ජීවත් වෙන්න පිටකොටුවේ  මුට්‌ට කරගහන වියපත් රෑ මනමාලිය

  • ලිංගික ශ්‍රමිකයෙක්‌ වුනේ අවුරුදු 12 දි
  • දරුවො තුන්දෙනත් ලිංගික ශ්‍රමිකයො
  •  මුනුබුරු මිණිබිරියො 5 යි
  • හැමෝම ඉන්නෙ කොටුවෙ පෙව්මන්ට්‌ එකේ…

එළවළු පලතුරු මුට්‌ට කර ගහලා දවසකට සොයා ගන්න සුළු මුදල දුවලා දෙන්නා ඇවිත් ගහලා අරගෙන යනවා. දුවලා දෙන්නගෙයි එකම පුතාගෙයි දරුවන්ට කන්න අඳින්න දෙන්නෙ තවමත් මමයි. දුවල දෙන්නයි පුතායි තුන්දෙනාම ආදායම් මාර්ගයක්‌ නැති නිසා ලිංගික ශ්‍රමිකයින් විදියට වැඩ කරනවා.” ඒ පිටකොටුවේ මුට්‌ට කර ගහමින් තම ජීවිතයත් මුණුපුරු මිණිපිරියන් පස්‌ දෙනකුගේ ජීවිතත් ගැට ගසා ගැනීමට දහදිය හෙළන කාලයක්‌ ලිංගික ශ්‍රමිකයෙක්‌ විදියට වැඩ කළ මවකගේ හඬයි.

දැනට 58 හැවිරිදි වියෙහි පසු වන ඇයට අපි රත්නා යෑයි කියමු. ඇයගේ අඩි පාරේ යමින් දරුවන් තිදෙනාම ලිංගික ශ්‍රමිකයින් ලෙස කටයුතු කරන බව ඇසීමම සැමගේ හද කම්පා කරවන සුලු පුවතක්‌ වනු නොඅනුමනය.

ඇයගේ කඳුළින් පිරි ජීවිත කථාව පැවැසීමට ඇය පසුගියදා දොඩමලු වූවාය.

රත්නාගේ ජීවිතය උපතේ සිට වියපත් වීම දක්‌වාම දුක්‌ කම්කටොළු, ප්‍රශ්න බාධකවලින් පිරී පැවැතිණි. ඇයගේ මව හා පියා එදා වේල සරි කර ගැනීමටත් නොහැකි තරමට දුප්පත්ය. ඔවුනට රත්නා ඇතුළු දරුවන් තිදෙනකු සිටියද ඔවුන්ව පෝෂණය කිරීමට තරම් ස්‌ථීර ආදායම් මාර්ගයක්‌ තිබී නැත. ඔවුන් ජීවත් වූයේ කොළඹට මඳක්‌ නුදුරු ප්‍රදේශයක පිහිටි කුඩා නිවසකටය.

මවුපියන් හදිසියේ මිය යන විට රත්නාට යම්තම් වයස අවුරුදු 7 සම්පූර්ණ වූවා පමණි. ඒ වන විට ඇය 3 වැනි ශ්‍රේණියෙහි ඉගෙනුම ලබමින් සිටියාය. දෙමවුපියන්ගේ හදිසි වියෝවත් සමගම රත්නාත් ඇයගේ සහෝදර සහෝදරියන් දෙදෙනාත් මහ මගට වැටුණේ ඔවුනට ජීවත් වීමට මාර්ගයක්‌ නොතිබීම නිසාය. ඔවුන් එතැන් පටන් දිවි ගෙවුවේ සිය උපන් ප්‍රදේශයේ මාර්ගය අසල පිහිටි ගසක්‌ යටය. ඔවුනට උදව් උපකාර කිරීමට නෑදැ හිතමිතුරන් නොවීය. හමු වන ආහාරයක්‌ කටට දමා ගත්තා මිසක කුසට නිසි අහරක්‌ නොලැබුණු දවස්‌ අනන්ත අප්‍රමාණ බව ඇය අප හා පැවසුවාය.

මට අවුරුදු 12 ක්‌ පමණ වන විට නාඳුනන තැනැත්තියක්‌ පැමිණ මට සලකන්නම් කියා මාව කොළඹ ගෙනාවා. රත්නා පවසන්නීය. කුසට අහරක්‌ හෝ ඇඳීමට නිසි වස්‌ත්‍රයක්‌ නොමැතිව කල් ගෙවූ ඇය තමාට පිහිටක්‌ වේ යෑයි සිතා තම සහෝදර සහෝදරියන්ද අතහැර දමා නාඳුනන කාන්තාව සමග කොළඹ පැමිණියාය.

