ‍්‍රම බලකායේ ගුණාත්මකත්වය සහ දේශපාලනික සහ සමාජීය ස්ථාවරත්වය ඉහළින් පෙළ ගස්වන  බව අධ්‍යයනවලින් පෙන්වා දී ඇත. අනෙක් අතට, කම්කරු ප‍්‍රමිතීන්ට ගරු නොකරන රටවල් ගෝලීය ආර්ථිකය තුළ වඩා තරගකාරී යැයි කිව හැකි සාක්ෂි අල්ප ය.

 

ආර්ථික අර්බුද සමයන්හි දී සුරක්ෂා ජාලයකි

ඉහළ නිපුණතා ඇති සේවකයන් සහිත වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන් පවා අනපේක්ෂිත ආර්ථික පසු බැසීම් වලට මුහුණ දිය හැකි ය. හදිසි ව්‍යවහාර මුදල් අවප‍්‍රමාණයන් සහ වෙළඳ පොළ මිල ගණන් පහත වැටීම හේතු කොට ගෙන දශක ගණනාවක් තිස්සේ ලබා ගත් ආර්ථික වර්ධනය වැනසී යා හැකි ආකාරය 1997 ආසියානු මූල්‍ය අර්බුදයෙන් පෙන්නුම් කෙරිණ. මෙම අර්බුදයේ බලපෑමට ලක් වුණු බොහෝ රටවල විරැකියාව දෙගුණ විය. මෙම රටවලින් බොහොමයක (විශේෂයෙන් ම විරැකියාව සහ සෞඛ්‍ය රක්ෂණය සම්බන්ධ) සමාජ ආරක්ෂණ පද්ධති, සක‍්‍රිය ශ‍්‍රම වෙළඳ පොළ ප‍්‍රතිපත්ති සහ සමාජීය සංවාදය පිළිබඳ බරපතළ ඌනතා පැවති නිසා, අර්බුදයෙන් සේවකයන් කෙරෙහි ඇති වුණු විනාශකාරී බලපෑම් තවත් නරක අතට හැරිණ. අර්බුදයේ සමාජීය බලපෑම විමසා බැලීමෙන් පසුව, ILO අධ්‍යයනයක් නිගමනය කළේ, කලාපය තුළ සමාජීය සංවාදය, සේවක එක්රැස් වීමේ නිදහස සහ සමාජ ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීමෙන් එවැනි ආර්ථික පසුබැසීම් වලට එරෙහිව වඩා යහපත් සුරක්ෂාවන් සම්පාදනය වනු ඇති බව යි.

 

දරිද්‍රතාව අවම කිරීමේ ක‍්‍රමෝපායයකි

ආර්ථික සංවර්ධනය වූ කලි හැම විට ම නීතිරීති පිළිගැනීම මත රඳා පැවතී ඇත. නීති සම්පාදනය හරහා සහ නීතිමය ආයතන ක‍්‍රියාත්මකව පවතින විට, යහපාලනයේ නීතිමය මූලිකාංගය වන සහ  ඕනෑ ම ආර්ථිකයක ක‍්‍රියාකාරිත්වයට නැතිව ම බැරි දේපොළ අයිතිවාසිකම්, ගිවිසුම් බලාත්මක කිරීම, ක‍්‍රියා පටිපාටිවලට ගරු කිරීම සහ අපරාධවලින් ආරක්ෂාව සහතික කිරීම සිදු වේ. සාධාරණ නීතිරීති සහ ආයතන කට්ටලයකින් පාලනය වන වෙළඳ පොළ වඩා කාර්යක්ෂම වන අතර, සෑම දෙනාට ම ප‍්‍රතිලාභ ගෙන දෙයි. ශ‍්‍රම වෙළඳ පොළ සම්බන්ධයෙන් ද මෙහි කිසිදු වෙනසක් නැත. ජගත් කම්කරු ප‍්‍රමිතීන්හි විදහා දක්වා ඇති සහ ජාතික නීතිමය පද්ධතියක් හරහා ක‍්‍රියාවේ යෙදවෙන සාධාරණ ශ‍්‍රම ක්‍රියාපටිපාටි භාවිතයන්, සේවකයන් මෙන් ම සේවා යෝජකයන් සඳහා ද කාර්යක්ෂම සහ ස්ථාවර ශ‍්‍රම වෙළඳ පොළක් සහතික කෙරේ.

