ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නීත්‍යානුකූල නොවන තීරණයක් මත පවුල් 400 ක් මහ මගට

ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලබාගත් නීත්‍යානූකූල නොවන තීරණයක් හේතුවෙන් පවුල් 400 ක් මහමගට වැටී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසයි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් බොරැල්ල ආචාර්ය ඇන්.ඇම් පෙරේරා ශාලාවේ දී අද (18) පැවැත් වූ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් සභාපතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණය හේතුවෙන් පවුල් 400 ක් පමණ අසරණභාවයට පත්ව සිටිනවා. ෆාමේස් සමාගමේ සේවකයින් තමයි මෙලෙස අසරණභාවයට පත්ව සිටින්නේ. සමාගමට විරුද්ධව අපි මීට පෙරත් කථා කරලා තිබෙනවා. නමුත් මෙවර මෙම සේවකයින්ට අත්වී ඇති ඉරණම සම්බන්ධයෙන් තමයි කථා කරන්නේ. මෙම සමාගම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට සම්බන්ධ බවට චෝදනා එල්ල වුණා. නමුත් එය බොරුවක් වී ඇති බව මේ වන විට ඔප්පු වී තිබෙනවා. සමාගම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නීත්‍යානුකූල නොවන තීරණයක් ගෙන තිබෙනවා. රජය වෙනස් වූ පසු ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම සමාගමේ ඖෂධ බලපත් අහෝසි කරමින් පෙබරවාරි 03 දින ලිපියක් යොමු කරනවා. ඖෂධ ආනයනය, බෙදාහැරීම, ගබඩා කිරීම, අලෙවි කිරීම මෙහිදී තහනම් කර තිබෙනවා. ටෙන්ඩර් සදහා ඉදිරිපත්වීමට ද මෙම සමාගමට අවස්ථාවක් හිමි වන්නේ නැහැ. සියලු කාරණා සළකා සමාගම වරදක් කර ඇත්නම් ඒ වරදට පමණක් දඩුවම් ලබාදිය යුතුයි. ලේබල වෙනස් කිරීමේ ප්‍රශ්ණයක් තමයි මෙතන තිබෙන්නේ. එම ප්‍රශ්නය මත පමණක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පරීක්ෂණ කළ යුතුයි. මෙවැනි තහනමක් පැනවීම සදහා අධිකාරියේ අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීමේ දී තීන්දු තීරණ ගත යුතුයි. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට පෙර සභාපතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වන්නේ ලබන 20 දා. ඊට පෙර දිනයක් යොදා මෙම තහනම ක්‍රියාත්මක කිරීමට අධිකාරිය පියවර ගෙන තිබෙනවා. මෙය වැරදියි. සෞඛ්‍ය අමාත්‍යවරිය සහ බලධාරීන් ඖෂධ පිටරටින් ගෙන්වීම සදහා අනීතික ලෙස ටෙන්ඩර් ලබාදුනහොත් මෙරට ජනතාවගේ මුදල් සූරා කෑමට කටයුතු කළහොත්, කිසියම් සමාගමකට අනුග්‍රහයක් ලබාදීමට කටයුතු කළහොත් ඊට එරෙහිව අපි කටයුතු කරනවා. රාජ්‍ය ආයතනයකට තනිව තීන්දු ගන්න බැහැ. වර්තමානයේ ඖෂධ වර්ග 310 ක පමණ හිඟයක් තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එම හිඟය පේන්නේ නැහැ. අමාත්‍යාංශය ඖෂධ ටෙන්ඩර් 03 ක් කැදවා තිබෙනවා. ඒ අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ෆාමේස් සමාගම පසුගිය කාලයේ තරගකාරි අයුරින් ඖෂධ ලබාදුන්නා. මෙම සමාගමට බලපෑම් නොකර ටෙන්ඩර් පටිපාටියට විවෘත කිරිම තුලින් අඩු මිලට ඖෂධ ජනතාවට ලබාදෙන්න පුළුවන්. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාගේ පැටිකිරිය ගැනත් අපි හොදට දන්නවා. වීදුරු ගෙවල්වල ඉදලා ගල් ගහන්න එපා. ඖෂධ සමාගම් වල අධ්‍යක්ෂ ධූර දරපු ආකාරයත් අපි දන්නවා. නමුත් අද මෙම සමාගමට ඇති වී තිබෙන තත්ත්වය නිසා විශාල පිරිසකට රැකියා අහිමි වී තිබෙනවා.

මෙම මාධ්‍ය හමුවට එක් වූ ෆාමේස් සමාගමේ මානව සම්පත් කමණාකරු සසංක සමරවීර මහතා මෙසේ පැවැසීය.

අපේ සමාගම වසර 07 ක කාලයක් ඖෂධ ආනයනය කර බෙදා හැරියා සාධාරණ  මුදලකට ගුණාත්මක ඖෂධ බදාහැරියා. රෝගීන්ට අපහසුතාවයක් නොවන අයුරින් ඖෂධ බෙදාහැරීම නිසා තමයි සමාගමට මෙතෙක් දුර වෙළෙද ව්‍යාපාර කටයුතු සිදු කරගෙනයාමට හැකි වුණේ. අසාධාරණ අයුරින් සමාගම කටයුතු කළේ නැහැ. ඖෂධ හිඟයක් වර්තමානයේ පවතින බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ටෙන්ඩර් නිවේදන 03 ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඖෂධ 190 ක් ආනයනය කිරීමට ටෙන්ඩරයකුත්, ඖෂධ 53 ක් ආනයනය කිරීමට ටෙන්ඩරයකුත් ප්‍රකාශ කර තිබෙනවා. හිඟ ඖෂධ තමයි මෙලෙස ආනයනය කරන්නේ. අපිට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය කරුණු විමසා නැහැ. බලපත්‍ර අහෝසි කිරීමට හේතුවක් ලෙස අධිකාරිය පෙන්වා දෙන්නේ අධිකාරි පනතේ වගන්ති 05 ක් කඩකර ඇති බවයි. අපේ සොයා බැලීම් වලට අනුව එම වගන්ති 05 තහනමට ලක් කළොත් මෙහෙයුම් කටයුතු නතර කරන්න බැහැ. මෙම ප්‍රශ්ණය සම්බන්ධයෙන් අපි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලිපි 05 ක් යොමු කළත් සාධාරණ පිළිතුරක් ලැබුනේ නැහැ. අපේ සමාගමේ සේවකයින් 400 ක පමණ යැපෙන්නන් 1000 ක් පමණ වර්තමානයේ අසීරුතාවයට පත්ව තිබෙනවා. නීත්‍යානුකූල නොවන තහනම ඉවත් කළ  යුතුයි.

මෙම අවස්ථාවට එක්වෙමින් ෆාමේස් සමාගමේ වෙළෙද කළමණාකරු ගාමිණි කුමාර සහ අලෙවි කළමණාකරු ධනුෂ්ක විඡේසේකර යන මහත්වරුන් ද අදහස් පළ කළහ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435