එම නාඳුනන කාන්තාව රත්නාව කෙළින්ම ගෙන ගියේ ඇයව පිරිමින්ට විකුණා මුදල් හම්බ කිරීමටය. ගණිකා තැරැව්කාරිනියක වූ ඇය ඒ වන විට මනා රූ සපුවකින් යුතු වූ රත්නාව ලිංගික ශ්‍රමිකයකු බවට පත් කළාය.

කොළඹ පිටකොටුවේ පිහිටි කුඩා කඩ කාමරයක්‌ බඳු වූ කාමරයක රත්නාව නවත්වාගෙන සිට එම ගණිකා තැරැව්කාරිය රත්නාව පිරිමින්ට විකුණා එක්‌ පිරිමියකුගෙන් රුපියල් 5000 ක්‌ පමණ එකල අය කර ගත් බව රත්නා කීවාය. රත්නාගෙන් ලිංගික ශ්‍රමය මිලදී ගැනීමට පැමිණෙන පිරිමින් ඇයට ලබා දෙන රුපියල් 5000 ක මුදල ඇය ඉහත කී තැරැව්කාරියට ලබා දුන් විට රත්නාට ලැබුණේ රුපියල් 200 ක්‌ හෝ 300 ක්‌ වැනි සුළු මුදලක්‌ හා ආහාර පාන හා ඇඳුම් පමණි.

ගණිකා තැරැව්කාරිය හා කුඩා කාමරයක කල් ගෙවූ රත්නාට වයස අවුරුදු 16 පමණ වන විට ඇය ඇසුරු කළ පුද්ගලයකුට දාව දරුවෙක්‌ ලැබිණි. අනතුරුව ඇය තවත් දරුවන් සිවු දෙනකු බිහි කළ අතර ඔවුන්ගේ පියා එක්‌ අයකු නොවන බව ඇය කීවාය. කෙසේ වුවද එම දරුවන් පස්‌ දෙනාගෙන් දෙදෙනෙකු කුඩා කාලයේදීම මියගොස්‌ ඇති අතර ඉතිරි දරුවන් තිදෙනා රත්නා හා ගණිකා තැරැව්කාරිය සමඟ කුඩා කාමරයේ ජීවත් විය.

රත්නාට වයස අවුරුදු 21 ක්‌ පමණ වන විට ඇය ජීවත් වූ කාමරයෙහි විසීමට ගණිකා තැරැව්කාරියගේ යෙහෙළියකද පැමිණියාය. රත්නාට වඩා වසර කිහිපයකින් වැඩිමහලු වූ ඇයද දරුවන් තිදෙනකුගේ මවකි. කෙසේ හෝ කල් ගතවත්ම රත්නා හා ගණිකා තැරැව්කාරියගේ යෙහෙළිය අතර සමලිංගික සබඳතාවක්‌ හට ගෙන ඇත්තේ එම තැරැව්කාරියගේ අනුදැනුම මතය. කුඩා කාමරයක්‌ තුළ ජීවත් වූ මොවුන්ගේ අනිසි ක්‍රියාකාරකම් දැකීමෙන් රත්නාගේ දරුවන් තිදෙනාගේ මනස දූෂණය වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

වයස අවුරුදු 52 ක්‌ පමණ වන තෙක්‌ ලිංගික ශ්‍රමය අන්‍යයන්ට අළෙවි කළ රත්නා පසුව වියපත් වූ හෙයින් ඇය ජීවත් වූ කාමරයෙන් මහ මඟට දැමීමට තැරැව්කාරිය කටයුතු කර තිබිණි.

ඒ වනවිට තම දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දීමට රත්නාට නොහැකි වීමේ ප්‍රතිඵලය වූයේ ඇයගේ දරුවන් තිදෙනාම ඇය මෙන්ම ලිංගික ශ්‍රමිකයන් බවට පත් වීමයි. මේ වන විට වයස අවුරුදු 32 ක්‌ වන රත්නාගේ පුත්‍රයා විවාහක කාන්තාවන්ට ලිංගික ශ්‍රමය අළෙවි කරන ලිංගික ශ්‍රමිකයකු වන අතර 30 හැවිරිදි වැඩිමහලු දියණිය මෙන්ම බාල දියණියද පිරිමින්ට ලිංගික ශ්‍රමය අලෙවි කරමින් ජීවිකාව ගෙන යති.