 

සත්තකින් ම, සංවර්ධනය වෙමින් පවතින සහ පරිවර්තනයට ලක් වෙමින් පවතින ආර්ථිකයන් බොහොමයකම, ශ‍්‍රම බලකායෙන් විශාල කොටසක් නොවිධිමත් ආර්ථිකය තුළ ක‍්‍රියාකාරීව සිටිති. එමෙන් ම, එවැනි රටවල් බොහෝ විට ඵලදායක සමාජ යුක්තියක් සම්පාදනය කිරීමේ හැකියාවෙන් තොර වෙයි. කෙසේවෙතත් ජගත් කම්කරු ප‍්‍රමිතීන්ට මෙම තත්ත්වයන්හි දී ද ඵලදායක මෙවලම් බවට පත් විය හැකි ය. ප‍්‍රමිතින්වලින් බොහොමයක් විධිමත් සේවා තත්ත්වයන් යටතේ සේවය කරන සේවකයන්ට පමණක් නො ව සියලූ සේවකයන්ට අදාළ ය. ගෘහස්ථ සේවකයන්, සංක‍්‍රමණික සහ ග‍්‍රාමීය සේවකයන්, සහ ආදිවාසි සහ ගෝත‍්‍රික ජනයා කෙරෙහි ද අවධානය යොමු කරන ප‍්‍රමිතීන් ඇතැම් විට නොවිධිමත් ආර්ථික ක්ෂේත‍්‍ර කෙරෙහි සැබවින් ම විශේෂ අවධානයක් යොමු කරයි. සේවක එක්රැස් වීමේ නිදහස, සමාජ ආරක්ෂණය, වෘත්තීය සුරක්ෂාව සහ සෞඛ්‍යය, වෘත්තීය පුහුණුව සහ ජගත් කම්කරු ප‍්‍රමිති වලින් ඉල්ලා සිටින වෙනත් පියවරයන්, දරිද්‍රතාව අවම කිරීමේ දී සහ සේවකයන් විධිමත් ආර්ථිකය තුළට කැඳවා ගැනීමේ දී ඵලදායක ක‍්‍රමෝපායයන් වන බව ඔප්පු වී ඇත. එපමණක් නොව, කම්කරු අයිතිවාසිකම් බලාත්මක කළ හැකි ආයතන සහ යාන්ත‍්‍රණයන් නිර්මාණය කළ යුතු යැයි ද ජගත් කම්කරු ප‍්‍රමිති ඉල්ලා සිටියි. අර්ථ නිරූපණය කළ අයිතිවාසිකම් සහ නීති කට්ටලයක් සහිතව ක‍්‍රියාත්මක නීතිමය ආයතනවලට ආර්ථිකය විධිමත් කිරීමට උදව් විය හැකි අතර, ආර්ථික වර්ධනයට සහ සංවර්ධනය සඳහා අතිශය වැදගත් වන විශ්වාසය සහ පිළිවෙළ සහිත වාතාවරණයක් නිර්මාණය කළ හැකි ය.

 

ජාත්‍යන්තර අත්දැකීම සහ දැනුම ඒකරාශි වීමකි

ජගත් කම්කරු ප‍්‍රමිතීන් වූකලි, ලොව වටා විශේෂඥයන්ගේ අදහස් විමසමින් රජයන්, සේවා යෝජකයන් සහ සේවකයන් අතර සිදු වුණු සාකච්ඡාවල ප‍්‍රතිඵලය යි. ඒවා ගෝලීය මට්ටමේ දී කිසි යම් කම්කරු ගැටලූවක් විසඳා ගත හැකි ආකාරය පිළිබඳව ජාත්‍යන්තරව ඇති කර ගෙන තිබෙන එකඟත්වය සංකේතවත් කරන අතර, ලෝකයේ සෑම අහුමුල්ලකින් ම ලද දැනුම සහ අත්දැකීම පිළිබිඹු කරයි. මෙම ප‍්‍රමිතීන් සිය ප‍්‍රතිපත්ති තුළට, මෙහෙයුම් අරමුණු වලට සහ එදිනෙදා ක‍්‍රියාවට අන්තර්ගත කර ගැනීමෙන් රජයන්ට ද, සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධානවලට ද, ජාත්‍යන්තර ආයතනවලට ද, බහුජාතික සමාගම්වලට සහ රාජ්‍ය නොවන සංවිධානවලට ද මෙම දැනුමෙන් ප‍්‍රයෝජන ලද හැකි ය. ප‍්‍රමිතීන්හි නීතිමය ස්වභාවය නිසා ජාතික මට්ටමේ නීති පද්ධතියේ දී සහ පරිපාලනයේ දී ඒවා යොදා ගැනීමට ඉඩ සැලසේ. එලෙසම ජාත්‍යන්තර නීති පද්ධතියේ කොටසක් වීම නිසා ජාත්‍යන්තර ප‍්‍රජාව තව තවත් එකට එක් කිරීමට ඒවාට හැකියාව ඇත.

මුලාශ්‍රය: www.ilo.org

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (2)

  1. Author says:

    Qatar වල කව්රුහරි ඉන්නවා නම් කටකෙරන්න .මම යන්න ඉන්නේ . Manjula

    (0)(0)



    0



    0
  2. Nishantha Fernando says:

    ඔබගේ මෙම සේවාව ඉතා ගෞරවඅන්විත සේවාවක්

    .

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435