ජාත්‍යන්තර කාන්තා දිනය හා ඇඟළුම් ක්ෂේත්‍රයේ කාන්තාවන්ගේ ජීවිතයේ ඇතුළාන්තය

වර්තමානයේදී රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය මේ හැම ක්ෂේත්‍රයකම ගත්කළ රැකියා මට්ටමින් කාන්තා නියෝජනය පිරිමි ශ්‍රමිකයින්ට සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා.

ඊට සාපේක්ෂව සේවා පරිසරය තුළ කාන්තාවන් මුහුණ දෙන ගැටළු ප්‍රශ්න ආදියද පෙරට වඩා වැඩි වීමක් පෙන්නුම් කරනවා. විශේෂයෙන් ඇගළුම් ක්ෂේත්‍රය තුළ කාන්තාවන් මුහුණදෙන ප්‍රශ්න හා ගැටළු වැඩියි.

යුද්දෙන් පස්සේ ඒ ඒ ප්‍රදේශවල ද්‍රවිඩ කාන්තාවන් වැඩි ප්‍රමාණයක් කර්මාන්තශාලා මූලිකවී ඇගළුම් ක්ෂේත්‍රයේ රැකියාවලට අනියුක්ත කර තිබෙනවා. විශේශයෙන් නිදහස් වෙළඳ කලාපයතුළ කර්මාන්තශාලා රැසක මොවුන් සේවය සඳහා යොදවා තිබෙනවා. නමුත් මෙහි ඇති ගැටළුව එම කාන්තාවන්ට අවශ්‍ය පහසුකම්, ඔවුන්ට රැකියාවක් කිරීමට තරම් සුදුසු පරිසරයක් ගොඩනැඟීමට ආයතන මට්ටමින් පියවරගෙන නොතිබීමත් ඔවුන්ගේ භාෂාමය ගැටළුව නිසා නිසියාකාරව ගැටළු ප්‍රශ්න ආයතනයේ වගකිවයුතු පුද්ගලයින්ට ප්‍රකාශ කිරීමේ නොහැකියාවත් විශාල ගැටළුවක් වෙලා තියෙනවා.

ඒ වගේම තවයි නේවාසිකාගාර ගැටළු. නගරබදව රැකියාව සඳහා පැමිණෙන කාන්තාවන් මුහුණදෙන තවත් ගැටළුවක් තමයි නිසි පහසුකම් සහිත නේවාසිකාගාර නොමැති වීම.සමහර නේවාසිකාගාරවල අනාරක්ෂිත තත්ත්වයක් නෑ. දොරවල් කැඩිලා. ඉතින් ඒ වගේ පරිසරයක කාන්තාවක් ජීවත්වීම අනාරක්ෂිතයි. ඒ බව ආයතන බලධාරීන්ට නොපෙනෙන එක විශාල ගැටළුවක්.

සමහර ආයතනව සේවා මුර ක්‍රමයකට කාන්තාවන් පුරුෂ දෙපක්ෂයම සේවයේ යොදවන අවස්ථා තියෙනවා. කාන්තාවක් රාත්‍රී සේවය සඳහා යොදවනවා නම් පවුල් ප්‍රශ්න, දරුවන් අනාරක්ෂිත වීම, සෞඛ්‍ය පිරිහීම මේ වගේ ගැටළු රැසක් තියෙනවා.

කාන්තාවන් මුහුණ දෙන තවත් ගැටළුවක් තමයි රාත්‍රී සේවයේ යෙදෙන කාන්තාවන්ට ප්‍රවාහන පහසුකම් නිසියාකාරව නොලැබීම. එහෙම කිඋවහම ඇතැම් සමාගම් කියන්න පුළුවන් අපි ප්‍රවාහන පහසුකම් දෙනවා කියලා. නමුත් ප්‍රධාන මාර්ගවල විතරයි ඒ වාහන යන්නේ. සමහර කාන්තාවන්ගේ නවාතැන්, හොස්ටල්හෝ නිවෙස්වලට අතුරුපාරවල් වලත් යන්න ඕනි. ඒ පාරවල් වල ඔය කියන වාහන යන්නේ නෑ. ඉතින් මේ හේතුවෙන් කාන්තාවන්ගේ ආරක්ෂාවට තර්ජන ඇතිවෙලා තියෙනවා.

ගොඩක් කාන්තාවන් රාත්‍රී සේවය හෝ අතිකාල සේවය කරන්නේ වැඩිපුර වැටුපක් ලබා ගැනීමේ අරමුණින්.එයට  හේතුව ඔවුන්ට මාසික ලැබෙන වැටුප ජීවත්වීම සඳහා ප්‍රමාණවත් නොවීම. ආයතන බලධාරීන් විසින් ජීවත්වීමට සරිලන වැටුපක් ඔවුන්ට ලබා දෙනවානම් මේ ප්‍රශ්න මීට වඩා අවම කරගන්න හැකියාව තියෙනවා. නමුත් ආයතන කළමාණාකාරීත්වය කරන්නේ ඔවුනේ ඉලක්ක සම්පුර්ණ කරගන්න සේවක සේවිකාවන් මැෂින් බවට පත් කරලා ශ්‍රම සූරාගෙන කෑම. ඒ වෙනුවෙන් වැඩි මුදලක් දෙනවා, මේ ඉලක්ක සම්පුර්ණ කළොත් මෙච්චර ප්‍රමාණයක මුදල් ලැබෙනවා කියලා ඔවුන්ගේ ශ්‍රමය සූරා කනවා.