කෙසේ වුවද විවාහක නොවූවද ඇසුරු කළ කාන්තාවන් සමග එකට ජීවත් වන රත්නාගේ පුත්‍රයාට දරුවන් දෙදෙනකු සිටින අතර ඇයගේ වැඩිමහල් දියණියටද දරුවන් දෙදෙනකු හා බාල දියණියට එක්‌ දරුවෙකු සිටින බව ඇය පැවසුවාය.

වැඩිමහලු දියණිය කාලයක්‌ සංචාරක මඟ පෙන්වන්නියක වශයෙන් කටයුතු කර සංචාරකයෙකු හා යහළු වී විශාල නිවසක්‌ද තනා ගත් නමුදු දැන් ඇයව එම සංචාරකයා හා මිත්‍ර වූ වෙනත් කාන්තාවක විසින් නිවසින් එළවා දමා ඇත. මේ අනුව ඇයට තබා රත්නාගේ එකදු දරුවෙකුටවත් අද වන විටද ජීවත් වීමට ස්‌ථීර නිවසක්‌ නැත.

ඔවුන් බොහෝ විට කල් ගෙවනුයේ පිටකොටුවේ හෝ කොළඹ වෙනත් පෙදෙසක මහා මාර්ග දෙපස පදික වේදිකාවලය. මෙයින් වඩාත් අසරණ වී ඇත්තේ රත්නාගේ මුණුපුරු මිණිපිරියන් පස්‌ දෙනාය. තම දෙමවුපියන් ලිංගික ශ්‍රමිකයන් වීම නිසා ඔවුන් විඳින දුක්‌ පීඩා අනන්ත අප්‍රමාණ බව රත්නා කීවාය.

තම පුත්‍රයා මෙන්ම වැඩිමහලු දියණිය කෝප වූ විට තමාට මෙන්ම තම දරුවන්ටද අතින් පයින් ගසා හිංසා කරන බව ඇය පැවැසුවාය.

ලොකු දුව මුදල් ඕන වුණාම මා හමුවීමට ඇවිත් හොඳටම ගහලා ළඟ තියන රුපියල් දෙසියක්‌ හෝ දෙසිය පනහ අරගෙන යනවා. කඩවලට එළවළු හා පලතුරු මුට්‌ට කරගහගෙන ගිහින් දිනකට හම්බ කරන්න වෙන්නෙත් රුපියල් දෙසීයක්‌ නැත්නම් දෙසිය පනහක්‌ පමණයි. කලාතුරකින් තමයි එයට වඩා මුදලක්‌ දවසකට හම්බ කරන්නේ. ඒ හම්බ වෙන මුදල් යොදවන්නේ මුණුපුරු මිණිපිරියන් පස්‌ දෙනාට කෑම බීම ඇඳුම් පැළඳුම් අරන් දෙන්න. ඒත් ලොකු දුවයි. පුතායි පොඩි දුවයි එන්නෙම මගෙන් ඒ මුදල් උදුරන් යන්න. දුවලා දෙන්නා නම් හොඳටම ගහනවා. ගිය සතියේත් ගහපු නිසා පොලිසි ගියා රත්නා නොනවත්වා පැවසුවාය.

තම දුවලා වෙතින් පහර කන අවස්‌ථාවලදී මේ මව එයට එරෙහිව පොලිසියටත් එතැනින් සමථ මණ්‌ඩලයටත් යන වාර අනන්තයි. එහෙත් තම මවට පහර දීම නිසා ඇයගේ දරුවන්ට අවවාද හැරෙන්නට නිසි දඬුවමක්‌ නොලැබීම නිසාම ඔවුහු දිගින් දිගටම ඇයට පහර දී ඇයගේ මුදල් පැහැර ගැනීම සිදු කරනු ලබති.

තම මවට පමණක්‌ නොව කුඩා දරුවන්ට පවා පහර දෙන රත්නාගේ දරුවන් නිසා රත්නාගේ බාල දියණියගේ කුඩා දියණිය මේ වන විට උසාවිය හරහා පරිවාස ළමා නිවාසයකට යවා ඇතැයි රත්නා කීවාය. ඇයට පමණක්‌ එම නිවාසය හරහා පාසල් අධ්‍යාපනය ලැබෙන බවද කී ඇය තමා සතියකට වරක්‌ තම මිණිබිරිය බැලීමට යන බවද සඳහන් කළාය.

