ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ මළගම අබියස

සමස්‌ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමයේ සභාපති අශෝක ධර්මකීර්ති මහතා පෙන්වා දෙන පරිදි වර්තමානය වන විට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ තුළ ගැටළු රාශියක් උද්ගතවී පවතින බවයි.

ශ්‍රී ලංකාවේ ගුරු පුහුණුව වඩාත් විධිමත්ව සිදු කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක්‌ ලෙස ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පිහිටුවීම සැලකිය හැකිය. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ කිරීමට පෙර ගුරුවිද්‍යාල මගින් ගුරු පුහුණුව ලබාදීමේ කාර්යය සිදුවුවත් එමගින් සිදුවූයේ සේවයේ යෙදී සිටින ගුරුවරුන් පුහුණු කිරීමේ කාර්යයයි. එහෙත් 1985 වර්ෂයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රියාවලියට හඳුන්වාදුන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් පූර්ණසේවා ගුරු පුහුණුවක්‌ ලබාදීම ආරම්භ විය. ඒ සඳහා පුරෝගාමී මෙහෙවර සිදුකළේ එවකට අධ්‍යාපන ඇමැතිවරයාව සිටි වර්තමාන අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස්‌ පෙළ සමත් තරුණ ජවයක්‌ සහිත සිසුන් බඳවාගෙන තෙවසරක ගුරු පුහුණුවක්‌ ලබා දී ඉන් සාර්ථකව සමත් අය ගුරු වෘත්තියට ඇතුළත් කරගනු ලැබීය. වසර තිස්‌ දෙකක පමණ ඉතිහාසය තුළ ඵලාදායී ගුරු පුහුණුවක්‌ ලැබ අධ්‍යාපන පද්ධතියට බැඳුණු සංඛ්‍යාව හැටදහසකට වැඩිය. ඉන් වැඩි පිරිසක්‌ ගුරුවරුන් ලෙස සිය යුතුකම් නොමසුරුව ලබාදෙයි. ඇතැම් අය විදුහල්පතිවරු හා අධක්‍ෂවරු ලෙස සිය සේවය අධ්‍යාපන පද්ධතියට දායාද කරයි.

ආරම්භක යුගය හා සැසදීමේදී වර්තමානය වනවිට යම් යම් ගැටලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළ උද්ගතව ඇත. ගැටලු සඳහා සුදුසු මැදිහත්වීම් නිසි පරිදි නිසි අවස්‌ථාවලදී සිදු නොකිරීම මීට හේතුවයි. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ගුරු පුහුණුවට නියමිත කාල වකවානුවේදී ගුරු සිසුන් ඇතුළත් කර නොගැනීම ඉන් ප්‍රබල ගැටලුවකි.

මේ පිළිබඳව විස්‌තරයක්‌ 2017-02-27 වන දින දිවයින පුවත්පතේ “ගුරුසිත නොරිදවා” විශේෂාංගයේ පළවිය. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ සමතුන් විශ්වවිද්‍යාලයට බඳවාගන්නා කාල වකවානුවේ දීම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට බඳවා ගැනීම් සිදු වූ යුගයක්‌ තිබුණි. එහෙත් නූතනය වන විට එය වඩාත් පසුගාමී ස්‌වභාවයක්‌ ගෙන ඇත. උදාහරණ – දැනට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පළමු වසර ගුරු සිසුන් ලෙස ගුරු පුහුණුව ලබන්නේ 2013 වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) පරීක්‍ෂණයට පෙනී සිටි අයයි. 2013 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ සමතුන් විශ්වවිද්‍යාලවල සිදු කරන්නේ ඔවුන්ගේ තුන්වන වසරේ අධ්‍යයන කටයුතුය. 2014 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ සමතුන්ගෙන් විශ්වවිද්‍යාලවලට බඳවාගත් අය ඔවුන්ගේ දෙවන වසර අධ්‍යාපන කටයුතු සිදු කරද්දී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට 2014 වර්ෂයේ සමතුන් තවමත් බඳවාගෙන නැත. මෙම තත්ත්වය තුළ තරුණ ජවයක්‌ සහිත අය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් වෙනවා වෙනුවට සිදුව ඇත්තේ කළකිරීමක්‌ සහිතව නිකරුනේ කාලය කා දැමූ පිරිසක්‌ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් වීමයි.

