ජනපති පොරොන්දුවෙන් දුම්රිය වර්ජනය නවතී

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති හමුවෙන් පසු දුම්රිය වර්ජනය අවසන් කිරීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබේ.

මේ අතර දුම්රිය වැඩ වර්ජනයේ නියුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින් වෙත අවසන් නිවේදනය දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කර තිබුණේ ශ්‍රී ලංකා දුම්රිය සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති බැවින් දුම්රිය වර්ජනයේ නියුතු සියලුම දුම්රිය සේවකයින් 2019.10.07 වැනිදින එනම් අද මධ්‍යම රාත්‍රී 12.00ට පෙර සේවයට වාර්තා කරන ලෙසයි..

කෙසේ වෙතත් වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද(07) පෙරවරුවේදී ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, පොදු මහජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් තම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සියලූ වෘත්තිකයන්ගේ වගකීම බවයි.

වැඩ වර්ජනය අවසන් කරන ලෙස මෙහි දී දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා, ඉන් අනතුරුව ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව ද සලකා බලමින් ඒවාට ලබා දිය හැකි විසඳුම් ලබා දීමට  තමා මැදහත් වීම සිදුකරන බව දන්වා තිබේ.

මේ අතර වෘත්තීය ක්‍රියා මාර්ග අත්හරින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින්ද, දුම්රිය සේවය ඇතුළු සියලුම වෘත්තීය ක්‍රියා මාර්ගවල නියැළි පිරිස් වෙතින් ඉල්ලීමක් කර තිබිණි.

එහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේ ජනාධිපතිවරණ කාල සීමාව තුළ අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙසයි.

විශේෂයෙන් දැනට වැඩවර්ජනයේ නිරත දුම්රිය කාර්ය මණ්ඩල මැතිවරණ කාල සීමාවේ දී එම වර්ජන අත්හැර සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසදා ගන්නා ලෙස සභාපතිවරයා මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කරන ලදී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435