රත්නාගේ බාල දියණිය මත්ද්‍රව්‍ය අලෙවිකරන්නකු හා විවාහ වී සිටින නිසා ඔවුන් ළඟ දරුවා හැදී වැඩුණොත් තමන් කුඩා කල විඳි තත්ත්වයට පත් වනු ඇති නිසා තම මිණිබිරිය එවැනි පරිවාස නිවාසයක සිටීම ඇයට අස්‌වැසිල්ලක්‌ වී තිබේ.

මේ වන විට රත්නා තවමත් තම දිවිය ගෙවනුයේ පිටකොටුවේ පිහිටි පදික වේදිකාවකය. මුට්‌ට කර ගසා අවසන්වූ පසු ඇයගේ නවාතැන වී ඇත්තේ එතැනය. ඇයට කිසිදු දරුවෙකුගේ රැකවරණය හා සෙනෙහස නොලැබෙන බව දත් නිසාම ඇය පදික වේදිකාවේ රැදී සිටීම සම්බන්ධව පොලිස්‌ නිලධාරීන් විරුද්ධත්වයක්‌ නොදක්‌වන බව ඇය අප හා කීවාය.

ඇයගේ සැපදුක සොයා බැලීමට ඇයට සිටිනුයේ තවත් මුට්‌ට කර ගසන පිරිමියෙකු පමණකැයි රත්නා සඳහන් කළාය. රත්නාට වඩා වසර කිහිපයකින් වැඩිමහලු වූ ඔහුද ජීවත් වනුයේ පදික වේදිකාවලය.

උපතේ පටන් මේ දක්‌වාම ජීවිතයේ සැප විඳිනවා තබා එම වචනයෙහි අර්ථයවත් නොදත් රත්නා ලිංගික ශ්‍රමිකයන් මෙන් ලිංගික ශ්‍රමිකයන්ට වැළඳිය හැකි එච්. අයි වී /ඒඩ්ස්‌ තබා කිසිදු සමාජ රෝගයක්‌ පිළිබඳව තරුණ කාලයේ ලිංගික ශ්‍රමිකයකු විදියට කටයුතු කරන අවධියෙහි දැන නොසිටි බව ඇය අපට සම්බන්ධ කර දුන් ලිංගික ශ්‍රමිකයින් සම්බන්ධ ක්‍රියාකාරිනියක්‌ පැවසුවාය. ඇය වයස අවුරුදු 20 ට පෙර දරු උපත් 5 ක්‌ සිදු කර ඇත්තේද අනවශ්‍ය ගැබ් ගැනීම් ගැන ඇය තුළ තිබූ අල්ප දැනුම නිසා බව එම ක්‍රියාකාරිනිය කීවාය.

මේ වනවිට රත්නාට පවතින ප්‍රධානතම ගැටලුව වී ඇත්තේ තම මුණුපුරු මිණිබිරියන් පස්‌ දෙනාගේ අනාගතයයි. පරිවාස ළමා නිවාසයක සිටින මිණිබිරියට පමණක්‌ පාසල් අධ්‍යාපනය ලැබුණද සෙසු මුණුපුරු මිණිබිරියන්ට තවමත් පාසල් අධ්‍යාපනය ලබා දීමට හැකි නොවීම ඇයට කනගාටුවට කරුණකි. ඒ ඔවුන්ද තමා හෝ තම දරුවන් මෙන් ලිංගික ශ්‍රමිකයන් බවට පත්වනු දැකීමට ඇය අකැමැති නිසාය.

තමාට අසනීපයක්‌ වැළඳුණු විට රජයේ රෝහලකට ගොස්‌ ප්‍රතිකාර ලැබීමේදී දෛනික ආදායම අහිමි වන නිසා එවැනි දිනවල තමාට මුණුපුරු මිණිබිරියන්ට සැළකීමට නොහැකි වන බව ඇය අප හා කියා සිටියේ කනගාටුවෙනි.

ජීවත් වීමට කුඩා නිවසක්‌ හා මුට්‌ට කර ගසමින් උපයන මුදල තැන්පත් කිරීමට බැංකු ගිණුමක්‌ හෝ පවතින්නේ නම් ඇයට තම මුණුපුරු මිණිබිරියන්ව හැකි තාක්‌ කල් රැක බලා ගැනීමට හැකි වන බව රත්නා අවසන් වශයෙන් අප හා පැවසුවාය.

ඒමන්ති මාරඹේ – දිවයින

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435