අපි පසුගිය කාලයේ BOI එකත් එක්ක සාකච්ඡා කළා මේ නේවාසිකාගාර විධිමත් ක්‍රමවේදයකින් හදන්න ඕනි කියලා. ඒ වගේම කම්කරු දෙපාර්තමේන්තුවට හා BOI එකට අපි තවත් යෝජනාවක් කළා නිවාස යෝජනා ක්‍රමයක් හඳන්න. නමුත් කිසිම විධිමත් ක්‍රමවේදයක් තවමත් හැදිලා නෑ.ඒ  ගැන වගකිවයුතු ආයතන යටතේ පාලනය වන නේවාසිකාගාරවලත් වාසය කිරීමට තරම් සුදුසු මට්ටමක නෑ.

මේ ගැටළු එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් වෙනසක් වෙයි කියලා හිතන්න අමාරුයි,. මොකද වැඩබිමේ කාන්තාවන් මුහුණදෙන ගැටළු ගැන වෘත්තීය සමිති විඳිහට හඬ නැගුවේ අද ඊයෙක නෙවෙයි. කාලටක් තිස්සේ ප්‍රසූත හිමිකම් පෞද්ගලික අංශයේ කාන්තාවන්ට හිමිකර දීම, රාත්‍රී සේවයේදී කාන්තාවන්ගේ අනාරක්ෂිතබව හා තවත් ගැටළු රැසක් සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීමත් ඒවාට නිසි විසඳුම් ලබා ගැනීමටත් වෘත්තීය සමිති මට්ටමින් කටයුතු කළ අවස්ථා තියෙනවා. නමුත් තවමත් ඊට නිසි විසඳුම් ලැබිලා නෑ. ඒවගේම තමත් ගොඩක් වෙලාවල වෘත්තිය සමිතිවලට බැඳෙන්න අවස්ථාව ලබා නොදීම.අදවනවිට මෑන් පවර් සේවය වැඩිවෙලා තියෙනවා. රැකියාවකට අනියුක්ත කරනවා කියලා කාන්තාවන් රැගෙන ගිහින් නිවෙස්වල මෙහෙකාර සේවයට යෙදවීම, වෙනත් නුසුදුසු සේවයන් සඳහා බලකිරීම් වැනි දෙවල්ද සිදුවෙනවා. මේ ක්‍රමවේදය ඇත්තටම වැරදියි. කාන්තාවන් වරදට පෙළඹීම, නුසුදුසු රැකියාවලට පෙළඹීම සිදුවෙන්නේ මෙවැනි ක්‍රමවේද හරහා.

මෙහිදී කර්මාන්තශාලා වගේම වගකිවයුතු රාජ්‍ය ආයතන මඟින් ඒ කියන්නේ BOI එක, කම්කරු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, MOHඑක, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැනි ආයතන හා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මේ සියළු පාර්ශවයන් හා එක්ව කර්මාන්තශාලා හිමියන්ට මෙම ගැටළු ගැන සාකච්ඡා කරන්න පුළුවන්නම් යම්තාක් දුරට ප්‍රශ්නවලට විසඳුම් ගෙනෙන්න පුළුවන්. වෘත්තීය සමිති විඳිහට විසඳුම් සඳහා විවිද යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. කාන්තාවන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් හා ගැටළු ,ප්‍රශ්න ආදිය ගැන කතා කරන්නඒ වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන්.

ඒ වගේම තමත් මඟ තොටේදී කාන්තාවන්ට සිදුවෙන අසාධාරණකම් හා තාඩන පීඩන සම්බන්ධයෙන් පොලීසිය මැදිහත් වෙලා ඒ වෙනුවෙන් ආරක්ෂිත ක්‍රියාමාර්ග  සේවා ආයතන හා සකච්ඡා කොට ක්‍රියාත්මක කරන්න පුළුවන්.

අපි වෘත්තිය සමිති විඳිහට අවුරුද්දක් ඇතුළත කරන්න ඕනි නේවාසිකාගාර සාකච්චා ප්‍රමාණයක් තියෙනවා. අපි යුනියන් එකක් විඳිහට කාන්තාවන්ට විතරක් නෙවෙයි සියළු සේවකයින්ට බලපාන ප්‍රශ්න, ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඊට අමතරව අත්පත්‍රිකා මඟින් ප්‍රකාශන මඟින් අපි සේවකයින් දැනුවත් කරනවා.

කාන්තාවක් කියන්නේ අපේ ඉදිරි අනාගතේ තීරණය කරන ප්‍රධාන සාධකයක්. අද තරුණියක් හෙට මවක් වී මතු පරපුර ගොඩනඟන්න ජීවියක් ලබා දෙනවා. වර්තමානයේ පවතින සමාජ ක්‍රමය තුළ කාන්තාව සෞඛ්‍ය මට්ටමින් ගත්කළ පිරිහෙමින් පවතිනවා. ඇඟළුම් ක්ෂේත්‍රයේ නියළෙන බොහෝ කාන්තාවන් අද විවිද රෝගවලින් පිඩා විඳිනවා. නමුත් ඒම රෝගවලට නිසි ප්‍රතිකාර ගන්න ඔවුන් උත්සාහ කරන්නෙත් නෑ. ඊට අවස්ථාවක් ඔවුන්ට ආයතන මට්ටමින් ලැබෙන්නෙත් නෑ. ඉතින් මේ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕනී.

වෘත්තිය සමිති සාමාජිකයින් විදිහට අපි කළ යුත්තේ මේ ගැටළු, ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම උදෙසා සංවිධානය වී හඬක් නැඟීමයි. ජාත්‍යන්තර කන්තා දිනය යෙදෙන අද වැනි දවසක අපි එකරාශීවී කළ යුත්තේ කාන්තාව සවිබල ගන්වමින් ඔවුන්ගේ අයිතින් ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ව පෙළගැස්සවීමයි.

වාණිජ හා කාර්මික සේවක සංගමය – සුගත් රාරපක්ෂ (සහකාර ලේකම්)

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435