ජාතික සේවක සංගමයේ ඩිපෝ සේවකයින්ගෙන්  වැඩ වර්ජනයක්

ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමය නියෝජනය කරන පිරිසක් ‍අද (12) සිට වැඩවර්ජනයකට යොමුවන බව නිවේදනය කර තිබේ.

මෙම පිරිස දින දෙකක් තිස්සේ තම ඉල්ලීම්වලට විසඳුම් ඉල්ලා කොළඹ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ විරෝධතා ව්‍යාපාරයක් පවත්වාගෙන ආ බවත්, තම ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා ඊයේ රාත්‍රීයේ සිට පක්ෂ මූලස්ථානයෙන් ඉවත්ව අද සිට වැඩවර්ජනයකට යාමට තීරණය කර ඇති බව ජාතික සේවක සංගමයේ සාමාජිකයෙකු වන චින්තක මනෝජ් ‘වැඩබිමට‘ සඳහන් කළේය.

වසර 20ට අධික කාලයක් පැවති ශ්‍රීලනිප ප්‍රමුඛ රජයන් නිසා එජාප හිතවාදී තම පිරිසට කිසිදු උසස්වීමක් නොලැබුණු බවත්, මේ වසරේ ජනවාරි මාසයේදී අසාධාරණයට ලක්වූ ලංගම සේවකයින්ට උසස්වීම් ලැබුණද, මාස 6ට අධික කාලයක් ගෙවී ඇතත් අදාළ උසස්වීම් වලට සරිලන වැටුප් වර්ධක ලැබී නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.

දින 100 ක පැවති සන්ධාන රජය යටතේ වුවද, ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත්වී සිටියේ ශ්‍රීලනිප නියෝජනය කරන නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා බැවින් ඒ කාලයේද කිසිදු සහනයක් නොලැබුණු බවත්, මේ වසරේ ලැබුණු උසස්වීම් පවා තාමත් අර්ථවත් වී නොමැති බවත් චින්තක මනෝජ් අවධාරණය කළේය.

මේ නිසාම යහපාලන ආණ්ඩුවේ අවධානය මේ කෙරෙහි යොමුකරවනු පිණිස පක්ෂ මූලස්ථානයේම විරෝධතාවක් ආරම්භ කළ බවත්, එයින් ක්ෂණික යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා වර්ජනයකට යොමුවීමට සිදුවූ බවත් ඔහු පෙන්වාදුන්නේය.

ඊයේ විරෝධතාව අවසන් කිරීම සඳහා දිවයිනේ විවිධ ඩිපෝ නියෝජනය කරමින් පැමිණි වෘත්තීය සඟයින් සියලුම දෙනා පාහේ වර්ජනයකට යාමට කැමැත්ත පළ කළත්, පවත්නා තත්ත්වය යටතේ රට පුරාම දැවැන්ත වර්ජනයක් දියත් කරමින් ජනතාව පීඩාවට පත් කිරීමට තම පිරිස කටයුතු නොකරන බවත්, ක්‍රමයෙන් ලැබෙන ප්‍රතිචාර කෙරෙහි සැලකිල්ල යොමුකරමින් වර්ජනය තීව්‍ර කිරීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් පක්ෂයේ වගකිවයුත්තන් මෙන්ම අමාත්‍යවරුන්ද තම සාධාරණ ඉල්ලීම් කෙරෙහි යම් පැහැදීමකින් සිටින බවත්, ඒ නිසාම ඉතාමත් ඉක්මනින් සහනයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් මෙම වෘත්තීය සමිති සාමාජිකයා කියා සිටියේය.

පක්ෂ මූලස්ථානය තුළ විරෝධය දක්වමින් රැඳී සිටි කාලය තුළ පවා අගමැතිවරයා ප්‍රමුඛ පක්ෂ නායකයින් තමන්ව පීඩාවට පත් කිරීමට කටයුතු නොකළ බවත්, පාක්ෂිකයින් වෙනුවෙන් ඉදිරියේදී සාධාරණ තීන්දුවක් ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

පී.ඩබ් මුතුකුඩආරච්චි – වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435