වර්තමාන වනවිට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළ ගුරු පුහුණුව ලබන්නේ එක්‌ ශිෂ්‍ය කණ්‌ඩායමක්‌ පමණි. එක්‌ ශිෂ්‍ය කණ්‌ඩායමක්‌ පමණක්‌ සිටීම නිසා කථිකාචාර්ය මණ්‌ඩලයේ විශාල සංඛ්‍යාවකට සිය දේශන හා පුහුණු කටයුතු සඳහා ඇති ඉඩ අවස්‌ථා ගිලිහී ඇත. මෙය මානව සම්පත්වලින් උපරිම ප්‍රයෝජන නොගැනීමක්‌ ලෙස සැලකිය හැකිය. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්‌ඩලවලින් උපරිම ප්‍රයෝජන ගැනීම් සිදු කළ යුතුය. ඒ සඳහා වර්තමානයේ පවතින තත්ත්වය පුරුද්දක්‌ ලෙස ඉදිරියට ගලායැම නතර කළ යුතුය.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල අභ්‍යන්තරිකව ලබන දෙවසරක ගුරු පුහුණුවෙන් පසු එක්‌ වසරක සීමාවාසී ගුරු පුහුණුවක්‌ සඳහා ගුරු සිසුන් අනුයුක්‌ත කෙරේ. එකී එක්‌ වසරක සිමාවාසීක ගුරුපුහුණු කාලය තුළදී අදාළ ගුරු සිසුහු සිය පුහුණුවීම් ප්‍රශස්‌ත මට්‌ටමක්‌ කරා ළ`ගා කර ගනිති. වෛද්‍ය විද්‍යාලය තුළ වෛද්‍යවරුන් ලෙස පුහුණුව ලබන වෛද්‍ය ශිෂ්‍යයන්ද සිය සීමාවාසික පුහුණුව අදාළ රෝහල්වල දී වඩාත් හොඳින් ලබා ගන්නා අයුරු අප දැක ඇත. සීමාවාසික පුහුණුව ලබන වෛද්‍යවරු නිසා අදාළ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට එන රෝගීන්ට මහ`ගු සේවයක්‌ සැලසෙන අතර එය අදාළ රෝහලේ කීර්ති නාමයටත් හේතු වේ. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් දෙවසරක ගුරු පුහුණුව ලැබ සීමාවාසික ගුරු පුහුණුව සඳහා එක්‌වන ගුරු සිසුන් නිසා අදාළ පාසල්වල සිසුන්ටත් එකී පාසල්වල කීර්තිනාමයටත් ඉමහත් එය හේතු වේ. එහෙත් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම වර්ෂයේ ජුනි මාසයේ සිට ලබන වර්ෂයේ ජුනි මාසය ( 2017 ජුනි මාසයේ සිට 2018 වර්ෂයේ ජුනි මාසය ) දක්‌වා සීමාවාසි ගුරු පුහුණුවක්‌ සඳහා පිටත්කර යෑවීමට ගුරු සිසුන් කණ්‌ඩායමක්‌ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළ නැත. ඊට හේතුව දැනට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළ දෙවන වසර ශිෂ්‍ය කණ්‌ඩායමක්‌ නොමැති වීමයි.

වසර තිහකට වඩා ඉතිහාසයක්‌ ඇති ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කිහිපයක පවතින ගොඩනැඟිලි හා භෞතික සම්පත් පිළිබඳ තත්ත්වය සතුටුදායක නොවේ. ඇතැම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ගොඩනැඟිලි වසර සියයකටත් වඩා පැරණි ය. විශේෂයෙන් පැරැණි ගුරු පුහුණු විද්‍යාල ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ලෙස නම් කළ බොහෝ විද්‍යාපීඨවල තත්ත්වය එසේය. එම ගොඩනැඟිලි බොහෝමයක්‌ ප්‍රතිසංස්‌කරණය කිරීමේ කටයුත්ත වර්තමාන අධ්‍යපන ඇමැතිවරයාගේ අදහසක්‌ මත සිදුවිය. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට වසර තිහක්‌ පිරීම නිමිතිකොට ගෙන ක්‍රියාත්මක කළ එකී ප්‍රතිසංස්‌කරණ නිසි ප්‍රමිතියෙන් සිදු නොවූ නිසා සමහර ගොඩනැඟිලි තිබූ තත්ත්වයන්ටත් වඩා පරිහානියට ලක්‌ව ඇත. මාස කිහිපයක්‌ තුළ එවන් ඉරණමක්‌ උදා වී ඇත්තේ වෙන්කළ මුදල් නිසි ලෙස වියදම් නොකර කිහිපදෙනෙක්‌ යටිමඩි ගසා ඇති නිසාය. අධ්‍යාපන විද්‍යාපීඨවල සිදුකළ මෙම ප්‍රතිසංස්‌කරණ පිළිබඳව නීරික්‌ෂණය කිරීමෙන් මෙහි සැබෑ තත්ත්වය දැකගත හැකිය. ඩෙස්‌, පුටු, කලු ලෑලි හා වෙනත් තාක්‍ෂණික උපකරණ පිළිබඳ තත්ත්වයද ඉතා අසතුටුදායකය. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ඇති එකී සම්පත්වලට වඩා ගුණාත්මක බවින් යුත් සම්පත් පාසල් පද්ධතියේ බොහෝ පාසල්වල දැකිය හැකිය. වැසිකිළි හා කැසිකිළි පිළිබඳ තත්ත්වයද එතරම්ම කණගාටු දායකය. තරුණ ජීවිත සිය ගණනක්‌ නේවාසික පුහුණුවක්‌ ලබන ස්‌ථානයක සනීපාරක්‌ෂාව පිළිබඳව පවතින තත්ත්වය ගෝචනීය වේ.

