“ජනපති සොයුරු කුමාරසිංහ සිරිසේන පන්නා දමමු, ටෙලිකොම් රැකගනිමු.” ටෙලිකොම් සේවකයෝ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක….

සභාපතිවරයා ඇතුළු ආයතන කළමණාකාරීත්වයේ අත්තනෝමතික ක්‍රියාවන්ට විරෝධය පල කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ටෙලිකොම් සේවකයින් අද දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන කුමාරසිංහ සිරිසේන ප්‍රමුඛ ටෙලිකොම් ආයතනයේ ඉහළ කළමණාකාරීත්වය විසින් දේශපාලන බලය යොදාගෙන සිදු කරණු ලබන මහා පරිමාණ දූෂණ වංචා සහ අක්‍රමිකතා සහ දුර්වල කළමණාකාරීත්වය හේතුවෙන් ආයතනය තුළ සේවය කරන සේවකයින් අර්බුධ රැසකට මුහුණපා ඇති බව වර්ජනයේ නියුතු වෘත්තීය සමිති විසින් පෙන්වා දේ.

 2008 වසර වන විට ටෙලිකොම් ආයතනයේ ආදායම මිලියන 36,000 ක්ව තිබියදී එහි ලාභය ලෙස රුපියල් මිලියන 6500ක් වූ අතර 2018 වසරේදී අදායම රුපියල් මිලියන 44,000ක් වුවද එහි ලාභය රුපියල් මිලියන 1800 දක්වා පහළ බැස ඇත. තවද රුපියල් මිලියන 50,000 ඉක්මවූ ණය ප්‍රමාණයක්ද හිමිකරගෙන ඇති අතර මෙම විශාල ණය වල බර පැටවී ඇත්තේ සේවකයන් මතය.

 මිලියන ගණන් ලාභ ලැබූ අයතනයක් වන ටෙලිකොම් ආයතනය මිලියන ගණනින් පාඩු ලබන ආයතනයක් බවට පත් කිරීම කෙරෙහි සභා පති ප්‍රමුඛ කළමණාකාරීත්වයේ දුර්වල සහ දූෂිත ක්‍රියාකලාපයන් හේතු වී ඇති බව වෘත්තීය සමිති පවසයි. ඒ අතරට ආයතනයට කෝටි ගණනින් පාඩු සිදු වූ ක්‍රෙඩිට් කාඩ් වංචාවක් ද ඇතුළත්ය.

එසේම ආයතනයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම්, ප්‍රසාද දීමනා, ආපදාණය සහන, අතිකාල පවා කප්පාදු කරමින් කටයුතු කරන  දූෂිත සභාපතිවරයා ඉවත් කළ යුතු බව සේවකයින් දැඩිව කියා සිටී. සේවකයන් ප්‍රකාශ කරන පරිදි සේවක අයිතිවාසිකම් තුට්ටුවකට මායිම් නොකරන සභාපතිවරයා ඇතුළු පාලනාධිකාරය තව තවත් ඉහළ තනතුරු වැඩි කරමින් සිටින අතර මේ සම්බන්ධව රටේ දේශපාලන අධිකාරීන් ද මුනිවත රකිමින් ආයතන තුළ සිදුවන මහා පරිමාණ දූෂණ වංචාවලට හවුල් වෙමින් සිටින බවද කියා සිටී.

සේවක ගැටළු විසඳීම වෙනුවට සේවක වරප්‍රසාද කප්පාදු කරමින් සිදු කරන අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව මීට පෙරදී ද ක්‍රියාමර්ග රැසක් වෘත්තීය සමිති විසින් සිදු කළ අතර අද දින සිදු කරණු ලබන වැඩවර්ජනය ඉතා තීරණාත්මක එකකි. මන්ද යත් මෙම වැඩවර්ජනයෙන් පසුවද පාලනාධිකාරිය විසින් සේවක වරප්‍රසාද කඩවීම් සහ ගැටලු වලට විසඳුම් නොදුනහොත් සහ සභාපතිවරයා ඇතුළු පාලනාධිකාරියේ දූෂිත ක්‍රියා වලක්වා ගැනීමට පියවර නොගතහොත් සමස්ත සේවකයින් දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයකට යන බව දැඩිව අවධාරනය කර සිටී.

අද දින පැවැත්වෙන වැඩවර්ජනය සඳහා ශ්‍රීලංකා ටෙලිකොම් සේවක සංගමය, විදුලි සංදේශ ඉන්ජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය, තොරතුරු සන්නිවේදන තාක්ෂ්ණ නිළධාරීන්ගේ සන්ගමය, සමස්ත ලන්කා විදුලි සන්දේශ සේවක සන්ගමය, පාරිභෝගික සේවා සහ සමාන්තරසේවා නිළධාරීන්ගෙ සංගමය  ඇතුළු වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටිනු දැකිය හැකිය.

සටහන – කල්ප මදුරංග

වැඩබිම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435