නේවාසික ගුරු පුහුණුව ලබන කරුණ ජීවිත පිළිබඳව මීටවඩා සැලකිල්ල දැක්‌වීමට අධ්‍යාපන විද්‍යාපීඨ බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය. මෙම තත්ත්වය ඇතැම් අධ්‍යාපන විද්‍යාපීඨ සම්බන්ධයෙන් වඩාත් ප්‍රබලව දැනේ. තරුණ දිවිය තුළ හොඳ ආහාරවේලක්‌ ලබාදීම අත්‍යවශ්‍යයෙන්ම විය යුත්තකි. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු නිසි ලෙස සිදු කරගත යාමටත් යහපත් නිරෝගී ශරීරයක්‌ පවත්වාගෙන යාමටත් හොඳ ආහාර වේලක්‌ සැපයිය යුතුය. අනාගතයේදී මව්වරු, පියවරු ලෙස සිය භූමිකාවක්‌ නිසි ලෙස සිදු කිරීමට තරුණ දිවියේදී ලබා ගන්නා ආහාරවල පෝෂණය බලපායි. ඔවුන්ට රජයෙන් ලැබෙන මුදල් ප්‍රමාණයට සරිලන පරිදි පෝෂ්‍යදායි ආහාරවේලක්‌ සැපයීම අනිවාර්ය වගකීමක්‌ වන්නේ එහෙයිනි. ඒබ්‍රහම් මාෂ්ලෝ පැවසූ පරිදි පුද්ගල ජීවිතයේදී ජීව විද්‍යාත්මක අවශ්‍යතා හා ආරක්‌ෂක අවශ්‍යතා ඉතා ප්‍රබලය. එය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව ලබන තරුණ ජීවිත සඳහාද වලංගු ය.

සීමාවාසික ගුරු පුහුණුව ලබන සිසුන් සඳහා රජයෙන් මාසිකව ලබාදෙන රුපියල් හාරදහසක මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවේ. ගුරු සිසුන් තුළ දැඩි කළකිරිමක්‌ ඒ සම්බන්ධයෙන් පවතී. සුවිශේෂි කටයුතු රැසක්‌ ද සමග ඉගැන්වීම් කාර්යයේ නියෑලෙන සීමාවාසික ගුරු සිසුන්ගේ කාර්ය සාධනය වැඩි කිරීමට ඔවුන්ට ලබාදෙන මාසික දීමනවාද වැඩි කළ යුතුය. වෙනත් ක්‍ෂේත්‍රවල සීමාවාසික පුහුණුව ලබන්නන් සඳහා ලබාදෙන දීමනාව ඉහළ මට්‌ටමක පවතී. අඩුම තරමින් මසකට රුපියල් දහදහසක හෝ දීමනාවක්‌ ලබාදීමට කටයුතු කළ යුතුව ඇත. ගුරු සිසුන් අභ්‍යන්තරිකව හා සීමාවාසිකව සිය පුහුණුවීම් සිදු කරගෙන යැමේදී පාඨමාලා කිහිපයක්‌ සම්බන්ධයෙන් ගැටලු උද්ගතව ඇත. අභ්‍යන්තරිකව පුහුණුවක කාලය තුළ ප්‍රායෝගික ඉගැන්වීම් පුහුණු කටයුතු සිදු කිරීමේදීත් සිමාවාසික පුහුණුව ලබන කාලය තුළදීත් සතියකට කාලපරිච්ඡේද පහළොවක ප්‍රමාණයක්‌ ඉගැන්වීම් කළ යුතුය. එහිදී තමා පුහුණුව ලබන ප්‍රධාන විෂය ක්‍ෂේත්‍රයෙන් කාල පරිච්ඡේද දහයක්‌ ද උප විෂය ක්‍ෂේත්‍රයෙන් කාල පරිච්ඡේද පහක්‌ ද වන පරිදිය. එහෙත් සමහර පාඨමාලා සම්බන්ධයෙන් මෙය ගැටලුවක්‌ වේ. උදාහරණ නිර්මාණකරණය හා තාක්‌ෂණවේදය පාඨමාලාව ශිල්පකලා පාඨමාලාව. නිර්මාණකරණය හා තාක්‌ෂණවේදය පාඨමාලාව ක්‍ෂේත්‍ර තුනකින් සමන්විත වේ.

  • නිර්මාණකරණය හා ඉදිකිරීමේ තාක්‌ෂණවේදය.
  • නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්‌ෂණවේදය.
  • නිර්මාණකරණය හා විදුලිය හා ඉලෙක්‌ට්‍රොනික තාක්‌ෂණවේදය.

මෙහිදී එක්‌ ගුරු ශිෂ්‍යයකුගේ ප්‍රධාන විෂය ඉහත විෂයයන් තුනෙන් එකක්‌ වන අතර ඔහුගේ උපවිෂය ඉහත විෂයන්ගෙන් ඉතිරිවන විෂය ක්‍ෂේත්‍ර දෙකෙන් එකකි. එක්‌ ගුරු ශිෂ්‍යයෙක්‌ සඳහා සතියකට කාලපරිච්ඡේද පහළොවක්‌ ලබාගත හැකි පරිදි කාල සටහන් ලබා ගත යුතුය. ඉහත තත්ත්වය ආවරණය වන පරිදි කාල සටහනක්‌ ලබාගත හැක්‌කේ ශ්‍රී ලංකාවේ කුමන පාසල්වලින්ද? ලංකාවේ බොහෝ පාසල්වල මෙම විෂයන් උගන්වන්නේ නැත. උගන්වන පාසල්වලද ඇත්තේ ඉන් එක විෂයක්‌ හෝ දෙකක්‌ පමණි. ඉතා අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක්‌ සහිත පන්තිකාමර දක්‌නට ඇති අතර, මාගේ නීරික්‌ෂණයට ලක්‌ වූ බොහෝ පන්ති කාමරවල සිටියේ එක්‌ ශිෂ්‍යයෙක්‌ හෝ දෙදෙනෙකි. අධ්‍යාපන විද්‍යාපීඨ තුළින් පුහුණුව ලබන ගුරු සිසුන් සඳහා හොඳ පන්නරයක්‌ ලබාදීමට මෙය කිසිසේත් ප්‍රමාණවත් නොවේ. මීට ප්‍රධාන හේතු ව වී ඇත්තේ ප්‍රධාන විෂය ක්‍ෂේත්‍රයන් උප විෂය ක්‍ෂේත්‍රයන් කාණ්‌ඩ විෂයන් වීමය. පාඨමාලාවන් සම්බන්ධ තීරණ ගැනීමේදී අධ්‍යාපන අමාත්‍යාංශයත් ජාතික අධ්‍යාපන ආයතනයත් මීට වඩා සැලකිලිමත් විය යුතුය. ශිල්පකලා පාඨමාලාව සම්බන්ධයෙන් ද මේ හා සමාන ගැටලු පැනනැඟී ඇත. ඊට ද ඉක්‌මන් මැදිහත්වීමක්‌ අවශ්‍යය.

1985 වර්ෂයේ අධ්‍යාපන ඇමැතිවරයාව සිsටි රනිල් වික්‍රමසිංහ මහතාගේ උදාර සංකල්පයකට අනුව බිහිකළ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ දැනට ගත කරන්නේ සිය තිස්‌දෙවන වසරයි. පවතින ගැටලු විසඳාගනිමින් වර්තමානයට ගැලපෙන ලෙස අධ්‍යාපන විද්‍යාපීඨ වෙනස්‌ කළ යුතු කාලය මේ වන විට ඉක්‌ම ගොස්‌ ඇත. එබැවින් ඉක්‌මන් මැදිහත්වීමක්‌ සිදුකර අවශ්‍ය ක්‍රියා මාර්ග නොගතහොත් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල මළගම ආසන්නය. අධ්‍යාපන විද්‍යාපීඨවල අවසන් හුස්‌මපොද වාතලයට මුසුවීමට පෙර ඔක්‌සිජත් සපයා නැවත ජීවය ලබා දෙන්නට ඉක්‌මන් මැදිහත්වීමක්‌ අවශ්‍යය. අධ්‍යාපන ඇමැතිවරයා ලෙස සිරිලකට දායදා කළ අධ්‍යාපන විද්‍යාපීඨ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවධියේදී අභාවයට යාමට ඉඩ නොදිය යුතුය.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435